UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සෞන්දර්ය සංකල්පය හා බුදුදහම යන තේමාව පුළුල් පරාසයක විග්‍රහයකට භාජනය කළ යුත්තකි. සෞන්දර්ය වඩාත් ලෞකිකත්වයට බර විෂයයක් බව පෙනෙයි. බුදු දහම වින්දනාත්මක පක්‍ෂය බැහැර කරන ලෞකිකත්වය ඉක්මවා යන ලෝකෝත්තර ප්‍රතිපදාවට පුද්ගලයා අවතීර්ණ කරන දහමක් වශයෙන් පෙනී යයි.

මේ පෙනී යාම මත තර්ක විතර්ක කරන බටහිර විද්වතුන්ගේ මතය වූයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණ සංකල්පය පදනම් කරගත් බුදු දහම වඩාත් ලෞකිකත්වයට බර ආශ්වාදනීය තත්ත්වයක් සාධනය කරන සෞන්දර්යාත්මක ක්‍ෂේත්‍රය නොගැළපෙන බවයි. මේ මතය සහේතුක ද අහේතුක ද යන්න විමසා බැලිය යුතු ය.

බුදු දහම සර්ව සුභවාදයක් හෝ සර්ව අසුභවාදයක් හෝ නොවේ. එය පුද්ගලයාගේ ලෝකෝත්තර තත්ත්වය අවධාරණය කරන අතර ම ලෞකිකත්වය පිළිබඳව ද අවධාරණය කරන සමාජ දාර්ශනික ආගමකි. සමාජ දර්ශනයක තිබිය යුතු මූලික ලක්‍ෂණ සියල්ලක්ම බුද්ධ දේශනාවෙහි අන්තර්ගත වේ.

බුදු දහම හා සෞන්දර්ය පරස්පර විරෝධී සංකල්පයක් ලෙස බටහිර විචාරකයන් හඳුන්වාලනු ලැබුවද එය නිශ්චිත නොවන තත්ත්වයක් පමණක් බව වටහා ගැනීම අසීරු නොවේ. ආනන්ද කුමාරස්වාමී මහතා බුදු දහම හා සෞන්දර්ය අතර සම්බන්ධතාවයක් නැතැයි යන අදහස දැක්වීමට කරුණු තුනක් යොදාගෙන තිබේ.

01. චුල්ලවග්ගපාලියේ එන විනය ප්‍රඥප්තියක් අනුව භික්‍ෂූන්ට පටිභාන චිත්‍ර ඇඳීම තහනම් කර තිබීම.

02. බුදුන් වහන්සේ සිරුරෙහි අලංකාරය ගැන හෝ වස්ත්‍රාභරණයන්හි අලංකාරය ගැන හෝ උනන්දුවක් දක්වා නොතිබීම.

03. විසුද්ධි මාර්ගයෙහි සිත්තරුන් ගරහාවට ලක් කර තිබීම.

ආනන්ද කුමාරස්වාමී මහතා විසින් දක්වා ඇති මේ කරුණු පශ්චාත් කාලීන ග්‍රන්ථ තැන් තැන්වල ඇති බව සැබෑ ය. එහෙත් එබඳු සාධකවලින් බුදුන් වහන්සේ සුන්දරත්වය අගය නොකළ කෙනකු ලෙස සැලකිය හැකිද යන්න ප්‍රශ්නයකි. ඒ නිසා මේ කරුණු තුන පිළිබඳව විමසිය යුතු ය. මෙහි පළමු කාරණයෙන් දැක්වෙන පරිදි භික්‍ෂූන් වහන්සේට පටිභාන චිත්‍ර ඇඳීම තහනම් කර ඇති බව සැබෑ ය. ‘මහණෙනි, ස්ත්‍රී රූප ද පුරුෂ රූප ද යන ප්‍රතිභාන චිත්‍ර නොකරැවිය යුතු ය.

යමෙක් කරවන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය.” (චුල්ලවග්ගපාලි ද්විතීය භාගය, සේනාසනඛන්ධකය, පි. 144) එහෙත් එහි දෙවන ඡේදයේ ‘මහණෙනි, මල්කම් ලියකම් මුවරදත් පස්වණක් පැහැකිරීම අනුදනිමි’ යැයි දක්වා තිබේ. එබැවින් චුල්ලවග්ගපාලියේ සඳහන් වන ප්‍රතිභාන චිත්‍ර පිළිබඳ අදහස පමණක් යොදා ගනිමින් භික්‍ෂූන් වහන්සේට චිත්‍ර කර්මාන්තය තහනම් කර ඇතැයි කීම වැරැදි සහගත ය.

