UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගොයම් කෙතෙන් දහම් කෙතට පිවිසි ‘භාරද්වාජ’ බමුණා

දැන් නම් ඉර අවරට හැරෙන්නට ආසන්නයි.... දරුවනේ සී සෑම නතර කොට ගොඩට එන එක හොඳයි... අපි හැමෝටම කුසගිනියි, වෙහෙසයි. අපිට පමණක් නොවෙයි අම්බරුවන්ටත් මහන්සි ඇති. නගුල් පන්සියයම ලිහා, අම්බරුවන් තණ පිට්ටනියට දක්කනු. සියලුදෙනාම මෙම සිහිල් සෙවනැල්ලට පැමිණ දිවා ආහාරය ගනිමු. අද අපගේ මන්දිරයේ සේවක පිරිස ජයටම ඇඹුල සකස් කැර තිබෙන බවක් පෙනෙයි. ‘අර... අර... කිමෙක්ද මේ අසුබ දර්ශනය....? ආහාර ගැනීමට සූදානම් වන විටම කවුද ශ්‍රමණයෙක් මේ පැත්තට එන හැඩයි. මෙතැනට පැමිණ ඔහුට කළ හැකි රාජකාරිය කිම....? ගත සියුමැලි ශ්‍රමණයකුට අප වැන්නන් සමග කෙලෙස හරි හරියට වැඩ කළ හැකිද මෙහි පැමිණි විගස ලජ්ජාවට පත් කොටැ පලවා හරින්නෙමි.’

‘එසේය භාරද්වාජ තුමනි..., ඔහුට මෙහි ඇති කාරියක් නොමැති බව අපට ද වටහා ගත හැකියි. අප සියලු දෙනා එක්වැ ඒ ශ්‍රමණයාට සමච්චල් කරන්නෙම්ද...?’ ‘එපා එපා මිතුරනි..., ඔහු මා අසලට පැමිණියාවේ. ඔහුට කළ යුතු දෙය මම දන්නෙමි.... වෙහෙසට පත්වැ සිටින තොප සැම දෙනාටම දිවා ආහාරය ගනිමින් හොඳ විනෝදාශ්වාදයක් ලැබිය හැකිවේය’ යි මම අදහස් කරමි....’

මිහිකත සනහමින්, සන්සුන් ඉඳුරන් සහිතවැ, පාත්‍රය ද අතින් ගෙන බුදුරදුන් භාරද්වාජ බමුණා ඉදිරියෙහි පෙනී සිටියාහු ය. එසේ පිඩු පිණිස වැඩම කළ බුදුරදුන්ගේ මන්දස්මිත මුව කමල දුටු භාරද්වාජ බමුණාගේ සිත මඳ තිගැස්මකට පත් නොවුනා නොවේ. එසේ වුව ඒ බව නොඅගවා කතා බහට එළඹුණි. පිරිවර සියල්ලන්ම මුව අයා බලා සිටිති. ‘එම්බා ශ්‍රමණය, මම සී සාන්නෙමි. සී සෑමෙන් අනතුරුවැ වපුරන්නේ ද වෙමි. එසේ සී සෑමෙන්, වැපිරීමෙන් ලබන අස්වැන්නෙන් මම අනුභව කරන්නෙමි. ශ්‍රමණය, ඔබද මා මෙන්මැ සී සෑම කරව, එසේම වැපිරීම ද කරව, සී සෑමෙන් වැපිරීමෙන් හොඳ අස්වැන්නක් ලබා එයින් ආහාර අනුභව කරව. අනුන්ගෙන් ඉල්ලාගෙන අනුභව කිරීම නින්දා සහගත කරුණකි....’ ‘බ්‍රාහ්මණය, තොප නොදන්නවාට මම ද සී සාන්නෙමි. වැපිරීම ද කරන්නෙමි. සී සෑමෙන්, වැපිරීමෙන් ලබන අස්වැන්නෙන් මම ද යැපෙන්නෙමි...?

