UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිනිසුන් ශ්‍රේෂ්ඨයන් කරන බලවේගය

එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයෙහි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණයා බුදුරදුන් හමුවට පැමිණියේය. එසේ පැමිණ බුදුරදුන්ට වැඳ එකත්පසක සිට පැනයක් විචාලේය. එනම්, මිනිසුන් අතර විවිධ විභේදන (උස් - පහත්කම්) තිබෙන බවත් ඒ සඳහා බලපාන හේතු සාධක මොනවාද යන්නත් ය. ඒ සියලු විභේදන සඳහා බලපාන එකම සාධකය වන්නේ කර්මය බවත්, කර්මය කරණකොටගෙන මිනිසුන් උසස් හෝ පහත් තත්ත්වලට ඇද වැටෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ ඒ උස් පහත්කම් සඳහා බලපාන කර්ම විපාක 14 ක් පිළිබඳ කළ මෙම දම් දෙසුම අපට හමුවන්නේ, මජ්ඣිම නිකායාන්තර්ගත චූල්ලකම්ම විභංග සූත්‍රයෙහිය. එහි සඳහන් පරිදි පුද්ගල විභේදන සඳහා හේතුවන කර්ම විපාක විමසා බලමු.

1. අල්ප ආයුෂ ලැබීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් රෞද්‍රව, ලේ තැවරුණු අත් අඥතිව, කරුණවෙන් තොරව සතුන් මැරීමෙන් යුක්ත වූයේ, ඔහු හෝ ඇය එසේ ප්‍රාණ ඝාතය තුළින් සිදුකරගනු ලබන අකුසල කර්මයාගේ විපාක වශයෙන් මරණින් පසුව නිතර දුක් ඇති සැපයෙන් පහ වූ නරකයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් අල්ප ආයුෂ ඇත්තෙක් බවට පත්වෙයි. මෙය සතුන් මැරීමෙහි අකුසල විපාකයයි.

2. දීර්ඝ ආයුෂ ලැබීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දඬුමුගුරු බහා තබා ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි කරුණාවෙන් වාසය කරයිද, ඔහු හෝ ඇය සතුන් කෙරෙහි කාරුණිකව විසීමේ කුසල විපාක වශයෙන් මරණින් පසුව යහපත් ගති පැවතුම් ඇති සම්පත්වලින් පිරුණු ස්වර්ගයෙහි උපදී.

යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් දීර්ඝ ආයුෂ ඇත්තෙක් බවට පත්වෙයි. මෙය සියලු සතුන් කෙරෙහි කාරුණිකව විසිමේ කුසල විපාකයයි.

3. බොහෝ රෝගාබාධ ඇතිවීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දණ්ඩකින් හෝ කැට කැබලිති වලින් හෝ ආයුධයකින් හෝ අතින් හෝ සත්වයන්ට හිංසා කරන සුළු වූයේ, ඔහු හෝ ඇය ඒ තුළින් සිදුකරගනු ලබන අකුසල කර්මයාගේ විපාක වශයෙන් මරණින් පසුව නිතර දුක් ඇති සැපයෙන් පහ වූ නරකයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ් නම්, නිතර නිතර රෝගාබාධ වලට පත්වන්නෙක් වෙයි. මෙය සතුන්ට හිංසා කිරීමෙහි අකුසල විපාකයයි.

4. නිරෝගිකම ලැබීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දණ්ඩකින් හෝ කැට කැබලිති වලින් හෝ ආයුධයකින් හෝ අතින් හෝ සත්වයන්ට හිංසා නො කරන සුළුවූයේ, සියලු සතුන් කෙරෙහි මෛත්‍රියෙන් දයාවෙන් අනුකම්පායෙන් විසීම නිසා, ඔහුහෝ ඇය සතුන් කෙරෙහි කාරුණිකව විසීමේ කුසල විපාක වශයෙන් මරණින් පසුව යහපත් ගති පැවතුම් ඇති සම්පත්වලින් පිරුණු ස්වර්ගයෙහි උපදී.

යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් දීර්ඝ ආයුෂ ඇත්තෙක් බවට පත්වෙයි. මෙය සතුන්ට හිංසා නොකිරීමේ කුසල විපාකය යි.

