UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 චීන බෞද්ධ සත්‍ය කතා

එක් කලෙක චීනයේ ඇංහියු ප්‍රාන්තයේ වුවුයි හි ලියාං චියාෂවු නමැති කරණැවෑමියෙක් ජිවත් වූයේය. ඔහුගේ හිස්මුදුනේ හිසකෙස් ඉතා අඩුව මුවකුගේ හිස් මුදුනක් සේ දිස්විය. ඔහුට මීයකුගේ මෙන් කුඩාවූ දිලිසෙන ඇස් තිබුණේය. ඔහු දැකුම්කළු පුද්ගලයකු නොවේ. යමකුගේ බාහිර පෙනුමේ කඩවසම් බව එතරම් ප්‍රශ්නයක් නොවූවත් අභ්‍යන්තර දැකුම්කළු භාවය තිබේනම් ඔහු සත්පුරුෂයකු වන්නේය. ලියාං නමැති මේ කරණැවෑමියා අභ්‍යන්තරයෙන් ද දැකුම්කළු නොවීය. නිරන්තරවම අඬදබර කරන සුළු අවිචාරවත් පුද්ගලයෙක් වූ ඔහු තම ක්‍රියා කලාපය දියුණු කරගැනීමට හෝ අෂික්ෂිත ඇවැතුම් පැවැතුම් වෙනස්කර ගැනීමට හෝ කිසිදු උත්සාහයක් නොකෙළේය. ඒ සියල්ලටම වඩා ඔහු මහා කෑදරයෙක් ද වූයේය. ඔහුගේ ප්‍රියතම ආහාරය වූයේ ගෙඹි මස් ය. සමහර චීන ජාතිකයින් ගෙඹි මස් නොහොත් මැඩියන්ගේ මස් වලට ව්‍යවහාර කෙළේ “වෙල් කුකුල් මස්” කියාය. “වෙල් කුකුළු” මසින් තොර කෑම වේලක් ලියාං ට කෑම වේලක් නොවේ. සෑම කෑම වේලකටම ඔහු ගෙඹි මස් එක් කෙළේය. ගෙඹි මස ඉතා රසවත් ලෙස පිසින ක්‍රම දුසිමටත් වැඩි ගණනක් ලියාං දැන සිටියේය.

ඔහුට ම ගැලපෙන පාප මිත්‍රයින් බුරුත්තක් ද ඔහු වටා සිටියෝය. ඔවුන් හැම දෙනාම ප්‍රකාශ කරන්නේ “වෙල් කුකුළු මස් සකස් කිරීමට ලියාං චියාෂව් පරදවන්නට කිසිවෙක් ඒ ප්‍රදේශයේ නැති” බවය.

ලියාංගේ ඒ දක්ෂතාවය ඔවුන් වර්‍ණනා කරත්ම තව තවත් ගෙම්බන් ඝාතනයකොට සූප සකස් කිරීම ඔහුගේ සිරිත විය. ඒ නිසාම ඔහු වැඩි වැඩියෙන් ගෙම්බන්ගේ ජීවිත හානි කෙළේය. ස්වකීය සතුරන් සමූල ඝාතනය කරන්නාක් මෙන් ලියාං ගෙම්බන් සොය සොයා මරා තමාගේත් තම යහළුවන්ගේත් සිත් පිනවීමේ ක්‍රියාව දිගටම කරගෙන ගියේය. වයස අවුරුදු හතලිහ ඉක්මවූ මැදිවියේ පුරුෂයකු වනතුරුම මේ ක්‍රියාදාමය අඛණ්ඩව ඔහු කෙළේය.

එක් රාත්‍රියක ලියාං තද නින්දේ පසුවෙද්දී මුලු වට පිටාවම මහත්සේ දැඟලිලි සහිත කලබලකාරී ස්වභාවයක් දැනුණේය. වහා නින්දෙන් පිබිදුණ ඔහු මවිතයට පත්කරමින් තමා නිදන ඇඳ පුරාම ගෙම්බන් ඒ මේ අතර පනිනු දක්නට ලැබුණි. ඇඳ ඇතිරිල්ල මත, කොට්ට මත පමණක් නොව ඇඳේ විට්ටම් උඩ පවා මැඩියෝ පැන පැන නටති. මුලු ඇඳම එකම ගෙඹි විමානයකි.

