UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රද්ධා සම්පන්න, බුද්ධිමත් ළමා ළපටියනි, අප සුගත තථාගත සම්මා බුදු අමාමෑණියන් වහන්සේ ලොව වසා පැවති අවිඳු අඳුර දුරලමින් ඒ සුමධුර ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරමින් අනභිභවනීය චතුරාර්ය සත්‍යය ලොවට පෙන්වා වදාරන ලද්දාවූ මේ උතුම් ඇසළ පුරපසළොස්වක පොහෝ දින ඔබ සැම කයින් වචනයෙන් සිතින් සත්‍යවාදීවීමට තරයේ අධිෂ්ඨාන කරගන්න. ඒ ශ්‍රේෂ්ඨ අරමුණ මුදුන් පමුණුවා ගැන්මට මාගේ දයාබර දරු කැලට සම්මා සම්බුදු සරණයි!

අහාපී‍්‍රතියකි දරුවෙනි, ඉමහත් පී‍්‍රතියකි! සුවයකි දරුවෙනි, ඉමහත් සුවයකි! සැනසීමකි දරුවනි, ඉමහත් සැනසීමකි. මෝහාන්ධකාරයේ නිමග්න වූ ධරණීතලය ප්‍රඥාලෝකයෙන් ඒකාලෝකවූ, සෝක, පරිදේව, දුක්ඛ , දෝමනස්ස උපායාසයෙහි ගැලී සිටි ලෝක සත්වයාට සැනසිලි සුවය උදාවූ කාම, භව, විභව යන ත්‍රිවිධාකාර තණ්හාවෙන් වෙළී, එකොළොස් ගින්නෙන් දැවෙමින් කල් ගෙවන අසරණ සත්වයනට අජරාමර සංඛ්‍යාත නිවන් මෙගහි ස්වර්ණමය දොරටුව විවෘත වූ ඇසළ පුන් පොහෝ දිනය අදයි!

අප මහාකාරුණික අමා මෑණි බුදුපියාණන් වහන්සේ ඒ රමණීය ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් උදෙසා බ්‍රහ්ම ස්වරයෙන් දේශනාකරන ලද ධම්ම චක්කපවත්වන සූත්‍ර හඬ දස දෙස රැව් පිළිරැව් දෙමින් ඒ ගාම්භීර චතුරාර්ය සත්‍යය ගැබ්වූ මිහිරි කාහල නාදයෙන් දස දහසක් ලෝක ධාතුව කම්පිත කළ, සළ, කළ අති උතුම් දිනය අදයි.

දයාබර බොදු දරුවෙනි, මේ ධම්මචක්කපවත්වන සූත්‍රයෙන් ප්‍රකට වන ඒ අසිරිමත් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැන්මට සිදුහත් බෝසත් තවුසාණන්ට බෙහෙවින් උපකාරීවූයේ සාරා සංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පුරන ලද දස පාරමිතා අතුරින් සත්‍ය පාරමිතාව අඛණ්ඩ ලෙස විශේෂත්වයකින් යුතුව පූරණය කළ බැවිනි. ශ්‍රද්ධාවන්ත කුඩා ළමයිනි, අපගේ සර්වඥ රාජෝත්මයාණන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍යවාදි වූ සේක. තමන්වහන්සේ දේශනා කරන ලද දෙයට අනුව ක්‍රියා කළ එමෙන්ම තමන් වහන්සේගේ ක්‍රියාවටම අනුව දේශනා කරන ලද යථාවාදී තථාකාරී වූ තථාවාදී යථාකාරි වූ ශ්‍රේෂ්ඨ ශාස්තෘන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වු සේක. මෙවන් ශාස්තෘන් වහන්සේ කෙනෙකුගේ ශික්‍ෂාකාමී අනුගාමිකයින් වන ඔබ කුඩා කල සිටම මුසාවාදයෙන් වැළකී, සුභාෂිතයටම කනට මිහිරි අර්ථවත් ඵලදායි වචනම කථා කිරීමට හුරුපුරුදු විය යුතුයි. සත්‍යයම ආරක්‍ෂා කළ යුතුයි. දිවි හිමියෙන් සත්‍යයටම, ඍජු ප්‍රතිපත්ති වලටම ගරු කළ යුතුයි. ඒ අනුවම ක්‍රියා කළ යුතුයි. එකල්හි ඔබ නියම බෞද්ධයකු නියම ප්‍රතිපත්ති පුරන බෞද්ධයෙකු නියම සිල්වතකු වනු ඇත.

