UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවැරැදිව දෙසිය යුතු භාවනාව

අධ්‍යාත්ම සංවර්ධනය පිළිබඳව සලකා බලන කල්හි ලොව විවිධ කාලවකවානු තුළ නොයෙක් ආධ්‍යාත්මික පර්යේෂකයින් හා ධ්‍යාන මාර්ග ඔස්සේ මනස දියුණු කරගත් උත්තමයන් පිළිබඳ තොරතුරු බොහොමයක් ඉතිහාසය පිළිබඳ තොරතුරු විශ්ලේෂණයේදි පැහැදිළි කරගත හැකිය .ක්‍රි.පූ. 6 වන සියවසෙහි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර අධ්‍යාත්ම විද්‍යාව ඉතා දියුණු මට්ටමක පැවැති බව භාරතීය ආගමික ග්‍රන්ථ විශ්ලේෂණයේදී හා ත්‍රිපිටක සූත්‍රාර්ත ගත කරණ අධ්‍යනයේදී පැහැදිළි වන කරුණකි.


ඡායාරූපය - ජනක

මෙකල අධ්‍යාත්මය දියුණු කොටය සමථ භාවනාවේ උත්තරීතරය ඵලය වන අෂ්ට සමාපත්ති පවා වඩන ලද යෝගීන් බහුලව සිටි කාලයක් ලෙස හැඳීන්විය හැකිය. බුදුරජාණන් වහන්සේ පහළ වීමත් සමගම මෙකී අධ්‍යාත්ම විද්‍යාව උපරිමත්වයට පත්වීම සිදුවිය.

මෙහිදී තථාගතයන් වහන්සේ සිදු කරන ලද්දේ මෙතෙක් කල් සියලු අධ්‍යාත්මික පර්යේෂකයන් හා භාවනා යෝගීන් සිරවී සිටි අෂ්ට සමාපත්තියෙන් ඔබ්බට ගොස් එයට සඤ්ඤා වේදයිත නිරෝධසමාපත්තිය එක්කිරීමය. එමගින් සිදු වුයේ මෙතෙක් පැවැති ආධ්‍යාත්ම විද්‍යාවේ නව පුණරුදයක් ඇති වීමය. මෙම නව සොයාගැනීම සර්වඥ යැයි තමා විසින්ම හඳුන්වාගත් කිසිවෙකුට සිදුකළ නොහැක්කක් විය. එහිදී මෙතෙක් කාලයක් පැවැති සමථ භාවනාවට වඩා උත්තරීතර විදසුන් භාවනාව හඳුන්වාදීම සිදුවිය.

තථාගතයන් වහන්සේ විසින් විවරණය කරන ලද මෙම භාවනා පිළිවෙත පුද්ගලයා සසර දුකින් නිදහස් වීමට හේතු වන ප්‍රතිපදාවකි. එය මහා සතිපට්ඨානය නම් වන්නේය. මාර්ගඵල සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන තැනැත්තා මෙය ප්‍රායෝගික වශයෙන් ප්‍රගුණ කළ යුත්තේය.

භාවනා කර්මස්ථාන පිළිබඳ සලකා බලන විට ඒ පිළිබඳ සමාජයේ විවිධ මත ගොඩනැගෙමින් පවතියි. ඒ අතර සමාජයේ ඇතැමුන් අතර වර්තමානයේ භාවනාවෙන් ප්‍රතිඵල ලැබිය නොහැකිය යන මතයක් ගොඩනැගී ඇත. මෙහිදී අප දතයුතු කරුණක් ඇත. එනම් තථාගත සසුන නෛර්යානික බවත් සසරින් නිදහස් වීම සඳහා දේශිත මාර්ගයෙහි පිළිවෙත් පුරන ඕනෑම අයෙකුට නිසි ආකාරයෙන් වඩන ලද භාවනාව තුළින් තම මනස ඉතා පහසුවෙන් දියුණු කරගැනීමට හැකි බවය.

භාවනා කර්මස්ථානය මගින් මනස දියුණු කිරීමේ පිළිවෙළ පිළිබඳව සැළකීමේදි සමහර ගිහි හා පැවිදි ඇත්තන් තථාගත භාෂිතය ඇතැම්විට වරදවා පැහැදිළි කරන අවස්ථා වර්තමානයේ ඇතැම් ප්‍රදේශ වලින් අසන්නට ලැබේ. මේ අතර මූලික බුද්ධ භාෂිතයට නව අර්ථ කථනයන් නිර්මාණය කරමින් පවත්වන දේශනා ද ඇතැම් විට පොත්පත්, සංයුක්ත තැටිද බහුලව වෙළෙඳ පොළේ දක්නට ඇත.

