UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතය සුවපත් කරන ගුණවත් ඇසුර

අඳුරෙන් එළියට ගමන් කරන පුද්ගලයන් මෙලොව විරලය. අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව තමන් වැටී සිටින තත්ත්වයෙන් ඉහළට ඒමට ඔවුහු උත්සාහ ගනිති. අසත්පුරුෂයන් අතහැර සත්පුරුෂ සේවනයට එළඹෙති. අකුසල් රැස්කිරීම අතහැර කුසල් රැස්කිරීමට උත්සාහ දරති. ලෝකයේ අඳුරෙන් ආලෝකයට ගමන් කළ සුප්‍රකට පුද්ගලයෝ එමට වෙති.

සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් යහපත් ජීවිතයක් පවත්වාගත හැකි බව බුදු දහමේ දැක්වේ. පුද්ගලයාගේ මෙලොව දියුණුවට සත්පුරුෂ ඇසුර බලපාන බව බුදුන් වහන්සේ දේශනා කොට ඇත. සත්පුරුෂයන් හමුවීම යමෙකුගේ ජීවිතයට ලක්‍ෂ්මීය ළඟා කරගන්නා හා සමානය. වාසනාවේ දෙව්දුව වූ ලක්‍ෂ්මිය ළඟා කර ගැනීමට නම් සත්පුරුෂයන් ඇසුරු කිරීම, සුදුසුය. සත්පුරුෂයාගේ පසමිතුරා වන්නේ අසත්පුරුෂයාය. මේ දෙදෙනා එක තැනක සිටියහොත් විවිධ ගැටුම් හා ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. අසත් පුරුෂයෝ සත්පුරුෂයන් වෙර වෑයමින් ගොඩනගන ජීවිතයට අකුල් හෙළමින් කාලය ගත කරති.

සත්පුරුෂයා අපට හඳුනාගැනීම පහසුය. උසස් ගුණදහම් වලින් හෙබි සත්පුරුෂයෝ ඕනෑම අයකුගේ විපතේදී පිහිට වෙති. ආචාර ධර්ම සිරිත් විරිත් වලින් සන්නද්ධ වන සත් පුරුෂයෝ පි‍්‍රය මනාප කතා බහ ඇත්තාහ. බුද්ධිමය ජවය මැනැවින් මෙහෙයවනු ලබන්නාහ. සත්පුරුෂයෝ උකටලීව කටයුතු නොකරති. ඔවුහු ධෛර්ය සම්පන්යහ. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තයහ.

කුසල් රැස් කිරීමට සත්පුරුෂයෝ කැමැති වෙති. අසත්පුරුෂයෝ තමන්ට ලැබෙන කවර ලාබ ප්‍රයෝජනයක් වුවද අනුන්ට නොලැබේවායි ප්‍රාර්ථනය කරති. සමහරු සිතන්නේ සත්පුරුෂයන් පහළ වන්නේ, මෙලොවට බිහිවන්නේ උසස් කුළයක ඉපදීමෙන් පමණක් බවයි. සත්පුරුෂයාට උසස් කුලයක් නැත. උසස් කුලවලද සත්පුරුෂයෝ සිටිති. පහත්යැයි සම්මත කුලවලද සත්පුරුෂයෝ වෙති. කුලහීනයකු වූ එහෙත් ඉන්දියාවේ ප්‍රකට උගතකු වූ ආචාර්ය අම්බෙඩ්කාර් තුමා, කුලහීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණු ශ්‍රේෂ්ඨයෙක් ලෙස පිළිගැනෙයි. එතුමා කුලහීනයන්ට උසස් අධ්‍යාපනය ලැබිය නොහැකිව තිබූ වකවානුවක උසස් විභාග ඉතා විශිෂ්ට අන්දමින් සමත් වී සමස්ත ඉන්දියා දේශයෙහිම උසස් පඩිවරයෙකු බවට පත්විය. ඉන්දීය ව්‍යවස්ථාව සෑදීමට පුරෝගාමී වුයේ ආචාර්ය අම්බෙඩ්කාර් තුමාය.

ආචාර්ය අම්බෙඩ්කාර් ඉන්දීය කුලහීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් විශාල වැඩකොටසක් ඉටු කළේය. ඉන්දියාවේ කුලහීන ජනතාවට හිස ඔසවන්නට හැකිවූයේ ආචාර්ය අම්බෙඩ්කාර්ගේ අප්‍රතිහත ධෛර්යයට පින් සිදුවන්නටය. ආචාර්ය අම්බෙඩ්කාර්ගේ පිළිරුවකට මෑතකදී අලාභ හානි කිරීමෙන් කිපුණු ඉන්දීය කුලහීන ජනතාව කුලීනයන්ගේ නිවෙස් ගිනි තැබූ බව පසුගිය කාලවකවානුවේදී ඉන්දියාවෙන් වාර්තාවිය. මහා සත්පුරුෂයකු වූ ආචාර්ය අම්බෙඩ්කාර්තුමා ඉන්දීය කුලහීන ජනතාව විසින් සලකනු ලබන්නේ දේවත්වයෙනි.

