UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘උපසමානුස්සති’ භාවනාව වඩමු

වෙසක් පුන් පොහොය දා සුජාතා සිටු දියණිය පිළියෙල කර දුන් පැන් නොමුසු කිරිබත පිළිගත් බෝසතාණෝ අසලින් ගලා බස්නා නේරංජන නදියට පැමිණ, පළමුව ජලස්නානය කළාහුය. අනතුරුව කිරිබත වළදා පාත්‍රය ගඟෙහිම පා කොට යවා ශ්‍රී මහා බෝධිය අබියසට පැමිණ, පනවන ලද අසුනෙහි වැඩ හිඳ ‘මාගේ අභිමාර්ථය ඉටුවන තෙක් නො නැගිටිමි’ යි අධිෂ්ඨාන කර ගත්හ. එතැන් සිට උන්වහන්සේ තමන් මෙයට පෙර පුරුදු පුහුණු කර තිබූ ‘ආනාපානසති’ භාවනාව වඩන්නට පටන් ගත්හ. තමන්ගේ ඤාණ දර්ශනයෙන් සියල්ල වටහා ගැනීමේ ශක්තිය තමන් තුළ තිබෙන බව තරයේම විශ්වාස කළහ.

පළමුවන යාමයේ හෙවත් පැය සතරක් පමණ ඉකුත් වූ විට තමන් මෙම සසරේ මෙතුවක් කලක් ආ මඟ සියලු තොරතුරු ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගත හැකි ‘පුබ්බේනිවාසානුස්සති ඥානය පහළ විය. තවදුරටත් බවුන් වඩන්නට වූහ. තවත් පැය කිහිපයකින් මධ්‍යම යාමයෙහි උන්වහන්සේට ‘දිබ්බචක්ඛු’ හෙවත් දිවැස ලබා ගැනීමට හැකි විය. කර්ම විපාක සහ ඒවාට අනුව මැරෙන උපදින සත්ත්වයන් පිළිබඳවත්, තම තමන් කරන කර්ම ඔවුන්ටම බලපාන ආකාරයත්, පැවසීමට හැකියාව ලැබුණි. තවත් පැය කිහිපයක් තිර අදිටනින් බවුන් වැඩූ උන්වහන්සේට අලුයම් යාමයේ තමන්ගේ සකල ක්ලේශයන් ප්‍රහීණ කිරීමටද, එහි ප්‍රතිඵලයක් වශයෙන් සියලු සසර බැඳීම් ලිහා දමමින් සතර මඟ සතරඵල පිළිවෙලින් රහත්භාවය සමග ‘සර්වඥතා ඤාණය’ ලබා ගැනීමට හැකිවිය. අවර දිගින් වෙසක් සඳ බැස යමින් තිබිණ. සිසිල් සුළඟ සමග ළහිරු කිරණින් මුළු ලොව එකලු විය. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින්ම නිවන්මඟ අවබෝධ කර ගත්හ.

මෙසේ අවබෝධ කර ගත් නිවන පිළිබඳවත් එය ලබාගත හැකි ආකාරය පිළිබඳවත්, එමඟින් ලැබිය හැකි සැපය පිළිබඳවත්, පුහුදුන් සත්ත්වයා වෙත පැහැදිලි කැර දුන්හ. වසර හතළිස්පහක් මුළුල්ලේ දිනකට දෙපැයක් පමණක් විවේක ගනිමින්, ඉතිරි පැය විසි දෙකම ලෝ සතුනට නිවන් මග පහදා දෙනු පිණිසම කැප කළහ. එහි දී උන්වහන්සේ අවධාරණයට ලක් කළ කරුණු කිහිපයක් ඇත. එනම්,

1. සියලු දෙනාටම නිවනෙහි සුවය අත්විඳිය හැකිය.

2. ඒ සඳහා තම තමන් විසින්ම උත්සාහ කළ යුතුය. තථාගතයන් වහන්සේ මඟ කියා දෙනු ඇත.

3. නිවන ලබා ගතහැකි වෙනත් මාර්ගයක් හෝ ධර්මයක් නැත.

