UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කෑගල්ල අභයභූමි තපෝවනයේ ත්‍රිපිටක මහ සෑයේ කොත් වහන්සේ පළඳවන පින්කම 23 දා

ඉතිහාසයට එක්වන කරුණක්

කෑගල්ල නගරයට ඔබ්බෙන් පිහිටි රමණීය වන පෙදෙස කුරුලු අභය භූ®මියයි. අපවත් වී වදාළ කම්මට්ඨානාචරිය ශ්‍රී කළ්‍යාණිවංශ නිකායෙහි අධිකරණ සංඝනායක කුඩාවැල්ලේ වංගීස නාහිමිපාණන් වහන්සේ 1966 එම අභය භූමි තපෝවනය ආරම්භ කළහ.

මුල්ලේරියාව, නවනගරය, කලපළුවාව, ගෝතම තපෝවනය මූලස්ථානය සේ සලකමින් තදීය ශාඛා මධ්‍යස්ථානයක් ලෙස අපගේ යාවජීව අනුශාසකත්වයෙන් පවත්වාගෙන යනු ලබන කෑගල්ල අභය භූමි තපෝවනයෙහි වත්මන් අනුශාසකවරයාණන් වහන්සේ ලෙස කටයුතු කරනු ලබන්නේ වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචරිය, සබරගමු පළාතේ උප ප්‍රධාන සංඝනායක, තපෝවනයේ නිවාත නායක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ ක්‍රියාශූ®රය. සහජ නිර්මාණ කෞශල්‍යයයන්ගෙන් හෙබි නායක ස්ථවිරයන්වහන්සේ මෑත භාගයේහිදී අභයභූ®මි තපෝවනය තුළ සුවිශේෂී නිර්මාණ රාශියක් දායාද කරන්නට සමත් වූහ. මෙහිලා මාතික මාතා ශාඛා සමිතියෙන් ලද නොමද අනුග්‍රහයන්ද අප කෘතවේදීව සිහිපත් කරනු කැමැත්තෙමු.

අප ශ්‍රී‍්‍ර කල්‍යාණිවංශ නිකාය පිහිටුවා දෙසිය වසරක් පිරෙන මෙම ඓතිහාසික අවස්ථාවට සමගාමීව ශ්‍රී කල්‍යාණිවංශ නිකායික විහාරස්ථානයන්හි පැවැත්වෙන විවිධ පින්කම් අතර කෑගල්ල අභයභූමි තපෝවනයෙහි ත්‍රිපිටක සෑය ජුලි මස 23 වන දින විවෘත කිරීමද ඉතිහාසයට එක්වන කරුණකි. සැදැහැවත් ජනයාගේ සිත් සතන් ප්‍රබෝධමත් කෙරෙන අයුරින් පුණ්‍ය භූමියක් තුළ ඉදිකළ යුතුවන ශාරීරික පාරිභෝගික උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන් අභය භූමි තපෝවනයෙහි ප්‍රතිෂ්ඨාපනය කිරීම සම්බන්ධයෙන් තපෝවන මූලස්ථානය හා තදීස ශාඛා මධ්‍යස්ථානයන්හි යාවජීව අනුශාසකවරයාණන් වශයෙන් ද මාගේ බලවත් සන්තුෂ්ඨිය හා සුබාසිංශනය පිරිනමනු කැමැත්තෙමි. මෙම උතුම් පුණ්‍යක්‍රියායෙහි නන් අයුරින් දායකත්වය දැරූ සැමටත් ත්‍රිපිටක සෑය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය සංවිධානය කළ සැමටත් මෙම මහඟු පින්කම නිවන් සුව සාදා ගන්නා වූ පාරමී ධර්මයක් වේවායි ප්‍රාර්ථනා කරමි.


 

ආශිර්වාද කරමු

‘ධාතුසුහි ඨිතාහි සම්බුද්ධානාම ඨිතාහොන්ති ‘ (බුදුරජුන්ගේ ශාරීරික ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ යම් ස්ථානයකද එය බුදුරජුන් වැඩ සිටින ස්ථානයයි. )

සමන්ත පාසාදිකා විනය අටුවාව) ලක්දිව පඨමක චේතිය වශයෙන් සැලකෙන ථූපාරහ චෛත්‍ය ඉදිකිරීම හා සම්බන්ධ ඉහත සඳහන් ප්‍රකාශය මිහිඳු මා හිමියන් සහ දුටුගැමුණු නරපතියන් අතර ඇති වූ සාකච්ඡාවයි.

ස්ථූප නිර්මාණයේදී ථූපාරාම උතුමන් හතර දෙනකු බුදුරදුන් විසින් හඳුන්වා දී ඇත. ඒ අනුව “ සම්මා සම්බුද්ධො ථූපාරහො “ යන ඉගැන්වීම පරිදි කෑගල්ල අභයභූමි තපෝවන පුණ්‍ය භූමියේ අධිපති තපෝවනයේ නිවාත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදේශයේ සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ප්‍රමාණයෙන් අඩි 50 ක් පමණ උසැති ස්ථූපයක් නිර්මාණය කර ඇත.

