UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වෙන්නේ ඇසළ පුන් පොහොය කේන්ද්‍ර කර ගනිමිනි. මහා දේවාලය හා සම්බන්ධ විචිත්‍රවත් සිදුවීමත් මේ මංගල්‍යයයි. එහි දී නක්‍ෂත්‍රානුකූලව සියලු කටයුතු ඇරඹීම එක් විශේෂත්වයකි. උදාහරණයක් ලෙස කප් සිටුවීම සඳහා ‘රත් කරව්’ ගසක් කැපීමේ සිට දිය කැපීම දක්වා සියලු කාර්යයන් ඇරඹෙන්නේ නැකැත් අනුවය.

ඇසළ මාසය ලක්වැසි බෞද්ධ අබෞද්ධ සියලු ජනතාවටත්, ලංකාව කෙරෙහි ඇල්මක් දක්වන විදේශීයයන්ටත් මහත් සතුටක් ගෙන එන කාල පරිච්ඡේදයකි. ඊට හේතුව ශ්‍රී ලාංකේය සංස්කෘතියත්, අනන්‍යතාවත් විදහා දැක්වෙන ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යයන් පැවැත්වෙන්නේ මේ මාසයේදී වීමයි. කතරගම, මහනුවර, දෙවිනුවර ඇතුළු බෞද්ධ පූජනීය සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පෙරහර ඇතුළු මහා සංස්කෘතික මංගල්‍ය පැවැත්වෙන්නේ ඇසළ මාසයේදී ය. මේ ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ වාර්ෂික ව පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යය පිළිබඳ කරුණු සාකච්ඡා කරන්නට ය.

ජනාවාසයක් වශයෙන් කතරතම ඉතිහාසය අප නොදන්නා ඈත අවදියක් දක්වා විහිදී යතත්, ක්‍රි.පූ 6 වන සියවස දක්වා ඒ පිළිබඳව කථා කරන්නට තරම් ප්‍රමාණවත් සාක්ෂි දැනට අප හමුවේ නොමැත. මේ නිසා සාධක සහිත ව කතරගම ඉතිහාසය ගැන අපට කථා කරන්නට සිදුවන්නේ ක්‍රි.පූ. 6 වන සියවසේ සිට ය.

බුදුරජාණන් වහන්සේ තුන් වැනි වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී සංචාරය කළ, වැඩ සිටි ස්ථාන අතර, කතරගම ද එකක් වූ බව ධාතුවංසයෙහි සඳහන් වෙයි. මහාඝෝෂ නම් ග්‍රාමණී (ගම්පති) වරයකුට අයත් කතරගම පිහිටි කිහිරි උයනක රහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන්වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි බව එහි විස්තර වන අතර, ඒ සිදුවීම නිසා ම පූජනීයත්වයට පත් එම ස්ථානයෙහි ආරක්ෂාව උන්වහන්සේ විසින් ම මහාඝෝෂ වෙත පැවරූ බවත් කියැවේ. දේව ගෝත්‍රිකයකු වන මහාඝෝෂ බුදු බණ අසා තෙරුවන් සරණ ගියා පමණක් නොව සෝවාන් ඵලයටද පත් වූ බව එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් විස්තර වෙයි. වර්තමාන කිරිවෙහෙර සෑරදුන් ඉදිකර ඇත්තේ ඒ කිහිරි උයනෙහි ය.

මහින්දාගමනය සිදුවූයේ ඉන් වසර 300 කට පමණ පසු දේවානම් පියතිස්ස රජ සමයේදී ය. ඒ පිළිබඳ විස්තර මහාවංසයෙහි දීර්ඝ වශයෙන් සඳහන් වෙයි. මහින්දා ගමනය සිදුවන විටත් කතරගම වෙන ම ස්වාධීන රාජ්‍යයක් ව පැවැති බවට සාධක තිබේ. එනම්, මහින්දාගමනයෙන් මාස 5කට පමණ පසු සංඝමිත්තා මෙහෙණිය විසින් දඹදිව සිට රැගෙන ආ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරයේ මහමෙවුනා උයනෙහි රෝපනය කිරීමේ මහෝත්සවයට කතරගම ක්‍ෂත්‍රියයන් ද සහභාගී වූ බව මහාවංසයෙහි සඳහන් ව තිබීමයි. රාජකීය අමුත්තන් සේ එම උළෙලට සහභාගි වූ කතරගම ක්‍ෂත්‍රියයක්ට මහ රජුගෙන් ලැබුණු තිළිණය වූයේ යට කී බෝධි ශාඛාවෙන් හටගත් බෝධි අංකුරයක් හිමිවීම යි. ඔවුහු එය මහත් ගෞරවයෙන් රැගෙනවිත් තම රාජ්‍යයෙහි රෝපණය කළහ. කතරගම පූජා භූමියේ වර්තමාන මහා දේවාලයට නුදුරින් දක්නට ලැබෙන පැරණි බෝධි වෘක්ෂය ඒ අෂ්ටඵල රුහ බෝධිය බව පිළිගනු ලැබේ.

