UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රිවිධ චෛත්‍යයන් අතරෙන් ‘පාරිභෝගික චෛත්‍යය වශයෙන් සැලකෙන්නේ බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර - චීවර පටීධාතූන් හා පිටදුන් බෝධීන් වහන්සේ ආදියයි. දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීමෙන් පළමු වන පාරිභෝගික චෛත්‍යය ශ්‍රී ලංකාවෙහි පිහිටුවන ලදී.

ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් සලකන එම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා හා හරසර දැක්වීම බෞද්ධයන්ගේ පිළිවෙතයි. හරසර දැක්වීමේ චාරිත්‍ර සමූහයක් ප්‍රචලිතව පවතී. පොසොන් මාසය තුළ එම චාරිත්‍ර විධි බෙහෙවින් දකින්නට ලැබුණි. කිහිපයක් හඳුන්වා දෙන්න.

පිළිතුර
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන සඟමිත් අරහත් මෙහෙණීන් වහන්සේ අටළොස් කුලයක ජනයා ද සමග ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ බව සඳහන් වේ.

සුමිත්ත බෝධිගුත්ත, කුමාරවරුන් අතරින් සුමිත්තට එකී පිරිවර පැවරූ අතර බෝධි ගුත්තට බෝධිය ආරක්‍ෂා කිරීමේ සියලු වගකීම් පවරනු ලැබීය. බෝධියට රජකු ලබන සියලු උපහාර ලැබීමට සැලැස් වූ අයුරු පාලි හා සිංහල බෝධි වංශයේ විස්තර වශයෙන් දක්වා තිබේ.

බෝධි ශාඛාව සමඟ ශ්‍රී ලංකාවට සැපැත් වූ සුමිත්ත, බෝධිගුත්ත, චන්ද්‍ර ගුත්ත, දේව ගුත්ත, ධර්ම ගුත්ත, සූරිය ගුත්ත, ගෝතම ජුතින්ධර යන කුමාරවරුන් අට දෙනාට බෝධීන් වහන්සේ සම්බන්ධ විවිධ ආවතේව පැවැරූ අතර ඔවුනට ඒ සඳහා තාන්න මාන්න ද වරප්‍රසාද ද ප්‍රදානය කරන ලදී.

බෝධි ආරක්‍ෂාවෙහි නියුතු කුමාවරුන්ට දෙවනපෑතිස් රජු සැලකිලි හා සම්මාන ප්‍රදානය කළේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන උපහාරයක් වශයෙනි. බෝධීන් වහන්සේ නිසා මෙකී රාජකීය පිරිස පසු කාලයෙහිදි ලංකා රාජ්‍යයේ උරුමකරුවන් වශයෙන් ද පිළිගනු ලැබූහ. ශ්‍රී මහා බෝධීන් වහන්සේට දිනපතා ද වාර්ෂිකව ද විශේෂ අවස්ථාවන්හි ද කරනු ලබන තේවා පුද පූජා හා පෙරහර අඛණ්ඩව පැවැත්වීම සඳහා වෙන් වශයෙන් එක් එක් එක් කුලවල ජනයාට පැවැරූ ආකාරය බෝධි වංශයෙහි දක්වා තිබේ.

පුද පූජා වලට අවශ්‍ය දෑ සම්පාදනයට විධි විධාන යෙදී මෙහිදී ඉතා සුළුදෙයෙහි පටන් වටිනා දේ දක්වා සියල්ල සැපයීමට අවශ්‍ය විධිවිධාන යොදා තිබිණි.


ප්‍රශ්නය

මග්ගානට්ඨාංගිකො සෙට්ඨෝ
සච්චානං චතුරෝ පදා -
විරාහො සෙට්ඨො ධම්මානං
දීප දානං ච චක්චුමා

උතුම්ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. උතුම්ම සත්‍යය චතුරාර්ය සත්‍යයයි. උසස්ම තත්ත්වය විරාගයයි. දෙපා ඇත්තවුන් අතර තථාගතයන් වහන්සේ උතුම් ය.

ඇසළ මහේ පුණු පොහොදා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය සිදුවිය. දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව ඒ දේශනයයි. බුදු සිරිත හා දහම් මග එක්තැන් කළ ඒ අසිරිමත් දේශනය ඇසුරෙන් ඉහත සඳහන් ප්‍රස්තුත විවරණය කරන්න.

පිළිතුර
දීඝ නිකාය බ්‍රහ්ම ජාල සූත්‍රයට අනුව පැරැණි දඹදිව; ජීවිතය සහ ජීවිත පරමාර්ථය විෂයෙහි විවිධ පරස් පර මත දැරූ විශිෂ්ට දාර්ශනිකයන් පිළිබඳව ප්‍රසිද්ධියක් ඉසිලීය. එබඳු මතවාද හැට දෙකක් ගැන ඉහත සඳහන් මූලාශ්‍ර වල සඳහන්ව ඇත.

සමකාලීන සියලු ආගමික මතවාදීන්ට එරෙහිව ගිය අන්තවාදී ඉගැන්වීමක් ලෙස මේ යුගයේ ජීවත් වූ ‘චාර්වාක’ නම් වූ මතධාරියා ඉදිරිපත් කළ ලෝකායන’ නමින් හැඳින්වූ පැරැණි භෞතික වාදී අදහස් ද මෙකල ප්‍රචලිත විය. ඔහුගේ අදහස වූයේ මරණය සියල්ලේ අවසානය බවයි. ඔවුන්ගේ පරමාර්ථය වූයේ මරණය තමාවෙත පැමිණෙන තෙක් හොඳින් කා බී විනෝද වීමයි. සදාචාරය යනු මෝඩ කමකි.

