UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍ය කතා

ජනරාල් මාඕ සහ කැස්බෑවා

මෙයින් වසර 1600 කට පමණ පෙර චීනයේ චින් අධිරාජයාගේ රාජ්‍ය සමයේ කොන්ෆියුසියස් ධර්මයේ අනුගාමික මාඕ පාඕ නමැති තැනැත්තෙක් ජීවත් වූයේ ය. ඔහු එවකට චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික විභාගයෙන් සමත්වීමට පෙර එක් දිනක කැස්බෑවකු අල්ලා ගත් මස් මරන්නෙක් ඒ සතා විකිණීම පිණිස වෙළෙඳ පොළට ගෙනයනු දුටුවේ ය.වහාම සතා මිලදී ගත් මාඕ පාඕ ඒ සතා මරා කනවා වෙනුවට කෙළේ සතා අසළ තිබුණ විශාල විලට අතහැර නිදහස් කිරීම ය.

පසුකාලයේ රජයේ ඉහළම රාජ්‍යතාන්ත්‍රික විභාගයෙන් සමත්වූ මාඕ පාඕ යුද හමුදාවේ ඉතා බල සම්පන්න ජනරාල්වරයෙක්ව සතුරු ආක්‍රමණ මැඩලීමේ නිරත විය. ඉතා බලසම්පන්න දක්‍ෂ ජනරාල්වරු පවා සමහර අවස්ථාවලදී පරාජය වෙති. එසේ එක් අවස්ථාවක ජනරාල් මාඕ පාඕටද එබඳු කටුක අත්දැකීමකට මුහුණ පාන්න සිදුවිය. ඔහුගේ සේනා ඛණ්ඩයට ෂික් චිලාන් නමැති සතුරු සෙන්පතියකු පහර දුන්නේ ය. ඒ අවස්ථාවේ ෂික් සෙන්පතියාගේ සේනාව වඩා ශක්තිමත් වූ බැවින් මාඕට සිදු වූයේ ස්වකීය භට පිරිසට දිවි ගලවාගෙන පසු බසින ලෙස අණදීමට ය. ඒ අනුව මාඕ ද පසුබැස පළා ගියේ ය.

සතුරා ඔහු පසුපස හඹා ආවේ ය. ජනරාල් මාඕ අනික් අය අභිබවා වේගයෙන් දිවි ගලවා ගනු පිණිස දුවන්ට පටන්ගති.

ඔහු වේගයෙන් දුවගොස් විශාල විලක් සමීපයට සේන්දුවිය. ඔහුට විල තරණය කිරීමට බෝට්ටුවක් හෝ පාලමක් හෝ නැත. ජලය තරණය කිරීමේ ක්‍රමයක් නොවුණි. ජනරාල් මාඕට පිහිනන්නට බැරි ය. ඔහු පූර්ණ සන්නද්ධ ඇඟළුම් කට්ටලයෙන් සැරසී සිටිය බැවින් එහි බරට එක් වරම විල පතුලට ම කිදෙන බව ඔහු දන්නේ ය.

ඔහු පසු පස බැලුවේ ය. සතුරා තමාව ලුහු බඳිනු ඔහුට පෙනුණි. ඔහු දෙස බලා ඔහු (මාඕ) කීවේ ‘දෙවිවරු මා අත්හැර දමා ඇත.’

සතුරාගේ අතට අසුවීමට වඩා තමා සියදිවි හානිකර ගැනීම යෙහෙකැයි ඔහු මිය යාමට අදහස් කෙළේ ය. ඔහු සියදිවි හානිකර ගැනීමට සූදානම් වන්නා හාම විශාල යම් දෙයක් ජලාශයේ දුර සිට තමා සිටින ඉසව්වට පැමිණෙන බව දක්නට ලැබුණි.

මේ පාවී එන දෙය කුමක් වූවත් ඒ ගැන සැලකිල්ල යොමුකිරීමට තරම් සුදුසු මානසික සහනයක් ඔහුට නැත. සතුරා තමා වෙත වඩ වඩා සමීපවනු ඔහු දුටුවේ ය. ඒ අතරම ජනරාල් මාඕ මෙසේ තීරණය කෙළේ ය. ‘මා මෙතැන මියගියහොත් මගේ සේනාංකය මගේ සතුරා විසින් අත්පත් කරගනු ඇත. එය මගේ රටටත් මගේ අධිරාජයාණන්ටත් මහත් අපකීර්තියකි. එම නිසා මා ජලාශයට පැනීම වඩා මැනවැයි සිතූ ඔහු එවිට ඔවුන්ට මගේ සේනා ඛණ්ඩය අත් කරගන්ට බැරිය. ඔහු ජලයට පැන්නේය.

නමුත් ඔහු මවිතයට පත්වූයේ ඔහු පැන ඇත්තේ යම් දෙයක් මතට බව දැනීමෙන් ය. තමා ක්‍රමයෙන් ඉවුරෙන් ඈතට පාවී යන සෙයක් ජනරාල් මාඕට දැනේනට විය. තමා විලේ අනික් ඉවුර දෙසට සමීපව සේන්දුවනු දැනුනු බැවිනි.

සතුරා විල් ඉවුරට සමීප විය. ඔවුහු මවිතව බලා සිටියහ. ඇඹරුනහ. බෙරිහන්දුන්හ. අවසානයේ ජනරාල් මාඕ දෙසට ඊතල වර්ෂාවක් මුදාහැරියහ. නමුත් මාඕ ජනරාල්වරයා සීමාව ඉක්මවා සිටි බැවින් ඔහුට කිසිදු හානියක් නැතිව ඊතල සියල්ලම වතුරට වැටුණි.

ජනරාල් මාඕ පහත බැලුවේ ය. ඔහුට දකින්ට ලැබුණේ ඔහු මේ නැගිට සිටින්නේ විශාල කැස්බෑවකු පිට බව ය. ඒ කැස්බෑවා විසින් මාඕ ජනරාල්වරයා එගොඩ ඉවුර දක්වා රැගෙන ගියේ ය. ජනරාල්වරයා ගොඩට ගිය පසු කැස්බෑවා ජලයෙන් මතුවිය. හිසනමා ජනරාල්වරයාට ආචාර කෙළේ ය. ඉන්පසු දියයටට හැරී පීනාගෙන ඉවතට ගියේ ය.

වසර ගණනකට පෙර තමා තරුණ කාලයේ යම් දිනයෙක මරණය සඳහා විකිණීමට රැගෙන ගිය කැස්බකු මිලදී ගෙන මුදා හැරියේ මේ විලටම නොවේදැයි ජනරාල් මාඕට මතක්විය.

දැන් තමාට අවශ්‍ය මොහොතේ තමා මරණයෙන් ගලවා ගැනීමට ඔහුද වාරයක් ලැබුවේ ය. ජීවිතයක් සඳහා ජීවිතයකි.

(LOVE OF LIFE  ඇසුරෙන් සකස් කෙරිණි)

 

අධි වෙසක් පුර පසළොස්වක

අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.

මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]