UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පංච පාපය දුරැලා සැනසුමේ මාවතට...


ශාස්ත්‍රවේදී, පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි

සිරිලක සිරියාව පිරී ඉතිරී දසත පැතිරී යන්නේ පස් පව් දුරු කර පන්සිල් රකින යුතුකම් ඉටු කරන වැඩි ජනතාවක් සිටියොත් පමණකි. ආගම දහම කෙසේ වෙතත් මිනිසකු වශයෙන් තම යුතුකම සලකා තමාගෙන් අනුන්ට, සත්වයන්ට වේදනාවක් නොදී සිටින්නට තරම් සංවේදිතාවයක් පුද්ගලයකු තුළ තිබේ නම්, එයම මානුෂිකත්වයේ ලක්‍ෂණයක් වන්නේ ය. පරිසරය සමඟ ඉතා සමීප සම්බන්ධතාවයකින් තම ජීවිතය ප්‍රභාමත් කරගත් වේද කාලීන ජන සමාජය, ප්‍රාණඝාතය පාපතර ක්‍රියාවක් බවත්, අවිහිංසාව මානුෂික ගුණාංග ආරක්‍ෂා වන, පෝෂණය වන තෝතැන්න බවත් වේද ග්‍රන්‍ථවල දක්නට පුළුවන.

මිහි මත උපන් සෑම සත්වයාම තම තමන්ගේ ජීවිතයට මැරෙන තුරු ආශා කරන එය අන් අයටද සාධාරණ බව සලකන්නට තරම් බුද්ධි ශක්තියක් ඇත්තේ මිනිසාට පමණකි. මේ නිසා වරෙක මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් යැයි ප්‍රකාශ කළ වෛදික බමුණන්ගේ මතය අභිබවා මානව ගුණාංග පිළිබඳ ගවේෂණ කරන්නට පෙරට ආ මුනිවරුන්, ඉසිවරුන්, මිනිසා සෙවිය යුත්තේ නිර්මාණවාදී දෙවියන් පිළිබඳ නොව අධ්‍යාත්මික චින්තනය බවත් එවන් චින්තනයක් ඇති කර ගැනීමට අවිහිංසාව අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශ කොට ඇත. අප බුදුරජාණන් වහන්සේ ද ප්‍රාණඝාතය ප්‍රබලම අකුසල කර්මය බව වදාරා එහි පාප ප්‍රතිවිපාක මෙසේ වදාළසේක.

පාණාතිපාතො භික්ඛවෙ ආසෙවිතො භාවිතො බහු ලීකතො නිරය සංවතතනිකොහොති. තිරචඡානයොනි සංවත්තනිකොහොති පෙත්තිවිසය සංවත්තනිකොහොති. යොසබ්බලහුසො පාණාතිපාතස්ස විපාකො මනුස්ස භූතස්ස අප්පායුක සංවත්තනිකොහොති ප්‍රාණඝාතකයන් දිට්ඨධම්ම වේදනීය වශයෙන් ලබන ප්‍රතිවිපාක අපමණ ය, වධ බන්ධන, ධනහානි, තමාට පමණක් නොව තමාගේ ඤාතීන්ට, මිත්‍රයන්ට පවා විපාක විඳින්නට සිදුවේ. පරලොව සතර අපායේ ඉපිද දුක්වේදනා විඳින්නට සිදුවෙයි. එමෙන්ම කලකදී මිනිසත් බව ලැබුව ද අංගවිකලත්වය, අල්පායුෂ්කවීම හා දුකෙන් දුකට පත්වන්නේ ප්‍රාණඝාත අකුසලය නිසා ය.