සෝවන් ඵලයට පත් මහාඝෝෂ කතරගම ජාන පදිකයන්ගේ අති මහත් ගෞරවාදරය දිනාගත් පාලකයකු වීම නිසා මරණින් පසු දේවත්වාරෝපනයෙන් පිදුම් ලබන්නට වූ අතර ‘මහසේන දෙවි’ යන නාමයෙන් හැඳින්වෙන්නට ද විය. එතුමාගේ වාසස්ථානය වූයේ ‘වැඩ සිටි කන්ද’ නමින් හැඳින්වෙන කතරගම කඳු පංතියේ උස් ම කඳු ප්‍රදේශය යි.

දේවානම්පිය තිස්ස රජුගේ සොහොයුරු මහානාග යුව රජු මාගම අගනුවර කර ගනිමින් රෝහණ රාජ්‍යය ආරම්භ කළේ මේ පසුබිම තිබියදී ය. ඒ වන විටත් වෙන ම රාජ්‍යයක් ව පැවැති කතරගම, දස බෑ රජුන් යටතේ පාලනය විය. මහානාගගේ ඇවෑමෙන් යටාල තිස්සත්, ඔහුගේ ඇවෑමෙන් ගෝඨාභයත් රුහුණේ රජු බවට පත් වූ අතර, දස බෑ රජුන් ඝාතනය කර කතරගමත් රෝහණ රාජ්‍යයට යටත් කර ගත්තේ ගෝඨාභය විසිනි. ඔහුගේ ඇවෑමෙන් කාවන්තිස්ස ද අනතුරුව සිංහලයේ වීරයා බවට පත් වූ දුටුගැමුණු ද රුහුණේ පාලනය ගෙන ගිය බව වංසකථාවල සඳහන් වෙයි. මේ වනවිට රටේ ප්‍රධාන අගනුවර ලෙස පැවැති අනුරාධපුරය වසර 44 ක් තිස්සේ ද්‍රවිඩ පාලනයට නතුව පැවතිණ.

රුහුණේ පාලකයා බවට පත් වු දුටුගැමුණුගේ එක ම අභිලාශය වූයේ ද්‍රවිඩයන් පරදවා සිංහල බලය ස්ථාපිත කොට සම්බුද්ධ ශාසනය බබුළුවා ලීමය. ඒ සඳහා අවශ්‍ය කුදු මහත් සියලු කාර්යයන් කාවන්තිස්සයන් විසින් සපුරා තිබූ හෙයින් දුටුගැමුණුට තිබුණේ සටන් මෙහෙයැවීම පමණි. ඔහු ඊට සූදානම් විය.

එළාර රජු, ජනතාවගේ සිත්දිනා ගත් සාධාරණ පාලකයකු විණැයි මහාවංසය සඳහන් කරයි. එසේ ම සේනා ශක්තිය අතින්ද ඉතා ප්‍රබලයකු විය. එවන් සතුරකු හා සටන් කිරීමත්, සටනින් ජය ලැබීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අවබෝධ කරගත් දුටුගැමුණු රජතුමා, සටනට යාමට පෙර කතරගමට අධිගෘහිත මහාසේන දෙවිඳුන්ගෙන් පිහිට පතා බාරයක් විය. රජුගේ බාරය වූයේ යුධයෙන් ජය ලදොත්, මහසෙන් දෙවිඳුන් උදෙසා අලංකාර දේව මන්දිරයෙක් ඉදි කරවන බවයි.

