UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

දන්නෝ සිනාසෙති - නො දන්නෝ මුළා වෙති

හළ සාක්ෂරතාව හා පුළුල් මානව නිදහස මඟින් ඉතිහාසයේ දියුණු ම අදියරට ළඟා වන අනාගත මිනිසා ගේ ආගම කුමක් විය හැකි ද යන ප්‍රශ්නය පසුගිය සියවසෙහි විසූ බුද්ධිමතුන් ගේ අවධානයට යොමු වූ කරුණකි. විසිවන සියවසෙහි විසූ අසහාය බුද්ධිමතා ලෙස සැලැකෙන ඇල්බට් අයින්ස්ටයින් ඊට දුන් පිළිතුර අප සියලු දෙනාට වැදගත් ය.

‘අනාගතයේ මනුෂ්‍ය වර්ගයා ගේ ආගම වනු ඇත්තේ විශ්ව ආගමකි. එය ඒක දේවවාදය ඉක්මවිය යුතු අතර චිරන්තන සෛද්ධාන්තික දෘෂ්ටීන්ගෙන් ද දේවධර්ම වාදයෙන් ද බැහැර විය යුතු ය. තව ද එය මිනිසා ගේ ස්වාභාවික මෙන් ම අධ්‍යාත්මික යන දෙ අංශයම ආවරණය කළ යුතු ය. මෙකී අර්ථ කථනයට පිළිතුර බුදු සමයයි.’

තර්කානුකූල යථාර්ථයක් වන ඇල්බට් අයින්ස්ටයින් ගේ එම නිගමනය ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසින් ද සනාථ කැර තිබේ. ‘ගැඹුරු මුහුද’ නමැති ඔහු ගේ කෘතියෙහි මෙ සේ සඳහන් විය.

‘මේ 2050 වසරයි. මේ වන විට දෙවියන් පිළිබඳ ව ඉගැන්වෙන සියලු ම ආගම් අභාවයට පත් ව ඇත. බුදු සමය සමඟ තරග කළ අනෙක් ආගම් තුන ම අසාර්ථක විය. දුබල විය. එහෙයින් තවදුරටත් මිනිස් සිත් සතන් පුබුදු කළ හැකි එක ම ආගම වන්නේ බුදු දහමයි.’

ලොව ප්‍රකට අන්‍යාගමික බුද්ධිමතුන් විසින් බුදු දහම එ ලෙස අගය කළ ද ඇතැම් සිංහල බෞද්ධයෝ එය නිර්මාණවාදී ආගම් අතරට රැගෙන යෑමේ උත්සාහයක නිරත වී සිටිති. මේ එයට එක් උදාහරණයකි.

‘අතීතයේ ලොව්තුරා බුද්ධ බවට පත් වූ සියලු ම බුදුවරයන් වහන්සේලා මෙන් ම අනාගතයේ මේ මිහිතලය මත බුද්ධත්වයට පත් වන සියලු ම බුදුවරයන් වහන්සේලාට ද ජන්මය ලබන්නට හේතු වාසනා ඇත්තේ මෙම දීපයේ දී පමණි.’

‘බුදු කෙනකු ගේ උපතක් සිදුවන්නට සුදුසු වූ විශ්ව ශක්තිය කේන්ද්‍ර ගත වූ ස්ථාන එකකට වැඩි ගණනක් මේ මිහිතලය මත නැත. එවන් විශ්ව ශක්තියක් කේන්ද්‍ර ගත වූ ස්ථාන ඇත්තේ එකක් ම පමණි. එවන් වූ ස්ථානය ජන්බුද්ධීපයේ මධ්‍ය මණ්ඩලය නමින් හැඳින්වෙයි. ඒ අති ශ්‍රේෂ්ඨ මිනිසා ලොව්තුරා බුද්ධත්වයට පත් වන උත්තමයා ගුරු උපදේශ රහිතව ම, ස්වයංභූ ඤාණයෙන් ම ඒ උතුම් තත්ත්වයට පත් වීමට නම් නියත වශයෙන් ම ජන්බුද්වීපයේ ම උපත ලබා එහි මධ්‍ය මණ්ඩලයේ පිහිටි විශ්ව ශක්තිය කේන්ද්‍ර ගත වූ එක ම නිශ්චිත ස්ථානයක දී නියත බෝධි මූලයක දී ම මේ සිදුවීම සිදුවිය යුතු ය. ලොව්තුරු බුද්ධත්වයට පත් වීම ධර්ම නියාමයට අනුව ම සිදුවන නියත සිදුවීමකි.’

