UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පටිච්ච සමුප්පාදය සහ පර්යාප්ති අන්තර්ධානය

බුදු දහම හරි හැටි අවබෝධ කර ගැනීම සඳහා ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය අත්‍යවශ්‍යයෙන් මෙන්ම නිවැරැදිව උගත යුතු බව අපට පෙනේ. ඒ ගැඹුරු දහම තමන්ට හරි හැටි තේරුම් ගත නොහැකි ඇතැම් පිරිස් තමන් සියල්ල දන්නාක් මෙන් ඉතා සරල විග්‍රහ දක්වමින් ප්‍රතීත්‍ය සමුප්පාදය අතැඹුලක් සේ පෙන්වා නා නා වැරැදි අදහස් ඉදිරිපත් කරති. එය නම් මහා පාප කර්මයකි. ඇතැම්විට ඔවුන් එසේ කරන්නේ තම නොදැනුවත්කම නිසා නොව, හිතා මතාම යැයි ද වරෙක මට සිතේ.

සිදුහත් බෝසත් තුමා එදා පසළොස්වක් පෝදා ඇසතු වර්ගයේ ‘අස්වද්ද’ හෙවත් අස්සද්ද රුක (නූතන බෝ රුක) මුල හිඳ පුබ්බේනිවාසානුස්සති ඥානය මෙහෙයවා තමන්ගේ පෙර භව ගැන බලමින් ඒ එක් එක් භවයන්හි දී සිදුවී ඇති තම ජිවිත විවිධත්වයන් කෙරෙහි සිත යොමු කොට එසේ වීමට හේතු වූ කරුණු මොනවාදැයි සෙවූහ. සත්ත්වයා භවගත වීම කෙරෙහි සංස්කාර හෙවත් කර්ම බල පාන බව එතුමන්ට අවධාරණය වූයේ මෙම අවස්ථාවේ දී ය. ඉන් පසු නැවැතත් ඒ පෙර භවවල සිට මෙම භවය තෙක් පිළිවෙලින් ආපසු සිත යොමු කළ එතුමා මේ භවයෙන් පසු ඉදිරි භව ගැන ද සොයා බැලීමේ දී තමන්ගේ ඉදිරි භව කිසිවක් නොපෙනෙන හෙයින් එය ගැටලුවක් කර ගෙන පරචිත්ත විජානන ඥානය මෙහෙයවමින් අන් අයගේ පෙර භවයන් හා මෙම භවයන් ද ගලපා ඉන් පසු ඉදිරි භව ගැන බැලූ කල ඔවුන් තව තවත් භව වල උපත ලබන බව පෙනුණෙන් තම ගැටැලුව වඩාත් උග්‍ර විය.

එහෙත් එයින් පසුබට නොවී, වීර්යයෙන් යුක්තව සත්වයාගේ චුතියත්, නැවත උත්පත්තියත් ගැන මනා අවධානයක් යොමු කොට චුති උත්පාද ඥානය හෙවත් චුතූපපාත ඥානය තමනට ලැබීමෙන් පසු ඉමක්, කොණක් නැති අවිච්ඡින්න සංසාර ගමනේ සත්ත්වයා ගෙන යාමට හේතු සාධක වන කරුණු මොනවාදැයි ද එතුමන් අවධාරණය කර ගත්හ. එනම් අප විසින්ම කර ගන්නා කර්මයන්ගෙන් ගොඩ නැඟෙන ආශ්‍රව හේතු සාධක වීමෙන් එය සිදු වන බව වැටැහිණි. මේ වන විට තමන් ඒ ආශ්‍රවයන් සහමුලින්ම ක්‍ෂය කර ඇති හෙයින් මින් ඉදිරියට තමන් නැවත කිසිදාක නූපදින බව ද එතුමන් අවබෝධ කර ගත්හ. ඒ වූ කලි ආසවක්ඛ ඥානය නම් වූ අර්හත් මාර්ග ඥානය ලබා ගැනීමයි. සිතේ ක්‍රියාකාරිත්වය (චිත්ත වීථි) පඤ්චස්කන්ධයක් ගොඩනැඟෙනු ලැබීම, එය සසරේ ගමන් කිරීම හා ආර්ය අෂ්ටාංගික මග්ගය සහිත චතුරාර්ය සත්‍යය ද ඒ හා සමගම උන් වහන්සේ අවබෝධ කර ගත්හ. එසේ වූ බොහෝ දේ නොහොත් සියලු දේ ගැන දන්නා හැකියාව ඇති සර්වඥතා ඥානය ලබා ගත් හෙයින් උන් වහන්සේ ‘සම්මා සම්බුද්ධ ‘ බවට පත් වූහ.

