UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සසුනඹරෙහි පායන සඳ

අහසේ පුන් සඳ බැබළෙන රැයක් කොතරම් සෞම්‍යද? සිතට අපූර්ව ශාන්තියක් පි‍්‍රයභාවයක් හා ගතට සිසිලක් ලබාදීමට පුන් සඳ සමත් වෙයි. කවර තරාතිරමක අයෙකුට වුවද ඒ ශාන්තිය සාධාරණව සම සේ ලැබෙයි. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියද සම්බුද්ධත්වය ද පරිනිර්වාණයද සිදුවූයේ අහස් කුසට පුන් සද එළඹුණු දිනවලදීය. අද ද පුන් සඳ පායා ඇති දිනක ලැබෙන්නේ ඒ ආලෝකය ම ය.

සඳ උපමා කොට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා ත්‍රිපිටක ධර්මයෙහි බොහෝ තැන් හි හමුවෙයි. පාපයෙන් මිදී ධර්මයෙහි චර්යාගත වන තැනැත්තා වළාකුලින් මිදුණු සඳක් සේ බබලන්නේය යි උන්වහන්සේ වදාරා ඇත. යමෙක් මුල දී දහමෙහි ප්‍රමාද වුවත් පසුව අප්‍රමාද වන්නේ නම් ඔහු ද එලෙසම බබළන බව දක්වා ඇත. යමෙක් කරන ලද පව් ඔහුගේම කුසලයෙන් වසාලයි ද ඔහුද සඳක් මෙන් බබලයි.

මේ උපමා අතුරින් වඩා අර්ථවත් අදහස් ප්‍රකට වන්නේ මේ ශාසනයෙහි භික්‍ෂුව සඳට උපමා කරන දක්වන තැන්හිදීය. යම් භික්‍ෂුවක් ළදරු වුවත් බුදු සස්නෙහි මනාව පිහිටියේද ඒ භික්‍ෂුව වළාකුලින් මිදුනු සඳක් සේ මේ ලොව බබළවන බව ධම්ම පදයේ භික්ඛු වග්ගයේ අවසාන ගාථාවෙන් පැහැදිලි කෙරෙයි. භික්‍ෂුව සඳට උපමා කර දක්වන අපූර්ණ විවරණයක් සං නි.ධ්ධ් නිදාන වග්ගයේ කස්සප සංයුක්තයේ චන්දූපම සූත්‍රයේ දැක්වෙයි. එහි භික්‍ෂුව දායකයා කෙරෙහි පැවතිය යුතු ආකාරය විග්‍රහ කෙරේ. එහි අන්තර්ගතය සාරාංශ වශයෙන් ගෙන හැර දක්වමින් මේ ලිපියෙන් මා උත්සාහ කරන්නේ, එම සූත්‍රය මගින් හෙළි කෙරෙන, භික්‍ෂුව සහ දායකයා අතර තිබිය යුතු සම්බන්ධතාවය පිළිබඳව දායකයා ගේ පැත්තෙන් වටහා ගත යුතු සම්භාව්‍ය කාරණා කිහිපයක් මතු කර දැක්වීමට ය. බුද්ධ කාලයටත් වඩා තත්කාලීන යුගයට ඒ කාරණා වඩාත් ගැලපේ යැයි සිතමි.

සර්වඥයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේදී මේ චන්දූපම සූත්‍රය මහා කාශ්‍යප තෙරුන් වහන්සේ අරමුණු කරගෙන වදාරමින් භික්‍ෂූන්ට අනුශාසනා කළේ, දායක ගෙවලට වඩින භික්‍ෂුව සඳක් වගේ යන ලෙසටය. දායකයින් සමග අනවශ්‍ය කුලුපගකම් නැතිව, සැම විටම අලුත් කෙනෙකුමෙන්, ආගන්තුකයෙකු මෙන්, දායකයින්ගෙන් කයත් සිතත් ඈත් කරගෙනම යන ලෙස භික්‍ෂූන්ට අනුශාසනා කළ සේක. යම් පුද්ගලයෙක් ගරා වැටුනු ළිඳක් ළඟට ගැඹුරු හෙළක් සහිත ප්‍රපාතයක් ළඟට , කැඩී ගිය ගං ඉවුරක් ළඟට ගිය විට කය සිත ඈත් කර ගෙනම එය තුළට එබී බලන්නා සේ දායක ගෙවලට ගිය විට දායකයා කෙරෙහි පැවතීම ප්‍රවේශම් සහිතවම කළ යුතු බව ඒ මගින් පෙන්වා දෙයි.

