UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දේවාලයේ චාරිත්‍ර ද රජ කාලයේ සිට පැවතෙන බවට සාධක ඇත. කතරගම මහා දේවාලයේ රාජකාරී හිමිව ඇත්තේ පාරම්පරික පිය - පුතු ක්‍රමයට අනුවය. දේවාලයේ ප්‍රධාන පෙරහර කීපයක් ඇත. අවුරුදු මාසයේ පැවැත්වෙන බක්මහ පෙරහර ඇසළ මාසයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහර සහ නොවැම්බර් මස පැවැත්වෙන ඉල් මහ පෙරහර යි.

රුහුණු කතරගම මහා දේවාලය පිළිබඳ විමසීමේ දී අපේ ප්‍රතාපවත් චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ වැදගත් තොරතුරු සහිත පූජනීය ස්ථානයක් ලෙස සඳහන් කළ හැකි ය. කතරගම ඉතිහාසය පිළිබඳ සලකා බලන විට බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවන වර වැඩම කළ අවස්ථාවේ කතරගමට වැඩම කළ බව ධාතු වංශය සඳහන් කරයි. එම ඓතිහාසික ලේඛනයෙහි සඳහන් වන අන්දමට කතරගම පාලකයා වී ඇත්තේ මහාසේන හෙවත් මහාඝෝෂ නමැති ක්ෂත්‍රිය වංශික පාලකයෙකි. එම රජතුමාගේ උයන එදා නම් කර ඇත්තේ කිහිරි වනය යනුවෙනි. බුදුරජාණන් වහන්සේ මෙහි වැඩ හිද රජතුමා ප්‍රධාන පිරිසට දහම් දෙසා ඇත.

සෝවාන් වූ රජතුමා පසුව බුදු රදුන් වැඩසිටි ස්ථානයේ කිරිවෙහෙර දාගැබ ගොඩ නංවන ලදී. එදා මෙම දා ගැබ නම් කර තිබුණේ කිහිරි වෙහෙර් යනුවෙනි. කියවීමේ පහසුව පිණිස කිරිවෙහෙර යනුවෙන් වර්තමානයේ යෙදී ඇත.

දැනට සොයාගෙන ඇති කොටා දැමුහෙල ආදී සෙල්ලිපි අනුව කතරගම ක්ෂත්‍රිය පරපුරක් පාලනය කළ බවට සාධක හමු වී ඇත. දසහාතික වශයෙන් සඳහන් වන දස බෑ රජවරුන් එම පිරිස බව විචාරකයින්ගේ මතයයි.

මොවුන් ප්‍රදේශයේ යහ පාලනයක් ගෙන ගිය අතර බෝධි ආගමනය සමග තොරතුරු රැසක් හෙළි වෙයි. මහා වංශය ආදි වංශ කතාවල එන තොතුරු අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ දේවානම් පියතිස්ස මහ රජතුමාගේ අනු දැනුම මත භාරතයේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලදී. අනුරාධපුර මහමෙවුනා උයනේ දී මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ උත්සවයට කතරගම ක්ෂත්‍රිය රජ දරුවන්ට ද ආරාධනා කර ඇත. බෝධි රෝපණයේදී පැන නැගුණ බෝ අංකුර අටෙන් එක් බෝ පැලයක් කතරගම රජ දරුවන්ට ලබා දුන් බව වංශ කතාවල සඳහන් ය.

කතරගම ඉතිහාසයේ තවත් වැදගත් අවස්ථාවක් වන්නේ ගෝඨාභය සමයයි. අනුරාධපුරයේ රජකළ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා වූ මහානාග සිය බිරිඳ සමග දිවි බේරාගෙන රුහුණේ මාගම රාජධානිය කරගත් බව ඉතිහාසයේ සඳහන් ය. එතුමාගේ පුත් ගෝඨාභය සිය පියා ඇවෑමෙන් මාගම රජ වී කතරගම රජකළ දස බෑ රජදරුවන් මරා දමා මෙම ප්‍රාදේශීය පාලනය ද අල්ලා ගත් බව ධාතු වංශය සඳහන් කරයි. ජනතාවගේ ජනාදරය දිනා ගත් දස බෑ රජදරුවන් මරා දැමීම පිළිබඳ ජනතාවගේ කලකිරීම ඈත් කිරීම සඳහා ගඟ අසබඩ විහාරස්ථාන 500 ක් ගොඩ නැං වූ බව වංශ කතාවල සඳහන් ය.

ගෝඨාභය ගේ පුත් කාවන්තිස්ස රජතුමා වන අතර එතුමා පුත් දුටුගැමුණු සහ සද්ධාතිස්ස පාලකයන් ය. කතරගම ඉතිහාසයට ඉතා වැදගත් චරිතයක් ලෙස නම් කළ හැක්කේ දුටුගැමුණු රජතුමා බව ඓතිහාසික ලේඛන මත සඳහන් කළ හැක. මෙරටට පැමිණ ආක්‍රමණික පාලකයෙකු ලෙස රට පාලනය කළ එළාර රජු සමග යුද වැදීමට කටයුතු කළ දුටුගැමුණු රජතුමා කතරගම හරහා රජ මාවත ඔස්සේ ගමන් කර ඇත.