විමුක්තිය යනු උග්‍ර තවුස් දම් පිරීමෙන් පමණක් ලද හැක්කක්ය යන්න තවත් අන්ත වාදයකි. මේ වූ කලී උසස් පෙළෙ ශ්‍රමණ පිරිස් අතර තරයේ පිළිගත් ආගමික සංකල්පයකි. දුෂ්කර ක්‍රියා සමයෙහි බෝසතාණන් වහන්සේට උපස්ථාන කළ පස්වග මහණහු මේ විශ්වාසයෙහි තරයේ මුලින් එල්බ ගෙන සිටියහ.

බුද්ධත්වයට පෙර බුදුරජාණන් වහන්සේ ද මෙම අදහසට අනුව විවිධ දුෂ්කර ප්‍රතිපදාවන් හි නිරත වූහ. පුරා වසර හයක් අතිශය දුෂ්කර වූ පිළිවෙත් අනුගමනයෙන් පසු ඒ දුෂ්කර මාර්ගය අතහැර දමා උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළහ. බුද්ධත්වයෙන් හරියටම දෙමසක් ගිය තැන ඇසළ මස (ජූලි) පුන් පොහෝදා බුදුරජාණන් වහන්සේ තමන්ට උපස්ථාන කළ පස්වග මහණුන් හට සිය පළමු දහම් දේසනය පැවැත් වූහ. උන්වහන්සේගේ ඒ ප්‍රථම ධර්ම දේශනාව ‘ධම්ම චක්ක’ යන නමිනි. අටුවා මතය අනුව මෙහි ධර්මාර්ය නම් ඥානය හෝ ප්‍රඥාව වන අතර චක්‍ර යන්නෙන් සමාරම්භය සංස්ථාපනය, යන අර්ථ ලැබෙන බවයි.

එසේ වූ විට ධම්ම චක්කප්ප වත්තන යන්නෙන් ප්‍රඥාව උදා කරන විවරණය වැනි අරුතක් ලබාගත හැකි ය. ධම්ම යන්නෙන් සත්‍යය යන අරුත ද චක්ක යන්නට රෝදය යන අරුත ද ගතහොත් ධම්මචක්කප්පත්තන’ යන්නෙන් සත්‍යය නම් රෝදය යන අදහස සිහි ගැන්විය හැකි යි. බුදුරජාණන් වහන්සේ මෙම වැදගත් දේශනය මගින් තමන් විසින් සොයා ගනු ලැබූ තම නව දහමෙහි හර වූ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් අංග අටකින් යුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය විවරණය කළ සේක.

උන්වහන්සෙ දේශනය ආරම්භ කරන්නේ කාම සුඛල්ලිකානු යෝගය සහ අත්තකිලමථානුයෝගය යන අන්ත දෙකම ශාන්තියට විමුක්තියට සත්වයන්නොපමුණු වන හෙයින් අත්හැර දැමිය යුතු බව පස්වග මහණුනට පැහැදිලි කරමිනි. මුල් අන්තය අපේ ආධ්‍යාත්මික දියුණුව දුබල කරවන අතර දෙවැන්න බුද්ධිය හීන කරයි.

මෙසේ බුදුන් වහන්සේ මුලින්ම කර ඇත්තේ තම ශ්‍රාවකයන්ගේ සිත් සතන් තුළින්ම වැරැදි අදහස් ඉවත්කර පසුබිම නිරවුල් කිරීමකි. ඔවුන් සිත් මෘදුව සංවේදී බවට පත් වූ පසු මේ අන්ත දෙකට අදාළ වූ තම පෞදිගලික අත් දැකීම් හෙළිකළහ.

තමන් මේ අන්ත දෙකෙහිම සාවද්‍ය බව තේරුම්ගෙන මැදුම් පිළිවෙත ගත් බව ප්‍රකාශ කළහ. එම නව මග සොයා ගන්නා ලද්දේ උන්වහන්සේ විසින්මය. ඉහතින් සඳහන් කළ පරිදි ඒ නව මඟ හඳුන්වන ලද්දේ (මැදුම් පිළිවෙත) මජ්ඣිමා පටිපදා ලෙසිනි.

එකිනෙකට පරස්පර අන්තවාද දෙක මෙන් නොව මධ්‍යම ප්‍රතිපදාව ඇත්ත ඇති සැටියෙන්ම දකින්නට අවශ්‍ය ‘අභිඥාව‘ හා ප්‍රඥාව - ජනිත කරයි. තවද රාගය වර්ධනය කරන ප්‍රථම අන්තය මෙන් නොව මධ්‍යම ප්‍රතිපදාව රාගය නැති කරයි. එම නිසා ශාන්තිය උදාවේ.

ඒ සියල්ලටම වඩා සතර මග සතර ඵල ලබාදෙයි. චතුරාර්ය සත්‍යාවබෝධයද සිදු කරයි. අවසාන අරමුණ වූ නිර්වාණ ප්‍රතිලාභයටද හේතුවෙයි.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි 29 වන දා සඳුදා පූර්ව භාග 05.25 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්වභාග 4.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 29 වන දා සඳුදා ය.

මී ළඟ පෝය ජූලි 6 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]