UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

Meditation Music (භාවනාමය සංගීතය) ආදී සංකල්ප බුද්ධ දේශනාවේ නැත. එනිසා මුල් බුදු සමයට පටහැනි මෙවැනි සංකල්ප ආදේශ කොට බහුව්‍යාපක සංදර්භය තුළ පිවිතුරු බුද්ධ ධර්මය දියාරු කොට හෑරීමේ අවශ්‍යතාවක් අපට නැත. කෙසේ වුවත් භාවනාව පන්සලේ ඇතත් එය පල්ලියේ නැත. සංගීතය පල්ලියේ ඇතත් එය පන්සලේ නැත. එම නිසා මේ විජ්ජුම්බර අන්ධානුකරණ කොම්පැණියේ ප්‍රයත්නය විශිෂ්ට බෞද්ධ මූල ධර්ම විනාශ කිරීම ද?

බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළ විනය ප්‍රඥප්තියට අනුව සලකා බලා භික්‍ෂු වහන්සේලාට සංගීත අධ්‍යක්‍ෂණය අකැපයැයි 2009 අගෝස්තු 23 ඉරිදා ලක්බිම සමඟ පැවති සාකච්ඡාවක දී අප විසින් ප්‍රකාශිතයි. එකී ධර්ම විනයානුකූල විවරණය සමාජ දෘෂ්ටිය අනුව දෝෂ දර්ශනයට ලක් කරමින් “භික්‍ෂූන් වහන්සේට සංගීතය පමණක් අකැප ඇයි?” සිරස්තලය යටතේ 2009 සැප්තැම්බර් 04 දින පසළොස්වක බුදුසරණ පත්‍රයේ කෝලිත දිසානායක නමැති මහතෙකු විසින් ලියූ ලිපියක් පළ කිරීමට කාරුණික වීම පිළිබඳව බුදුසරණ කර්තෘතුමාට ප්‍රශංසාව හිමි විය යුතු වන්නේ ය. දිසානායකගේ ලේඛනයේ දුර්වලතා පෙන්වා දෙමින් සැප්තැම්බර් 18 වැනි දින පළ වූ අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමියන්ගේ ලිපිය මේ ප්‍රස්තුතයෙහිලා අගනා කරුණු රැසක් අන්තර්ගත විය.

භික්‍ෂූන් වහන්සේලා සංගීත අධ්‍යක්‍ෂණය යුගයට සාපේක්‍ෂව කැපයි, යනුවෙන් විනය විනිශ්චයක් දෙමින් පළ කළ එම ලිපිය කියවන ධර්ම විනයධර භික්‍ෂූන් වහන්සේලාගේ මෙන් ම ධර්ම විනය පිළිබඳ ප්‍රාමාණික උගතුන්ගේ ද හාස්‍යයට කරුණක් වන බව නොකියාම බැරි ය. මහ සාගරයක් වූ භික්‍ෂු විනය පිළිබඳව අඳුරේ අතපතගාමින් තම ඔලුගෙඩිවල පුරවාගත් මත තෙපලන මෙවැනි ගිහි භවතුන් මහ සඟරුවනේ අනුකම්පාවට පාත්‍රවනු නොඅනුමානය. එසේ වුවත් චිරාගත ශාසනික සම්ප්‍රදායන් අලජ්ජිව සිඳ බිදලමින් ථේරීය සම්ප්‍රදාය විනාශ කිරීමෙහිලා යොවුන් භික්‍ෂූන් වහන්සේලා පොළඹවන මෙවැනි කූට උපක්‍රම විෂයෙහි ශාසනභාරධාරී ස්වාමින් වහන්සේලාගේ නොවක් විචක්‍ෂණ අවධානය නිරන්තරයෙන් යොමු විය යුතු යි පුනරුච්චාරණය කෙරේ.