මෙහිදී කෙබඳු භික්‍ෂුවක්ද දායක ගෙවලට යන්නට සුදුසු වන්නේ යන කාරණය තව දුරටත් පැහැදිලි කරන තථාගතයන් වහන්සේ අපූරු ආදර්ශනයක් ගෙන හැර දක්වා ඇත. ස්වකීය ශ්‍රී හස්තය අවකාශයේ ඔබ මොබ චලනය කර දක්වමින්, එය අවකාශය අල්ලාගන්නේ වත් එහි ඇලෙන්නේවත් නැති බව ප්‍රදර්ශනය කළ සේක. ඒ අයුරින් දායකයා අවකාශයටත් භික්‍ෂුව ශ්‍රී හස්තයටත් උපමා කොට ගලපා ඒ අයුරින් දායකයා සමග නොඇලෙන නොබැඳෙන භික්‍ෂුව ඉහත සුදුසුකම් ලත් කෙනෙකු බවත්, ආයුෂ්මත් මහා කාශ්‍යපයන් වහන්සේ එවැනි කෙනෙකු බවත් වදාළ සේක. පින් ලබනු කැමැත්තෝ පින් ලබා ගනිත්වා, පින් කරනු කැමැත්තෝ පින් කරනු ලබත්වා යන චේතනාවෙන් සිතත් ඈත් කරගෙන , තමන්ට ලැබුනු දෙයකින් සතුටු වී ප්‍රත්‍ය ලාභයෙන් තොරවම කයත් ඈත් කරගෙන, සඳක්සේ සියලු දෙනාටම ශාන්තියක් පතුරුවමින් දායකයා වෙත වැඩිය යුතු බව සර්වඥයන් වහන්සේ වදාළහ. චන්දූපම සූත්‍රය නිම කෙරෙන්නේ භික්‍ෂුවගේ ධර්මදේශනයක් පිරිසුදු හෝ අපිරිසුදු හෝ වන ආකාරයද පැහැදිලි කර දෙමිනි.

සිව්පසයෙන් උපස්ථාන කරමින් භික්‍ෂුවගේ ජීවිතය පවත්වා ගැනීමට උපකාර කරන දායකයා කෙරෙහි මේ ආකාරයෙන් පැවතිය යුත්තේ කුමක් නිසාද යන කාරණය පිළිබඳව දැනුවත් වීම දායකයාගේ පැත්තෙන් වඩා වැදගත්ය.අද යුගයට අනුව දායකයා සමඟ ඍජුව සම්බන්ධ වන්නේ ආරාමික ජීවිතයක් ගත කරන භික්‍ෂූන් වහන්සේය. ආර්ථික බව භෝග සම්පාදනයෙහිද අඹු දරු පෝෂනයෙහිද මහ බරක් කරට ගෙන සිටින දායකයාගේ පවුල් සංචිතය ගෙදරයි. එවන් ගෙදරකින් නික්මී සබ්බ දුක්ඛ නිස්සරණය උදෙසා පැවිදි භූ®මියට පත්ව බුදු පියවර අනුව ජීවිත විහරණයෙහි යෙදෙන භික්‍ෂූන් වහන්සේගේ නිවහන ආරාමයයි. නොහොත් පන්සලයි. අරමුණු අනුව ආරාමයත් ගෙදරත් අනන්‍ය වූ දෙතැනක් වුවද, එමෙන්ම භික්‍ෂූන් වහන්සේගේත් දායකයා ගේත් කාර්ය භාරයන් දෙයාකාර වුවද, ස්ථාන හා පුද්ගල වශයෙන් එම ආයතන දෙක අතර පවතින්නේ දූරස්ථ නොවූද සමීප නොවූද ප්‍රබල සම්බන්ධතාවයකි. කාරණා අවබෝධය පිණිස ගෙන කථා කළොත් භික්‍ෂුව සහ දායකයා ශාසනය තුළ කෙබඳුද යත්, ගේට්ටුවක ගේට්ටු කණු දෙකක් සේය යි දැක්විය හැකිය.ගේට්ටු කණු දෙක කිසිවිටකත් ළං වන්නේ හෝ ඈත් වන්නේ හෝ නෙවේමය. ගේට්ටුව වනාහි මේ දෙපාර්ශ්වය විසින් දරා සිටිනු ලබන ශාසනය ‍ෙස්ය.