4. මෙම මාර්ගය සොයාගත්තේ තථාගතයන් විසින් ස්ව උත්සාහයෙන් ස්ව ප්‍රඥාවෙනි. එමනිසා ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂව ඔබටද කියාදිය හැකිය.

5. මා අනුව කටයුතු කළොත් ඔබටද මෙම භවයෙහිදී හෝ නොදුරු භවයක නියත වශයෙන්ම නිවනෙහි සුවය අත්විඳිය හැකිය.

6. නිවන ලබා ගැනීමට කල් යැවීම සුදුසු නැත. දැන් එයට ඉතා සුදුසු අවස්ථාව එළඹ ඇත.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කර දුන් නිවන යනු කුමක්ද? යන්න කෙටියෙන් හෝ සිතා බැලීම “උපසමානුස්සති” භාවනාවේදී බෙහෙවින්ම වැදගත් වේ. මෙකල බොහෝ උපාසක උපාසිකාවන් සිතන්නේ ‘නිවන’ යනු සියලු සැප සම්පත්වලින් ආඪ්‍ය වූ ලෝකයන් වශයෙනි. ‘නිවන් පුරේ රුවන් දොරටු’ ‘නිවන් දොරේ රුවන් යතුරු’ ‘නිවන් පුර’ වැනි යෙදුම් එවැනි වැරැදි මතවලට හේතුවූවා විය හැකිය. බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව එලෙස සැප සම්පත්වලින් පිරුණු නිවන් පුරයට වැද සැප විඳීම විය යුතුය.

ලෝකෝත්තර මාර්ග සංඛ්‍යාත විශිෂ්ට නුවණින් දැකගත යුතුª වූ, ඇසින් දැකිය හැකි වර්ණයක් හෝ සමාන කොට දැක්විය හැකි දෙයක් හෝ නැත්තා වූ, ආරම්භය, පැවතීම, නැතිවීම වශයෙන් දැක්විය හැකි සීමාවන් නැත්තා වූ සියලු දිසාවෙන් ඇතුළුවිය හැකි තොටුපලක් මෙන්, සියලු දිසාවෙන් බබළන්නා වූ, නිර්වාණය නමැති ධාතුවක් ඇත. එම නිර්වාණ ධාතුවෙහි පඨවි, ආපෝ, තෝජෝ, වායෝ, නමැති සතර මහ භූ®තයන් නොපවතියි. නිර්වාණ ධාතුව නිසා ඒ සියල්ල නිරුද්ධ වේ. නිර්වාණ ධාතුවෙහි දික් බවක්, කෙටි බවක්, කුඩා බවක්, මහත් බවක් ලස්සන හෝ අවලස්සන බවක් යන සියලු රූප සටහන් නොමැත. එහි නාමරූප දෙකම යළි ඇති නොවන පරිදි ශේෂයක් නොමැතිව නිරුද්ධ වෙයි. ඒ නිර්වාණ ධාතුවෙහි පරිනිර්වාණ චුති චිත්තය, මතු උපදින්නට හේතු වන කර්ම විඥානය, යන විඥාන දෙකෙහි නිරෝධයෙන් කියන ලද ඒ උපදින්නක නාම රූප සියල්ලම යළි ඇති නොවන පරිදි, ශේෂයන් නොමැතිවම නිරුද්ධ වේ. පංචස්කන්ධයන්ගෙන් හට ගන්නා සියලු දුක් සන්සිඳීම, ‘ නිවන’ වශයෙන් සැළකිය හැක. නිවනෙහි ඇසින් දැකිය හැකි රූප සටහනක් නැත. නිවන අසවල් වස්තුව වැනිය කියා උපමා කළ නොහැක. නිවන සෑම තැනකම ඇත. කොතැනක සිට වුවද නිවන ප්‍රත්‍යක්ෂ කළ හැකිය. ‘එත්ථ නාමංච රූපංච අසේසං උපරුඣති’ යන බුදු වදනට අනුව ඉතා සූක්ෂම වූ හෝ, මහත් වූ හෝ කිසිම නාම ධර්මයක් හෝ රූප ධර්මයක් නිවනෙහි නොමැත.