ඉන් පසු තමන් වහන්සේ සොයා ගත් ඒ ධර්මය අනෙකුත් ලෝක සත්වයාට ද හෙළි කර දිය යුතු යැයි සිතූ උන් වහන්සේ එතැන් සිට කළ දේශනා අතරින් ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මයට හිමි වන්නේ අනගි තැනෙකි. මන්ද? එයින් විස්තර කැරෙන්නේ සත්වයා භවයෙන් භවයට ගෙන යන ආකාරය පැහැදිළි කර දීම වීමයි. එකින් එක බැඳි ඇති චක්‍රයක් හැටියට ක්‍රියාත්මක වන අංග කීපයකින් සමන්විත එය විශුද්ධි මාර්ගයේ අංග දොළහක් හා භව තුනක් ලෙසට ද තවත් බොහෝ සූත්‍ර වල දී ඊටත් වඩා වැඩි අංග ගණනකින් වඩාත් පැහැදිළි ලෙසට ද විස්තර කර දී ඇත. ඒ සැමෙකෙකින්ම විග්‍රහ කර ඇත්තේ සත්ත්වයාගේ සසර ගමන පහදා දීමයි. මාගේ මෙම ලිපියේ අරමුණ වන්නේ ඒ පටිච්ච සමුප්පාද ධර්මයෙහි ඇති ගාම්භීරත්වය හුවා දැක්වීමක් මිස එම අංග විග්‍රහ කිරීමක් හෝ ගලපා පෙන්වීමක් හෝ නොවන හෙයින් ඒ ගැන මීට වඩා යමක් සඳහන් නොකරමි.

2004. මැයි 04 දා ‘බුදුසරණ’ පත්‍රයේ වෙසක් කලාපයට පටිච්චසමුප්පාදය ගැන ලිපියක් සපයමින් අගනා අදහස් කීපයක් ඉදිරිපත් කළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේගේ මතයක් පිළිබඳව මෙහි දී යමක් සඳහන් කරමි. මේ එම ලිපියේ ඇති කොටසකි.’...මූලික බුදු සමයෙහි ඉතා සුඛනම්‍ය ලෙස උගන්වා ඇති හේතු ඵල ධර්මතාව විශුද්ධි මාර්ගයේ මෙසේ ද්වාදසාංග ක්‍රමයට සීමා කොට භවත්‍රයකට සම්බන්ධ කොට දැක්වීම අශාස්ත්‍රීය මෙන්ම අවුල් සහගත බවකට පත් කොට තිබේ යැයි සමහර නූතන උගතුන් අදහස් දක්වා ඇත. මෙම විවේචනය එක්තරා ප්‍රමාණයකට සාධක සහිත වුවත් විශුද්ධි මාර්ගයේ පටිච්ච සමුප්පාද විවරණය මඟින් මූලික බුදු දහම හෝ ථෙරවාද සම්ප්‍රදාය විකෘති කර ඇතැයි එකහෙළාම පැවසීම සාවද්‍යය යනු අපගේ වැටහීමයි.

උන් වහන්සේගේ ඒ අදහසට මම ද යමක් එක් කරමි. හැබැයි, මේ මාගේම මතයක් නොව, අංගුත්තර නිකාය උපයෝගී කර ගනිමින් ශ්‍රී ඉන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද ‘මනොරංජනී ‘ නම් ග්‍රන්ථයේ සඳහන් වන්නකි. පඤ්ච අන්තර්ධාන විස්තර කරමින් අට්ඨක නිපාතයෙහි ඇති “තෙ විමං සද්ධම්මං අන්තරධාපෙන්ති “ යන පාලි පාඨය එහි පැහැදිලි කර දී ඇත්තේ ‘අන්තර්ධානයෝ නම් පසෙක් වෙති. අධිගමාන්තර්ධාන යැ, ප්‍රතිපත්‍යන්තර්ධානයැ, පර්යාප්ත්‍යන්තර්ධාන යැ, ලිංගාන්තර්ධාන යැ, ධාත්වන්තර්ධාන යැ’ යි වශයෙනි. එසේම එහි පර්යාප්ති හෙවත් පරියත්ති නම් වූ අර්ථ කථා පාලි සහිත ත්‍රිපිටකය අන්තර්ධාන වන අයුරු පැහැදිලි කරන ඛණ්ඩය අවසන් කර ඇත්තේ මෙලෙසිනි.