සත්පුරුෂයන් ඉටු කළ කාර්යභාරය ලෝකයේ නොනැසී පවතින බව ආචාර්ය අම්බෙඩ්කාර්තුමාගේ කතාවෙන් පැහැදිලි වෙයි. අසත්පුරුෂයන් හා ඇසුරු කිරීමේදී ඔවුන් අනුගමනය කිරීමට යෑමේදී සත්පුරුෂයන්ද අසත්පුරුෂ ගොන්නට වැටීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

තමෝතම පරායන සූත්‍රයේදී බුදුන් වහන්සේ මෙලොව පරලොව සුගතියට හා දුගතියට පත්වන පුද්ගලයන් වර්ග 04 ක් ගැන සඳහන් කරති.

1.අඳුරෙන් අඳුරට යන පුද්ගලයා
2.අඳුරෙන් එළියට යන පුද්ගලයා
3.එළියෙන් අඳුරට යන පුද්ගලයා
4.එළියෙන් එළියට යන පුද්ගලයා වශයෙනි.

අඳුරෙන් අඳුරට යන පුද්ගලයා තමන්ගේ අකුසල් ගොඩට තවත් අකුසල් එක්කර ගනියි. තමන්ගේ මිතුරු කැල අතරට තවත් අසත්පුරුෂයන් එක්කර ගනී. නරක කාර්යයන් අතරට තවත් එවැනිම නරක කාර්යයන් එක්කර ගනී.

අඳුරෙන් එළියට ගමන් කරන පුද්ගලයන් මෙලොව විරලය. අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව තමන් වැටී සිටින තත්ත්වයෙන් ඉහළට ඒමට ඔවුහු උත්සාහ ගනිති. අසත්පුරුෂයන් අතහැර සත්පුරුෂ සේවනයට එළඹෙති. අකුසල් රැස්කිරීම අතහැර කුසල් රැස්කිරීමට උත්සාහ දරති. ලෝකයේ අඳුරෙන් ආලෝකයට ගමන් කළ සුප්‍රකට පුද්ගලයෝ එමට වෙති. සෝවියට් රුසියාවේ නිර්මාතෘ වූ වී.අයි. ලෙනින් අඳුරු ජීවිතය ජයගෙන ජනතාවට ආලෝකය හා සෞභාග්‍යය ළඟා කර දෙමින් අප්‍රතිගත ධෛර්යෙන් අඳුර දුරු කළ පුද්ගලයෙකි. රුසියාවේ මැක්සිම් ගෝර්කි අසත්පුරුෂයන් ඈත් කරමින් සත්පුරුෂයන් සොයමින් ජීවිත තක්සලාවෙන් නැණ නුවණ ලබමින් ජිවිතය සොඳුරු කරගත් සොඳුරු මිනිසෙකි.

අඳුරෙන් ආලෝකයට ගමන් කිරීම යමකුට පහසු කටයුත්තක් නොවේ. අඳුරෙන් අඳුරටත් ආලෝකයෙන් ආලෝකයටත් ගමන් කිරීම පහසුය. මෙතෙක් කලක් අඳුරු ජීවිතයට හුරු පුරුදු වූවකු අඳුරින් ආලෝකයට ගමන් කිරීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් වැනි දුෂ්කර කටයුත්තකි. අඳුර යනු අසත්පුරුෂයාගේ ගුණයකි. අසත්පුරුෂයා අඳුරට කැමැතිය. ආලෝකය ඔහුට නුහුරු නුපුරුදු දෙයකි. අඳුරෙන් අඳුරට යන පුද්ගලයා අසත්පුරුෂයන් හා ඇසුරට පි‍්‍රයය. ඔහුද අසත්පුරුෂයෙකි. ජර්මනියේ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ මඟ ගත් ඉතාලියේ ආඥාදායක බෙනිටෝ මුසෝලිනී අඳුරෙන් අඳුරට ගමන් කළේය. අවසානයේදී ජනතාව විසින් බෙනිටෝ මුසලිනී ඝාතනය කරන ලදී. මුසෝලිනී හිට්ලර්ගේ පැසිස්ට්වාදී පාලනයට ආවඩමින් හිට්ලර් සමඟ ලෝකයේ ජාතින් මර්ධනය කිරීම පිණිස කටයුතු කළේය. අවසානයේ මුසෝලිනිටත් හිට්ලර්ටත් මරණය හිමිවිය.

