UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

බඹර වළල්ල

රුඩොල්ෆ් ආන්හයිම් නමැති සිනමා සෞන්දර්වාදියාට අනුව, චිත්‍රපට කලාව යනු අධ්‍යක්ෂවරයකු ගේ සුකුමාර සූක්ෂ්මතාව පදනම් කොට ගෙන විශේෂ වූ ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් සිදු කරනු ලබන ඡායාරූපාත්මක වරණයකි. ලොව ප්‍රථම චිත්‍රපටය වූ ලුමියර් සහෝදරයන් විසින් නිර්මාණය කරන ලද “දුම්රියපළට දුම්රියක් පැමිණීම’’ යැයි නම් කොට තිබූ තත්පර තිස්පහක සිනමා කෘතියෙන් ඇරැඹි මේ තාක්ෂණික සෞන්දර්ය චාරිකාව අද වන විට බොහෝ දුර ගොසිනි. එ සේ වුව ද 1885 වසරේ දෙසැම්බර් මස 28 වන දා පැරිස් නුවර කැපුචීන් වීදියේ ඉන්දීය අවන්හලක දී ප්‍රදර්ශනය කළ එම චිත්‍රපටය සඳහා යොදාගත් ප්‍රචාරක පාඨය වන ‘හරියට ම ජීවමානයි වගේ නේද?’ යන්න සිනමාව හැඳින්වීම සඳහා අදටත් උචිත ය.

එහෙත් අප ගේ බොහෝ සිනමා නිර්මාණවල දක්නට ලැබෙන චරිත, රුවෙන් මිස ගුණයෙන් ජීවමාන ඒවා නො වේ. මේ පසුබිම යටතේ ජීවමාන චරිත සහිත සිංහල සිනමා කෘතියක් නැරැඹීමට ලැබීම ඉමහත් භාග්‍යයකි. එ බඳු ජීවමාන චරිත සහිත විශිෂ්ට සිංහල චිත්‍රපටයක ආරාධිත දර්ශනයක් තරංගනී සිනමා ශාලාවේ දී පසුගිය දා අපට නරඹන්නට ලැබිණ. ඒ අතුල ලියනගේ තිර රචනය කොට, රඟපාමින් අධ්‍යක්ෂණය කළ බඹරවළල්ල චිත්‍රපටය යි.

එහි කතාව සැකෙවින් මෙ සේ ය.

මව ගේ දෙවන විවාහයේ සැමියා (බාප්පා) ගෙන් එල්ලවන ලිංගික හිංසනය ඉවසාගත නො හැකි ව අක්කා ගෙල වැල ලා ගෙන මියගිය අයුරු දුටු පොඩිඑකා කෝපයට පත් ව බාප්පා මරා දමයි. තම දියණිය හා සැමියා එක ම දිනෙක මරණයට පත් වී පුතා මිනීමැරුමකට අත් අඩංගුවට ගැනීම නිසා තනිවන මව ගේ සිහිය විකල් වේ. බාප්පා මරා ගැටවර වියේ දී සිර දඬුවම් විඳි පොඩිඑකා තරුණයකු ලෙස සිරෙන් නිදහස් වී ගමට පැමිණ කුඹුරු හිමියකු ළඟ හරකුන් බලා ගනී. තමා බලාගන්නා හරක් පට්ටියෙන් එකකු සොරාගෙන ගොස් මරා මස් කිරීම නිසා කෝපයට පත්වන පොඩිඑකා හරක් හොරාට කුරිරු දඬුවම් දෙයි. කුඹුරු හිමියාගේ දියණිය තම පේ‍්‍රමය ප්‍රතික්ෂේප කොට මුහුණට කෙළ ගැසීම නිසා කෝපයට පත් පොඩිඑකා ඇගේ කෙස් වැටිය කපා දමයි. ඊට පළිගැනීමක් වශයෙන් පිරිසක් යොදවා බරපතළ ලෙස පහර දී මහමඟ දමා ගිය පොඩිඑකා දකින මිනීපෙට්ටි සාප්පු හිමියකු වන මැල් මුදලාලි ඔහුව රෝහල් ගතකොට සුව වූ පසු තමා යටතේ රඳවා ගනී. මැල් මුදලාලි ගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් වෘත්තීය ඝාතකයකු බවට පත්වන ඔහු ගෝනමඩිත්තේ් පොඩිඑකා යනුවෙන් ප්‍රකට වෙයි. අවසානයේ මැල් මුදලාලි විසින් පොඩිඑකා මරා දැමීමට දැරූ උත්සාහය පරාජය කොට මැල් මුදලාලි මරා ඔහු එම ව්‍යාපාරය අත්පත් කැර ගනී.

