UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රීමත් නිකොලස් ස්ටර්න්, දේශගුණික විපර්යාසය පිළිබඳ ගෝලීය ගැටුම තේමාව කර ගත් තමාගේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. මගේ වැඩිහිටි ජීවිතයෙන් වැඩි කොටසක් බලසම්පන්න සහ සජීවි පාරිසරික අවදානම සහ ව්‍යසනය යටතේ ගෙවා දමා ඇත. රාහෙල් කාසන් විසින් ලියන ලද ‘සයිලන්ට් ස්පි‍්‍රං’ සහ ෂූමාකර් සහ ලව්ලොක් විසින් ලියන ලද තවත් එවැනි කෘති ද කියවූ බව මට මතක ය. ඒවායේ සඳහන් අධි ජනගහණය පිළිබඳ කනස්සල්ල, මගේ සිහියට එයි.

වසර තිහකට පමණ පෙර, බලශක්ති අර්බුදය ගැන තැති ගන්වන සුලු අනාවැකි කී, ගුරුපුහුණු විදුහලේ නොයෙක් ශිෂ්‍යයෝ මගේ මතකයට එති. මම විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ ‘ෆෙන්ඩ්ස් ඔෆ් ද අර්ත්’ සහ ‘ගී‍්‍රන් පීස්’ යන සංසඳ වලට බැඳී කටයුතු කෙළෙමි. එබැවින් දැන් දේශගුණික විපර්යාස විෂයයෙහි මට එතරම් ආගන්තුක බවක් දැනෙන්නේ නැත. එහෙත් නිකොලස් ස්ටර්න් වාර්තාව මා බිය ගන්වයි. එසේ වන්නේ එයින් ඉදිරිපත් කැරෙන නව තේමාව අනුව යි. එය අමිල අගයකට තක්සේරු වන්නේ, ගෝලීය උෂ්ණත්වය පිළිබඳ ආර්ථික වටිනාකම විෂයයෙහි දක්වා ඇති උදාහරණ හේතුවෙනි.

අප ජීවත් වන පරිසරයේ සිදුවන දූෂණය හා විනාශය පිළිබඳ ගැටලු වලට ප්‍රතිචාර දක්වන්නට ලෝකය මන්දගාමී වන්නට එක් හේතුවක් ඇත. ඒ එම ගැටලු වර්තමානයේ ව්‍යාප්තවී ඇති ආර්ථික මොඩලයේ අනිවාර්ය ප්‍රතිඵලයක් වන නිසා ය. එකී මොඩලය තුළ අප ආශ්වාස කරන වාතයට පවා නියමවී ඇත්තේ අව මිලකි. පොදුවේ ගත් කළ වෙනත් ස්වාභාවික මූලික ධනසම්පත් වලට ලැබී ඇත්තේ ද අවතක්සේරුවකි. ධන වාදී චින්තනය ඔස්සේ තරගකාරී ලෙස කැරෙන අධි නිෂ්පාදනය හා ඊට සමානුපාතිකව කැරෙන අධි පරිභෝජනය මූලික අවශ්‍යතාවක් සේ සලකන්නට තරම් මිනිසා කෑදරවී ඇතැයි පෙනේ.

සත්තකින් ම අප හැදී වැඩී ඇති සංස්කෘතියේ ගුණාත්මක ස්වභාවය ඒ හැටියෙන් ම පිළිගන්නට අප සූදානමින් සිටියත්, ඇතැම් විට අපි එය යථා ස්වභාවයෙන් අවබෝධ කර ගන්නට අපහසුවෙන් සිටිමු. එහෙත් පැහැදිලි ලෙස ම අප හැම කාරියක් පිළිබඳ සීමාව ඉක්මවා ගිය යුගයක් අතරින් ගමන් ගන්නා සේ පෙනේ. ඇත්තට ම ඒ යුගය මිහිතලයේ මූලධන සම්පත් හිතුමතේ සූරාකෑමට ලක් වූ එකක් වැන්න. අඩු තරමින් අපි සංවර්ධිත යැයි කියනු ලබන ලෝකයේ ද්‍රව්‍ය නිෂ්පාදිතය විෂයයෙහි අතිරික්ත ආඪ්‍යත්වයක් තුළ සුසුම්ලමින් සිටිමු.

