UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මාංශ වැළඳීම සුදුසු ද ?

සැබැවින්ම භික්ෂූන් වහන්සේගේ ක්‍රියා කලාපය කෙබඳුද කියා විමසීමේදී එය නිවැරැදිය, පිරිසුදුය. එයට හේතුව ශීල, සමාධි, ප්‍රඥා යන ශාස්ත්‍රීය ශික්ෂණ ක්‍රමයකින් භික්ෂූන් වහන්සේගේ ගමන්මඟ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇති බැවිනි. උන්වහන්සේ ගිහියන්ට වඩා හික්මීමක්, යහපැවැත්මක් තිබිය යුතු බව සැම දෙනාගේම පිළිගැනීමයි. මේ සඳහා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට විනය නීති පෙන්වාදී තිබේ.

දෛනික ජීවිතයේදී භික්ෂූන් වහන්සේගෙන් සිදුවන සියලු සිදුවීම් සිදුවන්නේ විනයානුකූලවයි. එසේ වුවද උන්වහන්සේලා රහතන්වහන්සේ නොවන බව අප අමතක නොකළ යුතුය. අරුණෝදයේ පිබිදිනු තැන්සිට රාත්‍රි නින්දට යනතෙක් භික්ෂූන් වහන්සේ සිතන සිතුම්, කියන කියුම්, කරන කෙරුම් සෑම දෙයක්ම සිදු කරන්නේ පෘථග්ජන භික්ෂුවක් ලෙසින්ය. තමන්ගේ දරුවන්මෙන් වැඩිහිටි ගිහි පින්වතුන් තරුණ භික්ෂුව දෙස බැලිය යුතු යැයි කීම සර්ව සාධාරණ ය.

ලොවුතුරා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට ගිහි පැවිදි දෙපක්ෂයම මැනවින් බැඳී සිටිති. එමනිසා තරුණ භික්ෂුව නිසි මඟ යවමින් ආරක්ෂා කර ගැනීම වැඩිහිටි ඔබ සැමගේ යුතුකමකි. මන්දයත් උන්වහන්සේ අනාගතයේදී වැඩිහිටි භික්ෂුන් වන බැවිනි. එසේම සෑම භික්ෂුවකගේ පරම යුතුකම වන්නේ භික්ෂූ ශාසනයේ දියුණුවට කටයුතු කිරීම යි. එසේ කටයුතු  නොකිරීම සම්බුද්ධ ශාසනයට පටහැනිව ක්‍රියා කිරීමක්විය හැකි අතර, දායාකකාරකාදී ජනතාවගේ බලාපොරොත්තු කඩකිරීමක් වනු ඇත.

කරණීය මෙත්ත සුත්ත සූත්‍රයේ දී අපට පෙන්වා දෙන්නේ ‘යෙකෙචි පාණභූතත්ථි තසවා ථාවරාවා, අනවසෙසා, දීඝා වා යෙ මහන්තවා’ සියලු සත්ව සමූහයාටම මෛත්‍රී කිරීමට ය. එහිදී මානව සත්ත්වයාට පමණක් මෛත්‍රී කරන්නට කරන ඉගැන්වීමක් නොවේ. මේ කරුණු අනුව පෙනී යන්නේ බුදුදහම අපට සබ්බසත්ව හිතවාදයක් උගන්වන බවකි. සෑම සත්ත්වයෙකුගේම ජීවත ආරක්ෂාව බුදුදහමේ ඉගැන්වෙන පංචශීල ප්‍රතිපත්තිය තුළින් සුරක්ෂිත වෙයි.

‘දිට්ඨවායෙව අද්දිට්ඨා, යෙ ච දූරෙ වසන්ති අවිදුරෙ, භූතාවා සම්හවෙසීවා, සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා’ යන ගාථාව තුළින් පැහැදිලි වන්නේ ඇසට පෙනෙන සත්හුද දුර වෙසෙන සත්හුද, උපදිමින් සිටින සත්හුද ඒ සියලු සත්හු සුඛිත වූ සිත් ඇත්තෝ වෙත්වා, ලෝකයේ පහළ වූ සියලු ශාස්තෘවරුන්ට වඩා, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතම ආගමික නායකයා වන්නේ මේ කරුණු නිසා ය. ලෝකයේ සිටින විද්වත් බොහෝ දෙනාගේ අදහස වන්නේ් මෙතරම් මෛත්‍රීය, කරුණාව, දයාව පෙන්වූ වෙනත් ශාස්තෘවරයකු නොමැති බව යි.

