UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

දුරුතු අමාවක - 2010. 01. 14

නවීකාරක ලක්‍ෂණ හඳුනා ගැනීම

සිංහල පාඨකයන්ට සාමාන්‍යයෙන් කියැවීමට නො ලැබෙන ආකාරයේ ලිපියක් මේ පත්‍රයේ 10 හා 11 යන පිටුවල පළ කැර තිබේ. ඒ.එස්.ඒ. අත්නායක මහත්මිය ගේ පරිවර්තනයක් වන එය ඇන්ඩෲ ග්ලාස් නමැති ඇමරිකානු මහාචාර්යවරයකු විසින් ලියන ලද ලිපියකි. ‘තාක්‍ෂණය කෙරෙහි වූ සැබෑ බෞද්ධ ආකල්ප’ යනුවෙන් සඳහන් එහි මාතෘකාව ම අපට තරමක් නුහුරු ය.

එම ලිපිය පළ කිරීමට හේතුව ඇමරිකානු මහාචාර්යවරයකු විසින් එය ලියා තිබීම හෝ ආකර්ෂණීය ශීර්ෂ පාඨයක් යොදා තිබීම හෝ නො වේ. බුදු දහම කෙ තරම් පුළුල් ලෙස මානව ශිෂ්ටාචාරයට සේවය කැර තිබේ ද යන කාරණය අප පාඨකයන්ට දැන ගැනීමට සැලැස්වීම අප ගේ අරමුණ ය.

එම ලිපියෙහි අඩංගු ඡේද කිහිපයක් වෙත අපි දැන් අවධානය යොමු කරමු.

‘ගන්ධාරයෙන් ලැබී ඇති කරෝෂි අක්ෂරයෙන් ලියැවුණු බෞද්ධ අත්පිටපත් කාබන් ක්‍රමයට අනුව විද්‍යාත්මක ව ගණන් බලා ඇති පරිදි ක්‍රිස්තු පූර්ව දෙවන සියවසත් – ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසත් අතර කාලයට අයත් වේ. දැනට ඉතිරි ව පවත්නා ඒවායේ පළමු පිටපත් ක්‍රිස්තු වර්ෂය ආරම්භයේ මුල් පනස් වසර තුළ ලියැවුණු ඒවා යැයි විශ්වාස කැරේ. විවිධ ධර්මධරයන් විසින් ලියන ලද අත් පිටපත් විසිනවයක කොටස් ඇතුළත් පැරැණි හා ඉරීගිය එකතුවක් ඊට අයත් ය. ඉන් සමහරක් අක්ෂර දෝෂ සහිත වූ දෙවන පිටපත් බව ද පෙනේ. අතිරේක කරුණු ද ගෙන බලන විට, එම පිටපත් හි ඇත්තේ එකල්හි වූ ගන්ධාර ලේඛන කලාව බව පෙනේ. එක් එක් රචකයා ගේ අත් අකුරු වෙනස් අතර, කාලයත් සමඟ ඒවා ගැන වෙන වෙන ම කීම ද අපහසු ව තිබේ. එ සේ ම එම ආරම්භක පිටපත් ලියා ඇත්තේ බර්ච් පිටපොතුවලින් සකස් කැර ගත් රෝල්වල ය. දෙවන හා තුන්වන සියවස් වලට අයත් ඇෆ්ගනිස්ථානයේ බාමියන්හි පුස්කොළ පිටපත් ද, තුන්වන සියවස තරම් ඈතක දී මධ්‍යම ආසියාව හරහා හඳුන්වා දී ඇති කඩදාසි ද සමඟ සාපේක්‍ෂ ව බලන විට, මේ බර්ච් පිටපත් ලෙහෙසියෙන් පලුදු වේ. එම ලේඛන ක්‍රමයෙහි විධිමත් රටාවක් ද නැත. පොදුවේ එම ගන්ධාර පිටපත්වලින් පෙනී යන්නේ, නො පැසුණු ලේඛන තාක්‍ෂණයකි. ඒවා පාලි වංශකතා වල සඳහන් ශ්‍රී ලාංකික ප්‍රථම ලේඛන හා සමගාමී ව ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ දී පමණ ලියැවී ඇතැයි කිව හැකි ය.’

