UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිද්දට සුදුසු පුද්ගලයා තෝරා ගැනීම කෙසේ කළ යුතු ද?

පළමු වන යෝජනාව තමයි දහම් පාසල්වල තත්ත්වය වඩා දියුණුවන වැඩපිළිවෙළක් සකස් කර ගැනීම. අපට පුළුවන් පැවිදි ජීවිතයට නැඹුරුවන සුළු පිරිසක් හෝ ධර්මාචාර්ය විභාගය දක්වා ගමන් කරන්න උනන්දු කරවන්න. පන්සලේ හාමුදුරුවන් වහන්සේට පුළුවන්කමක් තියෙනවා, මේ දරුවන්ගෙන් පැවිදි ජීවිතයට සුදුසු අය කවුද කියලා පෞද්ගලිකව හඳුනා ගන්න.

ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ භික්ෂු අධ්‍යාපනය පිළිබඳ මූලිකම ආයතනය තමයි, අනුරාධපුරයේ මහා විහාරය. මහ විහාර අධ්‍යාපනයේ මුල්ම කාල පරිච්ඡේදය පිළිබඳ තොරතුරු සොයා බලන විට, භික්ෂූන් වහන්සේ උදෙසාම පවත්වාගෙන ගිය අධ්‍යාපන ක්‍රමයක් එහි තිබුණු බවපෙනී යයි. සූත්‍ර, විනය, අභිධර්මය යන ත්‍රිපිටක පිළිබඳ හසල දැනුමක් ඇති ප්‍රවීන භික්ෂූ පරපුරක් තමයි මුල්ම යුගය තුළ අපට දක්නට ලැබුණේ. මෑත කාලයේදී බුදුසරණ පත්‍රයේ ලිපි දෙකක් පළ වුණා. ඉන් එකක් තමයි, “භික්ෂුත්වය ගොඩනගන කාර්යභාරයට පමණක් පිරිවෙන් කැප විය යුතුයි’. යන ලිපිය. එය හොඳ අදහසක්.

මහා විහාර අධ්‍යාපනය තුළ දක්නට ලැබුණේ එම සම්ප්‍රදායයි. දෙවන ලිපියෙහි අවධාරණය කර තියෙනවා. “භික්ෂූත්වය නිසි මඟ රඳවන අධ්‍යාපන පිළිවෙතක් ඕනෑ” යන යෝජනාව. මේ අදහස් දෙකම පළ කර තිබුණේ ඉසිවර ආරණ්‍යවාසී නුගේගොඩ පුණ්ණ හාමුදුරුවෝ. මූලික භික්ෂූ අධ්‍යාපන ක්‍රමයේද කාලීන වෙනසක් අවශ්‍ය යි. භික්ෂු සංවිධානයට එකතු වන සාමණේර භික්ෂූන් වහන්සේ ගැන පළමුවෙන් සාකච්ඡා කරන්න ඕන.

පැවිදි කිරීමට දරුවන් ලබා ගන්නා බෞද්ධ ගිහි සමාජය ගැන අවධානය යොමුවීම ප්‍රමාණවත් නෑ කියන එකයි, මගේ අදහස. සියම් මහා නිකායට අයත් අස්ගිරි පාර්ශ්වයට අවුරුදු හත්සියයක් පිරීම නිමිත්තෙන් 2012 දී හත්සියයක් පැවිදි කිරීම පිළිබඳ මේ දිනවල කටයුතු පිළිවෙළ වෙමින් පවතිනවා. භික්ෂුන් වහන්සේ සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ මේ නවකයන් ලබා ගන්නේ කොහෙන්ද කියන කාරණය ගැන තමයි අපි පළමුවෙන්ම කතා කළ යුතු වන්නේ.

ඇත්ත වශයෙන්ම භික්ෂු සමාජය පෝෂණය වන්නේ, මේ රටේ සිංහල බෞද්ධ පවුල් තුළින්. විවිධ හේතු නිසා මීට දශක දෙකකට පෙර අපේ සමාජයේ තිබුණු ඒ සංයුතිය අද නෑ. විශේෂයෙන් රැකියා සඳහා විදේශ රටවලට කාන්තාවන් පැමිණීම, එසේම ලංකාවේ පැවතුණු ගැටලුකාරි අවුල් සහගත තත්ත්ව ආදිය නිසා ගෘහ ජීවිතය තුළ ඉතා අවුල් සහගත තත්ත්ව අපට දකින්නට ලැබෙනවා. තවත් එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපට දකින්නට ලැබෙන්නේ පවුල් ඒකකය තුළ සාමාජිකයන් බිහි කිරීම සීමා කිරීම. හැම පවුලකම දෙන්නයි, තුන් දෙනයි. සීමාවීමක් තියෙනවා. මෙයට හොඳම උදාහරණය තමයි දැනට ලංකාවේ පාසල් 100කට ආසන්න සංඛ්‍යාවක් වැසී යෑම. දරුවන් නොමැතිකමින්. එහෙම නම් අපට එම ප්‍රතිශතය දිහා බැලුවහම අපේ සිංහල බෞද්ධ පවුල් සංයුතිය කේඩෑරි වෙලා තියෙන බව පේනවා. මේ පුංචි පවුල තුළින් තමයි අපට මේ මානව සම්පත් සපයා ගන්නට සිදුවී තිබෙන්නේ. එය බරපතල තත්ත්වයක්. මේ සීමා පවුල් ඒකකයක් තුළින් තමයි අපි මේ දරුවන් පැවිදි කරන්න ලබා ගන්නේ.