‘ තව ද යම් තාක් කල් මිනිසුන් කෙරෙහි සිවු පැදි ගාථාවක් නමුදු පවතී ද ඒ තාක් කල් පර්යප්ති අන්තර්හිත නොවේ. යම් කලෙක සැදැහැති පහන් රජෙක් ඇත්කඳ රන්මුසු ගෙක දහසින් බැඳි පියැළි තබවා , ‘බුදුන් වදාළ සිවු පැදි ගයක් දන්නෙක් මේ දහස ගනීව‘යි නුවර බෙර පියවි කරවා ගන්නක්හු නොලැබ එක් වරෙක බෙර හැසිරැවූ කල නම් අසන්නාහු ද නොඅසන්නාහු ද වෙති. තුන් වැනි වර දක්වා හසුරුවා ගන්නක්හු නොලැබ රාජ පුරුෂයෝ දහසින් බැඳි පියැළි පෙරලා රජ කුළයට ප්‍රවේශ කරවත්ද? එකල්හි පර්යාප්ති අන්තර්හිත නම් වේ. මේ පර්යාප්ති අන්තර්ධාන නම් වේ. ‘

පටිච්ච සමුප්පාද ධර්මය ගැන බුදුරජාණන් වහන්සේ දිනක් ආනන්ද හිමියන්ට දේශනා කර ඇත්තේ මෙසේය. “පටිච්ච සමුප්පාදො ආනන්දො ගාම්භීරො ඡායං අඤ්ඤාණං අනනුබොධං .....” “ආනන්දය පටිච්ච සමුප්පාදය ගැඹුරු දර්ශනයකි. නොතේරෙන සුළුය. අවබෝධ කර ගැනීම අපහසුය.....” ආදී වශයෙනි. පටිච්ච සමුප්පාදයේ ඇති ගාම්භීරත්වය එයින්ම අපට මනාව පැහැදිලි වේ. එසේම “ යො පටිච්ච සමුප්පාදං පස්සති සො ධම්මං පස්සති “ - “ යමෙක් පටිච්ච සමුප්පාදය දැන ගත්තේ වේද? හේ මාගේ ධර්මය දැන ගත්තා වේ “ යනුවෙන්ද “යො ධම්මං පස්සති සො මං පස්සති” “ යමෙක් මාගේ ධර්මය දැන ගත්තේ වේද? හේ මා දැන (අවබෝධ කර ) ගත්තා වේ. යනුවෙන් ද බුදු රදුන් වදාරා ඇත. තථාගතයන් වහන්සේ, උන් වහන්සේ දේශනා කළ ධර්මය , ප්‍රතීත්‍ය සමුප්පාදය යන ත්‍රිමාණ සබැඳියාව අතර ඇති මනා ගැලැපුම එයින්ම මොනවට පැහැදිළි වේ.

ඒ අනුව බුදු දහම හරි හැටි අවබෝධ කර ගැනීම සඳහා ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය අත්‍යවශ්‍යයෙන් මෙන්ම නිවැරැදිව උගත යුතු බව අපට පෙනේ. ඒ ගැඹුරු දහම තමන්ට හරි හැටි තේරුම් ගත නොහැකි ඇතැම් පිරිස් තමන් සියල්ල දන්නාක් මෙන් ඉතා සරල විග්‍රහ දක්වමින් ප්‍රතීත්‍ය සමුප්පාදය අතැඹුලක් සේ පෙන්වා නා නා වැරැදි අදහස් ඉදිරිපත් කරති. එය නම් මහා පාප කර්මයකි. ඇතැම්විට ඔවුන් එසේ කරන්නේ තම නොදැනුවත්කම නිසා නොව, හිතා මතාම යැයි ද වරෙක මට සිතේ. මා එසේ කියන්නේ වේරගොඩ අමරමෝලී ස්වාමින් වහන්සේ විසින් ලියන ලද ‘ශ්‍රී සද්ධම්මාවාද සංග්‍රහ ‘ නම් ග්‍රන්ථයේ 307 වැනි පිටුවේ (චතුර්ථ පරිච්ඡේදයේ )ඇතුළත් කොට ඇති පහත සඳහන් වාක්‍ය ඛණ්ඩය සැළැකිල්ලට ගනිමිනි. ....ලාභ ලබනු කැමැති ලාමක භික්‍ෂූහු සිතන කල ගැඹුරු බණ කීමෙන් අප කෙරෙහි කවුරු පහදිත්ද? ඔවුන් සිත් ගෙන ලාභ ගන්නා පිණිස බණ කියම්හ’යි සිතා බොහෝ සේ ජාතක බණ...’

