UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍ය කතා

වනපෙත තවමත් උදා සුන්දරත්වයේ නිමග්නව ඇත. සෙමෙන් සෙමෙන් උදාවන සූර්යයා පොළෝ තලය වනපෙත හා තණනිල්ල ජෝතිමත් කරයි. ගිරි ශිඛර ආලෝකධාරාවෙන් ඇලලී යන ආකාරය ඉස්මතුවන අතරම, ගලායන දොළමග රැළි සුළි නගමින් උද්දාම වෙයි. සියල්ල සාමකාමීය. ප්‍රබෝධවත්ය. ආශ්වාද ජනකය.

එක්වරම මේ සුන්දරත්වය මධ්‍යයේම මිනිස් රුවක් දිස්විය. ඉක්මනින්ම ගලායන දොළ පාර තරණය කළ ඔහු වේගවත් ගමනින් ඉදිරියේ ඇති තණ තලාව දෙසට ගමන් කළේය. මද දුරක් ගොස් නතර වූ ඔහු වටපිටාව මැනවින් සෝදිසි කෙළේ තමා බලාපොරොත්තු වූ කිසිවකු සැපත්වන තුරු බලා සිටින්නාක් මෙනි. මෙම පුද්ගලයාගේ මුහුණෙහි දැඩි ප්‍රතාපවත් බවක් ඇත. කන් පෙති විශාලය. ඇස් බැම අසිපත් හා සමානය. තියුණු ඇස් දිවියකුගේ් ඇස් මෙන් විය. වීරෝදාර පුරුෂයින් පළඳින තලප්පාවක් හිසෙහි විය. වම් අතේ දුන්නක් දරයි. දකුණු හියොමුරෙහි එල්ලන ලද ඊතල පැස ය. ඔහු නිර්භිත ජව සම්බන්න ප්‍රබල පුරුෂ ලක්ෂණ අනාවරණය කෙළේය. ඔහු (ට්) සු මෙන්චූන් ය. සුන්දර පාරිසරික ලක්ෂණ වලට කැමැත්ත දක්වන ඔහු දඩයම් ක්‍රීඩා ලෝලියෙකි.

වන පෙත තුළින් මුව පොව්වකු නිදැල්ලේ එළියට පනිනු ඔහුගේ තියුණු නෙතට ගැටුණේය. මදහස පෑ ඔහු පැසෙහි වූ ඊතලයකට අත පොව්වේය. දුනු දියේ නාදය ‘සිප්’ යන අනුකරණයෙන් මුව පොව්වා කෑගසාගෙන බිම පතිත විය. ට්සු තමාගේ නිවැරදි ඉලක්කය ගැන ආඩම්බරයෙන් සිනාසුනි. තමා හෙළාගත් දඩයම ඩැහැගන්නට ඔහු නික්මෙනවාත් සමගම මුව මව ඇගේ දරුවා කරා වේගයෙන් දිව එනු ඔහුට පෙනුනි. තමාගේ සුරතලාට සිදු වී ඇති විපත දුටු මුව මව ඉකිබිඳිමින් හඬා වැලපුන අතර තවමත් ලේ ගලන ඊතලයත් සමග ම වූ තුවාලය දිවෙන් ලෙව කෑවාය.

ට්සු මෙය කිසිසේත් අපේක්ෂා කළ දෙයක් නොවේ. මෙයට පෙර කිසිදාක දඩයමක දී මෙවන් කටුක අත්දැකීමකට ඔහු මූණපා නැත. මව තම දරුවාට සාත්තු සප්පායම් කරනු ට්සු බලා සිටියේ දැඩි වේදනාවෙන් ය. නමුත් ඔහුගේ ඉලක්කය ඉතාම නිවැරදිය. එයින් වූ තුවාලය බොහෝ ගැඹුරට කිඳාබැස තිබුණි. වැඩි වේලාවක් ගතවන්නට පෙර ඒ කුඩා මුව පොව්වා මිය ගියේය. මුව පොව්වා මිය යනු වේදනාවෙන් බලා සිටි මව ඒ සමගම මැරී වැටුණාය.

ට්සූ මහත් කම්පනයට පත්විය. ඔහුට ඇස් අදහාගනු නොහැකි විය. දරුවා මියයාම හැර මුව මව මියයාමට කිසිදු හේතුවක් නොදත් හෙතෙම මවිතයට පත්ව මව මියයාමේ රහස කුමක්දැයි සෙවීමට සිතා ගත්තේය. ඔහු අප්‍රමාදව තම දඩයම් පිහිය ගෙන මළකුණ කපා පරීක්ෂා කෙළේය. ඔහු මවිතයට පත්කරමින් දකින්ට ලැබුණේ මුව මවගේ අභ්‍යන්තරික බඩවැල් අඟලක් පමණ දිගට ඉරී කුඩා කැබලි බවට සුණු විසුණු වී තිබුණ බවය. ඒ සමගම ආමාශය පිපිරී ගොස් විවර වී තිබුණි. තම ආදරණීය පුත්‍රයා මරා දැමීමේ ශෝකය වාවාගත නොහුණු ඇගේ මරණය මේ අභ්‍යන්තරික ඉන්ද්‍රිය සුණු විසුණු වී යාම නිසා සිදු වී ඇති බව ට්සූ අවබෝධ කර ගත්තේය.

තමා විසින් කරන ලද මේ අති දරුණු පුත්‍ර ඝාතනය ගැන ට්සූ මෙන්චූන් මහත් සේ දුක් විය. වේදනාවෙන් උමතුවෙන් මෙන් කෑගැසු ඔහු තම දුන්න දනහිසට හිරකොට කඩා සුණු විසිණු කොට කැලයට විසිකොට ඊතල පැස ගලායන දොළමගට විසි කෙළේය.

එයින් පසුව තම නිවසින් බැහැර වූ ඔහු ඈත කඳුකරයේ බොහෝ දුර ගියේ තමාට ජීවිතයේ උපදේශයක් ලබා ගත හැකි ගුරුවරයකු සොයා ගැනීම සඳහා ය. ඔහුගේ ගමන සාර්ථක විය. මිනිස් වාසයෙන් තොර හුදකලා වන දුර්ග කඳුකරයේදී ඔහුට ආචාර්යවරයෙකු ගේ් සහාය ලැබුණි.

වර්ෂ ගණනාවක් ඉතා වෙහෙස මහන්සිව දැඩි කැපවීමකින් මානසික සංවරභාවය ගොඩනගා ගත් ඔහු අවසානයේදී භාවනානුයෝගී බෞද්ධයෙක් බවට පත්ව ජීවිතයේ අවසාන භාගයේ ප්‍රබල බෞද්ධ ආගමික නායකයකු බවට පත්විය.

( LOVE OF LIFE කෘතියෙන් සංග්‍රහ කෙරිණි )

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.54 ට ලබයි.4 වන දා සිකුරාදා අපර භාග 09.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]