ලොව පහල වූ අසම සම ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට පටහැනිව තම තමන්ට රිසි ආකාරයට බුදු දහම වෙනස් කිරීමට කිසිවෙකුට නුපුළුවන. සමහර ඇත්තන් මේ සඳහා ප්‍රවේශය ලබාගෙන ඇත්තේ බුද්ධ චරිතය හා සම්බන්ධ කරුණු කාරණා උපයෝගී කොටගෙනය. උදාහරණයක් වශයෙන් තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනයට සහභාගි වූ පංච වග්ගිය භික්ෂුන් වහන්සේ යන යෙදුම අර්ථකථනය කොට ඇත්තේ (චක්ඛු, සෝත, ජිව්හා, කාය මන) යන පංච ඉන්ද්‍රියනට හා උපාදානස්කන්ද 5 වන රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංඛාර උපාදාන, විඤ්ඤාණ උපාදාන වශයෙනි.

මෙවැනි ඇතැම් නව අර්ථ කථන මෙම පිරිස් විසින් ඉදිරිපත් කරමින් සිටින බව කියැවේ. මෙහි බැලූ බැල්මට දාර්ශනික අදහසක් ඇතත් බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත පිළිබඳ මෙවැනි විස්තර පරමාර්ථයෙන් විස්තර කිරීමට යාම බුද්ධ භාෂිතයේ මූලික සිද්ධාන්ත වරදවා විස්තර කිරීමක් ලෙසත් අනාගතයේදී මුල් බුදු දහම තුළින් බැහැර මූලබීජයන් රෝපණය වීමට මෙවැනි අදහස් හේතු සාධකයන් බව අප වටහාගත යුතු කාරණයකි. අතීතයේ වැඩසිටි රහතන් වහන්සේ පවා මෙවැනි කටයුතු පිළිබඳ නව අර්ථ කථන ඉදිරිපත් කිරීමට ඉදිරිපත් නොවුයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය වෙනස් කිරීමට තරම් තමන් වහන්සේ සර්වඥ නොවූ හෙයිනි.

වර්තමානයේ බුද්ධ දේශනාවේ හදවත බඳු වූ භාවනා කර්මස්ථාන වලටද සිදුව ඇත්තේ මෙවැනිම අනතුරක් බව ඉතා කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. ඇතැමුන් බෞද්ධ භාවනාව හරි ආකාරයට අධ්‍යනය නොකොට දෙසීමට යාමෙන් ද ඒ සඳහා නව අර්ථ කථන ගෙන හැර පාමින් මහත් වූ විනාශයක් සමස්ත නෛර්යානික සසුනටම සිදු කරති.

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විවිධ ගිහි භාවනා උපදේශකවරු මෙන්ම ඇතැම් විට පැවිදි උපදේශකවරුද බෞද්ධ භාවනා කර්මස්ථාන තමාට රිසි පරිදි ජනතාවට දෙසති. මූලික බුදු දහම පසෙකලා තමා විසින් නිර්මාණය කරගත්තා වු මෙම විවිධ භාවනා උපාය මාර්ග ප්‍රගුණ කිරීමට යාමෙන් ඇතැම් ගිහි පැවිදි දෙපිරිසම ඉතා අසරණ තත්වයට පත්ව ඇති අවස්ථා හමුවී ඇත. ඇතැමුන් එක් සතියක් තුළ ධ්‍යාන ලබාදෙන්නේ යැයි භාවනා යෝගීන් මුලා කොට තම තමා විසින් නිර්මාණය කරන ලද කර්මස්ථාන යෝගීනට ලබා දී ඇති බව කියැවේ.

ඒ තුළින් ඇතැම් භාවනා යෝගීන්ට තමාගේ පියවි සිහිය පවා එළවාගත නොහැකිව රෝගී වූ අවස්ථාද හමු වී ඇත. මෙහිදි අප දතයුතු කරුණක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත භාවනා මාර්ගය නිවැරදි ආකාරයෙන් ප්‍රගුණ කිරීමට කිසිවෙකු හෝ බිය විය යුතු නැති බවය. බියවිය යුත්තේ සාවද්‍ය භාවනා කර්මස්ථාන වැඩීමට බව සිහියේ තබාගත යුතුවේ.

