UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පුරාණ භාරතයේ පුද බිම් කපිලවස්තු පුරය

ශාක්‍යයන්ගේ කපිලවාස්තු රාජධානියේ අගනුවර වූයේ කපිලවාස්තු පුරයයි. සිදුහත් කුමාරයා උපත ලැබූ ලුම්බිණි සල්උයනද අයත් වූයේ කපිලවාස්තු රාජධානියට ය.

කපිලවාස්තුපුරය හිමාලය කඳු පාමුල පිහිටි රමණීය නගරයක් ලෙසින් බෞද්ධ සාහිත්‍යයට අයත් දීඝනිකායෙහි සඳහන් වේ. භාගිරතී ගංගා තීරයෙහි කපිලවස්තු පුරය පිහිටි බව අම්බට්ඨ සූත්‍රයේ දැක්වේ. තවද, සක නම් ගස්වලින් පිරුණු ප්‍රදේශයක් ලෙසින් ද එහි සඳහන් වේ.

ප්‍රාග් ඓතිහාසික කාලයේ දී කෝසල රාජ්‍යයේ ඹක්කාක වංශික රජු විසින් පිටුවහල් කරන ලද කුමාරවරුන් විසින් කපිල මුනිවරයාගේ උපකාරය ඇතිව කපිල වාස්තුපුරය බිහිවූයේ ය. (කෝසල රාජ්‍යයේ ඔක්කාක රජු සූර්ය වංශයට අයත් වූයේ ය.) ශාක්‍ය සහ කෝලිය වංශිකයින්ගේ උත්පත්තිය පිළිබඳ ජනප්‍රවාදයක් බෞද්ධ සාහිත්‍යයෙහි ඉතාම පුරාණ ග්‍රන්ථයක් වන සුමංගල විලාසිනියෙහි සඳහන් වේ.

ශාක්‍යයන්ගේ උපත

ඒ අනුව ඔක්කාක රජතුමාගේ ප්‍රථම බිසව මිය ගිය පසුව දෙවන බිසවක් ආවාහ කරගත්තේ ය. එම දෙවන බිසවට පුතෙක් ලැබුණු පසුව ඇය විසින් රජුගෙන් ඉල්ලීමක් කරන ලදී. එම ඉල්ලීම නම් රජුගෙන් පසුව රජකම තම පුතාට (දෙවන බිසවගේ) ලබා දෙන ලෙසත්, පළමු බිසවගේ දරුවන් නව දෙනාම රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙස ය.

ඒ අනුව එම දරුවන් (පළමු බිසවගේ) කොසොල් රජතුමා විසින් රටින් පිටුවහල් කරන ලදී. ඔවුන්ගෙන් පුතුන් හතර දෙනෙකි. දූවරු පස් දෙනෙකි. පුතුන් හතර දෙනා මෙසේ ය. උල්කමුඛ කරන්ඩු හස්තිනික, සහ සිනිසුරය. එම දියණියන් පස් දෙනාගේ නම් මෙසේ ය. පි‍්‍රයා, සුපි‍්‍රයා, ආනන්දා විජිතා, සහ විජිත සේනා ය.

පිය රජුගේ නියමය අනුව සාකේත අගනුවර හැර දමා දරුවන් මහවනයට ගියහ. ඔවුහු හිමාල අඩවියේ කඳු පාමුල ප්‍රදේශයක පදිංචි වූහ. ඒ අසළ කපිලමුනිවරයාගේ අසපුව ද, පිහිටියේ ය. කපිලමුනිවරයා ඔවුන්ට එම ප්‍රදේශයේ පදිංචියට උපකාර කළේ ය. මේ නිසා එම ප්‍රදේශය කපිලවාස්තු, කපිල නගර යන නමින් ප්‍රකට වූයේ ය. මෙසේ කෝසල රාජ්‍යයේ ඔක්කාක රජුගේ දරුවන් විසින් කපිලවාස්තු පුරය නිර්මාණය කරන ලදී.

මේ දරුවන් මව්වරුන් දෙදෙනෙකුගේ යැයි ද මතයක් පවතී. කෙසේ වූවද ඒ දියණියන් අතරේ සිටි පි‍්‍රයා මව් රැජිණ ලෙසින් ද උල්කමුඛ රජු ලෙසින් ද කපිලවාස්තු රාජ්‍යයේ රජ වූහ. අනෙකුත් කුමාරවරු සහ කුමාරියන් විවාහ වන වයස එළඹෙන විට ආවාහ, විවාහ කර ගත්හ. මෙසේ ශාක්‍යවංශය ඇතිවිය.

