UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හිතවතකු, ඤාතියකු හෝ අසල්වැසියකු උත්සාහයෙන් දියුණු වී සතුටින් ජීවත් වන විට ඔබගේ සිතට ඇති වන්නේ කෙබඳු හැඟීමක් ද? ඔබ අවංකවම ඔහුගේ ඒ දියුණුව ගැන සතුටු වනවා ද? නැතිනම් ඒ ගැන අසතුටක්, නො කැමැත්තක් වැනි හැඟීමක් සිත තුළ ඇති වනවාද? මෙසේ කෙනකුගේ දියුණුව , සතුට, දක්ෂකම දකින විට ඔබගේ සිතේ ඇති වන අසතුට, නො කැමැත්ත ඉවසා ගත නොහැකිකම යනු අන් කිසිවක් නොව, ඊර්ෂ්‍යාව යි. (ඉරිසියාව යි)

අපගේ සිතේ ඇති වන පාපකාරී පහත් චේතනා අතරින් ඊර්ෂ්‍යාව වඩා බලවත් අකුසලයකි. අන් අයගේ සම්පත්වලට , සතුටට, දක්ෂකමට , දියුණුවට ඊර්ෂ්‍යා කිරීම, පහත් ක්‍රියාවකි. අනුන් ගැන පමණක් නොව තමන්ගේම අය ගැනත් ඊර්ෂ්‍යා කරන සමාජයක ජීවත්වන ඔබ අන් අයට ඊර්ෂ්‍යා නො කරන්නේ යැයි කිව හැකිද? අසල්වාසීන් , හිතවතුන් හෝ ඔබගේම ඤාතීන් දියුණු වෙමින් සතුටින් සිටින විට ඔබටත් ඊර්ෂ්‍යාව වැනි පාපකාරී හැඟීමක් ඇති වෙනවා නේද?

අප අවට සමාජයේ සිටින ඊර්ෂ්‍යාකරයන් ගැන අප නිතර කථා කරන නමුත්, අපේ හිතේ ඇතිවන ඊර්ෂ්‍යාව අපට නො පෙනීම සාමාන්‍ය ස්වභාවයයි. අප කථා කරන්නේ අපට ඊර්ෂ්‍යා කරන අය ගැන පමණයි. නමුත් සමාජයේ විවිධ පුද්ගලයින්ට අප ඊර්ෂ්‍යා කරන බව අමුතු රහසක් නොවෙයි. කෙනෙකුගේ දියුණුව ගැන , සතුට ගැන ආරංචි වී එය ඉවසා ගත නොහැකිව ඔබ කී වාරයක් නම් ඊර්ෂ්‍යාවෙන් පුපුර පුපුරා සිටියා දැයි කල්පනා කර බලන්න. අන් අයගේ දියුණුව, සතුට නැති කරන්නට, නැතහොත් එයට අකුල් හෙළන්නට ඔබ කී වාරයක් නම් කල්පනා කරන්නට ඇත්දැයි සිතා බලන්න. ඒ වෙනුවෙන් යමක් කරන්නට නො හැකිව ඔබ දුක් සුසුම් හෙලූ වාර කොතෙක්ද? ඔබගේ උපක්‍රම වැරැදී ගිය විට ඔබ නොසෑහෙන සේ දුක් වූවා නො වේද?