බඹරවළල්ල චිත්‍රපටයේ ඇතුළත් කතා පුවතේ සාරාංශය මෙය යි. මේ චිත්‍රපටයේ චරිතවල සංකීර්ණ ස්වභාවය, සිදුවීම් දිග හැරෙන ආකාරය, හෙළි කැරෙන සමාජ යථාර්ථය හා සංකේත භාවිතය අනුව මෙය විශිෂ්ට නිර්මාණයක් බවට පත් වී ඇත. එ පමණක් නො ව මෙහි එන මහේන්ද්‍ර පෙරේරා ගේ සුවිශේෂී රංගනය මෙන් ම කසුන් කල්හාර ගේ විශිෂ්ට සංගීතය සිංහල සිනමා වංශකතාවේ අපූර්වතම සටහන් ය.

එහෙත් ‘බඹරවළල්ල’ ගැන අප කතා කිරීමට අදහස් කළේ ඒ කිසිවක් නිසා නො වේ. ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ (පාතාලය) පිළිබඳ ව ප්‍රශස්ත දාර්ශනික විග්‍රහයක් කලාත්මක අයුරින් පැවැසීමට අතුල ලියනගේ් සමත්වීම මේ සටහන තැබීමට හේතුවයි. මෙය හුදු සිනමාරූපී කතා කලාවෙන් ඔබ්බට ගිය විශිෂ්ට දාර්ශනික සංවාදයක් බවට පත් ව ඇත.

පාතාල ලෝකය විෂය කොට ගත් අන්තර්ජාතික චිත්‍රපට මෙයට පෙර අපි දැක ඇත්තෙමු. ෆ‍්‍රැන්සිස් ෆෝර්ඩ් කොපෝලා අධ්‍යක්ෂණය කළ ‘ද ගෝඩ්ෆාදර්’ නමැති හොලිවුඩ් චිත්‍රපටය එ බඳු එක් නිර්මාණයකි. මරියෝ පූසෝ ගේ ‘ද ගෝඩ්ෆාදර්’ නවකතාව (1969 ලියූ) පදනම් කොට ගෙන නිපැයූ එයට ඔස්කා සම්මාන කිහිපයක් ද හිමි විය. එයින් හෙළිකළ ඉතාලි සම්භවයකින් යුත් ඇමරිකාවේ මාෆියා කල්ලියක කුරිරු බව දැක ලොව ම මවිත වූවාට සැක නැත. එහෙත්, මාෆියාව පෝෂණය කළ සමාජ සාධක බඹරවළල්ලේ දී මෙන් ගැඹුරු විග්‍රහයකින් යුතු ව ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වූ බව අප ගේ විශ්වාසය යි.

මෙහි දී අතුල ලියනගේ අපට කරුණු කිහිපයක් පසක් කොට දෙයි. ඒවා මෙ සේ පෙළ ගැස්විය හැකි ය.

1. සංවිධානාත්මක අපරාධ දක්වා යන මාවත වැටී ඇත්තේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඔස්සේ ය.

2. මානව ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට දඬුවම සාර්ථක පියවරක් නො වේ.

3. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් මෙන් ම සංවිධානාත්මක අපරාධවල දී ද වඩාත් ම පීඩාවට පත් වන්නේ ගැහැනිය යි.

4. උසස් අධ්‍යාපනය ලැබූවන් පවා අපරාධ සහායකයන් ලෙස ක්‍රියා කර යි.

5. අපරාධකරුවන් යනු යාන්ත්‍රික කොටසක් නො ව හොඳ - නරක- බිය සහිත සාමාන්‍ය මිනිසුන් ය.

6. අපරාධ සඳහා පොළඹවන සාධක අතර ආර්ථික හා ලිංගික වුවමනාවන් ප්‍රධාන තැනක් ගනී.

බඹරවළල්ල චිත්‍රපටයෙන් ලැබෙන මේ ආලෝකය ධර්ම සන්නිවේදකයන් විසින් සාර්ථක ව ප්‍රයෝජනයට ගත යුතු ය. එ සේ නොමැති නම් ගෝනමඩිත්තේ පොඩිඑකා ලා තව තවත් බිහිවනු ඇත.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]