5. විරූපී වීමට හෙවත් අවලස්සන වීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ කිපෙන සුළුවේද, සුළු දෙයක් කියන ලදුවත් ගැටේද කිපේද, විරුද්ධ බවට පැමිණේද, කෝපයත් ද්වේෂයත් නොසතුටු බවත් පහළ කෙරේද, ඒ තුළින් ඔහු හෝ ඇය සිදුකරගනු ලබන අකුසල කර්මයාගේ විපාක වශයෙන් මරණින් පසුව නිතර දුක් ඇති සැපයෙන් පහ වූ නරකයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් විරූපීව, අවලස්සනව උපදී. මෙය ද්වේෂයේ සහ කෝප කිරීමෙහි අකුසල විපාකයයි.

6. සුරූපී වීමට හෙවත් ලස්සන වීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ද්වේෂය බහුල කොට නැත්තේ, නො කිපෙන ස්වභාව ඇත්තේ වේද, බොහෝ දෙයක් කියන ලදුවද නොගැටේද, නොකිපේද, විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ද්වේශයත් නොසතුටු බවත් පහළ ;නාකෙරේද, මෙසේ ඔහු හෝ ඇය රැස් කරගන්නා වූ කුසල විපාක වශයෙන් මරණින් පසුව යහපත් ගති පැවතුම් ඇති සම්පත් වලින් පිරුණු ස්වර්ගයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් රූප සෞන්දර්යයෙන් අගතැන්පත් වූවෙකු බවට පත්වෙයි. මෙය ද්වේෂ නොකිරීමෙහි හා ක්‍රෝධ නොකිරීමෙහි කුසල විපාකයයි.

7. අල්පේශාක්‍ය වීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා සහගත සිත් ඇත්තේවේද, අනුන්ගේ ලැබීමය, සත්කාරය, ගරු කිරීමය, බුහුමන් කිරීමය, වැදීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊර්ෂ්‍යා කෙරේද, ඊර්ෂ්‍යාවෙන් කිපෙයිද, ඊර්ෂ්‍යාව බැද ගනීද, ඒ තුළින් ඔහු හෝ ඇය සිදුකරගනු ලබන අකුසල කර්මයාගේ විපාක වශයෙන් මරණින් පසුව නිතර දුක් ඇති සැපයෙන් පහ වූ නරකයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් අල්පේශාක්‍යව (අඩු පිරිස් ඇතිව) උපදී. මෙය අන් සැපතට ඊර්ෂ්‍යා කිරීමෙහි අකුසල විපාකයයි.

8. මහේශාක්‍ය වීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා සහගත සිත් ඇත්තේ නො වේද, අනුන්ගේ ලාභය, සත්කාරය, ගෞරව කිරීමය, බුහුමන් කිරීමය, වැදීමය, පිදීමය යන මොවුන් කෙරෙහි ඊර්ෂ්‍යා නොකෙරේද, ඊර්ෂ්‍යාවෙන් නොකිපේද, ඊර්ෂ්‍යාව නොබැද ගනීද, මෙසේ ඔහු හෝ ඇය රැස් කරගන්නා වූ කුසල කර්මයාගේ විපාක වශයෙන් මරණින් පසුව යහපත් ගති පැවතුම් ඇති සම්පත්වලින් පිරුණු ස්වර්ගයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් මහේශාක්‍යව (විශාල පිරිස් ඇතිව) උපදී. මෙය අන් සැපතට ඊර්ෂ්‍යා නොකිරීමෙහි කුසල විපාකයයි.

9. ස්වල්ප සම්පත් ඇතිවීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පාන වර්ගය, වස්ත්‍රය, යානය, මල්ගඳ විලවුන්ය. සයනය, ආවාසය, පහන්ය යන මෙය, නොදන්නේ වේද, ඒ තුළින් ඔහු හෝ ඇය සිදුකරගනු ලබන අකුසල කර්මයාගේ විපාක වශයෙන් මරණින් පසුව නිතර දුක් ඇති සැපයෙන් පහ වූ නරකයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් ස්වල්ප සම්පත් ඇත්තෙක්ව උපදී. මෙය දන් නොදීමෙහි අකුසල විපාකයයි.

10. විශාල සම්පත් ඇතිවීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ ආහාරය, පාන වර්ගය, වස්ත්‍රය, යානය, මල්ගඳ විලවුන්ය. සහනය, ආවාසය, පහන්ය යන මෙය දෙන්නේ වේද, මෙසේ ඔහු හෝ ඇය රැස් කරගන්නා වූ කුසල කර්මයාගේ විපාක වශයෙන් මරණින් පසුව යහපත් ගති පැවතුම් ඇති සම්පත් වලින් පිරුණු ස්වර්ගයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් විශාල සම්පත් සමූහයකට හිමිකම් ඇත්තෙක්ව උපදී. මෙය දන්දීමෙහි කුසල විපාකයයි.

