UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සේරුවිල පුද බිමේ 85 වන වරට පැවැත්වෙන ශ්‍රීමත් ලලාට ධාතු නිකිණි මහා පෙරහර

වෙසක් මසට විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ ඉහළින් සැමරෙන බුදුගුණ, පොසොන්, ඇසළ, නිකිණි වන විට රටේ අනෙකුත් ප්‍රදේශ දක්වා විහිද යයි. උතුරු මැද පළාතෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානයත්, මධ්‍යම පළාතෙන් ශ්‍රී දන්තධාතූන් වහන්සේත්, දකුණු පළාතෙන් සිතුල් පව්ව රජමහා විහාරස්ථානයත්, ඌව පළාතෙන් කතරගම පුද බිම සහ සෝමාවතියත් මෙන්ම නැගෙනහිර පළාතෙන් සේරුවාවිල පින් බිමත් සැදැහැතියන්ගේ ගමන් මගෙහි සුවිශේෂි ස්ථාන වෙති.

පුරා දශක තුනක පමණ කාලයක් ත්‍රස්තවාදී ප්‍රචන්ඩ ක්‍රියා මත වෙනස්ව තිබූ එම ගමන් මඟ යුද්ධයේ ගිනිපුලිඟු නිමා දැමීමත් සමග යළි එළි පෙහෙලි වෙමින් තිබේ. ඒ අනුව අපගේ මුතුන් මිත්තන් පමණක් දැක තිබූ සේරුවාවිල නිකිණි මහා පෙරහර සහ ශ්‍රීමත් ලලාට ධාතු පින්කම අද වන විට කාහටත් පොදුවේ දැක බලා ගැනීමේ වරම ලැබී තිබේ.

කොන්ක්‍රීට් වනාන්තරවලින් අත්මිදී ස්වාභාවික පරිසරයේ විවිධ වන සතුන් නරඹමින් ඉඳහිට හෝ ගමනක් බිමනක් යාමට ඇත්නම් එය ලොකු අත්දැකීමකි. ඒ අනුව සේරුවාවිල ගමන ඉතා සුන්දරය. හිරු අවරට යත්ම රැහැයියන්ගේ නොනවතින කන් කරච්චලය, මොණරුන්ගේ මනහර දසුන්, නිදැල්ලේ සැරිසරන අලි ඇතුන්ගේ මෙන්ම අවිහිංසක බවේ සංකේතය වන් මුවන්ගේ අයස්කාන්ත දර්ශන මනසට ගෙනෙනුයේ නවමු අත්දැකීමකි. කන්තලෙන් හැරි අලිඔළුව හරහා සේරුවිල පුද බිමට යන ගමන අද වන විට අතිශය ආරක්‍ෂාකාරී එකකි. මෙම ගමන් මග විටෙක රන්වන් පාටින් එලබර වූ කෙත් යායවල් ය. තවත් විටෙක රූස්ස ගස් සහිත මහා වනයකි. කොටි හඬ ගුවන් විදුලිය පවත්වාගෙන යනු ලැබූ පාෂාන පබ්බත විහාරස්ථානය පිහිටා තිබූ කල්අඩි කන්ද ඇතුළු තැන තැන පිහිටි කඳු මෙන්ම මහවැලි ගඟේ ජලයෙන් පෝෂිත ඇළ, දොළද සේරුවාවිල ගමනට එක් කරනුයේ අලුත් බවකි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වය මත එතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බැසිල් රාජපක්‍ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන නැගෙනහිර නවෝදය යටතේ දිගු කලක් වල් බිහිව තිබූ මං මාවත් එළි පෙහෙළි වී ඇත. අනෙකුත් පළාත් වලට වඩා ඕනෑම ගහක්, ගලක්, ඇළක්, දොළක් අසළ වුව කිසිදු බියක් සැකයක් නොමැතිව ගිමන් නිවා ගත හැකි ය.

