UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහ රහතන් වහන්සේ පහසින් පිවිතුරු වූ වේරගල රාජමහා විහාරය

සටහන හා ඡයාරූප - රංජිත් ප්‍රේම දාස

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වේරගල ග්‍රාමයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයකි. වේරගල රාජමහා විහාරස්ථානය. අතීතයේ මෙම පළාත රාජරාජ මහාමාත්‍යවරුන්ගේ විශේෂ අවධානයට ලක් වූ ප්‍රදේශයකි. එපමණක් නොව මහරහතන් වහන්සේලා දහස් ගණන් වැඩ විසූ පළාතකි.

වේරගල රාජමහා විහාරස්ථානය දෙවනපෑතිස් රජ සමයට නෑකම් කියයි. අඩි 300 ක් උස අක්කර 60 ක පමණ ප්‍රදේශයේ පැතිරී ඇති විවිධ වූ හැඩ තල ගත් පර්වත මුදුනෙහි චෛත්‍ය පිහිටා ඇත. එය අද ගරා වැටී තිබේ. පර්වත මුදුනේ උසම තැන ගල අඩි 06 ක් පමණ විශ්කම්භය ඇතිව, ගැඹුරු අඩි 36 ක් පමණ චෛත්‍යය මැදිකොට ගත් මහ ලිදක් වැනි කවාටයකි. එහි සර්වඥ ධාතු හා පෙති පිළිම නිදන්කොට මෙම චෛත්‍ය රාජයා ඉදිකොට තිබූ බවට මතයක් පවතී.


උඩ මළුවට යන ගල් පඩි පෙළ

එම පර්වත මුදුනේ උතුර පැත්තට තවත් තැනක පුරාණ චෛත්‍යයකට හුරුව තිබූ ගඩොලින් පිරුණ උස් ස්ථානයකි. එය මැදිකොට වත්මන් වෙහෙර වහන්සේ නිර්මාණය කොට තිබේ. මේ ඓතිහාසික චෛත්‍ය ගල නිසා ම ඈත අතීතයේ සිට ම එම ගම් ප්‍රදේශය “වේරගල “ යන නමින් හැදින්වේ. මේ වෙහෙර ගලට නැගීම බැසීම සඳහා ගලෙන් නිර්මාන කළ පඩි 100 කට වඩා වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ.

මෙම ස්ථානයට කිලෝ මීටර් 05 ක් පමණ දුරින් උතුරට නිම වූ චෛත්‍ය එතරම් උස නොමැති නිසා එදා සිට අද දක්වාත් එම ස්ථානය හදුන්වන්නේ “කොටවෙහෙර රාජමහා විහාරය “ නමිනි.

වේරගල රාජමහා විහාරස්ථානය ගල් පර්වතය පුරා විවිධ හැඩ තල ගත් පොකුණු රාශියකි. ඒ අතර පර්වත මුදුනේ ඇති පොකුණ විශේෂ ලක්‍ෂණයකින් යුතුකයි. එහි කිසිම ඉඩෝරයකට ජලය නොසිදෙයි. ඒ ස්ථානයට නුදුරින් ගලා යන හක්වටනා ඔය හා කිඹුල්වානා ඔයෙහි ඇති වැලි හා ජලය ගල් පර්වතය මුදුණින් ඇති පොකුණෙන් මතුවන බව ජනප්‍රවාදයෙහි එන කථා පුවත පුදුම එළවන සිද්ධියකි. එහෙත් ලංකා සිතියම හැඩය ගත් තවත් එක් පොකුණකි. එය “ලංකා සිතියම් ගල “ නමින් ප්‍රකටයි.

පූජණීය ස්ථානය පුරා විවිධ හැඩ තල ගත් ගල් කණු රාශියක් දක්නට ලැබේ. ඒ එදා තිබූ විවිධ පූජණීය ගොඩනැගිලි විය හැකියි. පුරාණ දවස සිහිපත් කරන “ ආසන ඝරයක “ ට නෑකම් කියන ගල් ආසනයක් ද ඇත. එය දිගින් අඩි 6 ක් වන අතර පළලින් අඩි 2 කි. ගල් ගුහා කීපයකි. ඒ මහරහතන් වහන්සේලා වැඩ සිටි තැන බව කියැවේ.

ලී ඉරණ තැනට “ ලී පට්ටලය “ කීවාක් මෙන් මේ පර්වතයේ එක් තැනක ගල් ඉරු පැලූ තැනක් ද දක්නට ලැබේ. එම ස්ථානය “ ගල්පට්ටලය “ නමින් හදුන්වා ඇත. පූජනීය ස්ථානයට අවශ්‍ය ගල් මෙම ගල් පට්ටලයෙන් ගෙන ඇති බව පෙනේ.

බස්නාහිර පැත්තට ගල් පර්වතයේ බෑවුම් වන්නට පර්වතය දිගට කටාරම් කොටා ගල් ගුහා තැනීමට ගලෙන් ම මායිම් කළ දිග ගල් තීරුවක් දක්නට ලැබේ. එය ගල් ලෙන් නිර්මාණය කිරීමට කළ සැළසුමකි. එක් ගල් ලෙනක් අඩි 80 ක් දිගට නිර්මාණය කර තිබුණේ නමුත් එහි වැඩ නිමා කොට නොමැත.