ඉහත සඳහන් දෙවැනි කරුණ සකසාගෙන ඇත්තේ දස ධම්ම සූත්‍රයෙහි එන ප්‍රත්‍යවේක්‍ෂාව පිළිබඳ කරුණු යොදා ගනිමිනි. එහෙත් බුදුන් වහන්සේ ශරීර අලංකාරය.

වස්ත්‍රාභරණවල අංකාරය පිළිබඳව කතා කළ බොහෝ තැන් දැකගත හැකි ය. දෙව්ලොව දෙවියන් දැක නැතිනම් ලිච්ඡවීන් දෙස බලන්නැයි කීවේ ලිච්ඡවීන් ප්‍රසන්න පිරිසක් වූ බැවිනි. බුදුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් යුක්ත වූ බව ලක්‍ඛණ සූත්‍රයේ සඳහන් වේ.

මේ පිළිබඳව ප්‍රශ්න කළ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට ප්‍රකාශ කර ඇත්තේ එකී මහා පුරුෂ ලක්‍ෂණ කිසිම අඩුවක් නැතිව ස්වකීය ශරීරයේ ඇති බවයි. අංග විකල වූ පුද්ගලයන්, පාප රෝගවලින් පෙළෙන්නන් පැවිදි නොකළ යුතු බවට නීති පනවා තිබේ. පැවිදිවත රැකීමට මැලිවූ නන්ද තෙරුන් වහන්සේ ඒ සඳහා පොළඹවා ගනු ලැබුවේ දෙව්ලොව දෙව්ලියන් පෙන්වීමෙනි.

ඉහත සඳහන් තෙවන කරුණ ගෙන ඇත්තේ විසුද්ධි මාර්ගයෙනි. එය ක්‍රි.ව. 5 වන සියවසේ දී බුද්ධඝෝෂ හිමියන් විසින් ලංකාවේ දී ලියන ලද ග්‍රන්ථයකි.

මුල් බෞද්ධ ග්‍රන්ථවල සඳහන් සෞන්දර්ය සංකල්පය තේරුම් ගැනීම සඳහා බුද්ධ චරිතය ද වැදගත් වේ. සිද්ධාර්ථ කුමාරයා සුඛෝපභෝගී ජීවිතයක් ගත කර එකුන් තිස්වැනි වියේ දී අභිනිෂ්ක්‍රමණය කර තිබේ. නොයෙක් ශිල්ප ශාස්ත්‍ර හැදෑරූ සිදුහත් කුමරු ගායනයෙහි හා වාදනයෙහි ද නිපුණත්වයක් දක්වා ඇත. හේමන්ත, ගිම්හාන, වස්සාන යන සෘතු තුනට ගැළපෙන රම්‍ය, සුරම්‍ය, සුභ නමින් හැඳින්වුණු මාලිගා තුනක වාසය කළ බව සඳහන් වේ.

අභිනිෂ්ක්‍රමණය කළ සිදුහත් තවුසා භාවනාව සඳහා යොදාගෙන ඇත්තේ වන ලැහැබකි. ගංගා, මහී, අචිරවතී, නර්මදා යන ගංගා පිළිබඳවත් අඹ උයන්, වනපෙත්, ගිරිකුළු, ගල්ලෙන් පිළිබඳවත් ත්‍රිපිටක සාහිත්‍යයේ විටින් විට සඳහන් වේ.

දී. නි. සක්කපඤ්ඤ සූත්‍රයේ සක්‍ර දේවේන්ද්‍රයා වරක් බුදුන් වහන්සේ ඉන්ද්‍රසාල ගුහාවෙහි වැඩ සිටි අවස්ථාවක උන්වහන්සේ බැහැදැකීමට ගිය ආකාරය පිළිබඳව සඳහන් වේ.

එක හෙළාම, බුදුන් වෙත යාමට අකමැති වූ ශක්‍රයා තම බේලුව පණ්ඩු වීණාව අතට ගෙන සිටි පංචසික ලවා වීණා වාදනයක් කරවා ඇත.