අඳුරෙන් අඳුරට ගමන් කරන පුද්ගලයා යළි යහ මඟට ගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි. අඳුරෙන් අඳුරට ගමන් කරන පුද්ගලයා වැනසෙයි. දුෂ්කරතාවන්ට මුහුණ දෙයි. දුක් කරදරවලට මුහුණපායි. ජීවිතයත් ජීවත්වීමේ ආශාවත් නැති කරගෙන සමාජයේ අපවාදයට ද ලක්වේ.

ළියෙන් අඳුරට යන පුද්ගලයා මෝහයෙන් පිරි රජිඳකු වැනිය. ආලෝකයේ සිට අඳුරට යන්නා තමාගේ කුසල් බලය නැති කර ගනී. ආලෝකය ඉතා වැර වෑයමින් ළඟා කරගෙන ඉතා ඉක්මනින් අඳුරට ගමන් කිරීමට ඔහු පෙළඹෙයි. ආලෝකයෙන් අඳුරට ගිය දාමරිකයන් ලෝකයේ කොතෙකුත් සොයාගත හැකිය. අංගුලිමාලගේ කතා පුවත ආලෝකයේ සිට අඳුරට ගමන් කළ පුද්ගලයෙකුගේ ජීවිතය සිහිගන්වන්නකි. අහිංසක නමින් හැඳින්වුණු අංගුලිමාල තරුණයා මුල්කාලයේදී දක්‍ෂ දීප්තිමත් විචක්‍ෂණ ශීලි ශිෂ්‍යයකුව සිටියේය. අඳුරු මිතුරුන්ගේ සමාගමය නිසා මේ විචක්‍ෂණශීලි ශිෂ්‍යයා අඳුරට යොමු විය. එහෙත් අංගුලිමාල ගේ චරිතයට යළි ආලෝකය දීමට බුදුන්වහන්සේ ගත් උත්සාහය අවසානයේ සාර්ථකත්වයට පැමිණුනි.

එළියෙන් එළියට යන පුද්ගලයෝ ලොව විරලය. එළියෙන් අඳුරට යන පුද්ගලයන්ට වඩා මෙම පුද්ගලයෝ ස්ථානෝචිත ප්‍රඥාවෙන් සම්පූර්ණ වන්නාහ. ආලෝකය තුළින් ආලෝකය දැකීම උත්සාහවන්තයාගේ වීර්යවන්තයාගේ සුබ පිළිවෙතයි. උත්සාහය අත්නොහැර ලොව දිනන්නාහ. ඔවුහු මෙලොවටද පරලොවටද වැඩ පිණිස සිය යුතුකම් මනාව ඉටුකරති. ඔවුහු මෙලොවද දිනන්නාහ. පරලොවද දිනන්නාහ. එළියෙන් එළියට ගමන් ගත් පුද්ගලයන් ලෙස ඉන්දියාවේ මහත්මාගාන්ධි , ශ්‍රීනේරුතුමා , පාකිස්ථානයේ අලිජින්නා, ඊශ්‍රාලයේ ගෝල්ඩාමියර් අගමැතිනිය, ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා , යුගෝස්ලාවියාවේ මාෂල්ටිටෝ, ප්‍රකට විද්‍යාඥයකු වූ අයිසැක් නිව්ටන් වැනි උදාර පුද්ගලයන් හඳුන්වාදිය හැකිය.

මහා මංගල සූත්‍රයට අනුව සත්පුරුෂ සේවනය මංගල කාරණයක් ලෙස ප්‍රකටය. මෙය මංගල කාරණයක් වන්නේ සත්පුරුෂයන්ගේ ඇසුර තුළින් ජීවිතය මහත් පෙරළියකට හසු කරගත හැකි බැවිනි. ඒ නිසා සත් පුරුෂයන් ඇසුරු කිරීම දෙලොවටම වැඩදායකය. සත් පුරුෂයා අකුසල් මඟ හැර කුසල් රැස්කර ගනියි. අසත්පුරුෂයා අකුසල් ළං කර ගෙන කුසල් ඈත් කර ගනී. සත්පුරුෂයා සත්පුරුෂයන් ඇසුරු කරයි. අසත්පුරුෂයා අසත්පුරුෂයන්ට ඇසුට ලොල් වෙයි. සත්පුරුෂයා නිවන් මඟ අවබෝධ කර ගනියි. අසත්පුරුෂයා නිවන තව තවත් ඈත් කරගෙන , අපාගත වීමට මාර්ගය සකස් කර ගනියි.

බුදුන් වහන්සේ සත්පුරුෂයන් ඇසුර මංගල කරුණක් ලෙස හැදින්වුයේ ඒ මගින් උකහා ගත හැකි ජීවමය ආලෝකය උන් වහන්සේ අතැඹුලක් සේ පසක් කොට ගත් නිසාය. අසත්පුරුෂ ඇසුරට නොයා සත්පුරූෂයන් හා විසීම ජීවිතයට සතුට සාමය සොම්නස අත් කර දෙන මංගල කාරණයක් බව අප සිහි තබා ගත යුතුය.

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]