UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ගම්දොර ඇසුරේදී භාවිත සේඛියා’

සුවාසූ දහසක් ධර්‍ම ස්කන්දයේ නිර්මාර්තෘ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් කෙරෙන් උරුමව පුරා වසර දෙදහස් පන්සිය හැටකට ආසන්න කාලසීමාවක් තුළ හා ඉදිරියටත් අවිච්චින්නව පවත්වාගෙන යන භික්‍ෂු සමාජයේ සාමාජිකත්වය කර්‍මානුරූපව දායක කොටගත් බොදු භික්‍ෂූන් වහන්සේ අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ගම්දොර ඇසුරේදී භාවිත ‘සේඛියා’ හෙවත් ‘සිකපද’ පහත සඳහන් පරිදිවේ.

1. ගමතුළදී ගමන් බිමන් යා යුත්තේ හොඳ සංවරශීලී භාවයකිනි. දිවීම්, පැනීම්, අත්වැනීම් ආදී ක්‍රියාවන් කෙරෙන් බැහැරව පියවි ගමනින් යාම සංවරශීලී යාම් ඊම්වේ. වෙසෙසින්මැ භික්‍ෂූන් වහන්සේ තැන්පත් ගතියෙන් ශාන්තව ගමන් කළ යුතුමය. මොටෝරිය හා බයිසිකල් පැදීම ඉතාමත්මැ නුසුදුසුවන්නේ අමුතු පාපයක් සිදුවන නිසා නොව එවිට තම සංවරශීලීභාවය නැතිවන නිසා හා ගිහියන් නොහොත් ලෝකයා ඉදිරියේ තමා සංවරශීලීභාවයෙන් තොර භික්‍ෂූන් වහන්සේ කෙනෙකු බව ප්‍රදර්ශනය වන නිසාය.

2. අත් හෝ පා හෝ සෙලවීමෙන් බැහැරව ගමෙහිදී මනා සංවරයෙන් යුතුව හිඳිය යුතුය.

3. වට පිට බල බලා යාමෙන් තොරව ගමෙහිදී බිම බලාගන යා යුතුය. එයද සතර රියනෙක් නොහොත් අඩි හයක දුර ප්‍රමාණයක් පමණි. වට පිට බල බලා යාමේදී විවිධ කෙළෙස් අරමුණු සිතට ඇතුළුවීම අනුව බොහෝ කෙළෙස් ජනිතවීම වළක්වා ගැනීම මෙහි අරමුණයි. ගමනේදී යම්කිසි කමටහනක් මෙනෙහි කරමින් ගමන් කිරීමට පුරුදු පුහුණුවීම මැනවි. අනතුරු ඇති තැන්වලදී අවැසි තරම් දුරබලා කටයුතු කිරීමේ වරදක් නැත. එහෙත් සිය සංවරභාවයට හානිවන පරිදි නොවේ.

4. දානමය පින්කමෙකදී හෝ වෙනත් ශාසනික කටයුත්තක් ඉටුකරදීම සඳහා හෝ ගමට ගොස් ගමෙහි ගෙවල හිඳීමේදී වට පිට නොබලා බිම බලාගන සිටීම මැනවි. එහෙත් යම් විපතකදී අවැසි තරම් දුරක් බැලීම වරදක් නොවේ.

5. ගමෙහි යාම් ඊම්වලදී පෙරවා සිටින සිවුර ඔසවාගෙන නොයා යුතුය. ශරීරය විවෘතව නොපෙනෙන පරිදි පිඬු සිඟායාමේදී පාත්‍රය පිටතට ගත යුතුය. පටිය හා කුස පෙනෙන පරිදි තුනටියෙන් උඩට සිවුර එසවීම නොකළ යුතුබව මෙම සික පදයෙන් අදහස් කෙරේ.

6. ඇතුළු ගම් තුළ යාමේදී සිවුර ඔසවාගෙන යාම නොමැනවි. ශරීරය ‍ෙනාපෙනෙන පරිදි සිවුරු ගැබ තුළ ඇති දෙයක් පිටතට ගැනීම කළ යුතු බව මෙම සික පදයේ අදහසයි.