දායකයා ධාර්මිකව උපයා ගත් දෙයින් සිව්පසය සපයා භික්‍ෂූන් වහන්සේට උපස්ථාන කරන අතර එයට ප්‍රත්‍යුපකාර වශයෙන් ඔහු දහම් මගෙහි පිහිටුවීම භික්‍ෂුවගේ කාර්ය භාරය වෙයි. මේ ද්විපාර්ශ්වීය සංග්‍රහය සිඟාලෝවාද සූත්‍රයෙන් මනාකොට විග්‍රහ කෙරේ. මෙහිදී වඩාත් දුෂ්කර මෙන් ම පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට සිදු වී ඇත්තේ භික්‍ෂූන් වහන්සේට බව නුවණින් විමසා බලන විට පෙනේ. බුදු පියවර අනුව පිළිවෙත් වඩා තමන් වහන්සේගේ සංසාර විමුක්තිය පිණිස කටයුතු සම්පාදනය කර ගැනීමත් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට කාමභෝගී ජිවිතයක් ගත කරන දායකයාට අනුශාසනා කිරීමත් යන දෙක භික්‍ෂූන් වහන්සේගේ මූලික කාර්යයෝ වෙත්. මේ අතර දායකයාගේ ගෘහයෙහි වන බණ පිරිත්, දානමාන , පාංශුකූල, ආදි බොහෝ කටයුතු ඉටු කර දීමට භික්‍ෂුවට සිදුවෙයි. අද ප්‍රචලිතව පවතින බෝධි පූජා සංස්කෘතියට අනුව දායකයාට ආශිර්වාද සෙත් ශාන්ති කර්ම කිරීමටද ඇති නිසා දායකයා වෙනුවෙන් කළ යුතු කාර්ය ලැයිස්තුව පුළුල් වී ඇත. විහාරස්ථානයේ නඩත්තුව සඳහා කළමනාකරණයද නො නිමි පුනරාවර්තන ක්‍රියාවලියකි. තව ද භික්‍ෂූ සංස්ථාව ඛණ්ඩනය නොවී රැක ගැනීමද භික්‍ෂූන් වහන්සේට මිස දායකයාට කළ හැකි දෙයක් නොවේ. ඒ අතර පැවිදි විනය තුළ සංග්‍රහ වී වාසය කිරීමද අත්‍යවශ්‍ය වෙයි. සංඝ සමාජය තුළ කුදු මහත් සියලු කටයුතු වලටද නිරතුරුව දායක විය යුතුය. මේ පිළිබඳව සවිස්තරාත්මක දීර්ඝ විස්තරයක් ආචාර්ය වල්පොළ රාහුල හිමියෝ ස්වකීය භික්‍ෂූවගේ උරුමය නම් ග්‍රන්ථයෙන් පෙන්වා දී ඇත. දස ධම්ම සූත්‍රය භික්‍ෂුවගේ කාර්යභාරය කරුණු දහයකට සංග්‍රහ කොට දක්වා ඇත්තේය .

