UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජගත් පූජිත පඬිරුවන හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

අපේ‍්‍රල් 29 වන දිනට යෙදෙන 99 වන ගුණ සමරු දිනය නිමිත්තෙනි.

භාෂා සාහිත්‍ය හා ආගමික ප්‍රගමනයට ඉවහල්වන මහා පඬුවන් කාලය විසින් නිර්මාණය කරනු ලැබේ. අද්‍යතන අවදිය මෙන් නොව 19 වැනි සියවසේ දෙවැනි භාගය යනු භාෂා සාහිත්‍යය හා ආගමික අතින් එතරම් ප්‍රබෝධයක් ලත් වකවානුවක් නොවේ. මේ අංශවල ප්‍රගතියට ප්‍රගමනයට බලපාන මහා පඬුවාන කෙනෙක් පහළ විය. ඒ අන් කිසිවෙක් නොව හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ය.

කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන කොතැනද එතැන හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ය. මේ දෙක වෙන් කිරීමට කිසිවෙකුට නුපුළුවන. භාෂා හා විෂය ඥානයෙන් සමලංකෘත සමාජයක් බිහිකිරීමට මහා ශාස්ත්‍ර ශාලාවක් හෙවත් තක්සලාවක් උන්වහන්සේ නිර්මාණය කළහ. එවකට ගෑස් පහනේ ආලෝකයෙන් නගරය ආලෝක කලාක් මෙන් විදුදය පිරිවෙන මගින් හෙළිකළ ශාස්ත්‍රාලෝකයෙන් මුළු දිවයිනම ආලෝකමත් විය. දායක පිරිවෙන් ශාඛා හැට පහක් පමණ ආරම්භ වූයේ විදුදය පිරිවෙනින් අධ්‍යාපනය ලත් ශිෂ්‍ය සමූහයා විසිනි. ශාඛා ප්‍රශාඛා බවට පත්වී දස දෙසින් සිංහල පාලි සංස්කෘත ඉංගී‍්‍රසි අර්ථ ශාස්ත්‍රය ඡ්‍යොතිෂය ප්‍රාකෘත ආදී විවිධ විෂයයන්ගෙන් ප්‍රගුණ වූ ගෝල පරපුරක් ද බිහිකිරීමට ශ්‍රී‍්‍ර සුමංගල නාහිමියෝ උපස්ථම්භක වූහ.

මාහිමියන් පොත් රචනා කරන්නට යොමුවූයේ ඉගෙන ගන්නා අවධියේ පටන්ය. ප්‍රථම ග්‍රන්ථය වූයේ බ්‍රාහ්ම ධර්මය හෙවත් අනුශාසනා සංග්‍රහයයි. හින්දු හා ජෛන පඬිවරුන් රචනා කළ නොයෙක් ශ්ලෝකවලින් හින්දු ධර්මයට හා ජෛන ධර්මයට අයත් අදහස් අන්තර්ගත ශ්ලෝක අතහැර බුදු සමයට විරුද්ධ නැති ශ්ලෝක පමණක් ගෙන මෙය සිංහල පද්‍යයට නගන ලදී. එහි එන සිංහල පද්‍යයකි මේ.

සුමුදු සිතින් ගරු කොට මවුපියන් සොඳ
වැඩ යෙදුමෙන් ඉඳුරන් හමුසුරන් ලෙද
සියලුතැනින් ගිහි දන විසින හැම සඳ
සොයනු රිසින් සිරිතකි නිමල නිවරද

සුමංගල මාහිමියන් කෙරෙහි තිබුණු කාව්‍යමය ශක්තියත් පරිවර්තනය කිරීමේ කුශලතාවයත් මෙයින් ප්‍රකට කෙරේ. පරිවර්තනයේදී මූල භාෂාවට හානි නොවන පරිදි ලාක්ෂ භාෂාවට පෙරැළීමේ කාව්‍යමය ප්‍රාගුන්‍යය හා භාෂාත්මක නෛපුන්‍ය මෙයින් උද්වහනය කරයි. සකු බසේ පරතෙරට ගිය බවට මෙය හොඳම සාධකයකි.