එම ලේඛකයා පෙන්වා දෙන භික්‍ෂුව හා සංගීත අධ්‍යක්‍ෂණය අතර පවත්නා සාධනීය ලක්‍ෂණ අලුයම කෙළ පිඩක් සේ ඉවත් කරන අතර බුදු දහම හා සංගීතය අරබයා ඔහුගේ අවිචාරවත් අදහස් කඳෙී පැණියක් සේ දුරින් දුරු කරමි. මක් නිසාද යත් ධර්ම විනය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නොමැතිව නූතන සමාජ සන්දර්භයේ ප්‍රචලිත ධනාත්මක චින්තනය, අධ්‍යාත්මික සංගීතය, සර්ව සුබවාදී සංකල්ප වැනි බහුරූ ප්‍රස්තුත මත පිහිටා භික්‍ෂු ආකල්ප සාධනීය කරන බැවිනි. හුදෙක් මේ ප්‍රයත්න කිලෝ ග්‍රෑම්වලින් දුර මනිනවා වැනි ක්‍රියාවකි. එමෙන් ම ඔහුගේ ලේඛනයේ ඉදිරිපත් කරන සාධක ශාසනානුලෝමී නොවන ශාසනවිලෝමී(ශාසනයට අනුකූල නොවූ) අදහස් බවත් අවබෝධ කිරීමට අපේ සාමාන්‍ය උවසු උවැසියන්ට පවා අපහසු නොවේ.

ඔහු සඳහන් කරන පරිදි ජන විඥානයට දැඩි බලපෑමත් කළ හැකි මෙවැනි තේමා යටතේ පුවත් පළ කිරීමේදී පක්‍ෂග්‍රාහිතත්වයකින් තොරව සමතුලිත ලෙස අදහස් සමාජගත කිරීමේ වගකීම මාධ්‍යයකින් ඉටු විය යුතු යුතුකමකි. ඇත්ත වශයෙන් ම මේ ප්‍රකාශය එකහෙළා අනුමත කරමි. එවැනි වගකීම් මාධ්‍යයන් විසින් ගනු ලැබ තිබුනේ නම් මෙසේ චිරාත් කාලයක් මුළුල්ලේ පවත්නා ශාසනික සම්ප්‍රදායන් කඩ කරමින් භික්‍ෂූන් වහන්සේගේ සිල් බිඳින විසූකදස්සන කල එළි නොබසිනු ඇත.

ශාසනය වෙනුවෙන් ධනාත්මක යමක් කිරීමට තරුණ භික්‍ෂු වහන්සේ නමක් ගන්නා උත්සාහය හෙළා දැකීම වැරදියි ඔහු පවසයි. චිර සම්භාවිත ශාසනික චිරස්ථිතය සෘණාත්මක කරන සුලු නමුත් ඇතැම් භික්‍ෂූන් ධනාත්මක කරන මෙම ප්‍රයත්න යනුවෙන් එම වැකිය නිදොස් කිරීම වඩා උචිත වන්නේ ය.

බුදු දහම පිළිබඳ පළල් දැනුමත්, චිත්තාකල්පයක් නොමැති ඇතැමෙක් ගිරා පෝතක න්‍යායයෙන් බුදු දහම විවරණය කරති. බුදු දහම දෙස බැලිය යුත්තේ ඊට ආවේණික වූ ස්වලක්‍ෂණ නැතහොත් බෞද්ධ චින්තනයෙන් ම ය. අතනින් මෙතනින් අහුලාගෙන ස්වකීය හිස්මොළවල පුරවාගත් සංකල්ප අනුව නොවන බව හණමිටිකාර මේ න්‍යායාචාර්යයන්ට නොවැටහීම අරුමයක් ද නොවේ. බුදු දහම ධනාත්මක චින්තනයක් යැයි යමෙක් පවසතොත් එය ඔහු බෞද්ධ චින්තනය නොදැනීමෙන් කරන කියමනකි. බුදු දහමෙහි ඇත්තේ ධනාත්මක චින්තනය නොව අපණ්ණක පටිපදාව නොහොත් නොවරදින මාර්ගයයි. මේ පිළිබඳව ඉතා පුළුල් ලෙස විවරණය කළ යුතු වුවත් ඊට මෙහි අනවකාශයි.

පවතින සමාජ ක්‍රමයේ නිර්මාණයක් වශයෙන් භික්‍ෂුව හැඳින්වීමට තරම් මොහු සාහසික වන්නේ ස්වකීය අනුභූතීන් එනම් තමා ආශ්‍රය කරන භික්‍ෂූන් වහන්සේලාගේ ඇවැතුම් පැවතුම් අනුව විය හැකිය. මින් වසර දෙදහස් හයසියය ගණනකට පෙර අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ වදාළ ශාසන බ්‍රහ්ම චරියාව දුෂ්කර පිළිවෙතකි. එහි සිත් ඇලවීම වඩාත් දුෂ්කර ය. (දුප්පබ්බජ්ජං දුරභිරමං)