7. ඇතුළු ගම්හි සැරිසැරීමේදී නොහොත් යාම් ඊම් වලදී මහ හඬින් සිනාසීම නොමැනවි. හේතුවක් ඇතිවුවහොත් මඳහසින් නොහොත් මන්දහාස්‍යයෙන් යුතුවීම මැනවි. එහෙත් කිසිඳු හඬක් නොනැ‍ෙගන පරිදිය.

8. සදාචාරාත්මක පසුබිමක උසස් අදහස් හා මනා හික්මීමක් ඇති අය කවර අවස්ථාවකදී හෝ කොතැනකදී හෝ වුවද මහත් කොට හඬ නගා සිනාසීමෙන් වැළකී සිටී. ඇතුළු ගම ඇසුරේදීත්, විහාරයේදීත් මනස අවුල්වුණූ අයකු මෙන් හඬ නඟා සිනාසීම ඇවැතක් වන අතර මඳහසින් යුතුවීම වරදක් නොවේ’ එසේවිය යුතු වන්නේ සිනාසීමේ ලක්‍ෂණ වුවද තම සදාචාරාත්මක බව හා අභ්‍යන්තර හැදියාව ප්‍රදර්ශනය වන හේතුවක් වන බැවිනි. පැවිදි භික්‍ෂූන් වහන්සේ හැම අවස්ථාවකදීම නොහොත් නිරතුරුවම හඬනගා සිනාසීමෙන් වැළකී සිටීම මැනවි.

9. ගම්දොරදී මහත්කොට හඬනගා කථා කිරීමද සුදුසු නැත. ගමතුළ යාම් ඊම්වලදී පමණක් නොව ශාසනික කටයුත්තක් සඳහා නිවසකට ගිය අවස්ථාවලදී වුවද මහත්කොට හඬනගා කථාකිරීම භික්‍ෂුන් වහන්සේ නමකට සුදුසු කාර්යයක් නොවේ.

10. කථාවේ ශබ්දය ප්‍රමාණවත් විය යුත්තේ සතර රියනක් දුරින් සිටින අයකුට පැහැදිලිව ඇසෙන පරිදි පමණය. සදාචාරාත්මක පසුබිමෙක ආචාරශීලීව වසන කවුරුන් වුවද ඉමහත් ශබ්දයක් නැගෙන පරිදි කථා කිරීමෙන් වැළකී සිටී. ගිහියන් දහමින් දැනුවත් කිරීමේදී නොහොත් දහම් දෙසීමේදී මහත් හඬනඟා නොව අවැසි ප්‍රමාණයට හඬ නගා දහම් දෙසීම වරදක් නොවේ. (එසේ කළ යුත්තේ ශබ්ද විකාශන යන්ත්‍රයක සහාය නොලබන විට පමණි.) සදාචාරාත්මක පැවැත්මත් අභ්‍යන්තර ගුණ වගාවත් ප්‍රදර්ශනය වන පරිදි සිය කථාවේ ශබ්දය, ස්වභාවය හා විලාසය පුරුදු පුහුණු කර ගැනීමට භික්‍ෂූන් වහන්සේ පුරුදු විය යුතුය. එසේ විය යුත්තේ මහත් ශබ්ද නගා කථා කිරීම සදාචාරාත්මක පැවැත්මට තරම් නොවන බැවිනි.

11. ගිලන්ව හා දැඩිලෙස රෝගාතුරව පසුවන අවස්ථාවක ස්වභාවයෙන්ම සිදුවන නිශ්චලව ගමන් කිරීමේ නොහැකියාව ඇවැත් නොවේ. එහෙත් හොඳ සුවයෙන් පසුවන භික්‍ෂුවක් ගම්දොර හැසිරීමේදී ඒ මේ අතට නැවෙමින් පැද්දෙමින් ගමන් කිරීම ඉතාමත් අශෝභන කාර්යයක් හා දර්ශනයකි. ඇතුළුගම ගමන් බිමන් යාමේදී සිය හිස හා කය සෘජුව තබා ගැනීමද අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.