‘ඒ අනුව ආගම ධර්මයේ එකතුවක් ලේඛන ගත කළ මුල් ම ඉන්දීය ආගම වශයෙන් බෞද්ධාගම වැදගත් ය. ඒ වෙනුවට පැරැණිතම වේද අත්පිටපත් අවුරුදු දහසකට එහා නො යන අතර ජෛන හා සෙරොස්ටර් ආගමික ප්‍රථම පිටපත් ලියැවී ඇත්තේ අටවන හා නවවන සියවස්වලදී ය.’

‘බෞද්ධ ධර්මය ප්‍රථමයෙන් ග්‍රන්ථාරූඪ කළ ශ්‍රී ලංකාවෙන් ලැබී ඇති සාක්කි අනුව පෙනී යන්නේ ද, එම ආගමේ ඉගැන්වීම් මතු පරම්පරාව සඳහා රැක ගැනීමට ඒවා ලේඛන ගත කැරුණු බව යි. ආගමික ව්‍යාප්තියට ද ඉන් ප්‍රයෝජන ලබා ඇති අතර එහි දී චීනයට හා ටිබෙටයට එම පිටපත් විශාල වශයෙන් යවා ඇත.’

මේ ඓතිහාසික තොරතුරු අනුව මහාචාර්ය ඇන්ඩෲ ග්ලාස් වැදගත් නිගමනයකට එළැඹ තිබේ. අප ගේ අවධානය යොමු විය යුත්තේ එම නිගමනය දෙසට ය.

‘බුදු දහම නව තාක්‍ෂණය උපුටා ගත්තේ ඇයි? එය බුදුන් වහන්සේ ගේ චතුරාර්ය සත්‍ය ධර්ම පණිවිඩය හා බැඳී තිබේ. ශ්‍රාවකයාට ළන්වීම සඳහා ධර්ම පණිවිඩයක් සන්නිවේදනය කළ යුත්තේ එම ශ්‍රාවකයාට තේරුම් යන පරිදි ය. සුවිශේෂ කණ්ඩායමක් ඉලක්ක කොට නො ගන්නා බුදු දහම ඕනෑ ම කෙනකුට විවෘත ය.’

‘විනය පිටකයෙහි බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයනට උපදෙස් දෙන පරිදි බුද්ධ වචනය ඒ ඒ තැනැත්තා උගත යුත්තේ තමා ගේ ම වූ ප්‍රකාශනයෙනි. මෙය සංස්කෘත වේදයේ එන බ්‍රාහ්මණ ආධිපත්‍යයට වෙනස් වූවකි. එ බැවින් සන්නිවේදනය පරිපූර්ණ කැරෙන නව මාන සඳහා අනුබල දීම බුදු දහමෙන් සිදු වේ.’

නව තාක්‍ෂණය සඳහා බුදු දහමෙන් සිදු වූ මේ සේවය අප ගේ උගතුන් එ තරම් සැලැකිල්ලට ගෙන නොමැත. කෙ සේ වූව ද අපට අවශ්‍ය වන්නේ ඓතිහාසික ගෞරව සඳහා සටන් කිරීම නො ව අනාගත ශිෂ්ටාචාරය වෙත බුදු දහම රැගෙන යෑම ය. ඒ සඳහා බුදු දහමෙහි නවීකාරක ලක්‍ෂණ මෙ සේ හඳුනා ගත යුතු ම ය.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය
ජනවාරි 14 වනදා
බ්‍රහස්පතින්දා පූර්ව
භාග 10.12 ට ලබයි.
15 වනදා සිකුරාදා අපර
භාග 12.41 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
14 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජනවාරි
23 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]