වන්දෝ තේ පිතරං භද්දේ – තිම්භරුං සුරුය වච්චසේ
යේන ජාතාපි කල්‍යාණි – ආනන්ද ජනනි මම”

පූර්වෝක්ත ගීතයෙන් වර්ණනා කළේ පංචසික කලින් ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන සිටි සුරිය වච්වසා නම් පෙම්වතිය පිළිබඳවයි. සූරිය වව්වසා නමැති පෙම්වතිය ඇමැතීමේ දී ‘භද්දේ, අංගිරසේ, මන්දලෝචනෙ, කල්‍යාණි’ වැනි පද යොදාගෙන තිබේ. පංචසිකගේ ගායනය ප්‍රසංසාවට ලක්කර ඇති බුදුන් වහන්සේ තත් තිස්වරය හා ගීතස්වරය මනාව ගැළපෙන බව ප්‍රකාශ කර තිබේ. කේමා පිළිබඳ කතා පුවත ද සෞන්දර්යාත්මක උපමාවක් යොදාගෙන ඇති අවස්ථාවකි. කේමා වේළුවනාරාමයට ගියේ බණ ඇසීමට නොව එහි අසිරිය විඳීමට ය. එහෙත් බුදුන් වහන්සේට පවන් සලමින් සිටි අපූරු කාන්තාව දැකීමෙන් ඇය මදක් සසල වූ බව පෙනේ.

සාකඤ්ඤා කණකාභාෂා - පදුමානන ලෝචනා
බිම්බොට්ටි කුන්ද දසනා - මනෝ නෙත්ත රසායනා”

බුදුන් වහන්සේට පවන් සලමින් සිටි කාන්තාව රන්වන් ය. මුහුණ පියුමකට සමානය. දත් කොඳවන් ය. ඇය නෙතට රසඳුනකි. පියයුරු කලස් වැනි ය.ඉග සිහින් ය. උකුල පළල් ය. කලවා යුගල රඹ කදන් වැනි ය. සැරසී සිටි ආභරණ මනරම් ය. රූප සෝභාව මෙතැකැයි කිව නොහැකි ය. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ සෞන්දර්ය පිළිබඳ තවත් සඳහනක් දැකගත හැකි ය. දිනක් දෙවගනක් බුදුන් අභිමුවට පැමිණ මෙසේ අසා තිබේ.

“න සන්ති කාමා මනුජේසු නිව්වා - සන්තීද කමයානි යේසු භද්දෝ”

මිනිසුන්ට නිත්‍ය වශයෙන් කාමයක් නැත. කාමය ඇත්තේ කමනීය දේවල් කෙරෙහි බැඳීම් ඇතිකර ගැනීමෙනි. එනම්, දෙවගනගේ අදහසට අනුව මිනිසුන් කාමශක්ත පුද්ගලයන් බවට පත් කරන්නේ භෞතික ලෝකයේ පවතින කමනීය වස්තූන් ය. එහෙත් එම අදහසට බුදුන් වහන්සේ එකඟ නොවේ.

නතේ කාමා යානි විත්‍රානි ලෝකෝ - සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ”

ලෝකයේ පවතින සියලු දේ කාමයෝ නොවෙති. මිනිසා තුළ ඇතිවන කාමය නම් සංකප්ප රාගය යි. විචිත්‍ර දේ ලෝකයෙහි කොතෙකුත් පවතී. ඥානවන්ත පුද්ගලයෝ ඒ පිළිබඳ ආසාව දුරු කරති. බුදුන් වහන්සේ ඉදිරිපත් කර ඇති මේ විග්‍රහය අපරදිග විචාරකයන් සුන්දරත්වය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස්වලට වඩා ඉඳුරාම වෙනස් දාර්ශනික අදහසක් බව පෙනේ.