දුරභිරම වූ ධර්ම විනය චරියාවක් වන පැවිද්ද පිළිබඳ ත්‍රිපිටකයේ අන්තර් ගත අර්ථ විවරණ වෙනමම සාකච්ඡා කළ යුතු ය. කෙසේ වුවත් පශ්චිම භවික සත්ත්වයකු වශයෙන් ගිහිව සිටිමිනුත් බුදු දහමෙහි අපේක්‍ෂිත පරම නිෂ්ඨාව අවබෝධ කළ හැකි නම් පැවිද්දේ අවශ්‍යතාව කුමක් නිසා පවත්නේදැයි නිතර නිතර මෙනෙහි කළ යුත්තේ ය. භික්‍ෂුවට සමාජයෙන් ව්‍යුක්තව ජීවත් විය නොහැකිය. එම නිසා යම් යම් විපරිණාම ධර්මයන්ට ගොදුරු වීම් විය හැකි ය. හුදෙක් එය සපුරා ගිහි ආකල්පවලින් යුක්ත වීම නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළේ අඤ්ඤො මේ ආකප්පෝ කරණීයොති පබ්බජිතෙන අභිඤ්ඤං පච්චවෙක්ඛිතබ්බං, නිරන්තරයෙන් තමන් ගිහියාට වෙනස් වූ පැවිදි ආකල්පයන් ගෙන් යුක්ත වන්නේ යයි නැවත නැවතත් සිතිය යුතු යි. ඒ නිසා ඔහු කියන පරිදි තවත් ගිහියෙකුගේ ආකල්ප භික්‍ෂුවට සුදුසු නොවේ.

කෝලිත දිසානායක මහතා සඳහන් කරන Meditation Music(භාවනාමය සංගීතය) ආදී සංකල්ප බුද්ධ දේශනාවේ නැත. එනිසා මුල් බුදු සමයට පටහැනි මෙවැනි සංකල්ප ආදේශ කොට බහුව්‍යාපක සංදර්භය තුළ පිවිතුරු බුද්ධ ධර්මය දියාරු කොට හෑරීමේ අවශ්‍යතාවක් අපට නැත. කෙසේ වුවත් Meditation පන්සලේ ඇතත් එය පල්ලියේ නැත. Music  පල්ලියේ ඇතත් එය පන්සලේ නැත. එම නිසා මේ විජ්ජුම්බර අන්ධානුකරණ කොම්පැණියේ ප්‍රයත්නය විශිෂ්ට බෞද්ධ මූල ධර්ම විනාශ කිරීම ද?

“කිසියම් ආගමක් හෝ දර්ශනයක් ජනතාවට සමීප කිරීමේදී අද දවසේ පවතින තරගකාරී ජීවන රටාවට ගැළපෙන ලෙස එය සිදු කළ යුතුයි. එහිදී බහුතර ජනයා කැමති තැනකින් ආරම්භ කර අවශ්‍ය තැන දක්වා ජනයා මෙහෙය විය යුතුය.” යනුවෙන් මේ සඳහන් කරන්නේ ඉල්ලුම සහ සැපයුම අතර පවත්නා ආර්ථික න්‍යාය මත පිහිටා බුදු දහම අලවිකරණය යටතේ දියාරු කොට හැරීමට විය හැකිය. ඇත්ත වශයෙන්ම ජනතාව ඉල්ලන දේ දීමට නම් බුදු දහමේ අවශ්‍යතාවක් නොමැත. ඒ සඳහා චාර්වාක දර්ශනය කදිමට ගැලපේ. කෙසේ වුවත් මොහු එම වැකියේ දක්වන කරුණු සර්වකාලීන වූත් විශ්වතෝ මුඛවූත් බුදු දහම හැර සෙසු අන්‍ය ආගම් ප්‍රචාරය කිරීම සඳහා හොබනේය. බහුතර ජනයා කැමති තැනකින් ආරම්භ කොට තම තමන්ගේ යටගිය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම මේ අයගේ පරමාර්ථ බව විළි ලැජ්ජා නැතිව ප්‍රකාශ කරන ආකාරයත් පැහැදිලිය. එසේ ම මේ ලේඛකයා කියන පරදි පිරිත් අසන්නට මැළිකමක් දක්වන බෞද්ධයන් මෙරට සිටිනවා දැයි ප්‍රශ්න කරනු කැමැත්තෙමි.

කසිකබල් සංගීත රැල්ල වෙනුවට භික්‍ෂු සංගීත රැල්ලක් බිහිකොට ජාතික පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා බෞද්ධ විමුක්ති රසය තේමා කරගත් ප්‍රයත්නයක් වශයෙන් මෙය හඳුන්වා දී තිබේ.