- මහාවංස පරිවර්තනය -

සුමංගල මාහිමියන් හික්කඩුවේ වාසය කරන සමයේදී ‘මා සර්තු’ ලක්ෂණ නමැති ග්‍රන්ථය කරන ලදී. පක්ෂ, මාස, ඍතු ලක්ෂණ මැනවින් දැනගැනීමට මේ ග්‍රන්ථය අතිශයින්ම ඉවහල් වේ. මෙය වඩාත් ප්‍රයෝජනවත් වූයේ එවකට ‘අධිමාසවාදය’ පැවැති සමය නිසාය. පක්ෂ මාසාදිය හොඳින් පසක්කොට ගෙන පොහොය කිරීම් වස් විසීම් පවාරණය කිරීම් ආදිය ධර්මානුකූලව පවත්වා ගැනීමට මේ පුංචි ග්‍රන්ථය ඉතාමත්ම ඵලදායී වූවක් විය. 1873 දී පමණ ලියන ලදැයි සැලකිය හැකි තවත් ග්‍රන්ථයකි වණ්ණ රීතිය. සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්නා අයට මේ ග්‍රන්ථය ඉතාමත්ම ප්‍රයෝජනවත් වූවකි.

මහාවංස පරිවර්තනය මාහිමියන් අතින් සිදුවූ ශ්‍රේෂ්ඨතම කාර්ය යැයි මම සිතමි. මහාවංසය යනු කුමක්දැයි නොදත් සමයක එහි අගය සමාජයට හෙළි කිරීමට ගත් තැතක අග්‍රඵලකි මෙය. එවකට ඉංගී‍්‍රසි නිලධාරියෙකු වූ ජෝර්ජ් ටර්නර් මහතා උඩරට ප්‍රධාන විහාරස්ථානවලින් මහාවංස පිටපත් කිහිපයක් සොයාගෙන ඉංගී‍්‍රසි පරිවර්තනයක් කරන ලදී. මේ වකවානුවේ එනම්, 1872 දී ලංකාණ්ඩුකාර පදවියට පත් සර් විලියම් හෙන්රි ග්‍රැගරිතුමා මහාවංසය සම්බන්ධ තොරතුරු ගැන විමසීමක යෙදී මේ උසස් ග්‍රන්ථය ලෝකයා අතට පත්කළ යුතුය යන තීරණයකට එළඹුණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී සුමංගල මාහිමියන් හා බටුවන්තුඩාවේ පඩිවරයා කොළඹ රජගෙදරට කැඳවා මහාවංසය ශුද්ධ කොට සිංහල භාෂාවට පරිවර්තනය කළ යුතු යැයි දන්වන ලදී. විදුදය පිරිවෙන ආරම්භ කළ වකවානුවේදී එහි උන්නතියට මහත් මෙහෙවරක් කළ යුතු සමයක මහාවංසය සිංහලට පරිවර්තනය කිරීමත් එසේ මෙසේ කටයුත්තක් නොව, ඉතාම බරපතළ වූ කාර්යයකි. කෙසේවූවත් මේ කර්තව්‍යය ඉටුකළ යුතු යැයි ඉටාගත් මාහිමියන් පැරණි පොත් ගුල්වල තිබුණු පාලි මහාවංස පිටපත් එකතු කොට බටුවන්තුඩාවේ පඬිවරයා ද සම්බන්ධ කොටගෙන ශිෂ්‍ය පණ්ඩිත ස්ථවිරවරුන් දෙතුන් දෙනෙකුගේද සහයෙන් පෙළ පොත් කියවා ඒවා එකින් එක සසඳා කිරා මැන බලා මහාවංසය ශුද්ධ කොට සිංහලට, පෙරළන ලදී. පාලි මහාවංසය සිංහලට පෙරැළීමේ ගෞරවය හිමිවන්නේ ද සුමංගල මාහිමියන්ටය. සිංහලයන්ට මෙතරම් අනර්ඝතම වර්ණවත් ඉතිහාසයක් තිබෙන බව දැනගන්නට ලැබුණේ මහාවංසය සිංහලට නැගීමෙන් අනතුරුවය. පාලි මහාවංසය ලියූ මහානාම ධම්මකීර්ති ශ්‍රී සිද්ධාර්ථ පඬිවරුන් සිදුකළ මෙහෙවර තවත් වර්ණවත් කෙළේද සුමංගල මාහිමියන්ය. එහි පවත්නා ඌණතා අකාමකා පිරිසිදු මහාවංසයක් බවට අපට දායාද කෙළේය. මහාවංසයේ අගට යොදන ලද ග්‍රන්ථ පද විවරණය සිංහල හා ඉංගී‍්‍රසි උගතුන්ගේ මහත් ප්‍රසාදයට පවා පාත්‍රවූහ. එම ප්‍රකාශය මෙසේය.