‘මහණෙනි, නිර්වාණ සංඛ්‍යාත ආයතනයක් ඇත. එහි කර්කශ ලක්ෂණ පඨවි ධාතුවක් ද නැත. ආබන්ධන ලක්ෂණ ආපෝ ධාතුවද, පරිපාචන ලක්ෂණ තේජෝ ධාතුවද, විෂ්කම්භණ ලක්ෂණ වායෝ ධාතුවද නැත. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකිංචාඤ්ඤායතන, නේවසංඤ්ඤානාසඤ්ඤායතන යන චිත්තයන්ද නැත. නිවන මේ ලෝකයද නොවේ. පරලොවද නොවේ. එහි චන්ද්‍ර, සූර්ය දෙදෙනෙක් නැත. මහණෙනි, ඒ නිවන සත්ත්වයන් එන තැනෙකියි නොකියමි. යන තැනැකැයි ද නොකියමි. සත්ත්වයන් නැවතී සිටින තැනකැයි ද නොකියමි. මැරෙන උපදින තැනකැයි ද නොකියමි. එය සංස්කාරයන්ගේ නැවත නැවත ඉපදීම වශයෙන් පැවැත්මක් නැති ස්වභාවයක්මය. දුක්ඛයාගේ් අන්තය ඒ නිවාර්ණ ධර්මය වෙයි. යනුවෙන් බුදුන් වදාළ මෙම කරුණු වලින් නිවන කුමන ආකාරයේ ස්වභාවයක්ද කියා ඔබට වැටහෙනන්නට ඇතැයි සිතමි.

‘උපසමානුස්සති’ භාවනාව නම් නිවනෙහි ගුණ සිහි කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ නිවන අරමුණු කැර ගෙනමය. සුදුසු පූර්ව කෘතීන් සිදුකළ යුතුය. බුදුරජාණන් වහන්සේව මල් පහන් පුදා, භාවනා අසුනක් පිළියෙල කැර ගෙන එහි වාඩි වී බුද්ධාදී උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුවද නොසැලෙමි’ යන දැඩි අදිටනින් භාවනාවට සූදානම් විය යුතුය. අනතුරුව ත්‍රිවිධ රත්නයට මගේ් ජීවිතය පූජා කරමි, ආචාර්ය උපාධ්‍යායන්ට මගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන්ම ජාති ජරා, මරණ දුක් වලින් මිදෙමි’ යි යනුවෙන් ප්‍රාර්ථනා කිරීම සුදුසු ය. එසේම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයනට මෙත් වැඩි යුතුය. මෙම පූර්ව කෘත්‍යයක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය. නොයෙක් අරමුණු වලින් සිත නිදහස් කර ගත යුතුය. අනතුරුව නිවන පිළිබඳ මෙනෙහි කළ යුතුය. එනම් නිවන වනාහි විරාගිය මදනිම්මදය පිපාස විනය, ආලය සමුග්ඝාතය, වට්ටුපච්ඡේදය, තණ්හකඛය, නිර්වාණය ආදී වශයෙන් එහි ගුණයන් සිහිපත් කළ යුතුය. මෙම ගුණ පිළිබඳ ඉතා කෙටියෙන් මෙසේ හැඳින්විය හැකිය.

විරාග - රාගය අංශු මාත්‍රයක් හෝ නොමැත. එබැවින් විරාගය වෙයි.

මදනිම්මදය - පුරුෂ මද, ස්ත්‍රි මද, යොබ්බන මද, ආරෝග්‍ය මදය, ජාති මදය, කුලමදය නොමැති හෙයින් මදනිම්මද වෙයි.

පිපාස විනය - කාම පිපාසය නිවනෙහි නොමැත.

ආලයසමුග්ඝාතය - සියලු ඇලීම්, බැඳීම්, ආශාවන් නිවනෙහි නැත.

