UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීම

කටු වලින් නිදහස් වෙන්න කල්පනා කරන්න. කටු වලින් නිදහස් වීම සඳහා කැමැත්ත උපදවා ගන්න. ඒ කටු තියෙන්නේ හිතේ. බාහිර නෙමේ. අපි කල්පනා කරනවා බාහිර තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ් කියලා නෑ. හිතේ තමයි මේ කටු තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගත්තොත් අපි ඒවා ගලවා ගන්න කල්පනා කරනවා. ආන්න ඒ සඳහා තමයි මේ එක් එක් භාවනා පුරුදු විය යුත්තේ.

2010.06.19 පත්‍රය හා සම්බන්ධයි

සමහර අය ඉන්නවා, අසුභ භාවනාව පුරුදු කරනකොට, ආහාර පිළිබඳ රුචිය අඩුවෙන බව කියන අය. එහෙම වෙනව නම් ඒත් වැරදි යි. මතක තියාගන්න සමහර විට ආහාර රුචිය නැතිවෙනවා. අසුභය වඩන කොට අප්පිරියාව උපදිනවා නම් ඒකත් වැරදි යි. කරන විදිහ වැරදියි. ඒකයි විවිධ විදිහේ වචන පාවිච්චි කර කර පිළිකුල වඩන්න එපා කියලා කියන්නේ.

මොකද හේතුව මේ භාවනා කිරීමෙන් පිළිකුල් හැඟීමක් උපදවා ගැනීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අර්ථය වෙන්නේ පිළිකුල් හැඟීමක් උපදවා ගැනීම නෙමේ. දැන් ආහාරයේ පිළිකුල් සංඥාව කියල කියනවා. එහෙම කිව්වට ඒකෙන් ආහාරය පිළිබඳ පිළිකුලක් උපදවා ගැනීම නෙමෙයි කරන්නේ. අර්ථය වෙන්නේ ඒකෙන් අපේක්ෂා කරන්නේ, රස තෘෂ්ණාව දුරුකර ගැනීම. රස පිළිබඳව තියෙන ආශාව දුරුකර ගැනීම. නමුත්, ඒකෙන් එයාගේ් ආහාර රුචියට හානි වෙන්නේ නෑ. ආහාර රුචිය නැති වෙලා යන්නේ නෑ. එයාට ආහාර ගන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. එතකොට ඒ කාරණා හොඳට මතක තියාගන්න.

මේ කාරණා නොදැන අපි වරද්ද ගන්නවා. මේවා දැනගෙන ආහාරයේ පිළිකුල් සංඥාව හොඳින් පුරුදු කර ගන්න. ඒකත් ටික ටික තමා කරන්නේ. ටික ටික කරමින් පුරුදු කර ගන්න. මේ භාවනාවෙනුත් අපිට සමාධිය උපදවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාධිය කිවුවහ ම ඉහළ සමාධි උපදවා ගන්න පුළුවන්. බොජ්ඣංග ධර්ම හත ම දියුණු වෙන භාවනාවක්. විශේෂයෙන් ආහාරය පිළිබඳ රස තෘෂ්ණාව දුරුකර ගන්න පුළුවන් භාවනාවක්. ඉතින් ඒක විශාල ලාභයක් අපි කන බොන කබලිංකාර ආහාරය පිළිබඳ ඇල්ම දුරුකර ගන්න පුළුවන් වුනොත් ඒක සුළු පටු ලාභයක් නෙමේ. අසාමාන්‍ය ලාභයක්. ප්‍රමාණ කරන්න බැරි ලාභයක්.

ඒ නිසා අපිට තේරෙන දෙයක්, පිළිගත යුතු දෙයක් තමයි, මේක ලෙහෙසි දෙයක් නෙමේ. ආහාර පිළිබඳ තෘෂ්ණාව දුරුකිරීම ලෙහෙසි නෑ. හැබැයි ඒකට තියෙන ක්‍රමය තමයි මේක. ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීම. ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීමෙන් රස තෘෂ්ණාව ක්‍ෂය වෙලා යනවා.

ඒ නිසා මේ භාවනාව පුංචියි කියලා සරල යි කියලා අත හරින්න එපා. සරල විදියට තිබුනට ඒකෙ ප්‍රතිඵල මහත් ඵල යි.

