UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මරණය පැරදවීමේ වැදගත්කම

පොදුවේ සියලු මිනිස්, තිරිසන් ආදීන් මෙන්ම, ගස් වැල් ආදී දේ ද විනාශයට පත්වීම, අපි සියලු දෙනාම ජීවිතයේ දී අත්දකිමු. මේ අනුව ලෝකය හා සම්බන්ධ ජීවී, අජීවි සියල්ල ඇති වී සුළු කලක දී පැවැත නැති වී යයි. ගැඹුරින් සලකා බලන කල්හී පැවැත්ම යන්නෙන් අදහස් වන්නේ ද ඇති වී ඇති සියලු දේ අදාළ හේතු සාධක නොමැතිවන විට වෙනස්වීම්වලට භාජනය වීම බව පෙනෙයි.

ඒ අනුව ‘ජීවිතං අනියතං මරණං නියතං’ යන බුදු වදන සදාතන සත්‍යයකි. ජීවත්වන සත්වයා ලෞකික වශයෙන් විවිධ ඉලක්ක ජය ගැනීමට වෙර දැරුවද බුදු දහම ගැන සලකා බැලීමේදී පෙනී යන කරුණක් නම්, ඒ සියලු ලෞකික ඉලක්ක ජය ගැනීමට වඩා වැදගත් වන්නේ මරණය ජය ගැනීමයි. එයට හේතුව උපන් සත්ත්වයා මරණය ඉලක්ක කොට ඇති බැවිනි.

අවිද්‍යා බහුලවීම නිසා හා ජීවිතය උපාදාන වශයෙන් ගැනීම නිසාද මරණය පිළිබඳ බියක් ඇතිවුවද මරණයෙන් මිදීමට නොහැකි ය.

මේ සම්බන්ධයෙන් මනා නිදසුන් බහුල වශයෙන් ධම්මපද පාලියෙන් අපට හමුවෙයි. සිරිමා නම් රූමත් වෛශ්‍යාවගේ මරණය හේතුකොට බුදුන් වහන්සේ දෙසූ මෙම ගාථාව එබඳු ය.

පරිජිණ්ණටිදං රූපං
රෝග නිඩ්ඪං පභංගුරං
භිජ්ජති පූති සංදේහෝ
මරණං තංහි ජීවිතං (ජරා, වර්ගය - 3 ගාථාව)

මේ රූපය ඉතා දිරා ගියේ ය. එය, රෝගයට කැදැල්ලක් බඳු ය. වහා නැසෙන සුලු, කුණු වැගිරෙන මේ කය, මරණය කෙළවර කොට ඇත්තේ ය.

මෙයින් පෙනී යන්නේ අප සතු කර ගැනීමට වෙර දරන ජීවය සහිත මෙම සිරුර ජරා ජීර්ණයට භාජනය වන දෙයක් බවයි. එය රෝගයන්ගෙන් පිරුණු එකකි. කුමන මොහොතක හෝ මේ ශරීරය වහා නැසෙන සුලුය. මේ ශරීරය කොතෙක් ආශාවෙන් පරිහරණය කළද, එය මරණයෙන් අවසන් වෙයි. අපට දූ පුතුන්, මවුපියන්, ඤාතීන් සිටිය ද මරණීය මොහොතේ මේ ඛ්සිවෙකුට අපට පිහිට වීමට නොහැකි ය.

ජීවිතයේ නියම ස්වරූපය පිළිබඳ අපේ ඇස් අරවන ප්‍රසිද්ධ බෞද්ධ කථා වස්තුව නම් පටාචාරා කථාව යි. ජීවිතයේ ස්වභාවය වටහා ගැනීමට තරම් මෙම කථාව හා බැඳුණු සිද්ධිය ප්‍රබල ය.

න සන්ති පුත්නා නාණාය
න පිතා නපි බන්ධවා
අන්තකේනාධි පන්නස්ස
නත්ථි ඤාතීසු තාණතා (මග්ග වර්ගය - 16 ගාථාව)

මරණයේ ස්වරූපය එසේ වුවද බුදු දහමට අනුව මරණය වනාහී ශාස්වත, උච්ඡේද තත්ත්ව වලින් තොර, අනිත්‍ය වූ සංසාරික පැවැත්මේ තාවකාලික බිඳීමක් පමණකි. ඒ අනුව මරණය, සත්ත්වයාගේ අවසානය නොවෙයි. එහෙයින් මෙම ක්‍රියාදාමයේදී බෞද්ධයන් ලෙසින් අප හැඩ ගැසිය යුතු වන්නේ මෙම ජීවිතයේදීම මරණය ජය ගැනීමටයි. නැතහොත් නිවන් සුවය ලබා ගැනීමට යි. එම තත්ත්වය ළඟා කර ගැනීමට නොහැකි වන්නේ නම් අඩු වශයෙන් මෙලොවදී යහපතෙහි යෙදී පරලොව සුවදායක කර ගැනීමට යි.