මෑතකදී මෙවැනි සාවද්‍ය භාවනා උපදෙස් දෙන පුද්ගලයෙකු පිළිබඳව මුද්‍රිත මාධ්‍යක් ඔස්සේ දැනගන්නට ලැබිණ. ඔහු ප්‍රකාශ කරන ආකාරයට තමා වෙත පැමිණෙන්නාවූ සියලු දෙනාට සතියක් ඇතුළත රූපාවචර ප්‍රථම ධ්‍යානය ලබාදෙන බවත් එක් ධ්‍යානයක් සඳහා රුපියල් 40000 ක (රු.හතලිස්දහසක) මුදලක් තමා වෙත ගෙවිය යුතු අතර ඊට ඉහළ ධ්‍යාන මාර්ගඵල අවශ්‍ය නම් මීට වැඩි මුදලක් තමා අය කරන බවය. තථාගතයන් වහන්සේගේ සසුනෙහි ඇති නිදහස අයුතු ආකාරයෙන් ප්‍රයෝජනයට ගනිමින් භාවනා කර්මස්ථාන මුදලට අලෙවි කරන්නා වු මෙවැනි පුද්ගලයන්ගෙන් නිර්මල බුදුසසුනට සිදුව ඇත්තේ මහත් වු විපතකි.

ඇතැම් අවස්ථාවල භාවනා කර්මස්ථාන ප්‍රගුණ කිරීමට ගොස් තමා රහත් වී ඇතැයි කියමින් තථාගත දේශනයට විකෘති කරන ඇත්තෝද සමාජයෙන් හමුවෙති. මෑතකදී බුදුන් වහන්සේ ලංකාවේ උපන්නේයැයි එක්තරා ග්‍රන්ථයක් නිර්මාණය කොට තමා ප්‍රගුණ කරන ලද භාවනාවෙන් මෙය දකින ලද්දේ යැයි එහි කතුවරයා විසින් ප්‍රකාශ කොට ඇත. මෙසේ කිසිදු විචාරයකින් තොරව බුද්ධ චරිතය ඒ හා සම්බන්ධ කරුණු කාරණා වෙනස් කරමින් තමා තුළ උත්තරීය මනුස්ස ධර්ම ඇති අයෙකු ලෙස (භාවනා අධිගමයන්) හුවා දැක්වීමට තරම් පහළ මානසික තත්වයන් නිර්මාණය වී පැවැතීම ශාසනික වශයෙන් බොහෝ අනර්ථකාරී තත්වයන් ගොඩනැගීමට හේතු විය හැකි බව දතයුතුය. මේ අතර තමා බුදුවී ඇතැයි ප්‍රකාශ කරමින් තථාගත ශ්‍රී සද්ධර්මය සම්පූර්ණයෙන්ම නොපිට පෙරලන ගාල්ල ප්‍රදේශයේ සිටින බුදු දහම විකෘති කරන පුද්ගලයෙකු පිළිබඳව ද මෑත කාලීනව අසන්නට ලැබිණි.

මොහු ප්‍රකාශ කරන ආකාරයට නිවන් අවබෝධ සඳහා භාවනා කර්මස්ථාන වැඩීම නොකළ යුතු බවත්, නිවන් දැකීමට අවශ්‍ය පුද්ගලයා ඇසින්, කණින්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසින් කිසිදු අරමුණක් නොගෙන සිටින විට නිවන් දකින බව කියමින් බුදු දහම විකෘති කරමින් සිටියි. මෙකී කාරණා පිළිබඳව සලකා බලන කල්හි බෞද්ධ මූලධර්ම වාදි පසුබිමක් ලංකාව තුළ ගොඩ නැගෙමින් පවතින බව නොවළහා කිවයුතු කරුණකි. මෙම තත්වය දිගින් දිගටම පැවැතිය හොත් අනාගත බුදු සසුන විශාල අනතුරකට පත් වන බව පැහැදිළිය. මෙහිදි අප කළ යුත්තේ මෙකී මූලධර්ම වාදින්ට එරෙහිව කැරළි ගැනීම නොව නිර්මල බුදු දහම හා තථාගත දේශනය බොදු ජනතාව වෙත නිසියාකාරව සන්නිවේදනය කිරීමට කටයුතු සැළසීම ය.

තෙරුවන් සරණයි

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]