මාතා යථා නියං පුත්තං - ආයුෂා එකපුත්ත මනුරක්ඛෙ, එවම්පි සබ්බ භූතෙසු - මානසංභාවයෙ අපරිමාණං යන ගාථාවෙන් පෙන්නුම් කරන්නේ මවක යම් සේ තමාගේ එකම පුතු රකී ද ඒ අයුරින් සෑම සතුන් කෙරෙහිම මෙත් වැඩි යුතු යැයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්හ. සැවත්නුවර ජේතවනාරාමයේදී දිනක් බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේ මෙසේ සැළකර සිටියහ. ස්වාමිනී, මේ සැවත්නුවර සමීපයෙහි එක්තරා භික්ෂුවක් සර්පයකු දෂ්ඨකොට කාලක්‍රියා කළේය. මහණෙනි, ඒ භික්ෂුව සතර අභිරාජකුල වෙත මෛත්‍රිය නොපැතිරවීය. මහණෙනි, ඒ භික්ෂුව සතර නාරද කුලයන් වෙත මෛත්‍රීය පැතිරවූවා නම්, නා රජු විසින් දෂ්ඨ නොකරන්නේ යැයි වදාළ සේක. මේ කරුණු අනුව අපට පෙනී යන්නේ සබ්ද සත්තහිතවාදීව කටයුතු කිරීමේ වැදගත්කම යි.

භික්ෂුවක් ඕපපාතිකව පහළ නොවෙයි. උන්වහන්සේ ගිහි සමාජයෙන් පැවිදි සමාජයට පැමිණි තැනැත්තෙකි. භික්ෂුව ගිහියන්ට වඩා ශීලයෙන්, ගුණයෙන් යුක්ත විය යුතු බව සැමදෙනාගේම පිළිගැනීම යි. එදා බුද්ධ කාලයේ පැවැති ප්‍රධාන කුල ක්‍ෂ්ත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන ඒවාට අමතරව, චණ්ඩාල වැනි කුලවලින්ද බුද්ධ ශාසනයේ පැවිදි වූවෝ සිටියහ. එදා සමාජයේ කිසි ගුණ වගාවකට නුසුදුසු පුද්ගලයින් වශයෙන් කොන් කර සිටි සුනීත, සෝපාක, දාසක, ධනිය වැන්නන්හට පිහිටවෙමින් ඔවුන් මිනිස් දෙව් බඹුන්ගේ පුද ලැබීමට සුදුසු උපශාන්ත පුද්ගලයන් බවට පත් කරමින් කටයුතු කිරීමට බුදුරජාණන්වහන්සේ කටයුතු කළහ. බුද්ධ ශාසනයට ඇතුළත් වූ ගිහි සමාජයෙන් පැමිණි විවිධ තරාතිරමේ පිරිස් සිටියහ. ඔව්හු සැම දෙනාම පැවිදි වීමට පෙර ඔවුන්ට සුදුසු පරිදි ආහාර ගත්තෝ වූහ. මේ සියල්ල දත්, බුදුපියාණන්වහන්සේ ශාසනයේ පැවැත්ම සහතික කිරීම් වශයෙන් දැඩි විනය නීති නොපැනවූහ.

එසේ වුවද විනයෙහි භික්ෂූන්ට නොවැළඳිය යුතු මස් වර්ග දහයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් බව සඳහන් වෙයි. විනය විනිශ්චයෙහි එය මෙසේ දැක්වේ.

හත්‍ථච්ඡස්ස මනුස්සානං
අහිකුක්කුර දීපිනං
සීහ ව්‍යගඝ තරචාජානං
මංසං හොති අකප්පියං

මෙම ගාථාවෙන් ප්‍රකාශවන පරිදි ඇත්, අස්, මිනිස්, සර්ප, බලු, දිවි, සිංහ, ව්‍යාඝ්‍ර, කලුහිස්වලස් යන සතුන්ගේ මස් භික්ෂූන් වහන්සේ කිසිසේත් නොවැළඳිය යුතු බව විනය නීති අනුව පෙනීයන කරුණකි. ඉන් අදහස් වන්නේ මස් මාංශ වැළඳීම සුදුසු බවක් නොවන බව අවධාරණය කළ යුතුය. එසේ වුවත් ගිලන් භික්ෂූන් වහන්සේට විනයෙහි ඇත්තේ සුවිශාල නිදහසකි. එහෙත් ගිලන් වූ කිසිම භික්ෂූවකට ඉහත සඳහන් කළ මස් වර්ග දහයෙන් කිසි මස් වර්ගයක් වෛද්‍ය උපදේශයක් නිසාවත් පිළිගැනීම, වැළදීම සුදුසු නොවේ.