රජු අපේක්ෂා කළ පරිදි ම සටනින් ජයග්‍රහණය අත්වීම නිසා, තම පොරොන්දුව පරිදි මහසෙන් දේවාලය ඉදිකර වූ බව ‘කන්ද මාලය’ නමැති ග්‍රන්ථයෙහි සඳහන් ය. මහසෙන් දෙවිඳුන් වැඩ සිටි කන්දේ සිට ඊයක් විදීමෙන් දේවාලය ඉදි කළ යුතු ස්ථානය පෙන්වා දුන්බවත්, වර්තමාන මහා දේවාලය ඉදි වී ඇත්තේ එම ස්ථානයේ බවත් මහා දේවාලයේ වාර්තාවලින් කියැවේ. වර්තමානයේ අපට දක්නට ලැබෙන්නේ් දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද දේව මන්දිරය මැදිකොට පසු කාලීනව විශාල කර ඉදිකළ දේව මන්දිරය යි.

දේවාලයේ දෛනික පුද පූජා විධි සහ වාර්ෂික ව පැවැත්විය යුතු පෙරහර උත්සව ආදී සියල්ල නියමකොට ඒ සඳහා බස්නායකවරයකු සහිත තේවා මඬුල්ලක් පත් කරන ලද්දේ ද රජතුමා විසිනි. පළමු බස්නායක තනතුර සඳහා පත්කර ඇත්තේ රජුගේම බෑණා කෙනෙකු බව ප්‍රවාදගත ය.

කිරිවෙහෙර, අෂ්ටඵලරුහ බෝධිය, මහසෙන් මහා දේවාලය යන ත්‍රිත්වයේ සමාවායයෙන් නිර්මාණය වූ කතරගම පූජා භූ®මිය, බැතිමතුන්ගේ සිතැඟි ඉටු කරමින් ද, සැදෑ බැතිය දියුණු තියුණු කරමින්ද, වසර දහස් ගණනක් තිස්සේ අවිච්ඡින්නව පැවත එයි. කවර තත්ත්වයන් යටතේ් වුවද ඉපැරණි සම්ප්‍රදායයන් ආරක්ෂා කරමින් ජාතියේ අනන්‍යතාව ලොවට කියාපාමින් පැවත එයි. ඉතිහාසයේ සෞභාග්‍යමත් අවධිවල දී මෙන්ම දුර්භාග්‍ය සම්පන්න අවධිවල දී ද පූජා භූ®මියේ අනන්‍යතාව රැක ගැනීමට එහි පාලනාධිකාරිය සමත් වූ බව ඉතිහාසය අපට පෙන්වා දෙයි.

කතරගම පූජා භූ®මියේ යටගියාව එසේ වුවත්, වර්තමාන කතරගම දකින්නට ලැබෙන්නේ අතිශය සංකීර්ණ ස්වභාවයකි. අද වනවිට බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් ආදී ආගම් භේදයකින් තොරව කතරගමට ඒකරාශි වන ජනතාව, එක ම දෙවියකුගේ පිළිසරණ පතා පුද පූජාවන්හි නිරත වෙති. සමාජය තුළ විද්‍යමාන වන සකල විධ භේද භින්නතාවන් අමතක කර දමා ප්‍රකෘති මනුෂ්‍ය ස්වභාවය මූර්තිමත් කරමින් උරෙනුර ගැටී ක්‍රියා කරති. මානව විද්‍යාත්මක පක්ෂයෙන් මෙය ඉතා ම අගනා ප්‍රවණතාවයකි.

කතරගම දෙවියන් පිළිබඳ ව විවිධ මති මතාන්තර නිර්මාණය වීමට ද මේ ස්වභාවය බලපා ඇති බවක් පෙනේ. වෛදික සාහිත්‍යයේ එන ස්කන්ධ කුමාර සංකල්පය කතරගම දෙවියන් වෙත ආරෝපණය කරන හින්දු බැතිමත්හු හින්දු දේව සම්ප්‍රදායයන්ට අනුව දේව පූජා පවත්වති. බෞද්ධයෝ බෞද්ධ සම්ප්‍රදායට අනුව දේව පූජාවල නිරතවෙති. වෙනත් ආගමිකයෝ කතරගම දෙවියන් ඉතා බලසම්පන්න දේවතාවකු ලෙස සලකා දේව පූජාවල යෙදෙති. මේ කරුණු නිසා කතරගම දේවාලය ආශි‍්‍රත ව හින්දු දේව සංස්කෘතියේත් බෞද්ධ දේව සංස්කෘතියේත් සංකලනයක් විද්‍යමාන වෙයි.