මේ ආදි වශයෙන් වන පාඨ කියවන විට මාගේ සිතට නැඟෙන්නේ හතු පිපෙන්නාක් මෙන් දැන් තැන් තැන්වල බිහි වී ඇති දහම් අසපු පිළිබඳවය. අවංකව හා නිසි ලෙස දහම පතුරු වන අසපු ද යම් ප්‍රමාණයක් ඇති අතර ධර්මය වෙනුවට කුමක් හෝ බණනය කරමින් ඉතා පහසුවට හා ලාභයට ධ්‍යාන මෙන්ම මාර්ග ඵල ද ලබා දෙන මේ ඇතැම් දේශකයන් අගනා බුදු දහම හෑල්ලුවට ලක් කර ඇත්තේ ඉතාමත්ම සෝචනීය ලෙසටය. බුදු දහම තබා තිසරණයවත් හරි හැටි නොදක්නා ඔවුන්ගෙන් ඇතැමෙක් “ බුද්ධං සරණං ගච්ඡාමි “ යන සරණාගමනය හෙල බසට පෙරලා ඇත්තේ ‘මම මාගේ බුද්ධිය සරණ යමි.’ යනුවෙනි. මෙවැනි අදහස් දරන්නන් තමන්ගේ ඒ බුද්ධිය සරණ යාමෙන් ඔවුනට කවර දාකවත් සැබෑ බුදු දහම කුමක්දැයි වටහා ගත නොහැකි වනු ඇත. ඒත් එයින් තවත් එක් බුදු වදනක් නම් සැබෑ වේ.

එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු පන් දහසකට පසු මුළු සම්බුද්ධ ශාසනයම අන්තර්ධාන වන බව වදාරා ඇතැයි පොත් පත්හි සඳහන්ව තිබීමයි. එය එසේ විය හැකි නම් ඒ සඳහා මෙවැනි කරුණු සිදු විය යුතුය. ඇතැම් විට බොහෝ දෙනෙකු ඒ කියමන පවා නොපිළි ගනු ඇතත් බුදු දහමට අද සිදු වේගෙන යන දේ අනුව එසේ සිදු නොවේ යැයි සිතිය නොහැක.

කෙසේ වෙතත් සම්මා සම්බුද්ධ දේශනාවකම සඳහන්ව ඇති පරිදි ගැඹුරු ලිඳක පතුළේ ඇති ජලය ලබා ගැනීමට සිතා ඊට ගල්, වැලි ආදිය දමා පතුල උස්සා ජලය උඩට ගැනීමට උත්සාහ ගැනීම සාර්ථක නොවේ. කළ යුත්තේ බාල්දියේ ළණුව දිගු කර ගැනීමයි. එසේම ගැඹුරු දහම සරළ කිරීමට උත්සාහ ගැනීම ද සාර්ථක නොවේ. එයින් සිදු වන්නේ ඒවා හෑල්ලු වීම පමණෙකි. අධිගමය සඳහා කළ යුතු වන්නේ ඒ ගැඹුරු සද්ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන උපක්‍රම යොදා ගැනීමයි. එනම් බුදු දහම කෙරෙහි ශ්‍රද්ධා සම්පන්නව දාන, ශීල, සමාධි, ප්‍රඥා යන ප්‍රතිපදා අනුගමනය කිරීමයි. ඒ වූ කලි දහමේම පෙන්වා දී ඇති පර්යාප්ති හා ප්‍රතිපත්ති දෙක නිසි ලෙස අනුගමනය වීමයි. එවිට ප්‍රතිවේධ හෙවත් අධිගමය ලබා ගත්තා වේ. මෙය පෙරුම් පුරා කර ගත යුත්තකි. ඇතැමුන් කියන ලෙස ලාභයට ගත හැකි දෙයක් නම් නොවේ. එහෙයින් අවසන් වශයෙන් එක් කරුණක් කීමට කැමැත්තෙමි. ඒ කවුරුන් හෝ ගැඹුරු වූ දහමක් ගැන වැරැදි ලෙස කුමක් හෝ අනුන්ට කියා දෙනවාට වඩා ඒ ගැන කිසිත් හෝ නොකියා සිටීම බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයකි. එයින් තමන්ද පවෙන් මිදීමක් වනු ඇත.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 08 වන දා අඟහරුවාදා අපර භාග 06.40 ට ලබයි.
9 වනදා බදාදා අපර භාග 05.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වනදා බදාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]