දයාබර දරුවෙනි, අපගේ සම්මා සම්බුදු සුගත තථාගතයින් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ අබියස තෙරුවන් සරණ ගොස් පංච ශීලයෙහි පිහිටා සිටීමෙන් දිනපතා සිල්වත් වන ඔබගේ මුවින් පිටවන සෑම වචනයක්ම අසාර ;නාවූ කනට මිහිරි වූ, පේ‍්‍රමණීය වූ, සිත් ගැන්මෙහි සමත්, ශිෂ්ට වූ, ජනපි‍්‍රය , ජනහිත වූ වචනයක්ම විය යුතුය. මෙවැනි අංගයන්ගෙන් සමන්විත වූ වචනයම අමෘත භාෂිතයක් වේ. මිහිරි වදනක් වේ. බුද්ධිමත් දරුවෙනි, පූර්ව භවයන්හිදී කරන ලද කුසල කර්මයන්හි ආනිශංස වශයෙන් ඔබ මේ බැව්හිදී මනාසේ පිහිටන ලද වාග් ඉන්ද්‍රියයනට අයිතිවාසිකම් කියන්නේමය.

මෙසේ මාගේ දයාබර, කර්ම කර්මඵල අදහන දරු වනි, පෙර පිනින් ලබා ගත් වාග් ඉන්ද්‍රිය ඔබගේ ලෞකික , ලෝකෝත්තර සැප ළඟා කරගැන්ම උදෙසාම , කුසල දහම් වර්ධනය සඳහාම යෙදවීමට උනන්දු විය යුතුයි. මුසාවාදයෙන්, කේලාම් බසින්, ඵරුෂ වචනයෙන්, එමෙන්ම දෙලොවටම වැඩ නැති හිස් කථා වලින් කුඩා ඔබ වැළකී සිටින කල, ඔබගේ ඒ වාග් මාලාව අමෘතය හා සමාන ය.

මා පි‍්‍රය අහිංසක ළමා ළපටියනි, සත්‍යවාදීවීම පාරමිතාවක් (සච්ච පාරමිතා) වශයෙන් අපගේ ගෞතම මහා බෝසතාණන්වහන්සේ පුරන ලද අන්දම ගැන සුතසෝම ජාතකය වැනි ලගන්නා ජාතක කථා කියවා පුරුදු ඔබ දන්නෙහිය. ඒ බෝසත් සුතසෝම රජතුමා දරුණු පෝරිසාදයාගේ ප්‍රාණග්‍රහණයෙන් මිදීමට භාග්‍යය උදාවූයේ අකුරටම සත්‍යයෙහි පිහිටා සිටීමේ බල මහිමයෙනි. අවසානයේදී එම දුර්දාන්ත පෝරිසාදයා දැමුණු තැනැත්තෙකු බවට පරිවර්තනය විය.

