UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිතූ පමණින් පව් සිදු වේ ද?

පේත වත්ථු කතා මාලාව - 5 කොටස

සැවැත් නුවරට නුදුරු ගමක එක් ගෘහපතියකුගේ බිරිය වඳ වූවා ය. ඔහුගේ සහලේ ඥාතියෝ මෙසේ කියති. ඔබලේ බිරින්දෑ වඳ ඇත්තීය. පරපුර නොනසා අන් බිරියක් ද කැඳවාගෙන ඒම සුදුසු ය. මේ බිරියට තමා තුළ ඇති ස්නේහය නිසා එයට ඔහු කැමැති නො වීය. එහෙත් ඒ වඳ බිරියට මේ කතාබස් ඇසී ස්වාමියාට මෙසේ කියන්නී ය.

ස්වාමිනී, මම වඳ වූයෙමි. ඔබ අන් කන්‍යාවක් කැඳවා ගෙන අවුත් ඔබගේ කුල වංශය ගෙන යන්න. මට අමනාපයක් නැත. මෙසේ ඇය නිතර කළ පෙළඹවීම මත ඔහු අන් බිරියක් ගෙන ආවේ ය. ඕ තොමෝ කලකින් ගැබිනියක් වූවා ය. මෙහි දී පළමු බිරියට යම් ඊර්ෂ්‍යාවක් නැගී ආයේ ය. ඇය සිතන්නී, මැය දරුවෙකු ලැබ මේ ගෙදර (කාගේත් ආදරය ලැබ) බලපුළුවන්කාරිය වන්නීය. එහෙයින් කෙසේ හෝ දරු ගැබ හෙළන්නේ යැයි වශයෙනි. මේ සඳහා උපායක් සොයන ඇය තැන තැන ඇවිද යන ශ්‍රමණධාරිනියක (පරිබ්බාජිකාවක්) ආහාරපානාදියෙන් සතප්පවා මැය ලවා දරු ගැබ වැටෙන බෙහෙත් දුන්නී ය. දරු ගැබ හැලිණ. ඇය තම මවට මේ බව කීවාය. මව නෑයින් කැඳවා මෙපුවත කීවාය. සියල්ලෝ වඳ ස්ත්‍රිය සැක කොට ඇගෙන් මේ ගැන විමසූ හ.

‘මම දරුගැබ නො හෙළුවෙමි’ යි ඇය කියන්නට වුණි. ඉදින් තී විසින් මේ දරු ගැබ නො හළ නම් වර, දිවුරීමක් කළ යුතු යැයි ඔවුහු කීවෝ ය. මෙහිදී වඳ බිරිය දිවුරන්නී ඉදින් මා විසින් මේ දරු ගැබ හෙළන ලද්දේ නම් මා මැරී දුගති උත්පත්තියක් ලැබ සා පිපාසා දෙකින් පෙළෙමින් උදේ දරුවන් පස් දෙනෙකු වදා සවස තවත් දරුවන් පස් දෙනකු වදා (පඤ්චපුත්ත ඛාදක) මම් ම ඒ දරුවන් කා සෑහීමකට පත් නොවෙන්නෙමි ය. එසේම නිතර නිතර දුර්ගන්ධ වූ නිල මැස්සන් ගැවසුණු ශරීර ඇත්තියක් ද වන්නෙමි යි බොරු කියා දිවුරීමක් කළා ය. මැය නොබෝ කළෙකින් කලුරිය කොට එම ගමට ආසන්නයේම එවන් ස්වරූප ඇති පේ‍්‍රතියක්ව උපන්නී ය.

