UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අටසිල් සමාදන් වීම පිළිවෙතින් පසු බැසීමක් නොවේ

2009.06.15 සහ 2009.08.05 දෙ දින ‘බුදුසරණ’ පුවත්පත මගින් බන්දුල සේනානයක , සාම විනිසුරුතුමන් පළ කළ මතවලට අදාළව වුවත්, මේ ලිපිය එතුමන්ට පිළිතුරක් නොවේ. එතුමාට මගෙන් පිළිතුරක් අවශ්‍ය යැයි මට නොසිතේ. වෙහෙස ගෙන දිගු ලිපියක් ලිවීම ගැනත්, මා ගැන කළ ප්‍රශංසාව ගැනත් එතුමාට ස්තුති කරමි. ‘බුදුසරණ’ පාඨක භවතුන්ගේ යහපත සඳහා මෙය ලියනුයේ, වර්තමානයේ සන්නිවේදන මාධ්‍ය මගින් නොයෙකුත් මත ප්‍රචාරය වීමේදී සාමාන්‍ය බෞද්ධ ජනතාව බුදුබණ පිළිබඳව පටලැවිලි ඇති කර ගන්නා බව පෙනෙන නිසාය.

පෙළ දහම මා දැන සිටින පරිදි නම්, බුදුදහම පහළ වීමට පළමුව පැවැති ඇතැම් යහපත් අදහස් හා යහපත් පිළිවෙත් බුදුහාමුදුරුවන් විසින්, සකස් කිරීම් සහිතව හෝ රහිතව දහමට ඇතුළත් කර ඇත. එසේ ඇතුළත් කළ පසු, ඒවා ‘පුරාණ’ යැයි හෝ ‘වෙනත් අයගේ ඒවා ‘ යැයි හෝ ප්‍රතික්‍ෂ්ප කළ නොහැකිය. ඒවා ද දහම් ලෙසම පිළිගැනේ. එය බුදුබණ ම වේ. මේ අයුරින් පන්සිල් රැකීම ද අටසිල් රැකීම ද ‘බුදුමග‘ ය.

ගිහියාට නිති පන්සිල් හා පොහොය අටසිල් රැකීම ‘ගිහිවත’ ලෙසින් ධම්මික උවසුවාට පෙන්වා දී තිබේ. උවසුවකු සිල්වත් වන්නේ පන්සිල් රැකීමෙන් බව මහානාම ශාක්‍යයනට වදාරා තිබේ.

02. බුදුහාමුදුරුවන් බුද්ධත්වය ලබා, ගත වූ පළමු විසි වස තුළ ශික්ෂා පැනවීමක් නොවිණි. ඉන්පසු, බුදුහාමුදුරුවන් ජීවමාන කාලයේ ම බුද්ධ ශ්‍රාවකයන්ගේ හික්මීම සඳහා ශික්ෂා පද පැනවීම සිදු විය. ඒ එසේ නොකර සසුන තවදුරටත් පැවතීම අපේක්ෂා කළ නොහෙන නිසාය. ඒ අනුව, ශික්ෂාපද සමාදන්ව, සිල් රැක ගැනීම, බුද්ධශ්‍රාවකයන්ගෙන් සිදුවිය. ජීවමාන බුදුහාමුදුරුවන් සිටියදීම එසේ වූයේ නම්, 21 වන සියවසේ ජිවත් වන සාමාන්‍ය බෞද්ධයනට ශික්ෂා පද සමාදන් වීමෙන් තොරව සිල්වත් වීමට නුපුළුවන් බව අප විසින් තේරුම් ගත යුතුව ඇත.

03.ශික්ෂාපද සමාදම් වීමත්, ඇතැම් විට ශික්ෂාපද කඩ වුණොත් ඒවා නැවත සමාදම් වී, ආයති සංවරයට පැමිණීමත් බුදුහාමුදුරුවන් විසින් අනු දැන ඇත. මෙය පෘථග්ජනයන්ට පමණක් නොව අර්හත්වයට නොපන් සෝතාපන්නාදී ආර්ය ශ්‍රාවකයනට පවා අභව්‍ය නොවන බව බුදුහාමුදුරුවන් විසින් ම සික්ඛාපද සූත්‍රයන්හි පැහැදිලි කර දී තිබේ.

ලෝභ, දෝස, මෝහයන් සම්පූර්ණයෙන් ප්‍රහීණ වන තෙක් පෘථග්ජනයන්ගෙන් පමණක් නොව ශෛක්ෂයන්ගෙන් පවා වැරැදි සිදුවිය හැකි බව රතන සූත්‍රයේ එන කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා යන ගාථාවෙන් ද ප්‍රකට වෙයි.