වට්ටුපච්ඡේදය - නිවනෙහි ජාති, ජරා, මරණාදි සියලු දුක් නැත

තණ්හක්ඛය - කාම, භව, විභව ආදී සියලු තණ්හාවක් නැති කළ නිසා තණ්හාක්ඛය නම් වෙයි.

නිර්වාණය - සියලු වාණ සංඛ්‍යාත ඇලීම්, බැඳීම් නැති නිසා නිර්වාණ නම් වෙයි.

මෙයට අමතරව නිවනෙහි ගුණ වශයෙන් මෙසේ මෙනෙහි කළ හැකිය. නිවන වනාහි ප්‍රත්‍යයන් නූපන් නිසා අසංඛ්‍යතය. නිවන සත්‍යය නිසා සච්චය. නිවන ජරාවක් නැති නිසා අජරය. නිවන ස්ථිර නිසා ධුවය. නිවන තෘෂ්ණා පසුතැවිලි නැතිනිසා නිප්පඤ්චය. නිවන මරණ නැති නිසා අමරය. කෙළෙස් නැති නිසා සිවය. උපද්‍රව නැති නිසා ඛෙමය. අභූ®තපූර්ව නිසා අබ්භූතය. අතර්ත නැති නිසා අනතිතය. දුක්නැති නිසා අව්‍යාජජ්ජය, පිරිසිදු නිසා විසුධිය කාම, භව, දිට්ඨි, අවිජ්ජා චතුර් ඕඝ නැති නිසා දීපය. සසර දුකින් එතෙර කරන නිසා තානනය.

මෙසේ යළි යළිත් නිවණෙහි ගුණ සිහි කරන විට නීවරණ යටපත් වී ධ්‍යානයන්ගේ ඉපැදීම සිදුවෙයි. විතක්ක, විචාර, පී‍්‍රති, සුඛ, ඒකග්‍රතාව යන ධ්‍යාන අංග පහළ වෙයි. එමගින් උපචාරධ්‍යානය ලැබෙයි. උපසමානුස්සති භාවනාව වැඩීමෙන් බුද්ධ ගෞරවය දියුණුවීම නිවන කෙරෙහි යොමුවීම, උපසමමානුස්සති භාවනාව දියුණු වීම, භාවනා පී‍්‍රතිය බහුලවීම, භාවනා ඤාණය දියුණු වීම, නිවන අරමුණු කැරගෙනම සිත පැවතීම, ධ්‍යානයට පූර්වභාග පි‍්‍රතිය ඇතිවීම, කෙළෙස් සන්සිඳී කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග සුඛය ඇතිවීම, අංග සම්පූර්ණ උපචාර ධ්‍යානය ආදී අනුසස් ලැබෙන බව සඳහන් වේ. මෙම ආනිසංස එකවිට ලැබිය නොහැක. සිහිනුවණින් දිරිමත්ව වඩන විට ක්‍රම ක්‍රමයෙන් සියලු ආනිසංසයෝ පහළ වෙති.

උපසමානුස්සති භාවනාව වඩන යෝගියාගේ ශරීරය පවා චෛත්‍යයක් මෙන් පිදීමට සුදුසු වෙයි. ඔහුගේ සිත ‘නිවන’ වෙතම නැමී තිබෙයි. යම්කිසි පාපයක් කිරීමට සිතිවිල්ලක් ඇතිවූ විගස නිවන පිළිබඳ සිහිපත් වෙයි. ඒ නිසාම පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මේ ආත්මයේ මගඵල නොලැබුනහොත්, ඒකාන්තයෙන්ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී වෙයි.

ස්මා භවේ අප්පමාදං - කයිරාථ සුමේධසෝ

ඒවං මහානුභාවාය - උපසමානුස්සති සදා’

යනුවෙන් සඳහන් පරිදි, මහානුභාවසම්පන්න වූ උපසමානුස්සතිය නුවණැති ඔබ විසින් පුරුදු පුහුණු වී අප්‍රමාදීව වැඩීමට අධිෂ්ඨාන කැර ගත මැනවි.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]