සියලු දෙනා තමන්ට වඩා පහළින් සිටිය යුතු ය යන චින්තනය , ඊර්ෂ්‍යාවේ පදනමයි. මෙම චින්තනය අප සියලු දෙනාගේ ම සිත් තුළ පවතී. ලෝකයේ ඇති සෑම සැපතක්ම තමන්ට පමණක් ලැබිය යුතු ය, හොඳින් ජීවත් විය යුතු වන්නේ තමන් පමණක් ය. සමාජයේ වරප්‍රසාද උසස්වීම්, ජයග්‍රහණ , ප්‍රතිලාභ , කීර්ති ප්‍රශංසා යනාදී මෙකී නොකී සියලු දේ ලැබිය යුතු වන්නේ මට පමණක් ය. නැතහොත් තමන්ගේ අයට පමණක් ය යන පහත් ඛ්ැඟීම ඇති වන්නේ, මේ චින්තනය නිසයි. ඔබගේ සිතේ ඇති වූ ඊර්ෂ්‍යාවක් තුළ පවතින්නේ , මෙම චින්තනය නොවේදැයි නැවත නැවත සිතා බලන්න. ඊර්ෂ්‍යාවේ ස්වභාවය තමනුත් විනාශ කර අන්‍යයන් ද විනාශ කිරීම යි. ඊර්ෂ්‍යාව සිතට නැඟුණු විට ඉවසා සිටීමට බැරි තරම්ය. ගිනි ගොඩකට වැටුණු කලෙක මෙන් සිරුර දවයි. සිත නො සන්සුන් කරයි. හොඳ නරක, හරි වැරැද්ද නො තේරෙයි. යක්‍ෂාවේශ වූ කෙනකු මෙන් ක්‍රියා කරයි. ඊර්ෂ්‍යාවට පාදක වූ අය විනාශ කිරීමට ද්වේශයෙන් යුතුව කටයුතු කරයි. හදි හූනියම් කැලෑ පත්‍ර , කුමන්ත්‍රණ , කේළාම්, උගුල් ඇටවීම, ආදී ඊර්ෂ්‍යාව නිසා ඇති වූ අවුල් වියවුල් ය. මේ හැම එකකම අවසාන ප්‍රතිඵලය තමනුත් අන් අයත් එක විට විනාශ වීමයි.

අප සියලු දෙනා තුළ ම ඊර්ෂ්‍යාව තිබේ. වෙනසකට ඇත්තේ, එය ඉදිරිපත් වන ආකාරයයි. උදාහරණයක් ලෙස සියලු සැප සම්පත් වලින් ආඪ්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් දුප්පත් අයට ඊර්ෂ්‍යා කරන්නේ නැත. නමුත් සමාජ මට්ටම අතින් තමන් හා සමාන අයට යමක් ලැබෙන විට ඒ අයට ඊර්ෂ්‍යා කරයි. උගත්කම අතින්, වත් පොහොසත්කම් අතින්, හැකියාව අතින් සමාන අය අතර ඔවුනොවුන් කෙරෙහි තමන් අභිබවා අනෙකා ඉස්මතු වේයැයි යන බිය නිසා ඊර්ෂ්‍යාව ඇති වෙයි. හිඟන්නකුට හිඟමන් ලැබෙන විට තවත් හිඟන්නෙක් ඊට අකැමැති වෙයි. එසේ අකමැති වන්නේ, ඊර්ෂ්‍යාව නිසයි.

‘මම’ නමැති හැඟීමේ ස්වභාවය විමසා බලමු.

‘මම’ කැමැති සම්පතක් ඔබට ලැබෙනවා නම්, මට කළ නොහැකි දේ ඔබට කළ හැකි නම්, මට හිමි කර ගත නොහැකි දේ ඔබට හිමි වන්නේ නම්, ‘මම’ ඔබට වැඩි වැඩියෙන් ඊර්ෂ්‍යා කරමි. මමත් සමඟ විඳීය යුතු සැපත ඔබ වෙනත් කෙනකු සමඟ විඳින්නේ නම්, ‘මම’ ඔබ දෙදෙනාටම ඊර්ෂ්‍යා කරමි. ‘මම’ දුර්වල කෙනකු නම්, මගේ ඊර්ෂ්‍යාව වෛරයක් තරමට වැඩි වෙයි. මක්නිසාද මගේ දුර්වලකම නිසා ඔබට විරුද්ධව යමක් කළ නොහැකි නිසාය. ධනය, බලය, කුලය , උගත්කම , ගුණවත්කම ආදී කාරණාවලින් ඔබ මා ඉක්මවා නො යන්නේ නම්, ‘මම’ ඔබට ඊර්ෂ්‍යා නො කරමි. මට වඩා ඉහළින් වැජඹෙන්නට උත්සාහ දරන සියල්ලන්ට ම ‘මම’ ඊර්ෂ්‍යා කරමි. වෛර කරමි. මේ, ඔබ තුළ සිටින මම නමැති පුද්ගලයාගේ ස්වභාවයයි.