නිරතුරු මරණ දුක දුටුවද ඒ පිළිබඳ ගැඹුරු වැටහීමක් සතු නොවීම පුද්ගල ස්වභාවයකි. එහෙත් මරණය සැබෑ සිදුවීමක් ලෙස සලකන නිසා එයට මුහුණ දීමේ හැකියාව, බුදු දහම අනුව සිතන අප සතු ය.

මේ සම්බන්ධයෙන් පෙන්වා දිය හැකි හොඳම මඟ වන්නේ මරණානුස්සති භාවනාව යි. ‘ජීවිතය අනියත ය, මරණය නියත ය’ ආදී වශයෙන් මරණය අරමුණු කරගෙන කරන භාවනාව, මෙ නමින් හැඳින්වෙයි. යමෙක් මෙම භාවනාව නිසි අයුරින් වඩන්නේ නම්, මේ භවයේදීම සෝවාන් වීමේ භාග්‍යය පුද්ගලයාට ලැබෙයි. මරණානුස්සති භාවනාව වැඩීමෙන්, පුද්ගලයා සංවේග බහුල අයකු බවට පත් වෙයි. ඔහු කුසලයට අප්‍රමාද වෙයි. ත්‍රිලක්ෂණ අවබෝධය වැඩී ජීවිත ඇල්ම දුරු වෙයි. එවැන්නෙක් එම භවයේදී ම මාර්ග ඵල නොලදහොත්, මරණින් මතු සුගතියෙහි උපදියි.

එවැනි භාවනාවක යෙදී සිටින්නෙකුට, ජීවිතය පිළිබඳ තතු කියැවෙන පහත ස¼ඳහන් ධම්මපදයේ එන ගාථාවේ අදහස වඩාත් හොඳින් ග්‍රහණය කිරීමට හැකිවනු ඇත.

අචිරං වතයං කායෝ
පඨවිං අධි සෙස්සතී
ජුද්ධෝ අපේත විඤ්ඤාණෝ
තරත්ථංව කලිංගරං

අනිත්‍ය වූද, අසාර වූ ද දිගු කලක් නොපවතින්නා වූ ද මේ ශරීරය, විඤ්ඤාණය නිරුද්ධ වී ගිය පසුව, දර කඩක් මෙන් මහ පොළෙව මත වැටෙන්නේ ය යනු එහි තේරුමයි.

මරණානුස්සති භාවනාව වැඩීමේ අනුසස් පිළිබඳ හොඳ නිදසුනක් වන්නේ, පන්සිය පනස් ජාතක පොතේ මෙන්ම විමානවත්තු ප්‍රකරණයේ ද සඳහන් උරග ජාතකය යි. එම කථාවේ දැක්වෙන බෝසත් බමුණා, ඔහුගේ බිරිය, පුතා, දියණිය, පුතනුවන්ගේ බිරිය මෙන්ම ඔවුන්ගේ් මෙහෙකාර දැරියද යන සියල්ලෝම මරණානුස්සති භාවනාව වඩති. දිනක් බෝසත් බමුණා තම පුතා සමග කුඹුරෙහි වැඩ කරන අවස්ථාවක දී පුතාට නයෙක් දෂ්ට කිරීමෙන්, ඔහු මියැදෙයි. එහි දී පවුලේ සියලු දෙනා එම මරණය දකින්නේ හඬා දොඩා වැළපීමෙන් වැඩක් නොවෙන දෙයක් ලෙස යි. මොවුන්ගේ මරණානුස්සති භාවනාව කොතරම් අගේදැයි විමසීමට පැමිණෙන ශක්‍ර දෙවියන්ට මරණයට පත් පුතාගේ මව දෙන පිළිතුර, විමානවත්ථු පකරණයේ සඳහන් වන්නේ මෙසේය.