එහිදීත් පැරැණි ක්‍රමයක් තමයි අපි අනුගමනය කරන්නේ. සාමාන්‍යයෙන් යම්කිසි දැනහැඳුනුම්කමක් ඇති මවුපියන් සමග ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ සාකච්ඡා කරලා තමයි පැවිදි දිවියට දරුවන් ඇතුළත් කර ගත්තේ. ගමේ පාසලෙන් අස්කරගෙන ඇවිල්ලා පන්සලේ අධ්‍යාපන ක්‍රමයට යොමු කරලා මහණ කිරීම තමයි එදා සිට පැවැති සාමාන්‍ය සම්ප්‍රදාය. එම සාමණේරයන් වහන්සේ පිරිවෙනකට ඇතුළු කිරීම තමයි සිදුවුණේ. මේ සම්ප්‍රදාය ඇත්ත වශයෙන්ම අසාර්ථකයි. කියලා කියන්න සිද්ධ වෙනවා. මම මේ ක්‍ෂේත්‍රය තුළ බොහෝ කාලයක් කටයුතු කරලා තියෙනවා. මේ පැරැණි සම්ප්‍රදාය දැන් වෙනස් කළ යුතු බව අපට පෙනෙනවා. බාහිර හා අභ්‍යන්තර සාධක හා විවිධ බිඳ වැටීම් නිසා මේ පැරැණි ක්‍රමය හුඟක් දුරට කළ නොහැකි දෙයක් බවට පත් වෙලා තියෙනවා.

මේ ක්‍රමය නිසා පන්සලේ හාමුදුරුවන්ට පැවිදි කිරීම සඳහා මානව සම්පත් සොයා ගැනීම අපහසු වී තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය යහපත් තත්ත්වයක පවතින්නේ නැති නිසා, අපට අලුත් මං සොයා ගෙන, අලුත් ක්‍රම සකස් කර ගැනීමට යෝජනාවක් තමයි මම මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ. මේ රටේ දහම් පාසල් තියෙනවා එකළොස් දාහක්. පළමු වන යෝජනාව තමයි දහම් පාසල්වල තත්ත්වය වඩා දියුණුවන වැඩපිළිවෙළක් සකස් කර ගැනීම. පන්සලක් තුළයි, දහම් පාසලක් තියෙන්නේ. දහම් පාසල්වලට ගුරුවරු සපයා ගැනීමත් දුෂ්කරයි. පසුගිය ධර්මාචාර්ය විභාග සහතිකය ගැන පත්වීම් දීමේදී පිළිගැනීමක් දැක්වූවා. ධර්මාචාර්ය සමතුන්ට තවත් වරප්‍රසාද දීලා, ධර්මාචාර්ය පදවි ලබා දීලා ගුරුවරුන් පෝෂණය කරලා දහම් පාසල ශක්තිමත් කරන්න ඕන. දහම් පාසල තුළින් අපට පුළුවන් පැවිදි ජීවිතයට නැඹුරුවන සුළු පිරිසක් හෝ ධර්මාචාර්ය විභාගය දක්වා ගමන් කරන්න උනන්දු කරවන්න.

පන්සලේ හාමුදුරුවන් වහන්සේට පුළුවන්කමක් තියෙනවා, මේ දරුවන්ගෙන් පැවිදි ජීවිතයට සුදුසු අය කවුද කියලා පෞද්ගලිකව හඳුනා ගන්න. හාමුදුරුවෝ නිරතුරු ඇසුරු කරන නිසා, පන්සලේ තියෙන වත් පිළිවෙත්වලට, පොදු කටයුතු වලට, ආරාමික කටයුතු වලට නැඹුරුවන්නා වූ පුද්ගලයින්, ඒ සඳහා වඩාත් සුදුසු පුද්ගලයන් හොයලා බලලා එබඳු පුද්ගලයන් තෝරාගැනීම තමයි, සුදුසුම ක්‍රමය. පන්සල, දහම් පාසල ඇසුරු කරමින් හැදුණු, වයස අවුරුදු 16, 17, 18 තරම් වන දරුවන්ට හොඳට අවබෝධ කරවන්න ඕන, පැවිදි ජීවිතය කියන්නේ කුමක්ද කියා.