ඒ නිසා මේ භාවනාව අඛණ්ඩව පුරුදු කර ගන්න. බහුල වශයෙන් කරන්න පුරුදු වෙන්න. දවසට දෙතුන් සැරයක් කරත් කමක් නෑ. තමන්ට පුළුවන් පුළුවන් විදියට කරන්න. මුලින් විනාඩි පහක් කලත් කමක් නෑ.

කරමින් කාලය වැඩිකර ගන්න. විනාඩි පහක්, දහයක්, පහළොවක්.... ඒ විදිහට කාලය වැඩිකර ගන්න ටික ටික. එතකොට අපිට කලක් යනකොට කරන්න වැඩ තියෙනවා ඕනෑ තරම්. එතකොට කම්මැලිකමට ඉඩක් නෑ. නිකන් කතා කර කර ඉන්න වෙලාවක් එන්නෙ නෑ අපිට. ඇයි කරන්න වැඩ තියෙනවා නේ ද? දැන් අපිට කරන්න වැඩ නැත්නම් තමයි ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. කරන්න වැඩ තියෙනව නම් අපිට අනවශ්‍ය කතා වලට වෙලාවක් නෑ.

දැන් අපිට භාවනා කීපයක් පුරුදු කරන්න තියෙනවා. පොත්පත් බලන්ට තියෙනවා. එතකොට අනවශ්‍ය දේ කරන්ට අපිට වෙලාවක් තියෙනවාද? නෑ. කඩියෝ වගේ් වැඩ. කඩියන්ට තියෙනවාද? නිදහසක්. නෑ නේද? එයා ඉතා වේගයෙන් වැඩ කරනවා. එයාට වෙනත් දේකට වෙලාවක් නෑ. අන්න ඒ වගේ් අපි යමක් කරන කෙනෙක් බවට පත්වෙනවා. යමක් කරන කෙනෙක් බවට පත්වෙන්න නම් කරන්න දේ තියෙන්න ඕනේ. දැන් ඔන්න කරන්න දේ තියෙනවා. ඒ නිසා මේ භාවනාවන් අපි ටික ටික පුරුදු කර ගන්න. අඛණ්ඩව කරන්න පුරුදු වෙන්න. ඒ පිළිබඳ විශ්වාසය ගොඩනගා ගත්තොත් ඊළඟට විශේෂයෙන් මේ භාවනාවන් කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය තමයි, ඉතාම ප්‍රනීත වූ ජීවිතයක් හදාගන්න පුළුවන්. සැප සේ ඉන්න පුළුවන්.

කර්කශ දුක් නොවිඳ ඉන්න පුළුවන්. කටු ගොඩක ඉන්න කොට සැපයි ද? කෙනෙක් කටු ගොඩක ඉන්නවා සැප නෑ නේද? යම් දවසක එයා ඒ කටු ගොඩින් නිදහස් වෙනවා.

නිදහස් වුනොත් එයාට පුළුවන් ඕනනම් නිදාගෙන ඉන්න. නැත්නම් එයාට පුළුවන් ඉඳගෙන ඉන්න. නැත්නම් එයාට ඇවිද ඇවිද ඉන්න පුළුවන්. නැත්නම් ඔය කොහෙට හරි හේත්තුවෙලා ඉන්න පුළුවන්. නැත්නම් වැතිරිලා ඉන්න පුළුවන්. නැත්නම් කා එක්ක හරි කතා කර කර ඉන්නත් පුළුවන්නෙ.

දැන් කටු ගොඩේ ඉන්නවා. එයා කටුගොඩේ ඉන්නකොට එයාට නිදා ගන්න පුළුවන් ද? නිදිය ගන්නත් බෑ. හිටගෙන ඉන්න පුළුවන් ද? හිටගෙන ඉන්නත් බෑ. ඇලවෙලා ඉන්න පුලුවන් ද? ඇලවෙලා ඉන්නත් බෑ. කතා කර කර ඉන්න පුලුවන්ද? ඒත් බෑ. කොහොම ද ඉන්නේ් දුකසේ ම යි. ඒ නිසා ඒ කටු ගොඩෙන් නිදහස් වෙන්න කල්පනාා කරන්න කැමැති වෙන්න. කටු ගොඩේ ඉන්නතාක් කටු ඇනෙනවා ම යි. කටු ඇනෙන්නේ නැතිව කටු ගොඩක ඉන්න බෑ. දැන් ඇනෙන්නේ නැති වෙ යි කියලා තමයි එහාට මෙහාට වෙන්නේ. ආ මෙතන නම් ඇනෙන්නේ නැති වෙයි පොඩ්ඩක් එහාට යනවා. ඇනෙනවා. මෙහේ හොඳ නෑ වෙන තැනකට යන්න ඕනෙ කියලා හිතන්නේත් ඒකයි. එතන කටු නෑ. කටු ගලවන්නෙ ඒ ක්‍රමයට නෙමෙයි. තැන මාරු කිරීමෙන් තව කටු ඇන ගන්නවා. තැන මාරු කරලා කටු ගලවන්න බෑ.