එහි ප්‍රතිඵල විසින් අපි ගාලගෝට්ටියෙන්, කලබැගෑනියෙන් සහ කුණුකන්දල් වලින් හෙම්බත්ව සිටිමු. එය අනවශ්‍ය ලටපට වලින් පිරී ගොසිනි. තෝරා ගන්නට කා කොටා වැටිය යුතු නිෂ්පාදනයන්ගේ ඉවරයක් නැත. කැකෑරෙමින් පැහෙන ගෝලීය තාපයේ පීඩනයෙන් තැති ගන්නා අපි සලිත වෙමු. එහෙත්, ඇතැම් විට මොටෝරියෙන් හෝ අහස්යානයෙන් යන්නට වඩාත් අපහසු හෝ වියදම් සහිත වූ විට අපේ ගම්බද සමාජය සමඟ පෑහෙන්නට සිදුවන වුවමනාවක් ඇති විය හැකි ය. එය අපේ ආදි මුතුන් මිත්තන්ගේ ස්වාභාවික තත්ත්වයට සාපේක්‍ෂ නොවන්නේ ද? එය වැඩිමනත් මානුෂවාදී නොවේ ද?

මානව සංහතිය පැවතී ඇති වසර මිලියන ගණනාවක් අතරතුර දී වැඩිතමයක් ජනතාව ජීවත් වූයේ ඔවුනට උරුම ගැමි සමාජය ඇසුරේ ය. එයට ආදර්ශයක් වූයේ සීමිත ප්‍රවාහනයයි. ද්‍රව්‍යමය සම්පත් උරුමයේ තබා ගැනීම දුෂ්කර සහ වියදම් සහිත කාරියක් විය. නාස්තිය වළක්වා ගැනීම ද අත්‍යවශ්‍ය කාරියක් වූයේ ය. රැස් කරමින් ගොඩගසා ගැනීම එයට බාධකයකි. එබැවින් කෙටියෙන් කියතොත්, මානව ප්‍රජාවට නොයෙක් අයුරින් පවත්වාගෙන යන්නට සිදුව ඇති ජීවන කටයුතු කැකෑරෙමින් උණුසුම් වන ගෝලීය තාප පීඩනයේ කුරිරුතම බලපෑමෙන් බේරා ගන්නට නම්, අපි නැවත, කෙමෙන් කෙමෙන් හැකි පමණින් වත්, වඩාත් සමබර දිවි පෙවෙතකට හුරුපුරුදු විය යුත්තෙමු.

කෙසේ වෙතත්, මේ පිළිබඳ කාර්යය සාධනය හැලහැප්පිලි සහිත සහ දුෂ්කර එකක් බව මැනවින් ඔප්පු කළ හැකි වූවත්, එමඟින් පෘථිවි ග්‍රහයාගේ උරුමයේ කොටස්කරුවන් හෙවත්, සංවේදී පංගුකාරයන් වන සියලු දෙනාට ද යන්තමින් හෝ පණනල රැක ගන්නට මඳ විරාමයක් ලැබෙනු ඇත. එහිලා අප විසින් අපේ ආර්ථිකය පාරිසරික ගැටුම මත, අපේ ක්‍රියාකාරකම් විෂයයෙහි සාධාරණ අගයක් අරමුණු කර ගෙන ප්‍රතිසංවිධානය කළ යුතු වෙයි. වඩාත් අවධාරණය කරතොත්, එය කළ යුත්තේ, බලශක්ති භාවිතය සහ පරිභෝජනය අවම කිරීමේලා ඉලක්ක කර ගන්නා ලද, දුෂ්කර තීරණයන්ගේ සමස්ත පරාසය තුළ ගෝලීය බහුමතය ගොඩනඟා ගනු පිණිස ය. මේ සියලු අදහස් ඉදිරිපත් කරන ලද්දේ, දේශගුණික විපර්යාසයන්ගේ පසුබිම් දර්ශනයක් සහ ඇතැම් ස්වාභාවික මූලධන සම්පත්තීන්ගේ කාර්ය්‍යසාධක ශක්‍යතාවේ නාය යෑමක් පිළිබඳ කනස්සල්ල සිත තුළ නළියන අතර ය.

මූලික වශයෙන් සංවර්ධිත යැයි කියා ගන්නා ජාතීන් අතර සිටින අප අතරින් බොහෝ දෙනෙක් සුවපහසු සහ සමෘද්ධි සම්පන්න ජීවන රටාවකට ඇබ්බැහි වී සිටිති. එහෙත් අතීතයට යත් යත් ම ඒ වරප්‍රසාදය ලැබී තිබුණේ පාලක පැළැන්තියේත් සුළු පිරිසකට පමණි. ඒ අතර ඌණ සංවර්ධිත බොහෝ ජාතීන් ඹ්වත් වූයේ අන්ත දරිද්‍රතාවෙන් සහ නිරන්තර දීනත්වයෙන් පීඩා විඳිමිනි.

