UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීම

2010. 07. 04 පත්‍රය හා සම්බන්ධයි

අද අපි කල්පනා කළා ආහාරයේ පිළිකුල් සංඥාව පිළිබඳව කෙටියෙන් කාරණා කියලා දෙන්න.

මම හිතන්නේ අපි කවුරුත් මේක දන්න දෙයක්. පුරුදු කරන දෙයක්. පුරුදු නොකරනවා නම් පුරුදු කළ යුතු දෙයක්. සමහර අය අපෙන් අහනවා ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්නේ කොහොමද? කියලා. ආහාරයේ පිළිකුල් සංඥාව අපි බහුලව පුරුදු කළ යුතු එකක්. බහුලව වැඩිය යුතු භාවනාවක්. දිනපතා වැඩිය යුතු භාවනාවක්.

එතකොට ඒක අද පොඩ්ඩක් කරලා ආයේ සතියකින් තව ටිකක් කරනවා. එහෙම නෙමෙයි මේ භාවනාව දිනපතා කළ යුතු යි. බහුලව පුරුදු කළ යුතු යි. එතකොටයි ඒකෙන් අපිට ඒ අදාළ ප්‍රතිලාභය අත් වන්නේ. එහෙම නැත්නම් අපි ඒක අතහැරලා දානවා, මේකෙන් මොකුත් ප්‍රතිඵල නෑනේ කියලා හිතලා. අන්තිමට අපි භාවනාවට තමයි ගරහන්නේ. සුදුසු විදියට කරන්නේ නැති වුණහම අදාළ ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ.

එතකොට අපි දොස් කියන්නේ භාවනාවට. වරද කාගේද? තමන්ගේ. තමන් සුදුසු විදියට ඒක කරලා නෑ. පුරුදු කරලා නෑ. ඉතින් සුදුසු විදියට ඒක නොකරපු නිසාම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ. ඉතින් අපි කියනවා මේක හරියන්නේ නෑ. අද කාලේ මේක කරන්න බෑ. ඔය වගේ නොයෙකුත් කතා කියනවා. ඇයි සුදුසු විදියට කරලා නෑ. ඒකයි හේතුව. ඒ නිසා මේ භාවනාව දිනපතා උත්සාහ කරන්න.

එතකොට, බලන්න දිනපතා අපි මේවා කරන්න පටන් ගත්තොත්, අපිට කරන්න වැඩ තියෙනවා නේද? අපිට කරන්න වැඩ තියෙනවා. එතකොට අපිට කම්මැලිකම, එහෙම නැත්නම් නිකම් කතා කර කර ඉන්න එක, අර්ථ රහිත ගමන් ආදිය නැතිව යනවා. ඒවා එන්නේ නෑ. ඇයි? ඒ, අපිට කරන්න වැඩ තියෙන නිසා.

ඒ විදියට අපි යම් කටයුත්තක් කරන්න පටන් ගත්තොත්, අපි ක්‍රමානුකූලව යම් දෙයක් පුරුදු කරන්න ගත්තොත් ඔබට පෙනෙයි, තේරෙයි, දවසේ පැය විසි හතර මදියිනේ කියලා හිතෙයි. එතරම් ම දේවල් අපිට කරන්න තියෙනවා. ඒ නිසා ඔබ කාලය අපතේ දාගන්න එපා. ඔබ වැඩ කරන්න. තමන්ගේ ජීවිතයට වටිනා දේ එකතු කර ගන්න. එතකොට කාලය අපතේ දාන කෙනෙක් බවට පත්වෙන්නේ නෑ.

“ආහාරයේ පිළිකුල් සංඥාව“ ත් ටික ටික තමයි, පුරුදු කරන්නේ. එතකොට ඒ භාවනාව කරන්නේ කොයි වේලාවටද? ආහාර ගන්න පෙර ප්‍රත්‍යවේක්‍ෂා කරන්න ඕනැ. අපි සාමාන්‍යයෙන් කරනවා නේද? ඒක හොඳ සිහියෙන් කරන්න.