විනයෙහි දක්වා ඇති පරිදි දායකයකු පිළිගැන් වූ පමණින් මාංශ වැළඳීම සුදුසු නොවේ. දායකයා විසින් පිළිගැන්වූ මාංශය කරුණු තුනකින් පිරිසුදු විය යුතුය. ඒවා මෙසේ සඳහන් කළ හැකි ය.

1. අදිට්ඨ (මේ සතා මැරුවේ මා පිණිස කියා නොදුටු)
2 අසුත (මේ සතා මැරුවේ මා පිණිස කියා නො ඇසූ)
3. අපරිසඛඛිත ( මේ සතා මැරුවේ මා පිණිස කියා සැක නැති)

මෙම කරුණු තුන ත්‍රිකෝටික පාරිශුද්ධිය වශයෙන් විනයෙහි දක්වා තිබේ. එය තව දුරටත් මෙසේ පැහැදිලි කරයි.

විනයෙහි දැක්වෙන අන්දමට දානය පිණිස සතකු මරනවා යම් විධියකින් භික්ෂූන් වහන්සේ දැකීම හෝ ඇසීම හෝ දානය පිණිස සතා මැරූ බවට සැක පහළවී නම්, එය වැළඳීම භික්ෂුවට සුදුසු නොවේ. ඉහත දක්වන ලද කරුණු තුනෙන් එකක හෝ පාරිශුද්ධිය අඩුවීම භික්ෂුව වරදකට අසුවීමට හේතුවෙයි. විනය අනුව එසේ නොමැතිව භික්ෂුව වරදකට අසු නොවෙයි. එසේම මස් මාංශ වළඳන්නට කියා පැන වූ ශික්ෂා පදයක් ද විනයෙහි නොමැත.

එක්තරා දිනක් දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් පඤ්ච වස්තුවක් භික්ෂූන්ට පනවන ලෙස අයැද සිටියහ. එම පඤ්ච වස්තුව නම්,

1. සියලු භික්ෂුන් ජීවිතාන්තය දක්වා ආරණ්‍යයෙහි විසිය යුතුය.
2. සියලු භික්ෂූන් ජීවිතාන්තය දක්වා වෘක්ෂ මූලයෙහි විසිය යුතුය.
3. සියලු භික්ෂූන් ජීවිතාන්තය දක්වා පාංශකූල සිවුරු දැරිය යුතුය.
4. සියලු භික්ෂූන් ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතයෙන් යැපිය යුතුය
5. සියලු භික්ෂූන් ජීවිතාන්තය දක්වා මස් මාංශයෙන් වැළකිය යුතුය.

ඉහත දක්වන ලද කිසිදු කරුණකට බුදුරජාණන් වහන්සේ අනුමැතිය නොදුන් සේක. එසේ උන්වහන්සේ අනුමැතිය නොදුන්නේ අනාගත ශාසනයේ අභිවෘද්ධිය සළකා ගෙනය. ඉහත දැක්වූ පඤ්ච වස්තුව ඉදිරිපත් කොට දෙව්දත් තෙරුන්වහන්සේ 500 ක් පෘතග්ජන භික්ෂූන් තම පැත්තට හරවා ගත්තා පමණක් නොව ප්‍රථම සංඝභේදය සිදුකර ගත්හ.

ශ්‍රී‍්‍ර සද්ධා සම්පන්න ගිහියෙකු බෞද්ධයකු වන්නේ තෙරුවන් සරණ ගොස් පන්සිල් ගැනීමෙනි. එය ආරක්ෂා කිරීමට ඔහු නිරතුරුව බැඳී සිටියි. බෞද්ධ සමාජය තුළ පන්සිල් සඳහා ප්‍රමුඛස්ථානය හිමිවීමෙන් ඒ බව සනාථවෙයි. බුදුදහමේ සඳහන් වන කර්ම සංකල්පය තුළ ‘චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි, වෙතයිත්වා කම්මං කරොති, කායෙන වාචාය, මනසා’ කයින්, වචනයෙන්, මනසින් සිදුවන ක්‍රියා කර්ම වශයෙන් සඳහන් වෙයි. එවැනි කිසිදු වරදක් සිදුනොවේ නම් එය කර්මයක් නොවනු ඇත.

පන්සිල්වල, එන මුල්ම සිකපදය සතුන් මැරීමෙන් සහ මැරවීමෙන් වැළකීමයි. එම ශික්ෂාපදය යටතේ ප්‍රාණඝාතයක් වීමට කරුණු 05 ක් සම්පූර්ණ විය යුතුය. ඒවා පහත සඳහන් වෙයි.

1. ප්‍රාණියකුවීම
2. ප්‍රාණියකු යැයි තමනුත් දැන ගැනීම
3. වධක වේනනාව හෙවත් මැරීමට සිතීම
4. අවි මුගුරුවලින් තැලීම වශයෙන් කරන උපක්‍රම
5. එයින් දිවි තොර කිරීම
ප්‍රාණ ඝාතයද, දෙපරිදි වෙයි.

