UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරි දළදා පෙරහර නිමිත්තෙන් මල්වතු - අස්ගිරි මහ නා හිමිවරු නිකුත් කළ විශේෂ පණිවිඩ

ආගමික මෙන්ම සංස්කෘතික මහා පූජෝත්සවයක්

ශ්‍රී සුගත තථාගත ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ සුවාසු දහසක නිර්මල ශ්‍රී ධර්මස්කන්ධයෙන් ස්පර්ශය ලැබුවා වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විෂයෙහි අනුරපුර කිත්සිරි මෙවන් මහරජතුමාගේ කාලයේ පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ මහරජතුමාගේ කාලය දක්වා රාජරාජ මහාමාත්‍යාදීන් හා සාධු ජනයා නානාවිධ පුද පූජෝත්සව පැවැත් වූහ.

මෙකී පූජෝපහාරයන් අතර, චිරාගත සම්ප්‍රදායික පුද සිරිත් නොකඩ කොට පවත්වාගෙන එනු ලබන සෙංකඩගලපුර වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය ආගමික මෙන්ම සංස්කෘතික මහා පූජෝත්සවයකි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝ රාජ මාහිමිපාණන් වහන්සේගේද අනුශාසනා ලබා, නාථ විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාලයන් හි පෙරහර ද දළදා පෙරහරට එක් කළ අතර, ඒ අනුව එදා සිට අද දක්වා ජාතික ආගමික සංස්කෘතික කලා සංදර්ශනයක ස්වරූපයෙන් පැවැත්වෙන සෙංකඩගලපුර ශ්‍රී දළදා පෙරහර සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ ශ්‍රද්ධා භක්තිය හා බෞද්ධ අබෞද්ධ සෑම සියලු දෙනාගේ නේත්‍රාභිනන්දනය හා පී‍්‍රති ප්‍රමෝදය වර්ධනය කිරීමට හේතු වන්නේමය.

මේ අවස්ථාවේදී සෙන්කඩගලපුර ඇසළ පෙරහර නිමිති කරගෙන ලේක් හවුස් ආයතනයේ පුවත්පත් විශේෂ අතිරේක පළ කිරීමට කටයුතු යොදා තිබීම අප ඉතා අගය කොට සලකමු. මෙවර වාර්ෂික ඇසළ මහා පෙරහර සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරන අතර, පෙරහර නැරඹීමට මෙරට මෙන්ම ලොව නන්දෙසින් පැමිණෙන සියලුම දෙනාට, ත්‍රිවිධ රත්නයේ සහ ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.


සම්බුද්ධ පූජාවකි - හෙළයේ මහා කලා මංගල්‍යයකි

ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කළ දා පටන් ලක්දිව රාජ්‍යය විචාළ හෙළ රජ දරුවන් විසින් දන්ත ධාතූන් වහන්සේ උදෙසා විවිධ පුද පූජා පවත්වමින් සිය දිවි දෙවැනි කොට උන්වහන්සේ ආරක්‍ෂා කළ ආකාරය ලක්දිව ශාසන ඉතිහාසයෙන් මැනවින් පැහැදිලි වේ.

කලින් කලට රාජධානි මාරු වෙන අවස්ථාවන්හිදී ද විවිධ ක්‍රමෝපායයන් මගින් සුරක්‍ෂිත කරගත් ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ සෙංකඩගල මහනුවර රාජ්‍ය විචාළ පළමුවන විමලධර්මසූරිය රජ සමයේ දෙල්ගමුව රජමහා විහාරයේ ආරක්‍ෂාකාරීව වඩා හිඳුවා තිබුණු අතර අනතුරුව ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම කරවූයේ එකල සෙංකඩගල පුරවරයේ පැවති ප්‍රධාන ඓතිහාසික ශාසනික මූලස්ථානය වූ අස්ගිරි මහා විහාරයේ වැඩ සිටි ඇල්ලේපොල මංගල හිමියන් ප්‍රධාන භික්‍ෂූන් පිරිසක් විසින් බව වංශකතාවල සඳහන්ව තිබේ. අනතුරුව වර්තමානයේ ප්‍රසිද්ධියට පත්ව තිබෙන ශ්‍රී දළදා ගමන් විහාරය හෙවත් අස්ගිරි ආදහන මළුව ගෙඩිගේ විහාරස්ථානයේ දළදා වහන්සේ වැඩ හිඳුවා ප්‍රථම වරට මහනුවරදී පුද පූජා පැවැත් වූ බවද ඓතිහාසික සත්‍යයකි.