ත්‍රිපිටක මහා සෑය නමින් හැඳින්වෙන මෙම ස්තූපරාජයාගේ කොත නිරාවරණය කිරීම නිමිත්තෙන් කෑගල්ල දිස්ත්‍රික් අමරපුර ඒකාබද්ධ මහා සංඝ සභාව වෙනුවෙන් ආශීර්වාදාත්මක පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අපගේ භාග්‍යයක් කොට සලකමු.


සිත් සතන් පහන් වේවි

ස්තූප ඉදිකොට පූජා සත්කාර පැවැත්වීමට සුදුසු සිවුදෙනෙක් පිළිබඳ මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්වේ. ඒ අතරින් තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම්ය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිනා සමයෙහි ප්‍රථමයෙන්ම උන්වහන්සේ වෙනුවෙන් වෙහෙරක් තැනුවේ ලක්දිවය.

තපස්සු භල්ලුක දෙ සොහොයුරන් විසින් තිරියාය ප්‍රදේශයේ ඉදිකළ එම වෙහෙර ගිරිහඬු සෑය නමින් හැඳින්වේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සිය පනස්තුන සපිරෙන මෙම කාලසීිමාව තුළ ඉදි වූ වෙහෙර අපමණය. ධර්මාශෝක අධිරාජ්‍යයා පමණක් සුවාසුදහසකට අධිකව වෙහෙර තැනූහ.

ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික චෛත්‍ය නොනැසී පැවතුනත්, ප්‍රතිවේධ, ප්‍රතිපත්ති සහ පර්යාප්තිය නැසුනු කළ ශාසනය නැසෙන්නේ ය. ජීවමාණ බුදුරජාණන් වහන්සේ වශයෙන් සැළකිය හැකි වන්නේ සතළිස්පස් වසරක් තුළ දේශනා කොට වදාළ තථාගත ධර්මයයි. ‘යෝ ඛෝ ආනන්ද මයා ධමෙමාච විනයෝච දේසිතො පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්ථාති’. ආනන්ද මා විසින් යම් ධර්මයක් විනයක් දේශනා කළේද? මාගේ ඇවෑමෙන් තොපට ඒ ධර්ම විනය ශාස්තෘ වෙයි, යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එම බුද්ධ වචනය සනාථ කරමින් වසර දෙදාස් පන්සිය පනස් තුනක් දක්වා අපට අනුශාසනා කළ ධර්ම විනය වදාළ, දුක්, භය, රෝ, විපත්, දුරුකළ, සියලු ලෞකික ලොවුතුරු සැප ලබාදුන්නේ ශ්‍රී සද්ධර්මයයි.

ශ්‍රී සද්ධර්මස්කන්ධයට පූජා පිණිස කෑගල්ල, අභයභූමි තපෝවනයේ ඉදිකළ ත්‍රිපිටක මහ සෑය සැබවින්ම සද්ධර්මස්ථූපයකි. නව නිර්මාණයකි. චෛත්‍ය ගර්භයේ දර්ශණිය රන් වියනක් යට නුග සෙවනේ ඵල සමවතින් වැඩ සිටිනා බුදුරජාණන් වහන්සේ දැකීමෙන් කාගේත් සිත් සතන් පහන් වේ. මෙහි ඇති චිත්‍ර ලොව විවිධ චෛත්‍ය නිර්මාණ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට බෙහෙවින් උපකාරවන අතර පොත්ගුල සහ පූජා වස්තු තැන්පත් කරන මංජුසා චෛත්‍ය අර්ථවත් කෙරේ. 2006 මාර්තු මස 14 දිනට යෙදුන මැදින්පුර පසලොස්වක පෝය දින මුල්ගල් තබා වෙහෙර තැනීමේ කටයුතු ආරම්භ කරන ලද අතර තඹ පත්‍රයේ මුද්‍රණය කළ සුවාසුදහසක් ශ්‍රී සද්ධර්මස්කන්ධය 2007 අගෝස්තු 30 වන දින හතරැස් කොටුවේ නිධන් කරන ලදී.

2009 ජුලි මස 23 වෙනිදින චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පළන්දා ධාතු නිධන් කිරීමෙන් අනතුරුව චෛත්‍ය ඇතුළේ සමාධි සෙවනේ සිට වස් තුන් මාසය තුළ ත්‍රිපිටක ධර්මය දේශනා කරනු ලැබේ. ත්‍රිපිටක දේශනාව සාර්ථක කර ගැනීම පිණිස ගෞරවනීය මහා සංඝරත්නයට මෛත්‍රීයෙන් යුතුව ආරාධනා කරන අතර මෙම දුර්ලභ අසිරිමත් මහා පුණ්‍යකර්මයට දායකවන මෙන් සැදැහැති ලක්වැසි බෞද්ධ ජනතාවටද කරුණාවෙන් දන්වා සිටිමි.

මෙවැනි මහා පින්කමක් මා හට සිදුකරන්න අවස්ථාව ලැබුනේ අපවත් වී වදාළ මා ගුරුදේව ශ්‍රී කල්‍යණිවංශ නිකායේ අධිකරණ සංඝනායක කුඩාවැල්ලේ වංගීස නාහිමිපාණන් වහන්සේ විසින් තපෝවනය පිහිටුවා වදාළ නිසයි.