බුදුන් වහන්සේගේ අදහසෙහි හැටියට ලෝකයෙහි කෙතෙකුත් විචිත්‍ර වස්තූන් පවතී. ඒත් ඒවාට විචිත්‍රත්වය ලැබී ඇත්තේ මිනිසා ඒවා විචිත්‍රත්වයක් ආරෝපණය කිරීම නිසා නොව එම ගුණය නිසර්ග වශයෙන්ම ඒ වස්තූන් තුළ පිහිටා ඇති නිසා ය. ථෙරථෙරී ගාථාවේ එන බොහෝ කවි සංකල්පනාවන්ට ප්‍රධාන වශයෙන් වස්තු වී ඇත්තේ ඒ ඒ තෙරවරුන් පැවිද්දෙන් පසු අවබෝධකරගත් අධ්‍යාත්මික ගුණ ධර්මයන් ය. එහෙත් ඊට බාහිර වශයෙන් ඒ ඒ තෙරවරුන් භාවනානුයෝගීව වාසය කළ පරිසරයේ තමන්ට දක්නට ලැබුණු සුන්දර වස්තූන් ද වර්ණනාවට ලක්කර තිබේ. ගිරි සිඛර, ඇළ, දොළ, ගංගා ආදිය එසේ වර්ණනයට ලක් වූ වස්තූන් ය. වනවච්ඡ, සංකිච්ච, මහාකාශ්‍යප, තාලපුට, චින්තක, ගෝධික, සම්බුල, කච්චායන, සෙලිස්සරිය, කාළුදායි, ඒක විහාරික, තාලපූට ආදී රහතන් වහන්සේ පමණක් නොව සුමංගල මාතා, දන්තිකා, සුසීපමාලා, පුණ්ණා, සුමේධා වැනි රහත් මෙහෙණින් වහන්සේ ද තමන් අත්දුටු පරිසරය වර්ණනයට ලක්කර තිබේ. මෙයින් බුදු සමය තුළ සෞන්දර්ය සංකල්පයට කෙතරම් තැනක් ලැබී තිබෙන්නේ ද යන්න අවබෝධ කරගත හැකි ය.

බෞද්ධයාට සුන්දරත්වය පිළිබඳ අදහස්වලින් ඉවත්වීමට හෝ පලායාමට වුවමනාවක් නැත. කළ යුත්තේ ඒ කෙරෙහි ඇලී ගැලී නොසිට එහි ඇති විපරිනාම ස්වභාවය සහ විනාශවන ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන සෞන්දර්ය ආශ්වාදය කිරීම ය.

සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුන් වහන්සේ දක්වා ඇත්තේ සංගීතය කොහිද, ගීතය, කොහිද, නැටුම් කොහිද, වාදනය කොහිද යනාදි වශයෙන් පමණට වඩා ඒ පිළිබඳව සොයමින් කාලය ගත කිරීම තුළින් තමා සතු ධනය පරිහාණියට ලක්වන බවයි. නැටුම් ගැයුම් වැයුම්වලින් වැළකී සිටීම අට සිල් හා දස සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් විසින් කළ යුතු ය.

මනුෂ්‍ය පෞරුෂය ගොඩනැඟීම සඳහා සෞන්දර්ය සංකල්පය අවශ්‍ය වේ. එමඟින් මිනිසාගේ වින්දන ශක්තිය රසඥතා ශක්තිය වැඩි දියුණු කොට ඔහු තුළ පවතනා සහජ කුසලතා දියුණු කොට නිර්මාණ ශක්තිය ජනිත කළ හැකි ය. එපමණක් නොව විශ්වය දෙස නව චින්තනයකින් යුතුව බැලීමටත් පරිසරයට සාර්ථක ලෙස මුහුණ දීමටත් ජීවිතයේ විවිධ අවස්ථාවලදී සාර්ථකව ප්‍රතික්‍රියා දැක්වීම සඳහාත් පුද්ගලයාට අවශ්‍ය විචාර ශක්තිය උද්දීපනය කිරීම සෞන්දර්ය මගින් සිදු කරනු ලැබේ. එය මිනිසා සුමගට ගැනීමේ ප්‍රබල මාධ්‍යයකි. මිනිස් සැහැසිකම් කලාව තුළින් නැති කළ හැකි ය. විහාර බිතුසිතුවම්, චිත්‍රපට නගන ලද ජාතක කතා, වෙස්සන්තර වැනි නාට්‍ය රඟ දැක්වීම් ආදියට එහිදී ලැබෙන්නේ ප්‍රධාන තැනකි.

බුදු දහම මිනිසාගේ ලෝකෝත්තර තත්ත්වය අවධාරණය කරන අතරම ලෞකිකත්වය සාධනය ද මැනවින් ප්‍රකට කරන සමාජ දර්ශනයක් වශයෙන් හැඳිනගත හැකි ය.

එබැවින් සෞන්දර්ය සංකල්පය බුදු දහමින් ප්‍රතික්‍ෂේප වී නැත. එහි සඳහන් කෙරෙන්නේ පමණ දැන කටයුතු කළ යුතු බවයි.

නිකිණි පුර පසළොස්වක
පෝය


නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 5 වන දා බදාදා පූර්ව භාග 4 ට ලබයි. 6 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 6.26 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 5 වන දා බදාදාය

මීළඟ පෝය අගෝස්තු
13 වන දා බ්‍රහස්පතින්දා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]