ඒ නිසා අපි මේ වැඩ පිළිවෙලකට කරමු. ඒ නිසා කටු වලින් නිදහස් වෙන්න කල්පනා කරන්න. කටු වලින් නිදහස් වීම සඳහා කැමැත්ත උපදවා ගන්න. ඒ කටු තියෙන්නේ හිතේ. බාහිර නෙමේ. අපි කල්පනා කරනවා බාහිර තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ් කියලා නෑ.

හිතේ තමයි මේ කටු තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගත්තොත් අපි ඒවා ගලවා ගන්න කල්පනා කරනවා. ආන්න ඒ සඳහා තමයි මේ එක් එක් භාවනා පුරුදු විය යුත්තේ. ඉතින් ඒවා පුරුදු කර ගත්තොත් ඔය අයට යම් කලකදී ඒ කටු ගොඩෙන් නිදහස් වෙලා සුවපහසුවෙන් වාසය කරන්න පුළුවන් කලක් එයි.

එතකොට තැන මාරුකලත් එක යි. එතන හිටියත් එක යි. එතකොට තැන මාරු කරන්නත් පුළුවන්. එතන ඉන්නත් පුළුවන්. පැහැදිලි ද? කාරණාව. මේක හැබැයි කියන තරම් ලේසි නෑ. මම කියනකොට හිතෙනවා ඇති හරි ලේසියිනේ කියලා. නෑ ලේසි නෑ. ලේසි නැති දේ කරන්න තමයි අපි කැමති වියයුත්තේ.

ලේසි දේ කරන්න කැමති වෙන්න එපා. තැන මාරු කරන එක ලේසියි. හරි ලේසියි. ඉතා ලෙහෙසියි. ලෙහෙසි දේ කිරීම අපි වැනි අපට සුදුසු නෑ. අපි අපි කරන්න ඕනෑ දුෂ්කර දේ. අතිශයින් දුෂ්කර දේ කරන්න කැමති වෙන්න. ආන්න එයා තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ජයග්‍රහණය තියෙන්නේ දුෂ්කර දේ කරන කොට. ඒක තමයි අභියෝගය. ආන්න ඒ අභියෝගය භාර ගන්න.

අපි මේ කටයුතු ටික ටික පුරුදු වෙන්න ඕනෑ කියලා කල්පනා කරන්න. එතකොට අපි නිදහස්ව තමාගේ් කටයුතු කර ගන්නවා. බාහිර ගැටලු අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එතකොට ඔය ගොල්ලන්ට කරන්න වැඩ තියෙනවා.

කරන්න වැඩක් නැතිකොට නොයෙකුත් විදිහට හිත එහෙ මෙහෙ දුවනවා. කථා කරනවා. ඒව මේව මත කාලය නාස්ති වෙනවා. අන්තිමට නොහිතපු ගැටලු ඇති වෙනවා. ඒ නිසා මේ භාවනාවන් ටික ටික පුරුදු වෙන්න. එතකොට අපිට සුවපහසු බවක් ඇති කර ගන්න යම් කලක පුළුවන් වෙයි. හදිසියේ දී නෙමෙයි. සියලු දෙනාට ම ඒ අසුභ සංඥාව, ඒ වගේ ම ආහාරයේ පිළිකුල් සංඥාව හොඳින් පුරුදු කරගෙන, ඉතාමත් ප්‍රණීත වූ ජීවිත ඇතිකර ගන්න භාග්‍යය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූලි මස 4 වනදා ඉරිදා පූර්ව භාග 07.13 ට ලබයි. 05 වනදා සඳුදා පූර්ව භාග 8.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
ජූලි 11 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]