ගොවිතැන් කර්මාන්තයෙහි නොපවත්නා ගවයකු පිදුරු දමා දවා කා මිනිසකු ඒ මහා පාපයෙන් අවීචි මහා නරකයෙහි ඉපිද වර්ෂ කෝටි දාහක් පැසී එයින් මිදී සියක් ආත්ම භාවයන්හි පිදුරු ගින්නෙන්ම දැවී මළේ යැයි දහම් කතාවක දැක්වෙයි. සත්ව හිංසාව, පීඩාව, ඝාතනය එයට අනුබල දීම, මස්කෑම, වෙළඳාම එයින් ජීවිතය පැවැත්වීම අමානුෂික ය. මානව ධර්ම අංශුමාත්‍රයක් හෝ මාංශ බුදින්නා තුළ විද්‍යමාන නොවේ.සීවලී මහරහතන් වහන්සේ සසර වසන කල එක් ජන්මයක රජව සිවුරඟ සෙනග ගෙන ගොස් අනෙක් නුවරක් වට කොට සත් දිනක් රජකු හිරකොට තැබූ අකුසලයෙන් අන්තිම ආත්මභාවයේ දී හත්අවුරුදු හත්මස් හත්දිනක් මවුකුසම වැදහොත්තේ ය.

එවංච සත්තා ජානෙය්‍යුං
දුක්ඛායං ජාති සම්භවො
නපාණො පාණිනං හඤ්ඤෙ
පාණඝාතාහි සොචති

මෙවන් විපාක දන්න කෙනකු කිසිදා කුරා කුහුඹයකුට වත් හිංසාවක් කරන්නේ නැත. අදින්නාදාන සොරකම කුමන ආකාරයකින් කළද සමාජයට මහා පිළිලයකි. සොර සිත නිසා අනුන් කොතරම් බියකින් පසුවන්නේ ද? කොතරම් ධනයක් වියදම් කරන්නේද? දොරවල් සවි කිරීම ගේට්ටු ඉබි යතුරු දැමීම, මිනිසුන් සපා කන නපුරු බල්ලන් ඇති කිරීම, ගිනි අවි භාවිතය, මිනිසුන් කරන්නේ වෙනත් අය සොරකම් කරතැයි බියෙනි. විවිධාකාර කරදර අවුල් වියවුල් ඇතිවන්නේ සොරකම නිසා ය. සොරකම සමාජයේ නොයෙක් ආකාරයට සිදුවෙයි.

1. සාමාන්‍ය හොරකම
2. අල්ලස් ගැනීම
3. මංකොල්ලය
4. මුරණ්ඩුවට ඉරිසියාවට සොරකම් කිරීම

මෙසේ ක්‍රියාත්මක වන හොරකම අඩු කිරීමට නම් පුද්ගලයාට දැනීම ලබා දිය යුතු ය. මිනිසාගේ පසිඳුරන් පාලනය කර ගැනීමට තරම් සිතක් නැති වන්නේ අධික කාම තණ්හාව නිසා ය. එයින් වන විශාලතම පාප කර්මය කාම මිථ්‍යාචාරය යි. පරදාර පරිග්‍රහ කළ පුද්ගලයෝ මේ ආත්මයේම නොයෙක් වධහිංසාවලට පත්ව වධ වේදනාවන්ගෙන් පීඩිතව මරණින් මතු නරකයෙහි ඉපිද වර්ෂ දහස් ගණන් දුක් විඳ මිනිස් ලොව උපත ලදුයේ නම් සියක් අත්බැව්හි ස්ත්‍රී බවට පැමිණෙති.

කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරූ අනඳ මහ තෙරහු එක්ජන්මයක පර ස්ත්‍රී සමාගමයකින් නරකයෙහි පැසී එයින් මිදී තුදුස් අත්බවෙක ස්ත්‍රීව උපන්හ. සත්වරෙක අණ්ඩච්ඡේදයට පැමිණියහ. මෙසේ මහා විපාක දෙන කාම මිථ්‍යාචාරය නිසා වර්තමාන ලෝකය කොතරම් පීඩාවට පත්වන්නේ ද? පුද්ගල හා පුද්ගලාන්තර වශයෙන් ද ලෝක සමාජමය වශයෙන්ද මෙම පහත් දුශ්චරිතය විවිධාකාරව විවිධ විලාසිතා වශයෙන් සිදුවීම, අනාගත ලෝකයේ මහා භයානක ව්‍යසනයකට මූලික වන්නේ ය. කාම මිථ්‍යාචාරය නිසා සමාජමය වශයෙන් සිදුවන දුර්විපාක