කතරගම දෙවිඳුන්ට පූජෝපහාර දැක්වීමේ අරමුණින්, ශරීරයේ කටු, කොකු ආදිය ගසා ගැනීම, දේවාල භූ®මියේ පෙරළෙමින් යාම, ගිනිකබල් හිස තබාගෙන යාම, කාවාඩි නැටීම, ගිනි පෑගීම ආදියෙහි යෙදෙන බැතිමතුන් අපට දැක ගන්නට ලැබේ. ඒ සියල්ල අත්තකිලමථානු යෝගයට වැටෙන බෞද්ධ සම්ප්‍රදායට පටහැනි ක්‍රියාවන් වෙයි. මේ සියල්ල කතරගම පූජාභූමියට එක් වූයේ පසු කාලීනව ය. එනම් කතරගම දෙවියන්ට හින්දු දේව සංකල්පය ආරෝපනය වීමෙන් පසු ය. කාවාඩි නැටීමත්, ගිනි පෑගීමත් හැර ඉහත දැක්වූ ශාරීරික හිංසන පූජා විධිවල යෙදෙන්නේ හින්දු බැතිමතුන් පමණි. කාවාඩි නැටීමට හා ගිනි පෑගීමට දැන් බෞද්ධයෝ ද අනවබෝධයෙන් එක් වී සිටිති. බෞද්ධ දර්ශනයට පටහැනි එබඳු සියලු පුද සිරිත් කතරගමට එකතු වූයේ පොළොන්නරු යුගයෙන් පසු ව ය. ඒ ඒ යුගයේදී බහුල වශයෙන් හින්දු ආගමික බලපෑම් අපේ රටට එල්ල වූ කාල පරිච්ඡේදයක් බව අපේ ඉතිහාසයෙන් සනාථ වෙයි.

ඌව වැඩබලන ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළ සී. ඒ. ජෝන්ස් මහතාගේ රාජකාරි දින සටහන් අනුව, කතරගම ඇසළ උත්සවයට ගිනි පෑගීමේ අංගය එක්වී ඇත්තේ් ක්‍රි.ව. 1935 දී ය. කාවාඩි නැටීම ඉතා මෑතකදී එක් වූවකි.

කතරගම පූජා භූ®මියෙහි සිදුවන එබඳු ක්‍රියාකාරකම් දකින්නකුට, කතරගම දෙවිඳුන් හින්දු දෙවියකු ලෙසත්, එතුමා වෙනුවෙන් පැවැත්වෙන පුද පූජා හින්දු දේව සංස්කෘතිය නිරූපණය කරන්නක් ලෙසත් හැඟීමක් ඇතිවීම ස්වාභාවිකය. එක් අතකින් ඒවා බෞද්ධ ඉගැන්වීම්වලට පටහැනි වීමත්, අනිත් අතින් වෛදික දේව සංස්කෘතියේ ගති ලක්ෂණයනට අනුකූල වීමත් නිසා ය. එහෙත් මෙහි දී බොහෝදෙනා නොදන්නා බොහෝ දේ ඇත. මේ ලිපියෙන් අප වෑයම් කරන්නේ ද ඒ පිළිබඳ ව දැනුම්වත් කිරීමක් කරන්නට ය.

කතරගම මහා දේවාලයේ අභ්‍යන්තර ක්‍රියාකාරකම් සහ බාහිර ක්‍රියාකාරකම් වල විශාල වෙනසක් ඇති බව බොහෝ දෙනෙක් නොදනිති.

බාහිර ක්‍රියාකාරකම් තුළින් විද්‍යාමාන වන හින්දු දේව සංස්කෘතික ලක්ෂණ අභ්‍යන්තර ව්‍යුහය හා ක්‍රියාකාරකම් වල විද්‍යමාන නොවේ.