මම යෝජනාවක් කරන්නම්. ආහාර ගන්න කලින් ප්‍රත්‍යවේක්‍ෂා කරන්න. ආහාර ගන්න කොට, කොහොමද කරන්නේ? සිහියෙන් ඒ කටයුත්ත කරන්න. මුලින් ම සම්පජඤ්ඤය (සිහි නුවණ) දියුණු කර ගන්න. කලබල කර ගන්න එපා. සිහියෙන් පුරුදු කරන්න. ටික ටික හුරු වේවි කලක් යනකොට. අපිට තව දුරටත් සිහිය පිහිටුවා ගන්න අවස්ථාවක් ලැබෙයි. විඳීම් ආදී දේවල් දක්වා. ආහාරයේ රසදැනෙන කොට, අපිට පුළුවන් සිහිය පිහිටුවා ගන්න. ඒ වගේම කලබල නොවී මුලින් ම සිහියෙන් ආහාර ගන්න පුරුදු වෙන්න. කලක් යනකොට අපිට ඒ රස හැම එකක් ම තේරුම් ගනිමින් ම ආහාර වළඳන්නට පුළුවන් වනවා. ඉතින් ඒක එක පාරට බෑ නේද? ඒ නිසා මුලින් පුරුදු කරන්න සම්පජඤ්ඤය (සිහි නුවණ) පුරුදු කරමින් ආහාර ගන්න. ඒක තේරෙන්නේ නැත්නම් සතිපට්ඨාන දේශනාව බලන්න, ඒකෙ තියෙනවා.

ඊට පස්සේ ආහාර අරගෙන ඉවර වෙලා. සාමාන්‍ය භාවනාවක් කරන පිළිවෙළට ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරන්න. දානේ වළඳන කොට නෙමෙයි කරන්නේ. දාන වළඳනකොට සිහියෙන් කරන්න. එතන සම්පජඤ්ඤය (සිහි නුවණ) හුරු වෙන්නේ. පස්සේ වේදනානුපස්සනාව දක්වා අපිට දියුණු කර ගන්න පුළුවන් කම තියෙයි. තේරුණා නේද? කාරණය. එතකොට සමහර අය දානේ වළඳමින් ඉන්න අතරේ. පිළිකුලයි කියලා කල්පනා කරනවා. ඒ ගැන මොකද හිතන්නේ, එහෙම කරනවාද? ඔබ ආහාර ගනිද්දී පිළිකුලයි කියලා හිතනවාද? එහෙම මට සමහර අය කියලා තියෙනවා. ඉතින් මම අහනවා ඒ ගොල්ලන්ගෙන් දැන් අපි රස මිහිරි කෑමක් ගන්නවා. ඒ රස මිහිරි කෑම ගන්නකොට ඒක පිළිකුලයි කිය කියා හිතන්නේ ඇයි? එතකොට ඒක හරි දෙයක් නෙමෙයිනේ කරන්නේ. පඩිපෙළේ පිටිපස්සට බහිනවා වගේ. පඩිපෙළක බහින කෙනා පිටිපස්සෙන් පිටිපස්සට පඩිපෙළේ බහිනවා. එයාට ප්‍රණීත භාවයක් ඇතිවෙයිද? සුව පහසුවක් ඇති වෙයි ද? අනතුරක් ඇති වෙයි ද? අනතුරක් නේ ද තියන්නේ. ඒ වගේ රස මිහිරි කෑමක් අපි අනුභව කරන ගමන් එයා හිතනවා පිළිකුලයි මේක පිළිකුලයි කියලා හරිද? එතකොට අපිට මොකක් ද කරන්න තියෙන්නේ, රසයි නම් “රසයි” කියලා දැන ගෙන වළඳන එකයි. තිත්තයි නම් “තිත්තයි” කියලා දැනගෙන වළඳන එක. ඒ නිසා වළඳනකොට පිළිකුල යි කියලා ගන්න එපා. ඒක අර්ථයක් නෑ. වළඳනකොට මුලින් හුරු කර ගන්න සම්පජඤ්ඤය (සිහි නුවණ).සිහියෙන් ආහාර ගන්න. කලක් සිහිය පුරුදු කරනකොට “ආශාව තේරෙයි, රස තේරෙයි” එතකොට ඒ අනුව විඳීම හඳුන ගන්න පුළුවන් කම තියෙයි. කලබලයට කරන්න එපා.

මේ භාවනාව මේ විදියට පුරුදු වෙන්න. සාමාන්‍යයෙන් භාවනා කරන පිළිවෙලට වාඩි වෙලා. අපි කලින් කියලා තියෙන විදියටම හොඳට කය සෘජු කර ගෙන, සිහිය පිහිටුවගෙන හිතට ගන්න. “මම දැන් ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කර ගන්න ඕනෑ” කියලා, සිහිය පිහිටුවා ගන්න. ඒක වෙනම සංඥාවක්. දැන් අසුබය කියන්නේ වෙනම සංඥාවක්. ආහාරයේ පිළිකුල කියන්නේ වෙනම සංඥාවක්. භාවනා කරන කොට ඒ ඒ සංඥාවේ හිත පිහිටුවන්න. දැන් ආහාරයේ පිළිකුල් සංඥාව වඩනවා නම්, “මම දැන් ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කර ගන්න ඕනෑ” කියලා හිතන්න.