එවකට ආණ්ඩුවේ මුද්‍රණාලයේ අධිපතිව සිටි එච්. සී. කොවල් මහතා විසින් මුද්‍රණය කරන ලද, සිංහල පරිවර්තනය සමඟ මහාවංස ලොව නොයෙක් පඬිවරයන් අතට පත්කරන ලදී. එම පරිවර්තනය බලා මහත් පැසසුමට පාත්‍රකොට ඉංගී‍්‍රසියෙන් එවන ලද ලිපි සමුදායයක්ද අපට දැකගන්නට පුළුවන

- සිදතට සන්නයක් -

සිදත් සගරාවට සන්නයක් ලිවීම ද මාහිමියන් අතින් සිදුවූ තවත් මෙහෙවරකි. සිදත් සඟරාව පරිශීලනය කළද එහි අන්තර්ගතයේ පවත්නා සුවිශේෂීත්වය පිළිබඳ සවිස්තරයක් එතෙක් නොතිබුණි. මෙය මහත් ඌනතාවකි.

මේ භාරදූර කාර්යයට ද මාහිමියන් අතගැසුවේය. පසුකාලීනව සිදතට සන්න ලියැවුණ ද ඒ අය ගුරු කොට ගත්තේ මාහිමියන් ලියූ සන්නයයි. ‘බාලාවතාරය’ යනු පාලි ඉගෙනගන්නවුන්ගේ ප්‍රධාන ව්‍යාකරණ ග්‍රන්ථයයි. බාලාවතාර සන්න අතුරෙන් ඉතාම හොඳ සන්නයයි සැලකෙන ‘ගඩලාදෙණි සන්නයේ’ සමහර තැන් තේරුම් ගැනීම ඉතාම අමාරුය. මේ කරුණු සැලකිල්ලට ගෙන මේ මහඟු කාර්යයට ද සුමංගල මාහිමියන් අතගැසුවේය. සුබෝධී ටීකාව එහි ඵලයකි. ශ්‍රී රාහුල සංඝරාජ මාහිමියන්ගේ ග්‍රන්ථගත ඥානය කෙබඳුද යන්න තක්සේරු කරන්නට ‘පංචිකාප්‍රදීපය’ උපයෝගීවන්නේ යම්සේද ශ්‍රී සුමංගල මාහිමියන්ගේ භාෂා පරිචය ප්‍රාගුන්‍යය උකහා ගැනීමට සුබෝධිනී නම් වූ බාලාවතාර ටීකාව පරිශීලනය කළයුතුමය.

බද්ධාබද්ධ සීමා සම්බන්ධයෙන් පැහැදිලි දැක්මත් ඇතැම් භික්ෂුන්ට නොමැති හෙයින් නොයෙක් වාද – විවාද ඇතිවිය. මේ තත්ත්වය දුටු මාහිමියන් කාණ්ඩ ත්‍රිකයකින් සමන්විත සීමා විභාගය සම්පාදනය කෙළේය. මෙයද මාහිමියන්ගේ ප්‍රශස්ත ග්‍රන්ථයකි.