දුටුගැමුණු යුගයේදී දුටුගැමුණු රජතුමා විසින් කතරගම දේවාලය ඉදිකරන ලද බව ඉහත සඳහන් විණි. එවක් පටන් වර්තමානය දක්වා ම මෙම දේවාලය හඳුන්වන්නේ රුහුණු කතරගම මහසෙන් මහා දේවාලය’ නමිනි. එහි කතරගම යන පදය යෙදී ඇත්තේ කරුණු දෙකක් නිසා ය. එකක් පිහිටි ස්ථානය හැඳින්වීමයි. අනික මහසෙන් දේවතාවා අධිගෘහිත ප්‍රදේශය අවධාරණය කර දැක්වීමයි.

රුහුණු කතරගම මහා දේවාලය පිහිටා ඇත්තේ බෞද්ධ පූජනීය භූ®මියක් වූ පරිශ්‍රයක් තුළ ය. එනම්, කිරිවෙහෙර අෂ්ටඵලරුහ බෝධිය සහ කිරි විහාරය නමින් හැඳින්වෙන ප්‍රතිමා ගෘහය ආශි‍්‍රත පරිශ්‍රයේ ය. හින්දු දේව සංස්කෘතියට සම්බන්ධ විවිධ දෙවි දේවතාවුන් සඳහා වූ දේවාල රාශියක් වර්තමානයේ දී කතරගම පූජා භූමියෙහි අද අපට දක්නට ලැබේ. ඒ සියල්ල පිහිටා ඇත්තේ එකී පරිශ්‍රයෙන් පරිබාහිරව ය. දේවාල පරිශ්‍රය තුළ ඇත්තේ බුදුදහම හා සබැඳියාවක් ඇති දෙවිවරුන් වෙනුවෙන් මෑතක දී ඉදිවුණු දේව මන්දිර කීපයක් පමණි.

මහා දේවාලයේ අභ්‍යන්තරය පිළිබඳව අපට කථා කරන්නට සිදුවන මුල්ම කාරණය එහි තේවා මඬුල්ල ය. දුටුගැමුණු සමයේ සිට අද දක්වා ම මහා දේවාලයේ බස්නායක නිලමේවරයාගේ සිට සියලු ම තේවා මඩුල්ල සිංහල බෞද්ධයන් ය. (පළි ගැනීමේ චේතනාවෙන් දේවාල පරිපාලනය ඉතා සුලු කාලයකට ඉංගී‍්‍රසින් විසින් බලහත්කාරයෙන් හින්දු පූජකයන්ට පැවරූ බවක් වාර්තාවෙයි. වර්තමානයේ සියලු ම කපු මහත්වරුන් ඇතුළු නිලධාරීන් තෙරුවන් සරණගිය, බෞද්ධ ප්‍රතිපදාවන්ගෙන් සංවර වූ රත්නත්‍රයට ප්‍රමුඛත්වයක් දෙමින් දේව කාරියෙහි යෙදෙන පිරිසකගෙන් සමන්විත ය.

වසර දහස් ගණනක් තිස්සේ අවිච්ජින්නව පවත්වාගෙන එන කතරගම මහා දේවලයේ සම්ප්‍රදායයන් අතර, දෛනික ව පැවැත්වෙන දේව පූජාවත් වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍යයත් සුවිශේෂී පූජා චාරිත්‍ර ලෙස සඳහන් කළ හැකිය. දිනපතා ම අලුයම 4.00 ටත්, පෙරවරු 10.00ටත් පස්වරු 7.00ට ත් දේව පූජාව පවත්වනු ලැබේ. මෙහිදී සිදුවන්නේ දේවාලයට අයත් කුස්සියේ දී පිළියෙල කෙරෙන අහාර දෙවියන් වෙත පිදීමයි. එය හදුන්වන්නේ ‘මුළුතැන් බෑම’ යන විශේෂ පදයෙනි.

මුළුතැන් බෑම සඳහා දේවාලයට අයත් කුඹුරුවලින් වී සැපයෙන අතර, එක් එක් දිනකට අවශ්‍ය සහල් ප්‍රමාණය සකස් කරන්නේ මුළුතැන් ගෙයි දීම වී කොටා ගැනීමෙනි. එය ආලත්ති අම්මලා සතු කාරියකි. එක් වේලක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 03 ක් පමණ යොදා ගැනේ. ඒ සියලු කාර්යයන් සම්ප්‍රදායානුකූල ව සිදුවන්නේ දැයි අධීක්ෂණය කිරීම දේවාලයේ ලේකම්ට භාර ය.