‘ශ්‍රමණය, කිමෙක්ද ඔබ කියන මුසා බස්...? බලනු මිතුරනි, මේ ශ්‍රමණයා දොඩන මුසා බස්... ශ්‍රමණයකුට මෙලෙස මුසා තෙපලීම තරම් වේද....? තොපට සී සෑම සඳහා අවශ්‍ය කරන විය දණ්ඩක් හෝ නගුලක්, සී වැලක්, කෙවිටක්, ගවයින් වැනි කිසිත් දක්නට නැත. එසේ වූවත් ශ්‍රමණය ඔබ ‘මම සී සාන්නෙමි, වැපිරීම කරමි, ගොවිතැන් කිරීමෙන් ලබන අස්වැන්නෙන් අනුභව කරමි යනුවෙන් මුසා බස් පවසයි. එනමුත් ශ්‍රමණය, ඔබගේ සීසෑමේ උපකරණ කිසිවක් අපි නොදනිමු. ඔබට එවැනි උපකරණ ඇත්නම් පෙන්වා දෙනු මැනවි.’

‘එසේ නම් බ්‍රාහ්මණය, සාවධානව අසව. මම පවසන්නෙමි. මගේ කෘෂි උපකරණ කුමක්දැ’යි ඔබට වටහා ගත හැකි වේවි. පිංවත, ඔබගේ ගොවිතැන් කටයුතුවල දී බිජුවට අවශ්‍ය වෙයි. මගේ ගොවිතැන් කටයුතු වලදීත් බිජුවට අවශ්‍ය වේ. මගේ බිජුවට නම් ‘ශ්‍රද්ධාවයි’ ශ්‍රද්ධාවෙහි කොටස් දෙකක් ඇති බව මම පවසමි. එකක් නම් බුද්ධ ධම්ම, සංඝ කියන තෙරුවණ කෙරෙහි තිබිය යුතු ශ්‍රද්ධාවයි. එය ‘ආගම ශ්‍රද්ධාව‘ වශයෙන් හඳුන්වමි. ආර්යයන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන සතර මග, සතර ඵල කෙරෙහි ඇති කැර ගන්නා ශ්‍රද්ධාව ‘අධිගම ශ්‍රද්ධාව‘ වශයෙන් හඳුන්වමි. ශ්‍රද්ධාවන්ත ජනයා සිල්වතුන්, ගුණවතුන් කරා එළඹෙයි. එසේ පැමිණි ඔවුන් ආශ්‍රය කරයි. ධර්මය වෙත දෙසවන් යොමු කරයි. ඒ අනුව අර්ථය නිරීක්‍ෂණය කරයි. මේ ශ්‍රද්ධාව නමැති බිජුවට මා ළඟ අඩුවක් නොමැතිව ඇත. බ්‍රාහ්මණය ගොවිතැනේ දී වැසි ජලය අවශ්‍ය වේ. නිසි පරිදි ජලය නොමැති වුවහොත්, ගොවිතැන අසාර්ථක වෙයි. ‘තපස’ මගේ වර්ෂාවයි. අකුශල ධර්ම තවන බැවින් තපස යනුවෙන් හඳුන්වයි. මෙය ඉන්ද්‍රිය සංවරය වශයෙනුත් හැඳින්විය හැකියි. ඉදින් බමුණ, තොප විසින් බිජු වපුරන කල්හි වර්ෂාව ඇත්නම් මැනවි. එසේ නැතහොත් ජලය ලබා දිය යුතු වෙයි. ඒ අනුවැ මා විසින් ‘හිරි ඔතප්’ නමැති නගුලිස හා ‘ප්‍රඥා නමැති විය දඬු, නගුල් ‘සමාධිය’ නමැති යොතින්, ඒකාබද්ධ කළ කල්හි, ‘වීර්ය’ නමැති ගොනුන් යොදා ‘සිහිය’ නමැති කෙවිටෙන් පහර දෙමින්, තමන්ගේ ‘චිත්ත සන්තාන’ නමැති කෙතෙහි, ‘ශ්‍රද්ධාව‘ නමැති බීජ වැපිරූ පසු නිරන්තරයෙන් වර්ෂාව ලැබෙයි. ඒ වනා හී ‘තපස’ නමැති වර්ෂාවයි.

පින්වත් බ්‍රාහ්මණය, සී සෑම සඳහා විය ගස සහ නගුල තිබිය යුතුයි. ‘ප්‍රඥාව‘ මා සතු යුග නගුල් වෙයි. සංසාර ධර්මයෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකියි නම් එය ‘ප්‍රඥාව‘ නම් වේ. තොපගේ විය නගුල් යම්සේ ප්‍රයෝජන වන්නේද, එපරිද්දෙන් මගේ ත්‍රිලක්‍ෂණ ඤාණයත්, විදර්ශනා ඤාණයත් කියන යුග නගුල් ප්‍රයෝජනවත් වන්නේ ය.