ඇත්ත වශයෙන් අවුරුදු 18ක් විතර වෙනකොට ආගමික සම්බන්ධතා තුළින් සහ පොදු කටයුතු තුළින් අපට ඔහුගේ අභ්‍යන්තරය දකින්න පුළුවන්. එවිට අපට ඒ පුද්ගලයා ගැන අවබෝධයක් ලැබෙනවා. වැදගත් මිනිහෙක් ඔහු තුළින් නිර්මාණය කරන්න හොඳ අවස්ථාවක් තිබෙන බව, අපට ඒ වන විට තේරුම් ගන්න පුළුවන්. මේ පිරිසගෙන් සියයට සියයක්ම අපට පැවිදි කරන්න බැරිවුණාට පස් දෙනෙක්වත් එයින් තෝරාගන්න අපට හැකියාව තියෙනවා. ඒ නිසා දහම් පාසල පෝෂණය කිරීමට උනන්දුවක් දැක්වීමෙන් එතැනින්ම අපට පැවිදි ජීවිතය සඳහා දරුවන් සපයා ගැනීමත් කරගන්න පුළුවන්.

දහම් පාසලකින් දහ දෙනෙක් විතර තෝරාගත්තා නම් ඒ ප්‍රදේශයේ පන්සල්වලට අනුයුක්ත කරන්න, පසුව ඒ අයට ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබා දිය හැකියි. ගමේ හාමුදුරුවෝ ගමේ ඇළ දොළ, ගහ කොළ දන්න කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම හාමුදුරුවෝ බහුශ්‍රැතයෙක් වෙන්න ඕන. මේක භික්ෂුවකට හරිම වැදගත්, වර්තමානය වන විට භික්ෂුව දේශපාලනයට අවතීර්ණ වෙලා. භික්ෂුව දැනගන්න ඕනෙ පාර්ලිමේන්තු සම්ප්‍රදාය මොකක්ද කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොකක්ද කියලා දැනගන්න ඕනෙ. පිරිටවන් අධ්‍යාපන පනත මොකක්ද කියලා දැනගන්න ඕනේ. මානව හිමිකම් දැනගන්න ඕන. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්ති දැනගන්න ඕන. පසුගිය කාලය තුළ භික්ෂූන් වහන්සේ අණපනත් පිළිබඳ නොදැනුවත්කම නිසා විදේශීය සම්බන්ධකම් පිළිබඳව ගැටලු රාශියක් මතුවෙලා තියෙනවා. මේවා ගැන ඒ හිමිවරු දැනුවත් වන්න ඕනේ. භික්ෂුවට කාලය තියෙනවා. භාෂාන්තර ඤාණය ලබාගන්න ඕනෑ.

පන්සලේ අනාගතය භික්ෂුවයි. ප්‍රදේශයේ අනාගතය, භික්ෂුවයි. කාලේ නාස්ති වන අධ්‍යාපන ක්‍රමයක් අපිට ලැබිල තියෙන්නේ. මේකේ තේරුමක් නැහැ. මෙහෙම උකටලී වෙන්න නොදී උද්යෝගිමත් භික්ෂූන් වහන්සේ පරපුරක් අපට ඕන කරනවා. මට මතකයි මේ මෑත කාලෙදී භික්ෂූන් වහන්සේ නමක් අභියෝග කළා මට මේ අධ්‍යාපනය ජන්නේ කවුද කියලා. නීතිය පිළිබඳ ප්‍රශ්නයකදී. එය සාධාරණයි. අපේ අනාගත භික්ෂූ පරපුරට මේ අධ්‍යාපන සම්ප්‍රදාය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය.

මේ මූලික භික්ෂු අධ්‍යාපන ප්‍රතිපත්ති විධිමත් කරන්නට නම් ගිහි සමාජය ගැනත් සැලකිලිමත් විය යුතුයි. දහම් පාසල හා දිනපතා පාසල ගැන කල්පනාකාරී වීම, ඒ අනුව ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මීට වඩා තිබෙන්න පුළුවන්. සාකච්ඡා කරලා දහම් පාසල තුළින් මේක කරගන්න ඕනෙ. අරමුණ පමණයි මම පැහැදිලි කළේ. ඒ සඳහා ක්‍රියාත්මක කළ හැකි තවත් දෑ තියෙන්න පුළුවන්.

මේ යෝජනා ගැන සියලු දෙනා සැලකිලිමත් වේ යැයි බලාපොරොත්තු වෙනවා.

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]