මේ අනුව භික්‍ෂූන් වහන්සේට බහුල වශයෙන් දායකයා සමග නිරතුරුව සම්බන්ධ වීමට සිදුවෙයි. චන්දූපම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවදියේ භික්‍ෂුව ආරාමික ජීවිතයක් ගත නොකළ නිසා දායකයා සමග නිරන්තර සම්බන්ධතා පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවිනි. නමුත් අද යුගය ඊට හාත්පසින්ම වෙනස්ය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පරිදි සඳක් සේ දායකයා සමග සිට ඉහත කී සියලු කටයුතු කාලයට ගැලපෙන පරිදි ඉටුකරන සුපේශල ශික්‍ෂාකාමි සංඝ පීතෲන් වහන්සේ අදත් සිටින බව කටපුරා කිව හැකිය.

පැරැණි ආරාමවාසි භික්‍ෂු සම්ප්‍රාය තුළ දායකයා සහ භික්‍ෂූන් වහන්සේ අතර පැවතියේ අපුර්ව ගෞරවාන්විත සංස්කෘතික බැඳීමකි. පන්සල කේන්ද්‍ර කරගෙන ගොදුරු ගමක් නිර්මාණය වූ නිසා ඒ ගම්වාසී දායකයාට භික්‍ෂූන් වහන්සේ හෙවත් අපේ හාමුදුරුවෝ සඳක් සේ වූ සේක. උන්වහන්සේට දායක පක්‍ෂයෙන් කැප අකැප දේ පිළිබඳව මනා අවබෝධයක් දායකයාට තිබුනි. ඒ දැනුවත් බව ඇති කරනු ලැබූයේද භික්‍ෂූන් වහන්සේ විසින්මය. ආගමික, අධ්‍යාපනික, සදාචාරාත්මක හා වෘත්තිමය කටයුතු කෙරෙහි උන් වහන්සේ ප්‍රධාන අනුශාසකවරයාණන් වූ සේක. නමුත් අද සමාජයේ නොයෙක් හේතුන් නිසා පොදුවේ මේ පිළිගැනීමේ පරිහානිය ලක්‍ෂණ පෙන්නුම් කරයි. නූතන අධ්‍යාපන අභිමතාර්ථවලට අනුව ගොඩනැගැනු ආකල්පමය නිර්ණායක මත ගිහි පැවිදි දෙපක්‍ෂය චීවරයෙන් පමණක් වෙන් කොට දක්වන ස්වභාවයක් ප්‍රකට වෙයි. භික්‍ෂුවගේ කැප අකැප භාවයන් පිළිබඳ නිරවුල් වැටහීමක් නැති බොහෝ දායකයෝ තමන්ගේ සිතැඟි පරිදි භික්‍ෂුව කටයුතු කළ යුතුයයි සිතති. ඒ අනුව භික්‍ෂුව අරබයා නොයෙකුත් තර්ක විතර්ක ගොඩ නගා ගනිත්, මෙකී සංකීර්ණ සමාජයේ භික්‍ෂුවට තවදුරටත් දායකයා කෙරෙහි සඳක් සේ විහරණය වීමට නො හැකි තරමට සමාජ චින්තනය ව්‍යාකූල වී ඇත. ගිහි පැවිදි දෙපක්‍ෂය අතර පැවතිය යුතු ගැඹුරු වෙනස නම් එකම ශික්‍ෂා මාර්ගයක් අනුගමනය කළ නොහැකි බව යයි බුදුරජාණන් වහන්සේ දන්ත භූමි සූත්‍රයෙන් (ම.නි.) පෙනවා දෙයි. ශාසනස්ථිතිකාමී දායකයාද මේ වෙනස මනාකොට අවබෝධ කරගත යුත්තේය.