ඓතිහාසික තොරතුරුවලට අනුව සේරුවාවිල පුද බිම කාවන්තිස්ස රජ දවස ඉදි කරවන ලද්දකි. බුදුන් වහන්සේ තුන්වන වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී සේරුවිල පුද බිමට ද වැඩම කොට එහි නිරෝධ සම්පත්තියට සම වැදි හුන් බව ඉතිහාසය සාක්‍ෂි දරයි. මෙහි ඉදි කරන ලද චෛත්‍යරාජායාණන් වහන්සේ තුළ තැන්පත් කර ඇත්තේ මාගම්පුර රාජධානියේ රජ කළ කාවන්තිස්ස මහ රජතුමාණන් විසින් පරම්පරා ගණනාවක් සුරැකිව තබා ගත් ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ ය. ඊට අමතරව මෙහි රෝපණය කොට ඇත්තේ ශ්‍රී වර්ධන බෝධීන් වහන්සේ නමකි. ඉදිකර තිබුණෙ යැයි කියන තුන්මහල් පෝය ගෙය ද මේ වන විට නැවත දැක බලා ගත හැකිය. එහිදී හිටපු අග විනිසුරු තැන්පත් සරත් එන්. ද සිල්වා මහතා සහ ලංකා බැංකුව දැක් වූ පින්බර දායකත්වය සිහිපත් කළ යුතුම ය.

සේරුවිලට නිරිත දෙසින් පිහිටි ඓතිහාසික සෝමාවති පුද බිම ද ඉතා වැදගත් ස්ථානයකි. දකුණු දළදා වහන්සේ තැන්පත් කොට ඉදි කරවන ලද සෝමාවතී චෛත්‍යය ද වැඳ පුදා ගැනීමට පොළොන්නරුව දෙසින් පැමිණෙන බැතිමතුන්ට නොබෝ කලකින්ම හේමාමාලා කුමරිය හා දන්ත කුමරු ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ රැගෙන වැඩම කළ ස්ථානය ලෙස සැලකෙන ලංකා පටුනද, සේරුවිල පුද බිම ද වැඳ ගනිමින් සුන්දර නිලාවේලි වෙරළේ ගිමන් හැර කින්නියාහි පිහිටි උණු වතුර ළිං වලින් ස්නානය කොට ත්‍රිකුණාමලය කොටු පවුර තුළ පිහිටි තිරුකෝනේෂ්වරම් කෝවිලෙන් දේව ආශිර්වාද ලැබ නැවත ගම් රට බලා යා හැකි ය. ඒ සෝමාවතිය හා සේරුවාවිල යා කෙරෙමින් ඉදි වන නව මාර්ගය නිසාවෙනි.

මහා වන මැද තිබූ සේරුවාවිල සොයා ගනු ලැබුවේ එවකට ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායකව වැඩ සිටි ගාල්ල, දොඩන්දූව, ශෛලබිම්බාරාමාධිපති ධූරන්දර අපවත් වී වදාළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නායක ස්වාමීන් වහන්සේ ය. දකුණෙන් බොදු සැදැහැවතුන්ද සමග උන්වහන්සේ මෙම අති දුෂ්කර ගමන පැමිණ ඇත්තේ මුහුදු මාර්ගයෙනි. අද මෙන් මාර්ග පහසුකම් හා ප්‍රවාහන පහසුකම් එකළ නොපැවතීම ඊට හේතු වන්නට ඇත. ඒ 1922 දී ය. මෙම ඓතිහාසික පුද බිම දැක පහන් සංවේගයට පත් උන්වහන්සේ නැවත දොඩන්දූවට ගිය වහාම එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර වශයෙන් කටයුතු කළ ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං මහතා හමු වී තිබේ. ඔහුට සියලු කරුණු පහදා දී ඇති සුමේධංකර මහානායක ස්වාමීන් වහන්සේ එම ස්ථාන යළි ගොඩ නැඟීමට උදව් ඉල්ලා ඇත. ඒ අනුව ගරා වැටී තිබූ මංගල මහා ස්ථූපය යළි ගොඩනැඟිනි. වනගතව තිබූ ප්‍රදේශ කළ එළි විය. නිකරුණේ මුහුදට ගලා ගිය ඇළ, දොළ, ගංගා, කෙත් වතුවලට හැරවිණ. පවුලෙන් පවුල අවට පදිංචියට පැමිණියේ ය. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා විසින් අරඹන ලද, අල්ල ගොවිජනපද ව්‍යාපාරය සේරුවිල පුද බිමට එක් කරනු ලැබුවේ සුවිශාල ශක්තියකි.