උන්වහන්සේට කෘතවේදීව පින් අනුමෝදන් කරමි. වෙහෙර ඉදි කිරීමේදී අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති ශ්‍රී‍්‍ර කල්‍යාණීවංශ නිකායේ මහානායක වංගීස වංසාලංකාර විපස්සනා කම්මට්ඨානාචරිය දොඩම්පහල චන්ද්‍රසිරි මා නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා සහ සහයෝගයත්, මා ශිෂ්‍ය සහ සහෝදර භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයත්, මාතික මාතා සමිතියේ, දායක දායිකාවන්ගේ ප්‍රදේශවාසී ජනතාවගේ සහයෝගයත් නොමඳව ලැබුණ බව කෘතවේදීව සිහිපත් කරන අතර චෛත්‍ය ඉදිකිරීමේ මහා කුසලයට දායක වූ ඔබ අප හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධකර ගැනීම පිණිස මෙම කුසලය හේතුවේවා.


ශාසනික කර්තව්‍ය නොපිරිහෙලා ඉටු කළා

දහස් ගණනක් බොදුනු බැතිමතුන්ගේ ආධ්‍යාත්ම සංවර්ධනය කිරීමේ සාසනික කර්තව්‍ය නොපිරිහෙලා ඉටුකරනු ලබන කෑගල්ල අභය භූමි තපෝවනය භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන සබරගමු පලාතේ උප ප්‍රධාන සංඝනායක වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය තපෝවනයේ නිවාත නායක ස්වාමීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නිසා වසර 3 ක පමණ ඉතා කෙටි කාලයක් තුළ ත්‍රිපිටක සෑ රදුන්ගේ සියලු වැඩ කටයුතු අවසන් කිරීමට හැකිවීම අප සැමදෙනාගේම ඉමහත් සතුටට කරුණකි.

රුපියල් මිලියන 7 ක පමණ වියදමින් ඉදිකරන ලද මෙම ත්‍රිපිටක සෑය වසර 2009 ජූලි මස 23 වන දින ලාංකීය බොදුණු ජනතාව උදෙසා විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින මෙම අවස්ථාවෙහි බොහෝ කාලයක් තපෝවනයෙහි මහා සංඝරත්නයෙහි අවවාද අනුශාසනා ලබමින් මාතික මාතා සමිතියෙහි සභාපතිනිය ලෙස මෙතෙක් කාලයක් කටයුතු කිරීමට ලැබීම ද මා ලද භාග්‍යයක් කොට සලකමි.


තෙමසක් පුරා ත්‍රිපිටක දේශනා

රාජගිරිය කලපළුවාව ගෝතම තපෝවනය භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ අපවත් වී වදාල කුඩාවැල්ලේ වංගීස අධිකරණ සංඝනායක නාහිමිපාණන් වහන්සේ කෘතවේදීව මේ අවස්ථාවේදී සිහිපත් කරමු. උන්වහන්සේගේ ඇවෑමෙන් වත්මනෙහි වැඩවසන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහානායක ශ්‍රී කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය ඇතිව පවත්වාගෙන යනු ලබන කෑගල්ල අභය භූමි තපෝවනය භාවනා මධ්‍යස්ථානය ලංකාවාසී බොදු ජනතාවගේ සිත්ගත් පුණ්‍ය භූමියකි. 1966 ආරම්භ කරන ලද කෑගල්ල තපෝවනය භාවනා මධ්‍යස්ථානය වර්තමානයේ මෙහි අනුශාසකත්වය දරනුයේ සබරගමු පළාතේ උප ප්‍රධාන සංඝ නායක වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය තපෝවනයේ නිවාත නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ තුළ පවතින දැඩි අධිෂ්ඨාන ශක්තිය මනා කැපවීම හා ගුණගරුක බව ස්ථානයේ දියුණුවට මහත් රුකුලක් විය. උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් ශාසනික දියුණුව පතා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ලබාදෙන සහයෝගය ඉතා ප්‍රසංසනීය වන්නේය.

මෙම ස්ථානයේ දියුණුව සඳහා ශ්‍රාවක පිරිස විසින් පිහිටුවා ගත් මාතික මාතා ශාඛා සමිතියෙන් ඉටුවන සේවය ද ප්‍රශංසනීය වේ. ජුලි මස 23 වන දින යෙදෙන මෙහි කොත් පැලෑන්දවීම හා ධාතුන් වහන්සේ නිධන් කිරීම සිදු කරනු ඇත. අනතුරුව චෛත්‍ය අභයන්තරයෙහි පිහිටි ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස සිට පුරා දින 90 ක් මුළුල්ලේ දිවා රාත්‍රියේ සුවාසු දහසක් වූ ත්‍රිපිටක ධර්මස්කන්ධය දේශනා කරනු ඇත.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.50 ට ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග 08.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූලි මස 21 වන දා අඟහරුවාද ය.
මීළඟ පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]