අනව්හිතෝ තතෝ ආග
අනනුඤ්ඤාතෝ ඉතෝගතෝ
යථාගතෝ තථාගතෝ
තත්ථ කා පරිදේවනා
(ප්‍රේත වස්තු ප්‍රකරණය - උරග ජාතක පේ‍්‍රත වස්තුව)

ඒ පරලොව සිටි තැනැත්තා අප විසින් නො කැඳවන ලදුව පැමිණියේ ය. අප විසින් අනු නොදන්නා ලදුව පරලොව ගියේ ය. යම් අයුරකින් ඒ පුද්ගලයා (යම් කර්මයකින්) මෙහි ආයේ ද ඒ කර්මය පරිදි ගියේ ය. එහෙයින් හඬන්නේ කුමක් නිසා ද? යනු, එහි තේරුම යි.

මේ කථාවෙන් මරණය පිළිබඳ උපදෙස් රැසක් අපට ලබා දෙයි.

1. ලොව ජීවත්වන සියල්ලන්ටම මරණය උරුම බව

2. ජීවත් වන්නවුන් නිරතුරු මරණය පිළිබඳ භාවනා කළ යුතු බව.

3. මෙම පොදු ධර්මතාව පිළිබඳ උපේක්ෂාවෙන් බැලිය යුතු බව.

4. එවැනි අවස්ථාවකදී හඬා දොඩා වැළැපීමේ අර්ථයක් නොමැති බවත්, වියවුලෙන් තොරව අදාළ කාර්ය නිසි ලෙස ඉටු කළ යුතු බව.

මරණයට නොබියව මුහුණ දීමට අප තුළ සංවර්ධනය කළ යුතු අනෙක් ගුණ ධර්මය වන්නේ, උපේක්ෂාව යි. විවිධ පීඩා වලින් යුතු සමාජය තුළ ජීවත්වීමේ දී උපේක්ෂා සහගතව ජීවිතය ගෙන යෑම ඉතා වැදගත් ය. යමක් දෙස ඇල්මෙන් හෝ පිළිකුලෙන් තොරව, මැදහත් සිතින් බැලීම මෙයින් අදහස් වෙයි. තමාට වෛර කරන පුද්ගලයකුට වුවද වෛර නොකර, තමාට ඇලුම් කරන්නාට ද , විශේෂ ඇලීමක් නොකර සම සිත පවත්වාගෙන යෑම, සහනදායී ජීවිතයකට පදනම වෙයි.

මේ අනුව අප ජීවිතය දෙස බැලිය යුතු වන්නේ දිය බුබුලක්, මිරිඟුවක් ලෙස බව, බුද්ධ දේශනා වේ සඳහන් වෙයි.

යථා බුබිබුලකං පස්සේ
යථා පස්සේ මරීචිකං
එවං ලෝකං අවෙක්ඛන්තං
මච්චුරාජා න පස්සතී
(ලෝක වර්ගය)

එසේම පුද්ගලයා තුළ ඇති ලෝභ, දෝස, මෝහ යන අකුසල් මූල නිසා සිදුවන, අකුසල් ඵල පිළිබඳ කියැවෙන කථා ඇතුළත් කථාවස්තු ප්‍රකරණයද අපට මරණය ජය ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

එම කෘතියේ සෑම කථාවකින්ම පැහැදිලි කර දෙනු ලබන්නේ පෙර භව වලදී කරන ලද අකුසල කර්ම නිසා දරුණු විපාකවලට භාජනය වූ බව යි.

එහි සඳහන් ‘ප්‍රතිමුඛ’ කථාවෙන් කියැවෙනුයේ, සමගි වී සිටි පිරිසක් බොරු කේලාම් කියා එකිනෙකා බිඳවීම නිසා, දරුණු කටුක විපාක ලද බවයි.

එබැවින්, මේ භවයේදීම මරණයෙන් විනිර්මුක්ත වීමට නොහැකි වුවහොත්, ජීවිතය සුවපත් කර ගැනීමේ කාර්ය විශාල අවදානමකට ලක්වන බව, අප තේරුම් ගත යුතු වේ.

නිකිණි පුර පසළොස්වක
පෝය


නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 5 වන දා බදාදා පූර්ව භාග 4 ට ලබයි. 6 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 6.26 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 5 වන දා බදාදාය

මීළඟ පෝය අගෝස්තු
13 වන දා බ්‍රහස්පතින්දා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]