දෛනික ව සිදුවන දේව පූජාවට ප්‍රථමයෙන් බුද්ධ පූජාව පැවැත්වීම අනිවාර්ය ය. මෙය බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. ඒ සම්බන්ධ සාම්ප්‍රදායික ක්‍රම වේදයක් ද වෙයි.

තේවාව භාර කපු මහතා, බුද්ධ පාත්‍රයත්, දේව පූජාව සඳහා යොදා ගන්නා මණ්ඩය ( විශේෂිත බඳුනකි) ත් තමන් ආහාර ගන්නා භාජනයත් මේසය මත තබයි. ඉන් පසු දේවාල මුළුතැන් ගෙහි පිසූ ආහාර එක්තරා රටාවකට ඒ භාජනවලට බෙදනු ලැබේ. එනම්, බුද්ධ පාත්‍රයට එක් හැන්දක්, මණ්ඩයට හැඳි තුනක්, තම පිඟානට එක් හැන්දක් වශයෙන් වාර කීපයක් බෙදීමයි. එහිදී මණ්ඩයට වැඩි ප්‍රමාණයක් බෙදන්නේ, පූජාවෙන් පසු බැතිමතුන්ට බෙදා දීමට අවශ්‍ය නිසාය. භාජන පිරුණු පසු කපු මහතා ප්‍රථමයෙන් කරන්නේ බුද්ධ පූජාව ගෙන ගොස් පිදීමයි.

මහා දේවාලයට නුදුුරින් ‘කිරි විහාරය’ නමින් හැඳින්වෙන ප්‍රතිමා ගෘහය ඉදිකර ඇත්තේ ඒ සඳහා යි. දේව පූජාව මහා දේවාලය තුළට රැගෙන යන්නේ බුද්ධ පූජාව නිම වීමෙන් පසුව ය. සවස කාලයේ දී බුද්ධ පූජාව ස¼ඳහා යොදා ගන්නේ විශේෂිත පාන වර්ගයන් ය.

දේව පූජාවට කලින් බුද්ධ පූජාව පවත්වන ලොව එක ම දේවාලය රුහුණු කතරගම මහසෙන් මහා දේවාලයයි.

මහා දේවාලය විවෘත කෙරෙන්නේ දේව පූජා පැවැත්වෙන වේලාවන්හිදී පමණි. බැතිමතුනට දේවාලය තුළට පිවිසීමට ඉඩ සැලසෙන්නේ ද ඒ අවස්ථාවේ පමණි.

කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වෙන්නේ ඇසළ පුන් පොහොය කේන්ද්‍ර කර ගනිමිනි. මහා දේවාලය හා සම්බන්ධ විචිත්‍රවත් සිදුවීමත් මේ මංගල්‍යයයි. එහි දී නක්‍ෂත්‍රානුකූලව සියලු කටයුතු ඇරඹීම එක් විශේෂත්වයකි. උදාහරණයක් ලෙස කප් සිටුවීම සඳහා ‘රත් කරව්’ ගසක් කැපීමේ සිට දිය කැපීම දක්වා සියලු කාර්යයන් ඇරඹෙන්නේ නැකැත් අනුවය.

ඇසළ මංගල්‍යයට පෙරහර 15 ක්, ගිනි පෑගීම හා දිය කැපීම යන අංග ඇතුළත් වෙයි. කලින් සඳහන් කළ පරිදි දිය කැපීම හා ගිනි පෑගීම මහා දේවාලය තුළ නොව බාහිර ව සිදුවන චාරිත්‍රයන් ය. එසේ ම ඒවා හින්දු දේව සංස්කෘතියේ ආභාසයෙන් සැකසුණු ඒවා ද වෙයි. ඇසළ මංගල්‍යයෙහි ‘පෙරහර’ විශේෂත්වයක් උසුලන්නේ වසර දහස් ගණනක ඉතිහාසයක් ඒ හා බැඳී පවත්නා බැවිනි. මහා දේවාලයෙන් පෙරහර පිටත්වන සෑම දිනකම, පෙරහර පිටත්වීමට ප්‍රථම කිරිවෙහෙර විහාරවාසී භික්ෂූන් වහන්සේලා දේවාලය තුළට වැඩම කරවා පිරිත් දේශනා කර ආශිර්වාද කිරීම සෑම දිනකම සිදුවේ. පෙරහර කරවන බලධාරීන් පිරිත් පැන් ලබා ගැනීමත්, දේවාලය තුළ පිරිත් පැන් ඉසීමත් සම්ප්‍රදායය යි.