12. ගම්දොරදී මෙන්ම විහාරයේදී හෙවත් ලැගුම් හලදී වුවද හිස වනමින් හා කය ඒ මේ අතට පද්දවමින් සිටීමද භික්‍ෂුවකට තරම් නොවේ. 13. ගම් දොර යාම් ඊම් වලදී බාහුව සොලවමින් නොයා යුතුය, 14. ඇතුළුගම ඛ්ඹ්ඳීමේදී වුවද බාහුව සොලවමින් සිටීමෙන් වැළකී සිටිය යුතුය, 15. හිස සලමින් ගමෙහිදී යාම් ඊම් නොකළ යුතුය, 16. ගමෙහි හිඳීමේදී වුවද හිස සලමින් පසුවීම නොහොත් හිඳීම නොමැනවි, 17. දෑතම හෝ එක් අතක් හෝ උකුළෙහි තබාගෙන ගමෙහිදී යාම් ඊම් කිරීම නොමැනවි.

එසේ ගමන් කිරීම ඉතා අශෝබන දසුනක් සෙසු අයගේ සිතෙහි මවනු ඇත. 18. ගමෙහි හිඳීමේදී වුවද උකුලෙහි අත් ගසාගෙන සිටීම අශෝභන දසුනක් මවන්නකි. 19. ගමතුළ ගමන් කිරීමේදී හිස වසා පෙරවා ගෙන යාම සුදුසු නැත, 20. ගිලන්ව පසුවන අවස්ථාවක හෝ අමතකවීමෙන් හෝ සිදුවීම හා ගමෙහි වාසය සඳහා ගියවිට එසේ කිරීම වරදක් නුවුවද සිරුරු සුවතාවයෙන් පසුවන භික්‍ෂුවක ගම්දොර ඇසුරේදී හිස වසා පෙරවාගෙන සිටීම ඉතා පහත් දසුනක් සෙසු අයගේ නොහොත් ගම්වැසියන්ගේ සිතෙහි මවනවා ඇත, 21. ගම තුළ ගමන් කිරීමේදී විළුඹ පමණක් හෝ පතුලේ අග පමණක් හෝ බිම තබමින් ගමන් කිරීම නොහොබී. ආබාධයක් ඇති අවස්ථාවකදී එසේ කිරීම වරදක් නොවේ, 22. ගම තුළ හිඳීමේදී පහත සඳහන් දෙආකාර පල්ලත්ථිකයන් දෙක අනුව හිඳීමෙන් අනිවාර්යයෙන්ම බැහැර විය යුතුය.

එකී පල්ලත්ථික දෙකනම් 1 හස්ථ පල්ලත්ථිකය මිටි අසුනක හෝ බිම හෝ දෙදණ කෙළින්කර වාඩිවී දණ දෙක දෙපැත්තට නොයනු පිණිස පිටතින් අත්දෙක යවා එකට බැඳ ගැනීම “හස්ත පල්ලත්ථිකය” නම් වේ.

2. දුස්ස පල්ලත්ථිකය

බිම හෝ මිටි අසුනක හෝ දණහිස් උඩුකුරුකොට කතිර හැඩයට පාදෙක තබා දෙපැත්තට නොයනු පිණිස සිවුරෙන් තදකර ගැනීම

“දුස්සපල්ලත්ථිකය” නම් වේ. මෙම අවස්ථාවේ පෙරවා සිටින සිවුර තරමක් පැරැණි දිරාගිය සිවුරක් නම් පුපුරා ඉරී පැලී යාමට ඇති ඉඩකඩ බොහෝය. ගිලන්ව නොහොත් රෝගීව පසුවන අවස්ථාවක මෙම ඉරියව්වෙන් හිඳීම වරද නොවේ. එහෙත් භික්‍ෂූන් වහන්සේ පෙරකී ඉරියවු දෙකෙන්ම බැහැරව හිඳ ගැනීම වඩා සුදුසු වනු ඇත.

දන් වැළඳීමේදී මෙන්ම ගම්දොර ඇසුරේදීද අපේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන සිකපද හෙවත් කසේඛියා සමුහයද ගිහියන්ගේ ප්‍රායෝගික ජීවිතයේ අවධානයට අධ්‍යයනයට හා ආදර්ශයට ඉතාමත්ම සුදුසුය.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]