එහෙත්, වරෙක සාමයේ හස්ථයද තවත් වරෙක මිලේච්ඡත්වයේ වියරු බවද පතුරුවාලු ත්‍රස්තවාදය කිසිවෙකුත් අත නොපා ජීවත් වූ සේරුවිල ජන ජීවිතය එහෙම පිටින්ම උඩුයටිකුරු කිරීමට සමත් විය. මහපොළොව සමඟ ඔට්ටු වී රාත්‍රිය නින්දට ගිය නිරායුද අසරණ ගැමියා කිරි සප්පයන්ද සමඟ කපා කොටා මරා දැමුණෙන් එවකට සේරුවිල පුද බිම සරණාගත කඳවුරක් බවට පත්ව තිබුණි. එම සියලු ජනතාවගේ එකම රැකවල්කරු වූයෙත් ඔවුන්ව ජීවත් කරවූ මෛත්‍රිගුණෝපෝෂිත පියාණන් වූයෙත් වත්මනෙහි එහි විහාරාධිපති මෙන්ම නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සේරුවිල සරණකිත්ති නායක ස්වාමීන් වහන්සේ ය. 1952 දී පැවිදි බිමට පත් සරණකිත්ති නායක ස්වාමීන් වහන්සේ සේරුවිලම උපන් මහ යතිවරයෙකි. කොළඹ පැමිණ ඉතා සැප පහසු ජීවිතයක් ගත කළ හැකිව ඇතත්, සරණකිත්ති නායක ස්වාමීන් වහන්සේ ත්‍රස්තවාදය පැවති වකවානුවේ පවා අසරණ ගැමියන් සමඟ රැඳී සිටිමින් පෙන්වා දුන් පූර්වාදර්ශය අතිශය වැදගත්ය. උන්වහන්සේ නිරතුරුවම කියා සිටියේ ‘මම පන්සල දමා ගියොත් මා කෙරෙහි විශ්වාසයෙන් ගම දමා නොගිය මිනිසුන් සියල්ල එක්කෝ එල්.ටී.ටී.ඊ. ඉලක්ක බවට පත්ව විනාශ වීමට හෝ සඳහටම ගම හැරදා යාමට ඉඩ ඇති බවය.

එසේ වූයේ නම්, දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නායක ස්වාමීන් වහන්සේ යළි ගොඩ නැඟූ සේරුවාවිල සරණකිත්ති නායක ස්වාමීන් වහන්සේටද සිදු වනුයේ නැවත ඉදිකිරීමට ය. උන්වහන්සේ තුළ පවතින දැඩි ආත්ම විශ්වාසය හා ධෛර්ය මත සේරුවිල පුද බිමත්, එම වැසියනුත් දේපොළ හා භවබෝගත් ආරක්ෂා වුණි.

1984 අවසාන භාගයේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමත් සමඟ 1985 ජූනි මස 11 දින දෙහිවත්ත ගමේ සිංහල වැසියන් 13 ක් ඝාතනය කිරීමත් සමග එවකට හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා පසු දිනම එම ප්‍රදේශවල වැසියන් ඉවත් කොට හෙළිකොප්ටරයක් යවා සේරුවාවිල නායක ස්වාමීන් වහන්සේ කොළඹට රැගෙන එන ලෙස දන්වා ඇතත්, එහිදී උන් වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ “ඔය හෙලිකොප්ටරයෙන් කොළඹ යාම මට අවනම්බුවක්, ගමේ සිට ත්‍රස්තවාදීන්ගෙන් මැරුම් කෑම නම්බුවක්” යනුවෙනි.