පිරිත් දෙසා පිරිත් පැන් ඉසින, ලොව එක ම දේවාලය කතරගම මහා දේවාලයයි.

මුල් දිනවල දී මහා පෙරහරේ ගෙන යන්නේ දේවාභරණ සහිත දේව ප්‍රතිමාවක් වුවද, මහ පෙරහරෙහි සර්වඥධාතු කරඬුව වැඩමවීම චිරාගත සම්ප්‍රදායයි. අවසාන මහා පෙරහර කිරිවෙහෙර චෛත්‍ය මළුව දක්වා ම ගමන්කොට පෞරාණික චාරිත්‍ර - වාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරු ව කතරගම දෙවියන්ටත්, පෙරහර කාර්යය සාර්ථක කර ගැනීමට ආධාර උපකාරී වූ සියලු දෙනාටත් පින් අනුමෝදන් කෙරේ. අවසානයේ දී කිරි වෙහෙර විහාරවාසී භික්ෂුන්ට පඬුරු පිදීමේ චාරිත්‍රයක් ද පැවැත්වේ. එසේ කරන්නේ මහා දේවාලයේ බෞද්ධ ආගමික වත් පිළිවෙත් ඉටු කිරීමේ කාර්ය භාරය රාජ නියමයෙන් කිරි වෙහෙර විහාරස්ථානයට පැවරී ඇති බැවිනි. ‘පිරිත් නිලය’ නමින් එය හැඳින්වේ. පෙරහර කටයුතු නිමවන්නේ බස්නායක නිල නිවසෙහි පැවැත්වෙන සංඝගත දක්ෂිණාවකිනි.

හින්දු සමය මෙන් ම බුදු සමය ද දෙවියන්ගේ පැවැත්ම පිළිගනී. හින්දු දෙවිවරු සර්වබලධාරීහු වෙති. බෞද්ධ දෙවිවරු තමන්ට පුද සත්කාර පවත්වන බැතිමතුන්ට පිහිට වීමේ කාරුණික ගුණයෙන් යුත් සම්‍යග් දෘෂ්ටිකයෝ වෙති. බෞද්ධ දෙවිවරුන් සතුටු කළ හැක්කේ පින් අනුමෝදන් කිරීමෙනි. ඔවුන් වෙනුවෙන් යාග හෝම- බලි බිලි පැවැත්වීමක් නැත. ඒවා බෞද්ධ සම්ප්‍රදායට පටහැනි බැවිනි.

හින්දු දේව සංස්කෘතියෙහි දී මුල් තැනක් ලැබෙන්නේ යාග හෝම, බලි බිලි ආදියට ය. වෛදික සාහිත්‍යයේ විස්තර වන අශ්ව මේධ, පුරුෂමේධ, වාජපේය වැනි බිලි පූජා බුදු දහම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. බෞද්ධ දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීමේ දී උපයෝගි කරගන්නේ තෙල්, මල් හඳුන්කූරු පළතුරු කැවිලි පෙවිලි ආදිය පමණි.

කතරගම මහා දේවාලයෙහි දක්නට ලැබෙන්නේ බෞද්ධ ආගමික පසුබිමකි. එහි බාහිර ක්‍රියාකාරකම් තුළ හින්දු දේව සංස්කෘතියේ සමහර ලක්ෂණ විද්‍යමාන වුවත්, අභ්‍යන්තර ක්‍රියාකාරකම් තුළින් සපුරා ම විද්‍යාමාන වන්නේ බෞද්ධ දේව සංස්කෘතියයි. බාහිර බලපෑම් කෙතෙක් එල්ල වුවත්, බාහිර ක්‍රියාකාරකම් කවර ආකාරයෙන් සම්මිශ්‍රණය වුවත්, කතරගම මහසෙන් මහා දේවාලය තුළින් තවමත් ඉස්මතුවන්නේ බෞද්ධ සම්ප්‍රදාය මත හැඩ ගැසුණු දේව සංස්කෘතියකි.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]