බුද්ධ වචනය අනුව දායක පක්‍ෂය කෙරෙහි භික්‍ෂුව සඳක් සේය. දායකයා එම සඳෙන් ආලෝකය ලබන්නෙකි. නමුත් දායකයා සද අල්ලන්නට හෝ ඊට එළඹෙන්නට උත්සාහ කළොත් සසුන බිඳ වැටේ. දායකයා මේ කාරණය මනාව වටහා ගත යුත්තේය. තමා වෙත එළඹෙන්නේ කවර කෙනෙක්ද යන්න දායකයා වටහා ගත යුතු අතර තමන් යන්නේ කෙබඳු තැනකටද යන්න භික්‍ෂුන් වහන්සේද වටහා ගත යුත්තේමය. ඒ අවබෝධය ඇතිව ක්‍රියාකරන විට මේ දෙපාර්ශ්වය අතර අනවශ්‍ය බැඳීමක් හෝ ගැටීමක් ඇති වීමට හේතුවක් නැත. භික්‍ෂූන් වහන්සේ දායකයා ගේ කල්‍යාණ මිත්‍රයෙකි. පින් කෙතකි.

අපේ සමාජ සංස්ථාව තුළ භික්‍ෂූන් වහන්සේද අති ප්‍රධාන ඒකකයකි. උන්වහන්සේලා හුදෙක් දායකයාගේ බණ පිරිත් පින්කම් , පාංශුකූල, මතක බණ පිංකම්, සෙත්ශාන්ති කර්ම කරදීමට ස්ථානගත වූ හෝ සිව්පසයෙන් ගනුදෙනු කරන නිළනොලත් නියෝජිත පිරිසක්යයි අප කිසිවිටකත් කල්පනා නොකළ යුතුය. තම ගෘහයෙහි වන දාන පිංකමට, තමන්ට විශේෂ සම්බන්ධතාවයක් ඇතැයි දායකයා සිතන හිමිනමකට ආරාධනා නොකළොත් උන්වහන්සේ සිත් අමනාපයක් ඇති කර ගනීවියයි වරදවා සිතන දායකයෝ එමට ඇත. භික්‍ෂූන් වහන්සේ තුළ එවැනි සිතුවිල්ලක් කිසිවිටකත් ඇති නොවේ. උන්වහන්සේලා භික්‍ෂු සම්ප්‍රදාය හොඳින් දනිති. ඒ නිසා දායකයෝද භික්‍ෂූන් වහන්සේගේ සීමා හොඳින් වටහා ගත යුත්තේමය. තමන් කැමති භික්‍ෂූවක් වැඩමවා ගැනීමෙන් දානයේ සාංඝිකභාවය බිඳෙන බව ඔවුහු නොදනිති.

ඒ නිසා සුදුසු අවශ්‍යතා සඳහා අනුශාසනා ලබා ගැනීම පිණිස, සුදුසු තැන් වලට වැඩමවා ගැනීම පිණිස , සුදුසු අවස්ථාවලදී ධර්ම සමාගමය පවත්වා ගැනීම පිණිස දායකයාද මනා අවබෝධයකින් සිටිය යුතුය කාරණයද චන්දූපම සූත්‍රයේ දැක්වෙන භික්‍ෂූ පිළිවෙත මගින් මතුකරගත හැකි බව පෙනේ. භික්‍ෂූන් වහන්සේ වනාහි දායකයාගෙන් සිත කය ඉවත් කරගෙනම සැමවිටම ආගන්තුකයෙක් හා අලුත් කෙනෙක් වශයෙන් අනවශ්‍ය කුළුපගුකම් දායකයා සමග ඇති කර නොගෙන, දායකයාගේ ධර්මාර්ථචර්යාව පිණිසම වාසය කරනු පිණිස බුද්ධ නිර්දේශය ලබා ගත් කෙනෙකු බව දායකයා සැම විටම සිහියේ තබා ගත යුතු වනනේ ය.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 18 වන දා
ඉරිදාය.

මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]