වස් පවාරණය කොට බුදුරජාණන් වහන්සේ දක්නා පිණිස සැවැත්නුවර වඩින භික්ෂූන් වහන්සේ අට නමෙකි. උන්වහන්සේ මෙ ජනපදයට නුදුරු සිහිල් සෙවණින් හා ජලය ඇති එක් වනයක විවේක ගනිති. එවිට මේ පේ‍්‍රතිය තෙරුන් වහන්සේට තමා දැක්වීය. ඒ තෙරුන් වහන්සේ අතරින් එක් ස්ථවිරයන් වහන්සේ නමක් ඒ පේ‍්‍රතියගෙන් විමසන්නී, නිර්වස්ත්‍ර වූ ඉතා බියකරු රූපයෙන් හා කුණු ගඳ ගසන හාත්පසින් නිල මැස්සන් ගැවැසී ගත් ශරීරයක් ඇති තී කවුද? කුමක් නිසා මෙතැන සිටින්නෙහි දැයි ඇසීය.

මෙහිදී පේ‍්‍රතිය තමන්ගේ ආත්ම කථාව මෙසේ කීවාය.

ස්වාමිනී, මට මිනිස් ලොවදී පාප කර්මයක් කොට යම ලෝකය නම් වූ පේත ලෝකයෙහි ඉපද දුකට පත්වූයෙමි. උදය කාලයෙහි දරුවන් පස් දෙනෙක්ද, සවස් කාලයෙහි දරුවන් පස් දෙනෙක් ද වදමි. ඒ වැදූ දරුවන් දසදෙනාම වරු දෙකට පස්දෙන බැගින් මම ම කමි. එහෙත් එය මගේ කුසගින්න නිවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. මගේ හඳවත හා උදරයේ ඇතිවන සාගින්නෙන් හාත්පස දැවෙයි. පිපාසය ඇති නමුදු බීමට පැන් නැත.

පැන් ඇතත් ඉදිකටු සිදුරු වැනි උගුරෙන් ජලය නො පෙවෙන්නාය. ස්වාමිනී, මා විඳින දුක බලනු මැනැවි.

ඔබ මිනිස් ලොව දී කවර කර්මයක් කොට මේ සා දුක් විඳින්නේ ද? කිනම් අකුසල කර්මයකින් දරු මස් කන්නේ ද?

ස්වාමිනි, මාගේ සමාන ස්වාමියා මගේ ද කැමැත්තෙන් ගෙන ආ අනෙක් භාර්යාව ගර්භණී වූවා ය. ඈ කෙරෙහි නපුරු වූ මා ඇගේ දරුගැබ හෙළීමට කටයුතු කළාය. දෙමසක් වූ දරුගැබ ලෙයින් ම පහකර හැරියාය. එයින් කිපුණු ඇයගේ මව සහලේ නෑයින් රැස්කරවා මා ලවා දිවුරීමක් කරවී ය. මම බියෙන් තැති ගැන්වී බොරු දිවුරීමක් කළෙමි.

ඉදින් මම ඒ ගර්භය පහකළේ නම් මගේ ම දරුවන් කන්නියක් වෙමි යි අසත්‍යයෙහිම පිහිටා දිවුරීය. එවන් ප්‍රාණඝාත කර්මයාගේ ද මුසාවාද අකුසලයාගේ ද යන විපාක දෙකම කරණ කොට ගෙන සැරවයෙන් ද ලෙයින් ද තවරණ ලද මගේම දරුවන්ගේ මස් කමි. පේත යෝනියෙහි ගති ලකුණු අනුව මෙවන් ශරීර ඇත්තේ වී ය.

ස්වාමීනි, මා ඔබ වහන්සේට ආයාචනා කරමි. කෙළඹියා ගේ ගෙට වඩිනු මැනැවි. එවිට ඒ ගෘහපතියා ඔබ වහන්සේට දන් දෙන්නේ ය. ඒ දානමය පින මට දෙනු මැනැවි. එසේ කළ කල්හි මා මේ පේත ලෝකයෙන් මිදෙන්නේයයි ඈ කීවා ය.