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් ලියන ලද ‘අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි.’ නමැති කෘතියෙන් උපුටා එම ඡේදය අනුව බුද්ධත්වයට පත් වීම යනු ඊනියා විශ්ව ශක්තිය මත සිදු වූ නියතියකි. මානව බුද්ධියේ අග්‍රඵලය වන බුද්ධත්වය නියතිවාදී සංසිද්ධියක් ලෙස දැක්වීම බුදු දහමට කළ නිග්‍රහයක් නො වේ ද?

කෙ සේ වුව ද බුදු දහම විකෘති කිරීමේ මේ ප්‍රයත්නය පිළිබඳ ව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත, අමරපුර මහ නිකායේ මහානායක දවුල්දෙන ඤාණිස්සර, රාමඤ්ඤ මහ නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර යන මහ නා හිමිවරුන් විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ අවධානයට යොමු කැර තිබේ. මෙහි පහත දක්වා ඇත්තේ මහ නා හිමිවරුන් ගේ ප්‍රකාශයේ කොටසකි.

‘මෑතක දී ප්‍රකාශයට පමුණුවා ඇති ‘අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි’ හා ‘බුද්ධෝත්පත්තිය හෙළදිවයි’ යන ග්‍රන්ථ දෙකෙන් බෞද්ධ ඉතිහාසය විකෘති කොට බුදු උපත, බුදුවීම ආදී බුදු සිරිතට අදාළ ඓතිහාසික සිදුවීම් පිළිබඳ ව වැරැදි අදහස් සමාජගත කොට ඇති බව අපට හැඟේ.’

‘බුදු දහම හා බුදු සිරිත මුල්කොට මෙ වැනි වැරැදි අදහස් සමාජගතවීමෙන් බරපතළ ලෙස ශාසනික හානියක් සිදුවිය හැකි බැවින් එය සුළුකොට සැලැකිය නො හැකි ය. මෙ සේ හිතුමතේ බෞද්ධ පොත පත පළ කිරීමට ඉඩකඩ තිබීමෙන් සිදුවිය හැකි ශාසන හානිය අපමණ ය.’

මෙ බඳු කෘති වහා තහනම් කළ යුතු බවට කැරෙන යෝජනා ද බහුල ය. එතෙක් පොතක් තහනම් කිරීම නූතන තාක්‍ෂණික දියුණු ව හමුවේ කෙතරම් ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. මේවා අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමට හෝ සංයුක්ත තැටි ආදී වශයෙන් පරිහරණය කිරීමට අවකාශ ඇති බැවිනි.

මේ කෘති පමණක් නො ව විකාර ධර්ම දේශනා රැල්ලක් ද මතු වී තිබේ. එ බඳු එක් ධර්ම දේශනාවක් පසුගිය ඉල් පොහොය දා දහවල් 1.00 සිට 2.00 දක්වා ටී.එන්.එල්. රූපවාහිනී සේවයෙන් විකාශය විය. එහි දේශකයා වූයේ කුලරත්න නක්කාවත්ත නමැත්තෙකි. ඔහුට අනුව විඥානය සකස් වන්නේ කන අනුගමනය කිරීමේ ප්‍රතිපදාව හෙවත් අනුසෝතගාමී පටිපදාවෙනි. එ සේ නම් බිහිරි හා අඳ පුද්ගලයන් ගේ විඥානය සකස් වන්නේ කෙ සේ ද? අනුසෝතගාමී යන වචනයෙහි තේරුම, දියපාර ඔස්සේ යන හෝ කාමභෝගී ව දිවි ගෙවන පුද්ගලයා යැයි දන්නා අය ඔහු ගේ අර්ථ දැක්වීම ගැන සිනාසෙන නමුදු නො දන්නා අය මුළා වෙති.

මේ ඊනියා දාර්ශනිකයන් ගෙන් ජනතාව මුදා ගැනීම සඳහා දැනුවත් කිරිම හැර වෙනත් මඟක් නැත.

ඉල් මස අව අටවක පෝය

ඉල් මස අව අටවක පෝය නොවැම්බර් 09 වනදා සඳුදා පූර්ව භාග 10.27 ට ලබයි. 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම නොවැම්බර් 9 වනදා සඳුදාය.
මීළඟ පෝය නොවැම්බර් 16 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]