04. අටසිල් පොහොය දවසට විනා දිනපතා ආරක්ෂා කිරීමට කාමභෝගී ජීවිත ගත කරන ගිහියනට නුපුළුවන. එනිසා අටසිල් සමාදම් වීම එක් දිනකට සීමාවීම ගැන විශේෂයෙන් කතා කළ යුතු නැත. අටසිල් සමාදම් වීම සඳහා විහාරස්ථානයකට යෑම ද සුදුසු බව අමුතුවෙන් පෙන්වා දිය යුතු කරුණක් නොවේ. එසේ නම් එය උදේට හාමුදුරුවන්ගෙන් ඉල්ලා ගෙන සවසට හාමුදුරුවන්ට භාරදීමක් නොවේ. එය උපහාසයට හෝ අපහාසයට ලක් විය යුතු ආගමික කාර්යයක්ද නොවේ.

05. සිල් පද පහක් හෝ අටක් සමාදම් වීම සීලය සංඛ්‍යාත්මකව කරුණු පහකට හෝ අටකට ‘කොටුවීමක් ‘ ලෙස හැඳින්විය නොහැකිය.

වරක්, සැරියුත් මහ තෙරණුවෝ, සෝතාපත්ති අංග හතර, ආර්ය මාර්ගයේ අංග දහයට අදාළව අනේපිඬු සිටුහට විස්තර කොට දුන්හ. ඒ බව දැනගත් බුදුහාමුදුරුවෝ මෙසේ වදාළහ.

පණ්ඩිතෝ ආනන්ද, සාරිපුත්තෝ, මහපඤ්ඤෝ ආනන්ද, සාරිපුත්තෝ යත්‍රහි නාම චත්තාරි සෝතාපත්තියංගානි දසහි ආකාරේහි විභජිස්සති.

ආනන්ද, සාරිපුත්ත පණ්ඩිතය , මහාප්‍රඥාය සතර සෝතාපත්ති අංග දස ආකාරයකට බෙදා දැක්වූහ යනුවෙනි.

මෙහි ඇතුළත් වන්නේ අටසිල් ද නොවේ, පන්සිල් ය. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අර්හත්ව ප්‍රතිලාභයේදී ඇතුළත් වන සම්මා ඤාණ , සම්මා විමුක්ති යන අංග දෙකද සමඟ මෙහිදී දසංගය ආර්ය මාර්ගයට අයත් වේ. තෙරුවන් සරණයාම හා පන්සිල්හි පිහිටීම එතරම් පුළුල්ව දැකිය හැකි නම් ඒ මගින් ‘කොටුවීමක් ‘ ගැන කිසිවෙකුට කතා කළ නොහැකිය.

06. අටසිල් සමාදන් වීමේ අරුත, උපෝසථ සූත්‍රයන්හිදී, බුදුහාමුදුරුවෝ විශාඛාවනට ද තවත් ශ්‍රාවකයිනට ද විස්තර කර දුන්හ. “රහතන් වහන්සේ දිවි හිමියෙන් රකින සීලයක් මම මේ දිවා රෑ අනුකරණය කරමි”යි සිතා අටසිල්හි පිහිටීම සිදුවේ.

මේ අනුව ‘පන්සිල් ‘ , ‘අටසිල්’ ශික්ෂාපද වශයෙන් සමාදම් වී ආරක්‍ෂා කිරීම, ,’කොටුවීම් ‘ හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය බැහැර කොට ‘පසුබැසීම්’ ලෙස හැඳින්වීම දහමට පටහැනිය.

07. විරමණය පමණක් කියැවෙන පරිදි ශික්ෂාපද සකස් වී තිබුණත් ඒවායෙහි විරමණයක් මෙන් ම සමාදානයක් ද ඇතුළත් බව සිල් සමාදන් වන බෞද්ධයෝ දනිති. භික්ෂූන් වහන්සේ ද ඒ බව සිල් සමාදන් වන ඇත්තන්ට පෙන්වා දෙති. මේ ශික්ෂා පද මගින් වාරිත්‍ර සීලයක් පමණක් ඛ්යැවෙතැයි දහමට චෝදනා කරන අබෞද්ධයෝ නම් ඇතැම් විට සිටිති. ඒ ඇත්තෙන්ම ඔවුන් ඒහි යථාර්ථය නොදන්නා නිසාය. සාමඤ්ඤඵල , සාලෙය්‍යක වැනි සූත්‍රවල ශික්ෂාපදයන්ගේ විරමණ, සමාදාන අංශ දෙක මැනැවින් පහදා දී තිබේ. පළමු සිකපදය පමණක් මෙසේ දක්වමු.

පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති, නිහිත දණ්ඩෝ නිහිත සත්ථෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාණභූත හිතානුකම්පී විහරති.

ප්‍රාණඝාතයෙන් ඈත් වෙයි. ප්‍රාණඝාතයෙන් වැළකී දඬු මුගුරු බහා තබා, ආයුධ ඉවත ලා , පවට ලජ්ජා ඇතිව, සියලු ප්‍රාණීන් සියලු සත්වයින් කරෙහි කරුණා සහගත, මෛත්‍රී සහගත සිතින් වාසය කරයි.

මහි පවට ලජ්ජා වීම (හිරි) කරුණා සහගත වීම (දයා , අනුකම්පා) මෛත්‍රිය වැඩීම (හිත) වාරිත්‍ර සීල නොව සමාදම් ව රකින සීල බව පැහැදිලිය.

08. බුදුදහමට අනුව ජීවිත හැඩ ගසා ගැනීමට නම් දැනට අපට ලැබී ඇති පෙළ දහම් කියවා බලා හෝ අසා හරි හැටි කරුණු දැන ගත යුතුය. ඉන් පසු ඒවා ක්‍රියාවට නැංවිය යුතුය. වරින් වර ජන සන්නිවේදන මාධ්‍ය මගින් ඇතැම් උගතුන් හා නූගතුන් ඉදිරිපත් කරන මත වාද අනුව එහාට මෙහාට දෝලනය වීම බෞද්ධකම නොවේ. කරුණු සහිතව ඇති කර ගත් ප්‍රසාදයකින් යුතුව දහම අනුගමනය කළ යුතුය.

09. පන්සිල් සමාදන් වන, අටසිල් සමාදන් වන බෞද්ධයන් අතර ඒවා හුදෙක් චාරිත්‍ර වශයෙන් කරන අය සිටිති. දැනුම් තේරුම් නැතිව කරන අය ද සිටිති. එය පුදුමයක් නොවේ. එහෙත් හැම දෙනාම හෝ ‘බොහෝ දෙනා’ හෝ එසේ යැයි සිතිය නොහැකියි.

පන්සිල් හා අටසිල් ශික්ෂාපද වශයෙන් සමාදන් නොවී ඒවා තම තමන් විසින් ම ආරක්ෂා කර ගන්නැයි යෝජනා කිරීමට කිසිවකුට අයිතියක් නැත. එවැනි විනය නීති පැනවීමට බුදුහාමුදුරුවන් මහාශ්‍රාවක භික්ෂූන් වහන්සේට වත් අවසර දී නැත. පන්සිල් පද සමාදන් වී ඒවා රැක ගැනීමත්, ඇතැම්විට ඒවා තමන්ගෙන් කැඩුණොත් වහා නැවත සමාදම් වී ආයති සංවරයට පැමිණීමත්, පොහොය දින පන්සලට ගොස් භික්ෂූන් වහන්සේගෙන් අටසිල් ගෙන එදින එය රැක ගැනීමත් බුදුමග බව පිළිගත යුතුය. එය ආර්ය අෂ්ටාංගික මාර්ගය බැහැර කිරීමක් හෝ අටසිල්වලට පසුබැසීමක් නොවන බව වටහා ගත යුතුය.

10. මත, වාද ඉදිරිපත් කරන්නෝ ඒවා රැක ගැනීම සඳහා, සනාථ කර ගැනීම සඳහා හේතු සාධක ඉදිරිපත් කරති. එය ස්වාභාවිකය. ඒ මගින් ඔව්හු අත්තනෝමති දෘෂ්ටි බවට පත්කර ගනිති. සත්‍යය එ මගින් සැඟවී යයි. ඉදිරිපත් වන අදහසක් සත්‍ය ද , බුදුබණ ද යන්න තේරුම් ගැනීමට නම් දැනට අපට ලැබී ඇති පෙළදහමෙහි (ධම්මවිනය) එය ප්‍රකාශ වන අයුරු සොයා බැලිය යුතුය. එය බුදු හාමුදුරුවන් අනුදත් මගයි.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.54 ට ලබයි.4 වන දා සිකුරාදා අපර භාග 09.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]