ස්ථවිරයන් වහන්සේගේ මේ දුක් කථාව අසා ඇයට අනුකම්පා කොට ඒ කෙළඹියාගේ ගෙදරට පිඬු පිණිස වැඩම කළහ. ගෘහපතියා තෙරුන් වහන්සේ දැක පෙරමගට පැමිණ පාත්‍ර ගෙන අසුන්හි වඩා හිඳවා ප්‍රණීත ආහාර පානයෙන් වැළදවූහ. තෙරුන් වහන්සේ ‍ප්‍රේතියගේ ඒ ප්‍රවෘත්තිය කෙළෙඹි පුත්‍රයාට කියා ඒ දානානිසංසය පේ‍්‍රතිය උදෙසා දෙවු සේක. එකෙණෙහිම ඒ පේ‍්‍රතිය ඒ පේ‍්‍රත දුකින් මිදී මහත් සම්පත් ලබා රාත්‍රි කාලයේ කෙළෙඹියාහට තමන් දැක්වීය.

සැවැත් නුවරට වැඩි තෙරුන් වහන්සේ ඒ සියලු පුවත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය අර්ථෝත්පත්ති කොට ගළපා දම්සභා මණ්ඩපයෙහි දී ඊර්ෂ්‍යා මාත්සර්ය ආදී අකුසලයන්ගේ විපාක පෙන්වා දෙමින් දහම් දෙසූ සේක. ඒ ධර්ම දේශනාව බොහෝ දෙනාට වැඩ පිණිස වූහ.

සටහන - අකුසල් මූලයෝ තෙ වැදෑරුම් වෙති. ඒ ලෝහ - ද්වේෂ හා මෝහ වශයෙනි. මේ සියල්ල සිත මුල්කොටම සිදුවෙති. එසේම සත්ත්වයා අකුසල් කරන ද්වාරයෝ ද තිදෙනෙකි. ඒ කය මුල්කොට ගත් කායද්වාරයත්, වචනය මුල්කොටගත් වාග් ද්වාරයත් හා සිත මුල් කොටගත් මනෝද්වාරයත් වශයෙනි. මේ සියල්ලටම සිතම මුල්වන මුත් අකුසලය සිදු කෙරෙන දොරටුව අනුව මෙසේ නම්කර ඇත. මේ තිදොර මුල් කොට සිදු කෙරෙන අකුසලයෝ දශවිධ වෙති. දස අකුසල් නමින් හඳුන්වන්නේ ඒවාය.

මෙයින් ප්‍රාණඝාතයත්, නුදුන් දෙය ගැනීමත්, කාම මිථ්‍යාචාරයත් කාය ද්වාරයෙන් සිදුකෙරෙයි. බොරුකීම, කේලාම්කීම, පරුෂ වචනකීම හා නිෂ්ඵල වචන දෙඩීම වචනයෙන් කෙරෙන අකුසල් වේ. කලින් සඳහන් කළ පරිදි දස අකුසලයෝ ම සිත බැහැර කොට සිදු නොකෙරෙන මුත් සිතු පමණින්ම මෙකී සප්ත අකුසලයෝ සිදු නො වෙති. ඒ සඳහා කය මුල් කොට ගත් අකුසල්හි දී කය ද සම්බන්ධ වී ක්‍රියාවට නැංවීමෙන් ද වචනය මුල් කොට ගත් සතර අකුසලයන්හිදී වචනය පිට කිරීමේ අවස්ථාව කොටත් විපාක ලැබේ. මේ අතර සිත් මුල්කොටගත් ඉතිරි අකුසල් තුන වූ අභිධ්‍යාව (දැඩි ලෝභය) ව්‍යාපාදය (ක්‍රෝධය - තරහව) හා ලොව ඇති දෙයෙහි යථා ස්වභාවය යථා පරිදි නොදැකීම නම් වූ මිථ්‍යාදෘෂ්ටිය සිතූ® පමණින් ම පව් සිදුවන අකුසලයෝ වෙති.

මෙම පේත වත්ථුව තුළ අර්ථෝත්පත්ති ගළපා දහම් දේශනා කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊර්ෂ්‍යාව හා මාත්සර්ය යන අකුසලයන් ගේ විපාක පෙන්වා දුන් සේක. මේවා කවරහු ද?