මෙහිදී අපට සිහිපත් වන්නේ ධර්ම රාජ්‍යයක් බිහි කිරීම පිණිස දේශපාලන පාරමිතාවක් පුරා දියවන්නා ඔය තරණය කළ වදාළ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයත්නයයි. දුර්වලයා නොව දුර්වලතාව දුටුවිට ඒවා අවස්ථාවෝචිත ලෙස ධර්‍මවිනයානුකූලව පෙන්වා දෙන්නේ “වනං ඡින්දථමා රුක්‍ඛං” යන සම්බුදු න්‍යාය අනුවයි. තවද පුද්ගල තරාතිරම් මත පිහිටා යම් යම් කරුණු සාධනීය කරන්නේ යැයි මොහු අප වෙත නඟන චෝදනා අරුත්සුන් වදන් වශයෙන් ප්‍රතික්‍ෂේප කරමි.

අංකුර අවදියේ සිටින කුඩා හිමිනමක් වුවත් සංඝ සෝභන ගුණයන්ගෙන් යුක්ත විය යුතුයි. මෙහිලා චණ්ඩාශෝක ධර්මාශෝක බවට පරිවර්තනය වූයේ කුඩා නිග්‍රොධ සාමණේරයන් වහන්සේගේ උපශාන්ත දසුනෙන් බව සිහියට නගා ගැනීම වැදගත් ය. තව ද බුදුරජාණන් වහන්සේ වදාළ

යො හවෙ දහරො භික්‍ඛු
යුඤ්ඡති බුද්ධසාසනෙ
සො ඉමං ලොකං පභාසෙති
අබ්භා මුත්තොව චන්දිමා,”

බුදු සසුනෙහි යෙදී වෙසෙන ළදරු පැවිද්දා ද මෙලොව මොනවට බබළන්නේ ය, යනුවෙනි. මෙහි දී මෙම ලේඛකයා භික්‍ෂු සීලය යුගයට සාපේක්‍ෂ කළ යුතුයි නිර්දේශ කිරීම සිනහවට කරුණකි. නැටුම් – ගැයුම් – වැයුම්වලින් තොරව විසීම භික්‍ෂු සීලයකි. සීලය කිසිවිටෙකත් සාපේක්‍ෂක අගයෙන් යුක්ත නොවේ. හුදු එය නිරපේක්‍ෂකයි. සාපේක්‍ෂක යන්නෙහි අර්ථය නොදැනීම නිසා මොහු සීලය යුගයට සාපේක්‍ෂක කළ යුතු යැයි තෙපලයි.

නැටුම්, වැයුම්, ගැයුම්, භික්‍ෂුවකට අකැප වුවත් චිත්‍ර කැටයම් වැනි කලා නිර්මාණ සිදු කිරීම වරදක් නොවන බව ප්‍රකාශ කිරීමේ ප්‍රතිවිරෝධයක් නොමැති බව තේරුම් ගැනීමට ධර්ම විනය ප්‍රඥප්තින් පිළිබඳ අබමල් රේණුවක තරම්වත් දැනුමක් තිබිය යුතුයි. එසේ නොමැත්තෙකුගේ මේ කෑ මොර ගැසීම අපගේ අනුකම්පාවට පාත්‍රය වීමට කරුණක් වෙයි.

සංගීත අධ්‍යක්‍ෂණය භික්‍ෂූන් වහන්සේට නුසුදුසු ක්‍රියාවක් බව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. මෙහි දී සංගීත අධ්‍යක්‍ෂකගේ කාර්යභාරය කුමක් දැයි විමසීම අවශ්‍ය කරුණකි. ගීතයකට තනු නිර්මාණය කිරීම, සංගීත සංයෝජනය, නාද ශික්‍ෂණය, වාදක කණ්ඩායම මෙහෙයවීම ආදී සංගීත අධ්‍යක්‍ෂකගේ වගකීම් ය. මින් පැහැදිලි වන්නේ සංගීත අධ්‍යක්‍ෂණයේ දී සංගීත භාණ්ඩ වාදනය කළ යුතු බවයි. මෙය භික්‍ෂුවකට නොගැලපෙන භික්‍ෂූ ශීලය බිඳෙන අවස්ථාවක් බව තේරුම් ගැනීමට බෞද්ධයෙකුට අපහසු වේ ද?