ඊට පස්සේ, අදාළ භාවනා මනසිකාරය ටික ටික පුරුදු කර ගන්න. භාවනා මනසිකාරය මෙහෙම කරන්න. හිතන්න. “මේ ආහාර කොච්චර සුවඳට රසට ලස්සනට පිළියෙල කරලා තිබුණත් ආහාර අතින් අල්ලපු ගමන් ඒක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි, පිළිකුල යි, පිළිකුලයි, මේ ආහාර කටට ගත්තහම කටේ තියෙන කෙල සෙම එක්ක කලවම් වෙනවා. මේක පිළිකුල් දෙයක් බවට පත්වෙනවා..ඒ නිසා මේ ආහාර පිළිකුලයි, පිළිකුලයි, පිළිකුලයි, උගුරෙන් පහළට යනකොට වෙනත් දෑ සමඟ මේ ආහාර කලවම් වෙනවා. තවදුරටත් මේක පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුල යි, පිළිකුලයි, පිළිකුලයි, ආහාර බඩට ගියාම ඒ බඩේ තියෙන නොයෙකුත් දේ සමග එකතු වෙනවා. වමනය බවට පත්වෙනවා. මේ ආහාරය ඉතාම පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි, පිළිකුලයි, පිළිකුලයි, බඩ වැල් වලට ගියහ ම මේ ආහාරය අසූචි බවට පත්වෙනවා. ඉතාම දුර්ගන්ධ දෙයක් බවට පත්වෙනවා. මේ ආහාර පිළිකුලයි පිළිකුලයි, පිළිකුලයි. මේ ආහාරය අනුභව නොකර තිබ්බත්, පිළුනු වෙලා දුර්ගන්ධය හමන දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාරය පිළිකුලයි, පිළිකුලයි, පිළිකුලයි, මේ ආහාර උයන්නේ නැතුව තිබ්බත් ඒත් කුණු වෙලා පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. දුර්ගන්ධය හමන දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි, පිළිකුලයි පිළිකුලයි.”

මෙන්න මේ විදියට ඒ භාවනාව මනසිකාරය පුරුදු කර ගන්න. කෙටියි. ගොඩාක් නෑ, ඉතින් ආපහු මුල ඉඳන් මෙනෙහි කරන්න. විශේෂයෙන්ම මතක කියා ගන්න, දැන් අසුභ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව, මේ වගේ භාවනා කරන කොට මතක තබා ගත යුතු කාරණයක් තියෙනවා. අසුභ භාවනා හෝ ආහාරයේ පිළිකුල් සංඥාව හෝ වේවා වඩන කෙනෙකුට අප්පිරියාවක් එනවා නම්, ඒක වැරදියි. අප්පිරියාවක් එන්න බෑ. මොකද භාවනාවක් කිරීමෙන් අපිට උපදින්න ඕනෑ ප්‍රනීත බවක්, සුව පහසුවක්. ඒ භාවනා කිරීම නිසා අපිට පීඩාවක් එනවා නම් අපි කරපු විදිහ වැරදියි.

ඒ නිසා විශේෂයෙන් අසුභ භාවනාව, ආහාරයේ පිළිකුල වගේ භාවනා කරන කොට ඉහතින් පෙන්වා දී තිබෙන වචන ටික ප්‍රමාණවත් කියලා අපි හිතනවා. නොයෙකුත් වචන දදා පිළිකුල් හැඟීම් උපදවා ගන්න එපා.

පිළිකුල් ස්වභාවයක් ගැන කල්පනා කළාට, අපිට පිළිකුලක් උපදිනවා නම් ඒක වැරදියි. පිළිකුල කියන්නේ සැප ද දුක ද දුකයි. ඉතින් අපි භාවනාවක් කරලා දුකක් උපදිනවා නම්, ඒක අර්ථය නෙමෙයි නේද? ඒක අර්ථයක් නෙමේ. එහෙනම් භාවනාවකින් දුකක් උපදින්න බෑ. දුකක් ඉපදුනොත් ඒක වැරැදියි කරපු විදිහ වැරැදියි. ඒ නිසා සමහර අය නොයෙකුත් වචන දදා පිළිකුල් ස්වභාව උපදවා ගන්න කල්පනා කරනවා. එහෙම කරන්න එපා.

මතු සම්බන්ධයි

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 18 වන දා
ඉරිදාය.

මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]