අනේ මම නම් කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නෑ. අනෙක් අය මට වඩා හොඳින් දියුණු වෙලා ඉන්නවට මම නම් කැමැතියි. මෙවැනි ප්‍රකාශ කරන අය අප අතරේ කොතෙකුත් සිටිති.ඔබ විසිනුත් මෙවැනි ප්‍රකාශ සමහර විට කර ඇති. ඔබගේ මේ වගන්ති වලින් කියැවෙන්නේ , ඔබ තුළ ඊර්ෂ්‍යාව නැති බව නම් නොවෙයි. ඊර්ෂ්‍යා නො කරන බවත් නොවෙයි.

මෙහි දී සිදුවන්නේ තමන්ගේ නො හැකියාව නො ලැබීම පිළිනොගෙන, ඒ නිසා මනසෙහි ඇති වන වේදනාව මෙවැනි බොළඳ ප්‍රකාශ මගින් මුදා හැරීමක් පමණයි. මෙය මානසික ;රීගයක් දක්වා වර්ධනය විය හැකි හීනමානය හා සබැඳිතත්වයක් පමණකි. තමන්ගේ මනසෙහි හටගන්නා හැඟීම් ගැන අවබෝධයක් නොමැතිකම, ඊට හේතුව යි. මගේ යැයි සලකන පිරිස කෙරෙහි ඇති නො වන ඊර්ෂ්‍යාව , අසල්වැසියන් , හිතවතුන් හෝ වෙනත් දන්නා හඳුනන අය පිළිබඳ අපගේ සිතේ ඇති වෙතැයි අප පැවසුවත්, තමන්ගේ සැමියාට , බිරියට , ඤාතීන්ට පමණක් නොව දරුවන්ට පවා ඊර්ෂ්‍යා කරන්නට සමහරු පෙළඹෙති. වෙනසකට ඇත්තේ, එම ඊර්ෂ්‍යාව වෙනස් මුහුණවරකින් ප්‍රකාශයට පත් වීම පමණ යි. ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන පුද්ගලයින් අතර ඇති වන ඊර්ෂ්‍යාව , වඩාත් හානිකර ය. එය, බද්ධ වෛරය දක්වා දියුණු වෙයි.

ඊර්ෂ්‍යාව ඇති වූ විට සිත ස්වභාවයෙන්ම නරක් වෙයි. සිත අපිරිසුදු වෙයි. මේ නිසා ශරීරයේ ලේ ධාතුව ද දූෂණය වෙයි. ලේ ධාතුව දූෂණය වීම නිසා සිතත්, කයත් දෙකම රෝගාතුර වෙයි. ජීවිතයට උරුම විය යුතු සතුට, සැනසිල්ල නැති වෙයි. මේ නිසා ඔබගේ හදවතේ ලැගුම් ගෙන සිටින ඊර්ෂ්‍යාව නමැති මේ විසකුරු සර්පයා බැහැර කර , සැනසීම ළඟා කර ගැනීමට වහ වහා යුහුසුළු විය යුතු ය. මේ සඳහා ඇති එකම විසඳුම, මෛත්‍රි භාවනාව පුරුදු කිරීමයි. සියලු සත්වයන් වෙත මෙත් සිත පැතිරවීම මෛත්‍රී භාවනාවයි.

න වාක්කරණමත්තේන
වණ්ණපොක්ඛරතාය වා
සාධුරූපෝ නරෝ හෝති
ඉස්සුකී මච්ඡරී සඨෝ

අනුන්ට ඊර්ෂ්‍යා කරන, මසුරුකම් කරන කපටි පුද්ගලයා මිහිරි වචන කථා කළ පමණින් වත්, ශරීර ශෝභාව ඇති පමණින් වත්, හොඳ යහපත් මිනිසකු නො වන්නේ ය.

නිකිණි පුර පසළොස්වක
පෝය


නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 5 වන දා බදාදා පූර්ව භාග 4 ට ලබයි. 6 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 6.26 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 5 වන දා බදාදාය

මීළඟ පෝය අගෝස්තු
13 වන දා බ්‍රහස්පතින්දා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]