පින්වත, සීසෑමට නම් මැනවින් සකස් කැර ගත් නගුලියක් අවශ්‍ය බව තොප දන්නෙහිය. මාගේ නගුලිස නම්, ‘ලජ්ජාවයි’ ලජ්ජාව නිසා අකුශල් පිළිකුල් කරයි. යම්සේ තොපගේ නගුල් හිස වියදඩු, නගුල් දරයිද, එපරිද්දෙන් මගේ ද හිරිය නොහොත් ලජ්ජාව ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව සංඛ්‍යාත වියදඬු නගුල් දරයි. ලැජ්ජාවක් නැති කල ප්‍රඥාවක් ඇති නොවේ. ඒ නිසා ලැජ්ජාව සහ භය නගුල් හිස වශයෙන් හඳුන්වමි. ‘සිත’ හෙවත් ‘චිත්ත සමාධිය’ යොත හෙවත් රැහැන වෙයි. බ්‍රාහ්මණය, යම් සේ තොප යොතක් උපයෝගි කැර ගෙන නගුල් හිස, වියදණ්ඩ, සහ ගොනුන් ඒකාබද්ධ කැර සීසෑම කරයිද, මම ද, ‘සමාධිය’, ‘ප්‍රඥාව‘, ‘වීර්ය’ යන ධර්මයන් එක් අරමුණක තබා, මාගේ කාර්යයන් ඉෂ්ට සිද්ධ කැර ගනිමි. ඒ නිසා මම ‘සිත’ යොතක් වශයෙන් හඳුන්වමි.

බමුණ, සීසෑමේදී සී වැල හා කෙවිට අවශ්‍ය වන බව තොප දන්නෙහිය. ‘ඵාල’ යනුවෙන් හඳුන්වන්නේ හී වැලයි. නගුලෙන් හාන විට බිම කැපීගෙන යන තලය ‘ඵාල’ නම් වෙයි. එසේ කැපෙන විට වැලක් මෙන් පොළවෙහි සළකුනු වන හෙයින් එය ‘හිවැල’ යනුවෙන් හඳුන්වයි. ඔබ භාවිතා කරන කෙවිට ‘පාචනං’ යනුවෙන් හඳුන්වයි. මේවා ගැන ඔබට දීර්ඝවැ විස්තර කැරදීම අනවශ්‍යයි හගිමි.

බ්‍රාහ්මණය, යම්සේ ගොනුන්ට භය ගෙන දෙමින්, නිවැරදි මගට ගනිමින්, කෙවිටෙන් ඔවුන් හසුරුවද්ද එපරිද්දෙන් සිහියත්, වීර්යයත් ඇති කැරෙමින් කාම ගුණයෙන් යුතු, අගෝචර ස්ථානයන්හි සිත ගමන් කිරීම වළක්වා, කර්මස්ථාන වල යොදවයි. එසේ හෙයින් ‘ස්මෘතිය’ හෙවත් ‘සිහිය’ මගේ හීවැල සහ කෙවිට වන්නේ ය. එසේම බ්‍රාහ්මණය, මැනවින් ආරක්‍ෂා කරන ලද කාය සුචරිතය ඇත්තෙමි. වාග් සුචරිතය ඇත්තෙමි. ආහාරය’ යි කියන සිව්පසය පමණ දැන වළඳන්නේ වෙමි. සත්‍යයෙන් ‘කෙළෙස්’ නමැති තෘණ ඡේදනය කරමි. ‘අරහත් ඵල විමුක්තිය’ මගේ අස්වැන්න වශයෙන් හඳුන්වමි. බමුණ කයෙන් කැරෙන අකුසල තුනක් ඇත. එනම්, ප්‍රාණ ඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය යන තුනයි. වචනයෙන් සිදුවන අකුසල හතරක් ඇත. එනම්, මුසාවාදය, පිසුනාවාචාය, පරුෂාවාචාය, සම්ඵප්‍රලාපය යන අකුසල්ය.