“පුදුමයි” යනුවෙන් තමාටම කියාගත් ලියාං “හරි මං දන්නව ගෙම්බන්ට කරන වැඩේ” කියමින් ගෙම්බන් එක්කොට විශාල කුණ්ඩහට්ටියකට දමා වසා නැවතත් නිදන කාමරයට ගියේය. ඔහු වඩාත් මවිතයට පත්කරමින් කලින් සිටිය ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් ගෙම්බන් ඇඳ ආක්‍රමණය කර තිබෙනු දුටුවේය. මුළු රාත්‍රිය පුරාම ඔහුට සිදුවූයේ ඇඳේ පිරී සිටි ගෙම්බන් ඉවත්කොට භාජනයට දැමීමට ය.

පසුවදා ස්වකීය මිත්‍රයින් හමුවූ අවස්ථාවේ මේ අරුම පුදුම සිදුවීම ගැන කී ඔහු ඉකුත් රාත්‍රියේ කළ ගෙඹි අස්වනු නෙලීම ගැන වර්‍ණනා කළේය. ඔහුගේ මිත්‍රයින්ට එම ප්‍රකාශය පිළිගැනීමට තරම් සාක්ෂි නොවූ බැවින් පිළිගත්තේ නැත.

එක්වරම මහ හඬින් කෑගසා තම උරහිසට අත්ගසා පිසදමමින් “ආයිමත් ගෙම්බො ඇවිත්” යනුවෙන් හොල්මන් කරන්නට පටන් ගත්තේය.

ඔහුගේ එක් මිත්‍රයෙක් කියා සිටියේ “මට නම් කිසිම දෙයක් පෙනෙන්නේ නැත” කියාය.

ලියාං කෑගසමින් “මෙන්න හරියටම මෙතන මගේ ඇස් බැම උඩ ගෙම්බෙක් මෙන්න තව එකෙක් මගේ හිසකෙස් අස්සෙ” කලබලකාරී කුලප්පුවකින් කාමරය දෙවනත් කෙළේය. නමුත් ඔහුගේ මිත්‍රයින් මේ පෙරළිය බලාසිටි නමුත් කිසිදු ගෙම්බෙක් හෝ අමුත්තක් හෝ දැක ගන්ට නොහැකි විය. නමුත් ඔවුන්ට දැකගත හැකිවූයේ උමතුවෙන් මෙන් කලබල කරන ලියාං තම දැලිපිහිය ගෙන ඇස් බැම හා හිසකෙස් බූගා දමන අන්දමය. නමුත් එහි කිසිවකු එකම ගෙම්බෙක්වත් දැක නැත. ඔහු “උමතු වෙලා” යයි මිත්‍රයෝ මුමුණනන්ට වූහ.

එයින් අනතුරුව ලියාං සෑම දිනකම ගෙම්බන් තමාට පහර දෙන බව කියමින් තමා ආක්‍රමණය කරන බවට මුරගා කියනු ඇසුනි. තම දැලි පිහිය ගෙන ගෙම්බන්ගෙන් ගැලවීමට ඔහු කළ වෑයම අසාර්ථක විය. ගෙඹි ආක්‍රමණය මැඩ පැවැත්වීමට ඔහුට නොහැකි විය. ඔහු උදව් ඉල්ලා තම මිත්‍රයන්ට ඉතා බැගෑපත් ලෙස කන්නලව් කළ නමුත් ඔවුන්ට කළ හැකි දෙයක් නොවුණි. ඔහු දැඩිලෙස හය වසරක් පුරා උමතුව දුක්විඳ අවසානයේදී කිසිදු පිහිටක් නැතිව මිය ගියේය.

ගෙම්බන් සමග වසර හයක් පුරා ඔහු කරන ලද අරගලයෙන් ජයක් ලැබුවේ ද? ගෙම්බන් අවසානයේ ඔහුගෙන් පළි ගත්තේ ද? නැතිනම් ඔහු සිහි විකල් වූවෙක් ද? මේ එකද ප්‍රශ්නයකටවත් පිළිතුරු දීමට නොහැකි ය. නමුත් සියලු දෙනාම දැන සිටි එකම සත්‍යය නම් ලියාං විශාල වශයෙන් කරන ලද සත්ව ඝාතනයේ බරපතල පාපය මෙලොවදීම පල දී ඇති බව ය.

පරපණ නසන්නවුන්ට එලොවදී මෙන්ම මෙලොවදීත් පිළිසරණක් නැත. ඔවුහු අප්‍රමාණ දුක් වේදනාවලට ලක් වෙති.

LOVE OF LIFE ඇසුරෙන් සකස් කෙරිණි.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]