මේ අතරේ කෝසල රාජ්‍යයේ ඔක්කාක රජු සිය දරුවන් ගැන සොයා බැලුවේ ය. ඔවුන් නගරයක් ඉදිකර එහි වාසය කරන බව පිය රජතුමා දැන ගත්තේ ය. එයින් ඉමහත් පී‍්‍රතියට පත් වූ කෝසල රාජ්‍යයේ ඔක්කාක රජු (පිය රජු) ඔවුන්ට අනුග්‍රහය දැක්වූයේ ය.

කෝලිය වංශිකයන්ගේ උපත

ඉහතින් සඳහන් කළ පි‍්‍රයා රැජිනට සුවකළ නොහැකි බෝවන රෝගයක් වැළඳුනේ ය. එම නිසා කපිලවස්තු රාජධානියෙන් පිට ප්‍රදේශයක ලෙනක වාසය කිරීමට ඇයට සිදුවිය. බන රසහි රජ වූ රාම රජුට ද එම රෝගය ම වැළඳී ඒ අසළ ලෙනක වාසය කළේ ය. කෝලන් නම් වූ ගසක් යට සිටි නිසා රාම රජුගේ රෝගය සුව වූයේ ය. ඒ අතරේ පි‍්‍රයා කුමාරිය ඔහුට හමු වූයේ ය.

රාම සහ පි‍්‍රයා දෙදෙනා ඔවුනොවුන් කතාබහ කරද්දී රාම විසින් සිය රෝගය සුව කරගත්තේ කෝලන් නම් ගසක් යට සිටීම නිසා බව ඇයට කීවේ ය. ඇයට ද එම රෝගය සුවපත් වූ පසුව දෙදෙනා විවාහයට පත්ව දෙව්දහ නමින් පුරයක් ඉදිකර එහි වාසය කළහ. එය පිහිටියේ කපිලවාස්තු පුරයේ නැඟෙනහිර මායිමෙහිය. කෝලියවංශය ඇති වූයේ එසේ ය.

කෝලිය රට දෙවදහ, ව්‍යාඝුපුර, කෝලිනගර, හා රාම ග්‍රාම යන නම් වලින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. දේවදහපුරයේ කෝලිය නගරය කපිල වස්තු රාජ්‍යය යටතේ වූ බවත්, රාම ග්‍රාමය නිදහස් රාජ්‍යයක් ලෙසින් පැවති බවත් සමහර විද්වත්හු පෙන්වා දෙති.

කපිල වාස්තු පුරයේ ශාක්‍ය වංශිකයින් සහ දේවදහපුර කෝලිය වංශිකයින් අතර පසුව ආවහ විවාහ සිදු වූ බව දක්නට ලැබේ. උදාහරණ ලෙසින් ශාක්‍යවංශික සුද්දෝදන රජතුමා කෝලිය වංශික ගෞතමී හා මහා මායා දේවිය ආවාහ කරගත්තේ ය.එමෙන්ම සිදුහත් කුමාරයා ආවාහ කරගත් කුමරිය වූ යසෝදරා දේවිය ද කෝලිය වංශික කුමාරියකි. කපිලවස්තු රාජ්‍යයේ සිද්ධාර්ථ කුමාරයාගේ පිය පාර්ශ්වයෙන් සහ මව්පාර්ශ්වයෙන් අසූදහස බැගින් පවුල් සාමාජිකයෝ සිටි බව රිස් ඩේවිඩ්ස් මහතා සඳහන් කරයි. කපිලවස්තු රාජධානියේ බුද්ධ කාලයේ ජනගහනය ඔහුගේ ගණනය අනුව මිලියනයක් පමණ වේ.

(ඊ.එ. අඩරඵ ඤචමඪඤඵ, ඕභඤඤඩඪඵබ, ධ්දඤඪච – 1970 න 9 ) කපිලවාස්තු පුරය සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29 ක් ම වාසය කළ ප්‍රදේශය ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ශ්‍රාවස්තියේ සිට රාජ්ගිර් තෙක් වැටී තිබුණු මහාමාර්ගය කපිලවාස්තු රාජධානිය තෙක් තිබුණි. බුදුරජාණන් වහන්සේගේ පස්වග මහණුන් වහන්සේලා ද කපිලවාස්තු රාජධානියේ පුරවැසියෝ වූහ.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 18 වන දා
ඉරිදාය.

මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]