ඉපැරැණි ගල් ලෑල්ලක්

ගල් පර්වතය පුරා තැනින් තැන ඉර, හඳ, බෝ කොළ, නෙලුම් මල්, හා ඇත් අඩි ලාංජන එමටයි. ශිලා ලේඛනයක් ඇතත් එය තවමත් කියවා නොමැත. පර්වත පා මුල කුඩා ගොඩනැගිල්ලක නටබුන් දක්නට ඇත. එය මහරහතන් වහන්සේලා පැන් පහස සදහා සිවුරු පිරිකර උණා තැබූ ස්ථානය ලෙස සැලකිය හැකිය. පැන් පහස වූ ස්ථානය අද පොදු විශාල ළිඳක් ඉදිකොට තිබේ. එයින් විහාරස්ථානයට ජල නල පද්ධතියක් ඉදි කිරීමට සැලසුම් කොට තිබේ.

වේරගල රාජමහා විහාරස්ථානයේ පිහිටිම උඩ මළුව හා යට මළුව වශයෙන් දෙ කොටසකි. මෙම ස්ථානයේ ආරක්‍ෂාවට ආරක්‍ෂක නිළධාරීන් සඳහා ගලෙන් නිර්මාන කළ ස්ථාන දෙකක් අදත් එලෙස ම දක්නට ඇත. යට මළුවට යා බඳව පුරාණ දේවාලයක නටබුන් දක්නට ලැබේ. මෑතක ඉදිකරන ලද විහාර ගල් ලෙනට පැත්තකින් එම ගල් ලෙනෙහිම ඉදි කොට ඇති “ විෂ්ණු ප්‍රතිමාව “ මහත් වූ හාස්කම් දක්වන්නක් බව බොහෝ දෙනෙක් කියති.


විහාර කර්මාන්තයට ගල්ලෑලි ඉරූ ස්ථානයක්

වන ගතව වල් බිහිව තිබූ මෙම විහාරස්ථානය යම් පමණකට නගා සිටුවීමට තම ශක්තිය කැප කළේ නිකදළුපොත කළටුවාගම රාජ මහා විහාරාධිපති පූජ්‍ය කහටපිටියේ ශ්‍රී ගුණරතන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේයි. 1963 වර්ෂයේ මෙම ස්ථානයට පැමිණ එළි පෙහෙළි කළ එතුමාණෝ විවිධ ක්‍රමෝපායන් යොදවමින් විහාරස්ථානයේ දියුණුවට කටයුතු කළහ. වත්මන් වෙහෙර වහන්සේ ඉදිකිරීමට ද පුරෝගාමි වූහ. 1999 වසරේ සිට විවිධ වූ භික්‍ෂූන් වහන්සේ වැඩ වෙසමින් සතර පේරුවේ දායකයින් සමඟ විහාරස්ථානයේ දියුණුවට විශාල කැප කිරීම් කර තිබේ. සංඝාවාසය තාවකාලික ධර්මශාලාව මේ අතර ප්‍රධාන තැනක් ගනී.

එසේ වුවත් ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අනුව 1999 වසරේ සිට වත්මන් විහාරාධිපති ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේයි.

මෙම ස්ථානය රටේ නම ගිය ස්ථානයක් බවට පත් කිරීමටත් ඓතිහාසිකත්වය මතුකරලීමටත් උන් වහන්සේ ගන්නා වෙහෙස අප්‍රමාණයි. අද සතර පේරුවේ දායක කාරකාදීන් විතරක් නොව ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එකට එක රාශිවී විහාරස්ථානයේ වත්මන් විහාරාංග ඉදිකිරීලීමටත් ධෛය¸යෙන් හා අධිෂ්ඨානයෙන් කැපවී ක්‍රියා කරති.

ඉඳි කිරීමට යෝජිත විහාරාංග අතර සැදැහැතියන්ගේ බුද්ධාලම්බන පී‍්‍රතිය දනවන “සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ “

අභිනවයෙන් සකස් කොට ඇති මාල දෙකකින් යුත්ත විහාර මන්දිරයේ “ විහාරස්ථාන පර්වත මුදුනේ එළිමහන් බිමේ නෙලීමට යෝජිත අඩි 6 1/2 පමණ උස “අසූ මහා ශ්‍රාවක පිළිම වහන්සේලා “ භාවනා යෝගී භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා “භාවනා කුටි” ආදිය විශේෂ වෙයි. මේ සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් එම අභියෝගයට කෙළෙස හෝ මුහුණ දීම තම අභිප්‍රාය බවත් ධම්ම රතන හිමියෝ පවසති.

 

 

 

 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූලි මස 4 වනදා ඉරිදා පූර්ව භාග 07.13 ට ලබයි. 05 වනදා සඳුදා පූර්ව භාග 8.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
ජූලි 11 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]