බුදුරජාණන් වහන්සේ වදාළේ භික්‍ෂූන් වහන්සේලා නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතා යනුවෙනි. ඒ අනුව නැටුම් – ගැයුම් – වැයුම් යන මේවා කිරීම හා කරවීමෙන් භික්‍ෂූන් වහන්සේලා වැළකී සිටිය යුතු යි. එය බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ ශීලයයි. සාමඤ්ඤඵල, සෝණදණ්ඩ, කූට දන්ත, මහලී, සුභ, කේවට්ට, තේවිජ්ජ යනා දී සූත්‍රවල දී චූල ශීලයටත් අයත් වන ඉහත ශික්‍ෂා පදය විනය පිටකයේ චුල්ලවග්ග පාළියේ ද අන්තරගත වේ.

බුද්ධ දේශනාව අනුව පසක් වන්නේ ගීත ස්වරයට නගා ධර්මය නොදෙසිය යුතු බවයි. “මහණෙනි, දික් වූ ගී ස්වරයෙන් ධර්මය ගායනා නොකළ යුතුය. යමෙක් ගයන්නේ නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. පහන (න භික්ඛවෙ ආයතකේන ගීතස්සරේන ධම්මෝ භාසිතබ්බෝ. යො ගායෙය්‍ය ආපත්ති දුක්කසේස) මෙසේ භික්‍ෂූන් වහන්සේලා උදෙසා ශික්ෂා පදයක් පැනවූයේ ඡබ්බග්ගිය භික්‍ෂූන් ගී ස්වරයෙන් ධර්මය ගායනා කිරීමෙන් මහජනයාගේ විවේචනයට භාජනය වූ අවස්ථාවේ දී ය. එසේ ගැයීමෙහි ආදීනව 5 ක් වදාළ සේක. එනම්,

1. තමා ද ගී හඬෙහි ඇලෙයි (අත්තාපි තස්මිං සරෙ සාරජ්ජති)

2.අනුන් ද එහි ඇලයි (පරෙපි තස්මිං සරෙ සාරජ්ජන්ති)

3.භික්‍ෂූන් ගී ගයතැයි විශ්වාස කරන ගිහියන් කල කිරෙයි (ගහපතිකාප උජ්තධායන්ති)

4.චිත්ත සමාධියට බාධා පැමිණවීම (සරකත්තිම්පි නිකාමය මනස්ස සමාධිස්ස භංගොහොති

5. කියන්නා අගතිගාමී වීම (පච්ඡිමා ජනතා දිට්ඨානුගතින් ආපජ්ජති)

මේ අනුව පිරිත් ශ්‍රවණය කිරීමට මැළිකමක් දක්වන ශ්‍රාවකයන් පවා සංගීතමය ලෙස අති ආගමික නිර්මාණ රස විදීමට කැමැතිය යන බහුවිකාර නිෂේධනය වන්නේ ය. මොවුන් කියන ආධ්‍යාත්මික සංහිදියාව ලබා ගැනීමට නොහැකි බව බෞද්ධ චිත්තනයේ රස්නයවත් නොදැනුන කෙනෙකුට නොතේරීම අරුමයක් නොවේ.

දිසානායකගේ ලිපිය කියවන විට නිරන්තරයෙන් සිහි වෙන්නේ පැරණි ප්‍රස්ථා පිරුළකි. එනම් “නොදන්න දෙමළෙට ගොස් වරිගෙ නසා ගත්තා වගේ” යි, මෙය තවදුරටත් පාඨකයාට දැන ගැනීම පිණිස මේ සිව්පදය ද දක්වමි.

සොඳින් දැන උගත් පඬි උතුමන් නෙක සේ
තමන් නැණ ඇසින් දැක වැඩ කරන ලෙසේ
කරන්නට ගොසින් දැන වැනසෙති අනි සේ
නොදන්නා දෙමළයට ගොස් වරිගේ නැසේ

මියුසික් භාවනා නඩයේ ප්‍රයත්නය වන්නේ පිරිත් දේශනාවටත්, අන්‍ය බෞද්ධාගමික වතාවත්වලදීත් සංගීතය මුසුකොට අධ්‍යාත්මික සංහිදියාවකට මඟ පෑදීම යි, යනුවෙන් කෑ මොර දෙති. එහෙත් භික්‍ෂු වහන්සේලාට දික් ගී හඬින් ධර්මය ගායනා කිරීම තහනම් කොට ඇති බව ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු පර්යේෂණායතනය නොදනියි.

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 11 වනදා පූර්ව භාග 3.25 ට ලබයි. 12 වනදා සඳුදා පූර්ව භාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]