1. මහාසාවද්‍ය ප්‍රාණඝාත පාපය
2. අල්ප සාවද්‍ය ප්‍රාණඝාත පාපය

වරද වැඩි පාපය මහා සාවද්‍ය ප්‍රාණඝාතය වශයෙන්ද, වරද අඩු පාපය අල්ප සාවද්‍ය ප්‍රාණඝාතය වශයෙන් ද සලකනු ලැබේ. ප්‍රයෝග මහත්තය, ගුණ මහත්වය අනුවද ප්‍රාණඝාතය මහා සාවද්‍ය විය හැකිය. ප්‍රයෝග මහත්වය අඩු ගුණ මහත්වය අඩු ප්‍රාණඝාතය අල්ප සාවද්‍ය විය හැකි බව පෙනී යයි. ප්‍රාණය ශක්තිමත් මහා ශරීර ඇති සත්ත්වයින් මැරීමෙන්, මැරවීමෙන් මහා සාවද්‍ය ප්‍රාණඝාතයක් සිදුවන බව කර්මයෙහි සඳහන් ‍ෙවයි. එයට හේතුව එවැනි සත්ත්වයින් මැරීමට කළයුතු ප්‍රයෝගද සිතිවිලි ද අධික වන බැවිනි. එම පාප කර්මයෙන් අනිෂ්ඨ විපාක වැඩිවිය හැකි ය.

කුඩා ශාරීරි ඇති ප්‍රාණීන් සතු ප්‍රාණය දුර්වල බැවින්, එම සතුන්ගේ දිවි තොර කිරීම සඳහා කළයුතු ප්‍රයෝගයද සිතිවිලි ද ස්වල්ප වන බැවින් එම ප්‍රාණඝාතය අල්ප සාවද්‍ය ප්‍රාණඝාත කර්ම වශයෙන් සලකනු ලැබේ. මිනිසා පිළිබඳ විමසීමේදී ඔහු ගුණයෙන්, සීලයෙන් වැඩිනම්, ඔහුගේ දිවි තොර කිරීම මහා සාවද්‍ය ප්‍රාණඝාතයක් වශයෙන් සැළකිය හැකිය.

ගුණයෙන්, සීලයෙන් වැඩි උතුමෝ බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරු සහ මහාසංඝ රත්නය යි. එමෙන්ම මව සහ පියාද ගුණයෙන් යුතු අය වෙති. මේ උතුම් පුද්ගලයන් යම් අයකු විසින් ඝාතනය කිරීමට සිතීම, කිරීම, කරවීම යන කවර අයුරින් වුවද වරදක් කරන්නේ් නම් එය මහා අකුසලයකි. ඒ අය පංචානන්තර්ය පාප කර්මයට හසුවිය හැකිය. ප්‍රාණඝාතාදී අකුසල කර්ම කරන්නෝ මෙලොවදී හදිසි අනතුරු ආදියෙන් විපතට පත්විය හැකිය. එසේම ඔවුහු පරලොවදී නිරයෙහි ඉපද වර්ෂකෝටි සත සහශ්‍රයක් එහි දුක් විඳ නැවත මනුෂ්‍ය ලෝකයෙහි මහත් සැප සම්පත් ඇතිව අභිරූපීව ඉපදුණේ නමුත්, සම්පත් නොවළඳා නව යෞවන වියේදීම මරණයට පැමිණෙති. ඔවුන් අලස ආයුෂ්ක ලබති.

ලෝකයේ ප්‍රබලම සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. එම සංවිධානය මගින්ද බුදු දහමේ පෙන්වාදෙන පංචශීල ප්‍රතිපත්තිය යහපත් ප්‍රතිපත්තියක් ලෙස පිළිගනියි. එසේ වුවත් සියලු සත්ත්ව ප්‍රජාවගේ ජීවත්වීමේ අයිතිය පිළිගන්නා බවක් නොපෙනෙයි. බුදු දහම සියලු සත්ත්ව ප්‍රජාවගේ ජීවත්වීමේ අයිතිය පිළි ගනියි. මෙවැනි පිළිගැනීමක් කිසිදු ආගමක, සංවිධානයක දක්නට නොලැබේ. උසස් වූ මනසක් ඇති මිනිසා, ඉහත දැක්වූ ප්‍රස්තුතය, කරණය ගැන බුද්ධිමත්ව සිතා කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බව සිහිපත් කළ යුතුය.

අධි වෙසක් පුර පසළොස්වක

අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.

මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]