බමුණ, ඔබ බීජ වපුරා, ගොයම් රැක ගනු පිණිස කටු වැටක් හෝ, රුක් වැටක් හෝ ප්‍රාකාරයක් හෝ කරන්නෙහිය. එවිට ගව මහීෂාදීන්ගෙන් තොපගේ අස්වැන්නට හානියක් නොවේ. ඒ අයුරින් මමද ශ්‍රද්ධා නමැති බීජය වපුරා, නානප්‍රකාරවූ කුසල් ශෂ්‍ය පාලනය පිණිස කය වචන දෙක සුරකින, ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයද, දැහැමින් දිවි පැවැත්ම පිණිස ‘ආජීවපාරිසුද්ධි ශීලය’ ද පමණ දැන වැළඳීමය’යි කියන ‘ප්‍රත්‍යසන්නිශි‍්‍රත ශීලය’ද, යන ත්‍රිවිධ ප්‍රාකාර කරමි. එවිට රාගාදී අකුසල ධර්ම නමැති ගව මහීෂාදීන් මගේ කෙතට ඇතුල් නොවෙති. එයින් මගේ කුසල් අස්වැන්න විනාශ නොවේ. මගේ කායික මානසික ‘වීර්යය’ නිවන් අභිමුඛයට පමුණුවන්නේ නොනවතිමින් නිවන කරා ගමන් කරයි. එසේ නිවන කරා ගොස්, කිසි දිනක ශෝක නොකරයි. මෙසේ මා විසින් සීසෑම මගින් අමෘත ඵල නෙළා ගනිමි. මෙම සීසෑම නිසා සියලු දුක්ඛයන්ගෙන් මිදුනේ වෙමි. එපමණක් නොව බ්‍රාහ්මණය, යමෙක් මේ සීසෑම කරත්ද, හෙතෙම සකල දුක්ඛකන්ධයන්ද, කායික චෛතසික දුක්ඛ වේදනාවන්ද, විපරිනාම දුක්ඛයන්ද, යන සියලු දුක්වලින් නිදහස්වීමට හැකියාව ලැබෙයි.

‘සාදු.. සාදු... ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අමෘත ඵල ඇති සීසෑම කරති. මම ඒ බව වටහා ගතිමි... ස්වාමීනි, මේ රන් තළිය පුරා කිරිබත් ඔබවහන්සේට පූජා කරම් පිළිගත මැනවි...’ ‘බ්‍රාහ්මණය, ගාථා කීමෙන් ලබා ගත් භෝජනය මම නොවළඳමි. සර්වඥයන් වහන්සේලා එසේ ගාථා කීමෙන් ලබන භෝජන නොවළඳති. ඒවා බැහැර කරති. එබැවින් සියලු ගුණයෙන් යුතු, මහාර්ෂී වූ ක්ෂීණාශ්‍රවවූ රහතන් වහන්සේලාට ආහාර පාන වලින් උපස්ථාන කරව. උන් වහන්සේලා තොපට පින් කෙතක් බවට පත් වේවි....’ ‘ස්වාමීනී, මේ කිරිබත් තළිය මා කවරෙකුට දෙන්නෙම්ද....? බ්‍රාහ්මණය, දෙවියන් මරුන්, බඹුන් සහිත මේ ලෝකයෙහිත්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ත්ව ප්‍රජාව අතරත් යමෙකුට මෙම කිරිබත් පිළිගන්වන්නට සිතන්නේද, එබන්දකු මම නොදකිමි. එබැවින් පිංවත, මේ කිරිබත තණකොළ නැති තැනකට හෝ ප්‍රාණීන් රහිත ජලයෙහි හෝ දමනු මැනවි.

‘භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතා යහපත්යැ. එය ශ්‍රවණය කිරීමෙන් මසිත ශ්‍රද්ධාවෙන් පොහොසත් විය. යටිකුරු කර තබන ලද්දක් උඩුකුරු කරන්නේ යම් සේද, වසා තැබූ දෙයක් විවර කරන්නේ යම්සේද, මං මුලා වූවකුට මග කියන්නේ යම්සේද, අන්ධකාරයේ සිටියකුට පහනක් දල්වන්නේ යම් සේද, එපරිද්දෙන් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරන ලද්දේ ය.මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ යන්නෙමි. භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි මම පැවිදි උපසම්පදාව ලබන්නෙමි. මම ඔබ වහන්සේගේ දහම් කෙතට පිවිසෙන්නෙමි.

සාදු... සාදු... සාදු...

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]