ඊර්ෂ්‍යාව: ‘ඉස්සා’ යනු මෙහි පාලි ශබ්දයයි. අනුන්ගේ යස ඉසුරු දැක නො ඉවසීම මෙහි අර්ථය යි. මෙබඳු පුද්ගලයා අනුන්හට යම්කිසි සැප ලැබීම ගැන නොසතුටු වෙයි. නො ඉවසයි. එසේ ම අනුන්ගේ සැප නො ඉවසීම කරණ කොට ඇති වන චිත්තගතිය ඊර්ෂ්‍යාව වේ.

මාත්සර්ය : ‘මච්ඡරී’ යනු මෙහි පාලි ශබ්දයයි. තම සම්පත් සැඟවීම කොට ඇති චිත්තගතිය මාත්සර්ය යි. මෙසිත් ඇත්තෝ තමා සතු දෙය අනුන්හට සාධාරණ වීම ගැන සතුටු නො වෙයි. මෙය පස් වැදෑරුම් වෙයි.

1. ආවාසමච්ඡරිය: - තමා වාසය කරන ස්ථානයට ඇති මසුරු බවයි. පැවිදි පක්ෂයෙහිලා තම ආවාස - පිරිවෙන් කෙරෙහි ද ගිහි පක්ෂයෙහි ලා තමා ගේ ගෙය - නවාතැන - රාත්‍රී ස්ථාන - රැකියා ස්ථාන ආදී කොට ඇති මසුරු බවයි. අන් අයකු හට එවැන්නක් ලැබීම නො කැමැති වෙයි.

2. කුලමච්ඡරිය - පැවිදි වශයෙන් උපස්ථායක කුලය කෙරෙහිද ගිහි වශයෙන් ඥාති කුලය පිළිබඳවද ඇතිවන මසුරු බවයි. අන් අයකු හට ද එවැනි උපස්ථායකයන් එවැනි ඥාතීන් ලැබීම ද එවැන්නන් හා එකතුවට ඒම ද නො කැමැති වෙයි.

3. ලාභමච්ඡරිය - සිවු පසෙහි ඇති මසුරු බවය. අන් අයට ද ලැබෙනු දැක නො රිසි වෙයි. ගිහියා ද මෙසේ ම ය.

4. ධම්ම මච්ඡරිය - තමාගේ උගත්කම් පිළිබඳ වූ මසුරු බවය. තමාගේ තත්ත්වයට අන් අයද ඒ මේ නොරිසි බවය. එසේම තමා දත් දේ අනුන්හට කියාදීමට ඇති නොකැමැති බව යි.

5. වණ්ණාමච්ඡරිය - යනු ශරීරවර්ණ ගුණවර්ණයන් පිළිබඳ මසුරු බවය. මෙබඳු ඇත්තෝ තමා හා අන් අය එවැනි සමානකමක් වීම හෝ අසන්නට හෝ නොකැමැති වෙයි.

යමෙකු තුළ පවතින මෙවැනි දුර්ගුණ සමාජය හඳුන්වන්නේ ‘ඔය ඉතින් පෘථග්ජන කමේ හැටි තමයි’ වශයෙනි. බෞද්ධයා (බුද්ධිමතා) යනු පෘථග්ජන බවේ හැමදා වසන පුද්ගලයා නොව එයින් මිදීමට උත්සාහ කරන (කල්‍යාණ පෘථග්ජන බවේ සිට) හා මිදුණු පුද්ගලයා (දුර්ගුණ නම් වූ කෙලෙස් නැසූ අසේඛ බව) ට කියන නමකි.

‘අපි දු එළඹෙන සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට හෝ බෞද්ධයෝ වෙමු’

පඤ්චපුත්ත ඛාදක පේත වත්ථුව ඇසුරිනි

 

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය ජූනි මස 18 වන සිකුරාදා අපරභාග 11.04 ට ලබයි. 19 වන සෙනසුරාදා අපරභාග 08.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 19 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 25 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]