අපි අපේ සියලු බලාපොරොත්තු තාක්‍ෂණවේදය සහ නූතන යැයි කියා ගනු ලබන විද්‍යාව සමඟ ගැටලා ගෙන සිටිමු. එහෙත් ඒවා කෝකටත් තෛලය බවට පත්වීමෙන්, ඒවාට උරුම වටිනාකමින් හෑල්ලුවට ගොස් ඇත. නිසැකයෙන් ම ඒවා අලුත් මෙවලම් සහ නව ඥාණමය ප්‍රවේශ මාර්ග සැපයීමට උපකාර වනු ඇත. එහෙත් මානව ප්‍රජාව ස්වාභාවික අනුකූලතාවෙන් ඉවතට ඇද දමන ආධාරක ආදර්ශය තාක්‍ෂණවේදය මඟින් ප්‍රති නිර්මාණය කරන්නට නොහැකි වනු ඇත.

මානව සංහතිය මුහුණ දෙන බොහෝ ගැටලු පහත දැක්වෙන උත්කෘෂ්ට පරමාර්ථ වලින් පැන නඟී. එනම්, මානව සෞඛ්‍යය සහ භෞතික සමෘද්ධි සාධනය ද, ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාප්තීකරණය ද, ආර්ථික ස්වාධීනත්වය ද සම්බන්ධයෙන් වෙයි. කෙසේ වෙතත් පහත දැක්වෙන පරමාදර්ශ ක්‍රියාත්මක වන ආකාරය ගැන තේරුම් ගැනීමෙන් තොරව සහ ආධාරක බලාපොරොත්තු පැහැදිලි කිරීමෙන් තොරව, නොසිතූ පරිදි වූ ප්‍රතිඵල හා දුක් පීඩා තුළ කෙලෙසීමට නැඹුරු වන්නට පුළුවන. බෞද්ධ දාර්ශනික ප්‍රත්‍යක්‍ෂයට අනුව ශිෂ්ටාචාර, අධිරාජ්‍ය සහ සංස්කෘති බිහිවීම හා බිඳ වැටීමත් නිසැකයෙන් ම අනිත්‍යතා සහ විපරිණාම ධර්මයට සාපේක්‍ෂ වෙයි. අපේ පරම අත්දැකීම වන්නේ සියල්ල විපරිණාම ධර්මතාවට යටත් බවයි. මානව ජීවියකු ලෙස මිහිමත ජීවත්වීම කවරදාකවත්, කවර හැටියකින්වත් පහසු කාරියක් වී නැත. තත්ත්වාරෝපිත හෙවත් යම් කිසි නිශ්චිත ස්වභාවයකින් යුක්ත ලෝකය තුළ නිවී සැනසිල්ලේ ගිමන් හරින්නට සුදුසු තැනක් නැත.

වාසනාවකට මෙන් බුදුන් වහන්සේ ප්‍රඥාව හා සත්‍යය තුළ සුරක්‍ෂිත පුද්ගලයකු ගැන විවරණයක් ඉදිරිපත් කළ සේක. උන්වහන්සේ පරිපූර්ණත්වය දුටුවේ එතැනයි. නිර්වාණය යනු එතැන යි. උන්වහන්සේ විසින් එතැන දී කොන්දේසි විරහිත ප්‍රතිපත්ති මාර්ගයක් දක්වන ලදී.එය වනාහි අප හැම දෙනා විසින් ම ප්‍රතිලාභයක් අත්කර ගත යුතු පිළිවෙත් මඟකි. එබැවින් එය අප හැම දෙනාගේ ම යහපත පිණිස, හැම අතින් ම පිටුබල වන්නකි.

(මේ ලිපිය, 2009 පෙබරවාරි ‘ද බුඩිස්ට්’ සඟරාවේ පළ වූ ක්‍රිස් වෝඩ් නම් ලියුම්කරුගේ Climatic Uncertainty නම් ලිපියේ පරිවර්තනයකි.)

නිකිණි පුර පසළොස්වක
පෝය


නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 5 වන දා බදාදා පූර්ව භාග 4 ට ලබයි. 6 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 6.26 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 5 වන දා බදාදාය

මීළඟ පෝය අගෝස්තු
13 වන දා බ්‍රහස්පතින්දා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]