1. ගෘහ ජීවිතය විනාශවීම
2. දරුවන් අනාථවීම
3. ගණිකා නිවාස සමාජශාලා ඇතිවීම
4. සම්පත් විනාශය

ධනයෙන්, බලයෙන්, ඤාතීන්ගෙන් හුදකලා වී විවිධ රෝගාබාධ වලින් පෙළී මානසිකව සන්තාපයට, පශ්චත්තාපයට පත්වී මරණින් මතු සතර අපායේ ඉපදී දුක්වේදනා විඳීන්නට සිදු වෙයි. කාම මිථ්‍යාචාර අකුසලය නැති කිරීමට කුඩා කල සිට පන්සිල් ආරක්‍ෂා කිරීම පුරුදු කළ යුතු ය. කෙනකුට මුසාවාදයෙහි හැකුළුම් නැත්නම් ඔහුගේ සන්තානයහි ගුණලවයක් නැති අතර, පැවිද්දකුට බොරු කීමෙහි ලැජ්ජා බිය නැත්නම් ඔහුට මහණකමේ අංශුවක්වත් නැත්තේම ය.

අප බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට අවවාද දෙන අයුරු රාහුලෝවාද සූත්‍රයේ මෙසේ දැක්වෙයි. “පස්සසි නො ත්වං රාහුල ඉමං උදකධානං රිත්තං තුච්ඡන්ති එවං භනේත, එවං රිත්තං තුච්ඡං ඛො රාහුල තෙසං සාමඤ්ඤං යෙසං නÀථි සම්පජාන මුසාවාදෙ ලජ්ජා” දිය බඳුනක් මුනින් අත තබා ජලය වත් කළ ද දිය බිඳක් වත් නොරඳන්නාසේම මුසා බස් මුවින් නිති පිටවන විට පවට බියක් ලැජ්ජාවක් නැත්තේමය.

දීනො විගන්‍ධවදනොච ජළො අපඤ්ඤෝ
මූගොසදා භවති අප්පිය දස්සනොච
පප්පොති දුක්ඛමතුලංච මනුස්සභූතො
වාචං මුසාභණති යොහි අපඤ්ඤසත්තො

සත්‍යා’සත්‍ය, කපටිකම්, ක්‍රියාත්මක කොට කෙසේ හෝ ජීවත්වන මානව සමාජයක් දක්නට ඇත. මෙයින් වන ප්‍රතිවිපාක සියල්ලන්ටම ලැබෙන නිසා බොරු කීම සමාජයෙන් තුරන් කරන්නට උත්සාහ ගත යුතුවන්නේ ය. සත්‍යවාදී ජනතාවක් සඳහා ආගමික වශයෙන් මෙයට වඩා පුළුල් පදනමක් නොවන්නේ නම්, පංච සීල ප්‍රතිපත්ති කෙසේවත් අනාගතයේ ක්‍රියාත්මක වන්නේ නැත. හලාහල විෂ වැනි සුරාපානය ද මහා අකුසලයකි. එම පාප කර්මයේ ප්‍රතිවිපාක ලෙස මෙලොව දිට්ඨධම්ම වේදනීය වශයෙන් දුක් කරදර, රෝග පීඩා, වධ වේදනා විඳින්නට සිදුවන අතර, මරණින් මතු නරකයෙහි ඉපිද පැසී, ඉන් මිදී මිනිසත් බවක් ලැබුවද, උන්මත්ක වන්නේ ය. හීන දීන ශෝක, විරූප වේදනා ඇති වෙයි.