ඉන්පසුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වකවානුවේදී ද උන්වහන්සේට කොළඹ පන්සලක් තනා දීමට සූදානම් වී ඇති අතර, එහිදී ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ, “කොළඹ පන්සලුත් වැඩියි, භික්‍ෂූන්වහන්සේලාත් වැඩියි, මේ ගම්මු එක්ක මැරෙනකම් මෙහි ඉන්නවා.” යනුවෙනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ද කොළඹට වඩින ලෙස ආරාධනා කර ඇතත්, “මම උපදින කොට ටිකට් එක ගෙනත් තියෙනවා. ප්ලයිට් එක ආවම යන්නම්” යනුවෙන් කියා උන්වහන්සේ සේරුවිල රැඳී සිටියහ.

අපවත් වී වදාළ දඹදගස්ආරේ ශ්‍රී සුමේධංකර නායක ස්වාමීන් වහන්සේ එවකට ගරා වැටි තිබූ මංගල ස්ථූපය වසර 7 ක් පුරා නැවත ඉදිකොට කොත පැළඳ වීමත් සමග නිකිණි මස සිදු කළ එම පින්කම තේමා කොට ආරම්භ වූ සේරුවාවිල නිකිණි මහා පෙරහර 85 වන වරට මෙවරද අති උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

29 වන දින එකී පින්කම ආරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සේරුවිල සරණකිත්ති නායක ස්වාමීන් වහන්සෙගේ අනුශාසනා පරිදි ශාස්ත්‍රපති මුංහේනේ මෙත්තාරාම ස්වාමීන් වහන්සේගේ ද මෙහෙයවීමෙන් අති උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති මෙවර පින්කම සඳහා ‘තාරුණ්‍යට හෙටක්’ සංවිධානයේ සභාපති නාමල් රාජපක්‍ෂ මහතා ද, ජනාධිපති ලේකම් කාර්යාලයද, ස්වාධීන රූපවාහිනි සේවයද, ලංකා බැංකුවද සමග ජාතිය ගොඩනැඟීමේ අමාත්‍යාංශයද එක්ව සිටී. ඊට අමතරව මාගේ සංවිධායකත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රාශියක නොමද සහයෝය මේ සඳහා ලැබී තිබේ.

ඒ අනුව මෙම පින්කම 2009 අගෝස්තු මස 29 වන දින සිට සැප්තැම්බර් මස 04 වන දින දක්වා පැවැත්වෙන අතර, උඩරට, පහත රට, සබරගමු නැටුම් ද සහිත මහ පෙරහර 04 වන පුන් පොහොදා රාත්‍රියේ වීදි සංචාරය කෙරේ.

නැටුම් කණ්ඩායම් 100 ක් පමණ මෙකී පෙරහරට ඇතුළත් වන අතර, අලි ඇතුන් ප්‍රමාණය දස (10) දෙනෙකි. එදින පෙරවරු 6.00 සිට ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ සජීවීව විකාශය කෙරෙන මෙම පින්කමදා උවැසි, උවැසියෝ පන්දහසක් පෙහෙවස් සමාදන් වීමටද නියමිත ය. පුරා දසක තුනක පමණ කාලයක් වැඳ පුදා ගැනීමට නොහැකි වී සිටි සේරුවාවිල සිත්සේ නැමදීමට සකළ ශ්‍රී ලංකාවාසීන්ට පැමිණෙන ලෙස මම ආරාධනා කරමි.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.54 ට ලබයි.4 වන දා සිකුරාදා අපර භාග 09.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]