- සරසවි සඳරැස -

කර්නල් ඕල්කොට් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද සරසවි සඳරැස පුවත්පතට නිමිත්ත වූයේත් සුමංගල මාහිමියන්ය. පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය විසින් 1882 දී ආරම්භ කරන ලද මේ පුවත්පත මගින් බෞද්ධ බලය ප්‍රකට කිරීම මූලික අරමුණ විය.

පුවත්පතට සරසවි සඳරැස යන නාමය තබා මේ කවිය ද මාහිමියෝ පබැඳූහ.

ස ර ණට එක ලෙසා නොම හැකිල නෙක දෙස
න ර ගණ වැඩ නිසා සුවපතන නොවලස
පෙ ර පඩි සෙට බසා කර ඇසිරු තතුලෙස
ස ර සවි සඳරැෂ පළ කරමු මනා තොස

වාද – විවාද -

හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ගේ වකවානුවේ ‘අධිමාත වාදය’ ‘පාරුපන වාදය’ ‘පාණදුරා වාදය’ ‘සව්සත්දම් වාදය’ මුල් තැනක් ගනී. අධිමාස වාදය නිසා බෙන්තර පාර්ශවය භේදභින්න වී සිටීම මාහිමියන්ට ගෝචර නොවීය. මේ සම්බන්ධයෙන් සියම් රටට යැවූ ලිපිය මල්වත්තට ද එවන ලදී. ඒ අනුව මෙය සමතයකට පත්කරන ලද්දේ සුමංගල මාහිමියන්ය.

උභයාංශ වාදය ද විශේෂත්වයක් ගනී. මේ වාදයේදී අනෙක් පක්ෂයේ ප්‍රබලයා වූයේ රත්මලානේ ධම්මාලෝක මාහිමියන්ය. මේ වාදයද ඉතා උසස් අන්දමින් ගෙනගියහ. පොතුවිල බැඳිගම බත්තරමුල්ලේ ආදී උගත් භික්ෂුන් ධම්මාලෝක මාහිමියන්ගේ පැත්ත ගත් අතර හෙයියන්තුඩුවේ දේවමිත්ත වලානේ ධම්මානන්ද මාහිමිවරු හික්කඩුවේ සුමංගල මාහිමියන්ගේ පැත්ත ගත්හ. මේ වාදයේදී ඇණුම් – බැණුම් කිසිවක් නොමැතිව ඉතා සංවරව වාදය පැවැත්විණි. මේ කරුණු කාරණා සැලකිල්ලට ගත් කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් යුගය විසින් නිර්මාණය කරන ලද යුග පුරුෂයෙක් වශයෙන් හැඳින්වීම එතරම්ම නිවැරදිය. ඉතිහාසය දෙස බලන විට කාලය විසින් කාලයට ඇතිවූ ප්‍රශ්න විසඳීමට යුග පුරුෂයන් බිහිකරනු ලැබේ. හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ද එවන් ගණයට ගැනෙන යුග පුරුෂයෙකි.

මාහිමියන් අප අතරින් වියෝවී වසර 99 ක් ගතවුව ද එම චින්තනය එදාට වඩා වලංගු වන්නේ අදටය. කාලත්‍රයටම එක සමාන ලෙස උපයෝගීවන සුමංගල චින්තනය සුභාෂිතය භාවිතය සුගැඹුරුය. සර්වකාලීන වටිනාකමක් ගැබ්වී ඇත. ඒ නිසාම සුමංගල මාහිමියන් විදුදය පුරා පමණක් නොව දේශ දේශාන්තරවල පවා අමරණීය නාමයක් ලෙස රැව් පිළිරැව් දෙයි. මෙයයි සමාජ සත්‍යය. භාෂා ශාස්ත්‍ර ඥානයේ මහිමය.

 

අධි වෙසක් පුර පසළොස්වක

අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.

මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]