මෙසේ මහනුවර ආරම්භ වූ දළදා පුද සිරිත් ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වූ අතර පසුව දළදා මන්දිරයක් සාදා වර්තමානයේ දළදා වහන්සේ වැඩ සිටින ස්ථානයේ තැන්පත් කරවා රාජ්‍ය අනුග්‍රහයද ලබා දී එම පුදසිරිත්, ඓතිහාසික සම්ප්‍රදායන් රැසක්ද සමගින් මේ දක්වා පවත්වාගෙන එනු ලැබේ.

මෙසේ සිදුකෙරෙන දළදා පුද සිරිත් අතර කලාත්මකවූ සුවිශේෂී චාරිත්‍රයක් වනුයේ පෙරහර මංගල්‍යයයි. මහනුවර රාජධානිය පැවති මුල් යුගයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් එතෙක් පැවැති සිව් මහා දේවාලයන්හි පෙරහර වලට පෙරමුණෙහි ගමන් කරන ආකාරයට දළදා වහන්සේ උදෙසා විශේෂ පෙරහරක් පැවැත්වීමට කටයුතු යොදන ලදී.

මේ නිසා එතෙක් පැවති ඇසළ පෙරහර ඉන්පසු සිරි දළදා පෙරහර ලෙසින් ප්‍රසිද්ධ වන්නට විය. වර්තමානය දක්වාම එසේ ආරම්භ වූ ඇසළ මහා පෙරහර සහ සිරි දළදා පෙරහර සම්බුද්ධ පූජාවක් ලෙසින් හා හෙළයේ මහා කලා මංගල්‍යයක් ලෙසින් පවත්වා ගෙන එන අතරම ඒ වටා බැඳුනු සංස්කෘතිකාංග හා සුවිශේෂී සම්ප්‍රදායයන් රැසක් ද පවතී.ශ්‍රී ලංකාවේ පවත්වන පෙරහර අතර සෙංකඩගල රාජධානි සමයේ සිට පැවතගෙන එන ඓතිහාසික පසුබිමක් ඇති කලාත්මක අගයෙන්ද යුක්ත වූ සුවිශේෂී පෙරහරක් වන සිරි දළදා පෙරහරේ එම ඓතිහාසික පසුබිම, එහි සංයුතිය සහ ඓතිහාසික සම්ප්‍රදායයන් ද එහි පවතින කලාත්මක අංගයන් ද සුරක්‍ෂිත කර ගැනීම මෙරට වැසියන්ගේ වගකීමක් වී පවතී. ඒවා සුරක්‍ෂිත කර ගැනීම උදෙසා ඒ පිළිබඳවූ බොහෝ තොරතුරු රැස්කොට ශාස්ත්‍රීය ලිපි කීපයක්ද සමගින් 2009 වසරේ පැවැත්වෙන ඇසළ පෙරහර වෙනුවෙන් පසුගිය වසර වලදී මෙන් එළිදැක්වීමට කටයුතු සම්පාදනය කිරීම, අගය කොට සැලකිය හැකි වේ.

ඓතිහාසික ඇසළ මහා පෙරහර සාර්ථක කර ගැනීමට දියවඩන නිළමෙතුමා ප්‍රධාන සිවු මහා දේවාලවල බස්නායක නිළමේතුමන්ලා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා, මධ්‍යම පළාත් මහාමාත්‍යතුමා, මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රජයේ ආයතන සහ සියලු කාර්ය මණ්ඩලයන්ද කලාශිල්පීන්ද දරන ප්‍රයත්නය ජාතික මෙහෙවරක් සේ සැලකිය යුතු වේ.

ඒ සියලු දෙනාටම සුභාශිර්වාදය පළ කරන අතරම ගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජයටත් ලක්වැසි සියලු දෙනාටත් පොදුවේ මුළුමහත් දේශයටත් ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් අභිවෘද්ධියක්ම සැලසේවායි ප්‍රාර්ථනා කරම්හ.

නිකිණි පුර පසළොස්වක
පෝය


නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 5 වන දා බදාදා පූර්ව භාග 4 ට ලබයි. 6 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 6.26 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 5 වන දා බදාදාය

මීළඟ පෝය අගෝස්තු
13 වන දා බ්‍රහස්පතින්දා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]