11. හීන කුල ඇතිවීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අධික මානය ඇත්තේ වේද, වැදිය යුත්තාට නොවදීද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නොනැගිටියිද, ආසනය දිය යුත්තාට ආසනය නොදේද, මාර්ගය දිය යුත්තාට මාර්ගය නොදේද, සත්කාර කළයුත්තාට සත්කාර නොකෙරේද, ගෞරව කළයුත්තාට ගෞරව නොකෙරේද, බුහුමන් කළයුත්තාට බුහුමන් නොකෙරේද, පිදිය යුත්තාට නොපුදාද, ඒ තුළින් ඔහු හෝ ඇය සිදුකරගනු ලබන අකුසල කර්මයාගේ විපාක වශයෙන් මරණින් පසුව නිතර දුක් ඇති සැපයෙන් පහ වූ නරකයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් හීන යැයි සම්මත කුලයක උපදී. මෙය අධික මානයේ හා අන් අයට ගරු නොකිරීමෙහි අකුසල විපාකයයි.

12. උසස් කුල ඇති වීම සඳහා හේතු වන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අධික මානය නැත්තේ වේද, වැඳිය යුත්තාට වඳීද, දැක හුනස්නෙන් නැගිටිය යුත්තාට නැගිටියිද, ආසනය දිය යුත්තාට ආසනය දේද, මාර්ගය දිය යුත්තාට මාර්ගය දේද, සත්කාර කළයුත්තාට සත්කාර කෙරේද, ගෞරව කළ යුත්තාට ගෞරව කෙරේද, බුහුමන් කළ යුත්තාට බුහුමන් කෙරේද, පිදිය යුත්තාට පුදාද, මෙසේ ඔහු හෝ ඇය රැස් කරගන්නා වූ කුසල කර්මයාගේ විපාක වශයෙන් මරණින් පසුව යහපත් ගති පැවතුම් ඇති සම්පත්වලින් පිරුණු ස්වර්ගයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් උසස් යැයි සම්මත කුලයන්හි උපදී. මෙය අධික මානය නැති බවෙහි හා අන්අයට ගරු කිරීමෙහි කුසල විපාකයයි.

13. අඥානවීම සඳහා හේතුවන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ස්වාමිනී, කුසල් කවරේද, අකුසල් කවරේද, වරද සහිත දෙය කවරේද, වරද රහිත දෙය කවරේද, සේවනය කටයුත්ත කවරේද, සේවනය නොකටයුත්ත කවරේද, කරනු ලබන්නා වූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේද, කරනු ලබන්නා වූ කිනම් දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස වේදැයි නොඅසන්නේ වේද, ඒ තුළින් ඔහු හෝ ඇය සිදුකරගනු ලබන අකුසල කර්මයාගේ විපාක වශයෙන් මරණින් පසුව නිතර දුක් ඇති සැපයෙන් පහ වූ නරකයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ අඥානයෙක්ව උපදී. මෙය දන්නා අයගෙන් හොඳ නරක නොවිමසීමෙහි අකුසල විපාකයයි.

14. නුවණැති වීම සඳහා හේතු වන කර්ම
මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත පැමිණ, ස්වාමිනි, කුසල් කවරේද, අකුසල් කවරේද, වරද සහිත දෙය කවරේද, වරද රහිත දෙය කවරේද, සේවනය කටයුත්ත කවරේද, සේවනය නොකටයුත්ත කවරේද, කරනු ලබන්නා වූ කවර දෙයක් මට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේද, කරනු ලබන්නා වූ කිනම් දෙයක් මට බොහෝ කලක් වැඩ පිණිස වේදැයි අසන්නේ වේද, මෙසේ ඔහු රැස් කරගන්නා වූ කුසල කර්මයාගේ විපාක වශයෙන් මරණින් පසුව යහපත් ගති පැවතුම් ඇති සම්පත්වලින් පිරුණු ස්වර්ගයෙහි උපදී. යම් හෙයකින් එසේ නොවී මිනිසත් බවක් ලබන්නේ නම් නුවණැත්තෙක්ව උපදී. මෙය දන්නා අයගෙන් හොඳ නරක විමසීමෙහි කුසල විපාකයයි.

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]