UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍ය කථා

ආඳ මත්ස්‍යයන් කළ මනුෂ්‍ය ඝාතනය

සත්ව හිංසාවේ භයානක ආදීනව ප්‍රකාශිත වාර්තාගත මෙම සත්‍ය කතාව මෙං පිංගත් නමැති ශාස්තෘවරයා විසින් කියන ලද්දකි.

සත් චව් නගරයේ ඉතා රසවත් නූඩ්ල්ස් අලෙවි කරන කාගේත් සිත්ගත් අවන්හලක් විය. එහි අයිතිකරු තායි ටැපාන් නමැති ඉතා දුෂ්ට මනුෂ්‍යයෙකි. හෙතෙම හිංසාකාරී මහා ආත්මර්ථකාමී සාහසිකයෙකි. ඔහුගේ අවන්හල නගරයේ අනෙක් සියලුම තරගකාරී අවන්හල් අභිබවා ඉදිරියෙන් සිටියේ ය. ඊට හේතුව ඔහුගෙ අවන්හලේ පිසින නූඩ්ල්ස් අනෙක් කිසිම අවන්හලකින් එතරම් රසට ලබාගත නොහැකි වීම ය. ඔහුගේ අවන්හලේ පිසින නූඩ්ල්ස් සඳහා ඔහු සියුම් උපාය මාර්ගයක් අනුගමනය කිරීම මෙම සුවිශේෂ රස ගැන්වීමේ රහස ය. එය තායි ටැපාන්ටම පමණක් සීමා වූ රහසකි. ඔහු නූඩ්ල්ස් පිසින භාජනයෙහි තියුණු උල් සහිත ඇණ සවිකොට තිබේ. භාජනයට ජලය වත්කොට එහි පණ ඇති ආඳ මත්ස්‍යයින් දමා භාජනය ලිප තබයි. භාජනයේ ජලය රත්වන විට පණ ඇති ආඳ මත්ස්‍යයෝ එයින් බැහැර වීමට විශාල පරිශ්‍රමයක් දරති. විශාල ලෙස දඟලති. මේ දැඟලීම නිසා තියුණු උල් සහිත ඇණ වලට සීරී කැපී භාජනයට ආඳ මත්ස්‍යයන්ගේ ලේ මිශ්‍රවෙයි. මත්ස්‍යයෝ එහි මිය යති. නූඩ්ල්ස් පැසවනු ලබන්නේ ඒ ආඳ මත්ස්‍ය ලේ වලින් කැකෑරී ඇති ජලය තුළ ය. වෙනත් කිසිදු අවන්හලක මෙවැනි ප්‍රණීත රසයෙන් යුත් නූඩ්ල්ස් නොමැති බැවින් පාරිභෝගිකයෝ විශාල ලෙස එහි පැමිණ සප්පායම් වෙති. මේ නිසා තායි ටැපාන්ට විශාල ලෙස ධනය ගලා එන්ට පටන් ගති. තායි ටැපාන් තම කුටියට වී එක් දිනක් මුදල් ගණන් කර බැලීමෙහි නිරත විය. හිස සලමින් ඔහු මහ හඬින් සිනා සෙමින් මෙසේ කියන්ට වුනි. “හඞ! හඞ! හා! මම දැන් මහා ධනවතෙක් විශාල ධනයක හිමිකාරයෙක්.” තායි ටැපාන්ගේ පුත්‍ර තායි ෂිෂිං තම පියාගේ උද්දාමය බලා සිට මෙසේ කීවේ ය. “තාත්තේ අපි මේ පාපකාරී කෲර ව්‍යාපාරය අත්හැර දාල මීට වඩා සාධාරණ ව්‍යාපාරයක් ආරම්භ කරමු. දැන් අපි කරන මේ ව්‍යාපාරය ඉතාම සාහසිකයි. පාපකාරීයි. අප ධනවතුන් කළත් මෙවැනි සාහසික ව්‍යාපාර ලෝකයාගේ පිළිකුලට හේතු වෙනව. කවදාහරි එහි නරක ප්‍රතිඵල අපට ලැබෙනව. තායි ටැපාන් තම පුත්‍රයාගේ අදහසට විරුද්ධව මෙසේ කීය. ‘ඩමී (පුතේ) මුදලින් තොරව ජීවිතයේ ඇති ඵලය මොකද්ද? ඔයාට ඕන නම් වෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මේ තරම් විශාල ලෙස ධනය ලැබෙන ලාබදායක වෙනත් ව්‍යාපාරයක් තියෙනවද? ඔය ගොල්ල මේ ලාබාල පැංචො විකාර අදහස්වලින් ඔළු ගෙඩි පුරවාගෙන’ කලක් ගත විය.එක් දිනක් හිටි හැටියේ ම තායි ටැපාන් අතුරුදන් විය. ඔහු යන එන තැන්වල සොයා බැලුව නමුත් ඇති තැනක් දැක ගත නොහැකි විය. කිසිදු තොරතුරක් නොලැබුණි. පුත්‍රයා හා ගෙදර අය මහත් කලබල ස්වරූපයට පත්ව සිටින විට අසල් වැසියෙක් කලබලකාරී ලෙස දුවගෙන අවුත් තායි ටැපාන් ගැන ආරංචියක් දැන් වූයේ ය. “ අපට එයා හමුවුණා, ඉක්මන් කරන්න. එයා අන්න ගඟේ පා වෙනවා. ගොඩට එන්න මහන්සි ගන්නවා. ඒත් එන්න බැරිව වගේ අරගලයක් කරනව වගේ පේනවා.” තායි ෂිෂිං වහාම ගං ඉවුරට දිවගියේ ය. ගමේ සියලු දෙනාම එක් රොක්ව ඒ පුදුමාකාර දර්ශනය මහත් විමතියෙන් යුතුව බලා සිටියහ. දහස් ගණනක් ආඳා මත්ස්‍යයින් විසින් වෙලා ගනු ලැබූ තායි ටැපැන් ආධාර ඉල්ලා මරහඬ තලනු වරින්වර ඇසුනි. එහෙත් ඔහුට අතක් පයක් වත් සෙලවීමට නොහැකි ලෙස ආඳා මත්ස්‍ය සමූහය ඔහු දියේ ගිල්වා ගෙන සිටීමට සමත් වූහ. ආඳා මත්ස්‍යයින්ගේ දත්වලින් වූ දහස් ගණන් තුවාල සහිත ඔහුගේ මළ සිරුර පසුව ගොඩගනු ලැබී ය.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.21 ට ලබයි.
04 වන දා ඉරිදා අපර භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]