මත්පැන් පානය කරන්නාගේ සන්තානය තුළ ක්‍රියාත්මක වන ගූඪ චේතනා අතර වෛරය, අසහනය හා ආත්ම පාරාජිකත්වය ප්‍රධාන ය. කුඩා කල ඇති වූ ජීවිත ඌනත්වයක් නිසා එහි වගකීම සමාජයට ආරෝපණය කිරීමේ අනියම් මාර්ගයක් වශයෙන් එම චින්තන ලෝකයෙන් මෑත්වන්නට මත්පැන් පානයේ රස වින්දනයක් ලබාගත්තද සමාජයෙන් පළි ගැනීමට ද ප්‍රයත්න දරන්නේ ය. එහිදී සමාජ ධර්මතා අමතක කොට වචනයෙන් ක්‍රියාවෙන් ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙයි. එමෙන්ම ජීවිතයේ අඩුපාඩුවක් නිසා සමාජ ධර්මතා වලට පහර ගහන චේතනාවෙන් මත්පැන් පානය කරන අයගේ ප්‍රතිශතය වැඩි වෙයි. විශේෂයෙන් අර්ධ නාගරික සමාජයෙන් බිහි වන නූගතුන් අතර, දියුණු සමාජයෙන් පලිගැනීමේ චේතනාවෙන් බිහි වන තරුණ පක්‍ෂය හා මැදිවියේ සිටින පිරිමි ගැහැණු දෙපක්‍ෂයම මත් ද්‍රව්‍යවලට පුරුදු වන්නේ වෛරය, අසහනය, හීනමානය වැනි සංකීර්ණ හැඟීම් වලින් ආවේග වන බැවිනි.

වර්තමාන ලංකාවේ පස් පව් කරන අය වැඩි වශයෙන් බිහි වන්නේ සමාජ අසහනයෙන් පීඩිත ගැමියන්ගෙන් හා අර්ධ නාගරික ජනතාවගෙනි. මේ නිසා රජයෙන් හා මාධ්‍යවලින් දේශනා කරන්නන් එක්ව යම්කිසි පදනමක් මත පිහිටා අර්ධ නාගරික සමාජය පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක් කොට ඔවුන්ගේ අධ්‍යාපනික ආගමික, ආර්ථික අවශ්‍යතා සපුරා දෙන්නේ නම්, පන්සිල් ගැන මෙතරම් බණ දෙසන්නට ද අවශ්‍ය වන්නේ නැත. පස් පව් දුරු කරන පන්සිල් රකින සමාජයක් බිහි වන්නේ නම්, අනිවාර්යයෙන් රට නැගුම ඉතා පහසු වන්නේ ය. නිරායාසයෙන් මානව සමාජය අර්ථවත් ලෙසම සහජීවනයෙන් සතුටින් කල් යවන්නේම ය. නීතියෙන් මෙතෙක් සමාජයක් හෝ හැදුණු කෙනෙක් නැත. මතුවට හැදෙන්නේ ද නැත. සමාජය ගුණාත්මක භාවයෙන් පෝෂණය වන්නට නම් ආගමෙන්, දහමෙන්, විනයෙන් යුක්ති ධර්මයෙන් පොහොසත් විය යුතුමය.

දුසිරිත් නොවේවා
පන්සිල් රකීවා
ගුණ දම් වැඩේවා
සියල් සතුනට සෙත්ම වේවා

තෙරුවන සරණ යෙන්
සිල් ද නිති රැකීමෙන්
දෙලොව සැප ලැබීමෙන්
සදා සැනසේ නිවන් සුවයෙන්

ඔබ සැමට තෙරුවන් සරණයි

 

ඉල් මස අව අටවක පෝය

ඉල් මස අව අටවක පෝය නොවැම්බර් 09 වනදා සඳුදා පූර්ව භාග 10.27 ට ලබයි. 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම නොවැම්බර් 9 වනදා සඳුදාය.
මීළඟ පෝය නොවැම්බර් 16 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]