කතරගමට පැමිණි රජතුමා කතරගම දෙවියන්ට බාරයක් වී ඇත. එනම් රට ජාතිය වෙනුවෙන් යුද වදින තමාට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙන ලෙසයි. යුද්ධයෙන් ජය ලැබුවහොත් කතරගම දෙවිදුන් වෙනුවෙන් දේවාලයක් සාදා පූජා කරන බවත් ය. ජයගත් රජතුමා කතරගම මහා දේවාලය පූජා කර ඇත. එපමණක් නොව දේවාලයේ නඩත්තු සඳහා අක්කර දහස් ගණනක් නින්දගම් ලෙස ද පූජා කර ඇත. වසර දහස් ගණනක් ගියද අදත් එම ගොඩ මඩ ඉඩම් දේවාලය සතුව පවතී.

දේවාලයේ චාරිත්‍ර ද රජ කාලයේ සිට පැවතෙන බවට සාධක ඇත. කතරගම මහා දේවාලයේ රාජකාරී හිමිව ඇත්තේ පාරම්පරික පිය - පුතු ක්‍රමයට අනුවය. දේවාලයේ ප්‍රධාන පෙරහර කීපයක් ඇත. අවුරුදු මාසයේ පැවැත්වෙන බක්මහ පෙරහර ඇසළ මාසයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහර සහ නොවැම්බර් මස පැවැත්වෙන ඉල් මහ පෙරහර යි. මෙයට අමතරව කනු කපන පෙරහර සහ දිය කපන පෙරහර, ද ඇසළ මහා පෙරහරට සම්බන්ධ පෙරහර බව සඳහන් කළ යුතු ය. රටට ආශිර්වාද පතා දෙවියන්ට උපහාර පතා අවුරුදු මහා පෙරහර පැවැත්වේ.

මෙය එක් දින පෙරහරකි. කතරගම දේවාලයේ සුවිශේෂ පෙරහරක් වන්නේ ඇසළ මහා පෙරහරයි. මෙම පෙරහර දින 15 ක් පවත්වන අතර ඇසළ පුර පසළොස්වක් දිනට අනිවාර්යෙන්ම නිම විය යුතු ය. මෙහි ප්‍රථම පෙරහර නම් කර ඇත්තේ මංගල පෙරහර යනුවෙනි. මෙම පෙරහර දේවාල වීථිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට ගොස් නැවතත් එම මාවතේම ගමන් කර දේවාලයට ගෙවදීමෙන් නිමාවට පත්වේ. අනතුරුව පැමිණෙන අනෙකුත් පෙරහර මහා දේවාලයෙන් පිටවී පිට වීථිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට ගොස් පෙරහර මාවත ඔස්සේ මහා දේවාලයට පිවිසේ. මෙසේ දින 12 ක් ගමන් කරනු ලබන පෙරහර අවසානයේ ගිනි පෑගීම සිදු කරයි. පසු දින තුනම එක් රැයකට පෙරහර දෙක බැගින් ගමන් කිරීම ද පෞරාණික චාරිත්‍රයකි.

ඇසළ පසළොස්වක පෝ දිනට පසු දින උදෑසන මහ දේවාලයෙන් පිට වන පෙරහර වල්ලි අම්මා තොටුපළින් ගඟට බැස දිය කැපීම නම් චාරිත්‍රය ඉටු කිරීම සිදු කරනු ලබයි. දිය කැපූ පෙරහර නැවත ගමන් කර වල්ලි අම්මා දේවාලයට නැවත පිවිසේ. එහි සිදු කරන චාරිත්‍රයක් නම් දිය කැපූ කපු මහතා සවස් වන තෙක් එම දේවාලය තුළම ඳී සිට නැවතත් පෙරහරින් කතරගම මහා දේවාලයට එක්කරගෙන ඒමයි.

මහා දේවාලය තුළම සැන්ඳෑ කාලය තුළම ජීවත් වන මොහු වස් ඇරීම නම් චාරිත්‍රය ඉෂ්ට කිරීම කරනු ලබයි. මොහු මිනිසුන් අතරට පැමිණෙන්නේ මින් අනතුරුවයි. කතරගම ඇසළ පෙරහර අවසානයේ සැමට සෙත් පතා කතරගම අභිනවාරාමයේ තුන්තිස් පැයේ මහා පරිත්‍රාණ දේශනාවක් පවත්වා ගම පුරා පිරිත් පැන් බෙදා හැර ආශීර්වාද කරනු ලැබේ. ඇසළ මහා පෙරහර පිළිබඳ විවිධ මතවාදයන් ජන සමාජයේ දැකිය හැකි ය. ඇසළ පෝයට මෙම පෙරහර අවසන් වන බැවින් දම්සක් පැවතුම් සූත්‍රයට උපහාර දැක්වීමක් ලෙස මෙම පෙරහර සිදු කරන බව ද එක් අදහසකි. කතරගම දෙවියන් හා වල්ලි අම්මා දෙවඟන විවාහය සිහිපත් කිරීම තවත් අදහසකි. සුරයන් සහ අසුරයන් අතර යුද්ධයෙන් ලත් ජය සිහිපත් කිරීම මෙහි තවත් අදහසක් බවද සඳහන් කළ යුතු ය.

පෞරාණික චාරිත්‍රයන්ට අනුව මෙවර ද ඇසළ මහා පෙරහර ඉතා උසස් අන්දමින් සිදුකිරීමට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මැතිතුමන් ගන්නා මහත් වූ උත්සාහය ඉතා අගය කළ යුතුය. කතරගම ඇසළ මහා පෙරහර සාර්ථක වේවා.

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදා අපර භාග 03.34 ට ලබයි. 29 වනදා බදාදා අපරභාග 03.49 න් ගෙවෙයි. සිල් සමාදන් වීම ජූලි 28 වන දා  අඟහරුවාදා ය.

මී ළඟ පෝය අගෝස්තු 05 වන දා බදාදා ය

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]