දයාබර දරුවෙනි, සත්‍යයම සත්‍ය වචනයට සුභාෂිතයේම භාවිතයේ නියැළි තැනැත්තා ඒ උතුම් වැඩ පිළිවෙළෙහි ආනිශංස වශයෙන් මුඛ රෝගයන්ගෙන් මිදෙන්නේ වේ. එවැනි පුණ්‍යකාමී සත්පරුෂයාගේ මුඛය පිරිසිදු වේ. තමා ආශ්‍රය කරන්නන් අතර මෙතෙම ජනපි‍්‍රයවන්නේය. විශ්වාස කටයුතු බෙහෙවින් විශ්වාස කටයුතු තැනැත්තෙකු මෙන් ජනපි‍්‍රයවන්නේය. දෙවියන් පවා එවැනි සත්පුරුෂයින් පි‍්‍රයකරන්නේය. මෙය කෙතරම් භාග්‍යයක්ද ! පින්වත් දරුවෙනි, ඔබ සැම දැන අසා තිබෙනවා නේද, අඟුල්මල් චරිතාපදානය! අංගුලිමාල නමැති මිනී මරු දාමරිකයා පවා බුද්ධ ශ්‍රාවකයෙකු වීමෙන් පසු සත්‍යය ක්‍රියා බලයෙන් ගර්භණී මාතාවකගේ දරු ප්‍රසූති වේදනා සම්පූර්ණයෙන් සුවපත් කිරීමට සමත්ය. ඒ තමා සත්‍ය වචනයේ සත්‍ය ක්‍රියාවේ ඇති බල මහිමය ආශ්චර්ය ශාන්තිය කරුණු මෙසේ මනසින් දැක මාගේ දයාබර පින්වතුන් ළමයින්ද සෑම වේලේම සෑම තැනකදීම පමණ දැන කථා කිරීමට පුරුදුවන්න. මුසාවාදයෙන් වැළකී, සත්‍ය වචනයම භාවිතා කිරීමට එයද ඔබට බොහෝ දුරට ආධාරවනු ඇත.

මුසාවාදයෙහි, බොරු කීමෙහි යොමුවුණු තැනැත්තාට මෙලොව කළ නොහැකි පාප කර්මයක් නොමැත. එමෙන්ම ඒ තැනැත්තා තුළ කිසිම ගුණධර්මයක් රඳන්නේ නැත. එබැවින් සුවච කීකරු නිහතමානී ළමයිනි, ඔබගේ මුවින් ගිළිහෙන සෑම වචනයක් ගැනම ඔබ බෙහෙවින් පරීක්‍ෂාකාරී විය යුතුයි. එය යථා වාදයක්, සුභාෂිතයක් මිස මුසාවාදයක් නොවීමට ප්‍රවේසම්වන්න.

තම දිව පාලනය කරගැන්මේ සමත් තැනැත්තාට අන් ඉන්ද්‍රියයන් පාලනය කරගැන්ම එතරම් උගහට නොවනු ඇත. ඒ එසේ බැවින් මා පි‍්‍රය දරුවෙනි, ඔබ සත්‍ය කථාවට උත්සුක වීමෙන්, පරිශ්‍රම දැරීමෙන් ද පාලනය කරගැන්මට සමත්වීමේලා ඔබ ලබනුයේ විශාල ජයග්‍රහණයකි. අතිශය පැසසුම් ලැබෙන ජයග්‍රහණයකි, අනභිභවනීය අත්‍යුත්තම ජයග්‍රහණයකි.

ශ්‍රද්ධා සම්පන්න, බුද්ධිමත් ළමා ළපටියනි, අප සුගත තථාගත සම්මා බුදු අමාමෑණියන් වහන්සේ ලොව වසා පැවති අවිඳු අඳුර දුරලමින් ඒ සුමධුර ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරමින් අනභිභවනීය චතුරාර්ය සත්‍යය ලොවට පෙන්වා වදාරන ලද්දාවූ මේ උතුම් ඇසළ පුරපසළොස්වක පොහෝ දින ඔබ සැම කයින් වචනයෙන් සිතින් සත්‍යවාදීවීමට තරයේ අධිෂ්ඨාන කරගන්න. ඒ ශ්‍රේෂ්ඨ අරමුණ මුදුන් පමුණුවා ගැන්මට මාගේ දයාබර දරු කැලට සම්මා සම්බුදු සරණයි!

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]