UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශීලය සුරකින පුද්ගලයාගේ චරිතය පිරිසිදු ය. ඔහුගේ පැවැත්ම සැමගේ පැසසුමට ලක්වෙයි. ඔහු පිළිබඳ දොසක් කිව නොහැකි ය. සිල් රකින්නාට බියෙන් සැකෙන් තොරව සබයක් ඉදිරියට යා හැකි ය. කිසිවෙක් ඔහු කොන් නොකරයි. බොහෝ දෙනා පරලොව යන අවස්ථාවේදී හොඳ සිහි කල්පනාවෙන් තොරව දුක් විඳිනු දක්නට හැකි ය. බුද්ධ කාලයේ ඌරන් මරමින් ජීවත් වූ චුන්දසූකර නම් දඩයම්කරු මරණ වංචකයේදී ඌරකු මෙන් ඝෝෂා කරමින්, දුක් විඳි ආකාරය බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙයි.

බුදු දහම සම්පූර්ණයෙන්ම මානව කේන්ද්‍රීය දහමකි. බුද්ධියෙන් හා ගුණයෙන් අගතැන් පත් වූද මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ වූ ද , අති ශ්‍රේෂ්ඨ , අසමසම, මනුෂ්‍යයකු විසින්, මිනිසා මුල්කොට දේශනා කරන ලද්දකි. මානව සමාජයේ පරිපූර්ණ යථාර්ථය , නවෝදය, යහපත උදෙසා වූ මග පෙන්වීමකි. එහිදී එක් එක් පුද්ගලයා පෞද්ගලිකව, තම තමාගේ ගැලවුම්කරු වෙයි. ඒ ධම්මපදයේ ආත්ම වර්ගයේ දැක්වෙනුයේ මෙලෙසිනි.

අත්තාහි අත්තනො නාථො
කොහි නාථො පරොසියා
අත්තනාච සුදත්තේන
නාථං ලභති දුල්ලභං

“ තමාට පිහිට තමාම ය. වෙන කවරෙක් තමාට පිහිට වේ ද? තමා මනාව දැමුණු කල්හි දුර්ලභ වූ නිවන ද ලැබේ.” මෙසේ අවධාරණය කරන බුදු දහම, සමස්ත සමාජයම සුරක්ෂිත වීමට සමාජයේ හැමදෙනා විසින්ම එක් එක්කෙනා පෞද්ගලිකවත් , පිරිසක් වශයෙනුත් කළ යුතු හා නොකළ යුතු ක්‍රියා සමුදායක් පෙන්වා දෙයි. ඒ පංචසීල (පන්සිල්) ප්‍රතිපත්ති මාලාවයි. බුදු දහම ඉදිරිපත් කරන පංචසීල ප්‍රතිපත්තිය මෙසේ සංයුත වී ඇත.

1. පාණාතිපාතා වෙරමණී සික්ඛා

සත්වයනගේ ජීවිත විනාශ කර දැමීම හානි පැමිණවීම ආදියෙන් වැළකී සිටීමේ ශික්ෂාව හෙවත් සීලය

2. අදින්නාදානා වේරමණී සික්ඛා

අන්‍ය කෙනකු සතු, නොදුන් දෙයක් තමා සතු කර ගැනීමෙන් වැළකීමේ ශික්ෂාව හෙවත් සීලය

3. කාමේසු ම්ච්ඡාචාරා වේරමණී සික්ඛා

කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම පිළිබඳ වූ ශික්ෂාව හෙවත් සීලය

4. මුසාවාද වේරමණී සික්ඛා

අනුන් විපතෙහි හෙළා මහා විනාශයක් සිදුකරන බොරු බස් කීමෙන් වැළකීමේ ශික්ෂාව හෙවත් සීලය

5. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා

මත්පැන් මත්ද්‍රව්‍ය ආදිය ගැනීමෙන් වැළකීමේ ශික්ෂාව හෙවත් සීලය

මෙසේ වූ පංච සීලය සෑම ශිෂ්ට සම්පන්න,, ගිහියකු විසින්ම, ජීවිත කාලය පුරාම රැකිය යුතු, පිරිය යුතු සීලයයි. පාණාතිපාතා ආදී වශයෙන් කියැවෙන, පළමුවන සිල් පදයෙන් පර පණ නැසීමෙන් සම්පූර්ණයෙන්ම වැළකීම, සියලු සත්ව සමූහයා කෙරෙහි දයාවෙන්, හිතානුකම්පාවෙන් ක්‍රියා කිරීම් කියැවෙයි. තමා පමණක් නොව අන්‍යයන්ද ප්‍රාණඝාත කිරීමෙන් වළක්වාලමින් සියලු සත්ත්වයාගේ හිත සුව සලසාලීම සිදුවිය යුතුය. අනුන් සතු දේ තමන් සන්තක කර ගැනීමෙන් (සොරකම් කිරීමෙන්) වැළකීම් අදින්නාදානා වේරමණී සික්ඛා යන ශික්ෂාපදයෙන් අදහස් කැරෙයි. ඉන් නොනැවතී තමන් සතු දේ හැකි උපරිමයෙන් අවස්ථාවෝචිතව අන්‍යයන්ට පරිත්‍යාග කිරීම එහි චාරිත්ත අංශයයි. සමාජ ජීවිතයේදී අඹු සැමි ප්‍රධාන පවුල් ජීවිතය ප්‍රධාන තැනක් ගනී. ඒ සඳහා ගිහියන්ට සමාජ සම්මත ක්‍රම මගින් විවාහයක් විය හැකිය. ඒ හැර අන්‍ය ස්ත්‍රීන්, අන්‍ය පුරුෂයන් ඇසුරු කරමින් කාමයේ වරදවා හැසිරීම් සම්පූර්ණයෙන්ම වැරැදි ය. එය කාමේසුමිච්ඡාචාරා යන සිල් පදයෙන් දැක්වේ. එබැවින් පෞද්ගලිකව තමාගේත් පොදුවේ සමස්ත සමාජයේත් දියුණුව යහපත ශීලාචාරබව සැපත සාමය අපේක්ෂා කරන සෑම කෙනෙක්ම කාමමිථ්‍යාචාරයෙන් වැළකී, අන්‍යයන්ද ඉන් වළක්වා ගැනීම සඳහා ක්‍රියාකරයි. ඉන් ගෘහස්ථ ජීවිතවල පැවැත්මට යහපත් පරිසරයක් උදාවේ. සාමකාමී ආදර්ශවත් පවුල් බිහිවේ. කාමයේ වරදවා හැසිරීම පුද්ගලයාගේ පිරිහීමට තුඩු දෙන අන්දම පරාභව සූත්‍ර දේශනාවේ සේහි දාරෙහි අසන්තුට්ඨො වෙසියාසු පදිස්සති - දිස්සති පරදාරෙසු තං පරාභවතො මුඛං’ යනුවෙන් දැක්වේ. යහපත් සමාජයක පැවැත්ම සඳහා අතිශයින් ඉවහල් වන බොරුවෙන්, මුසාවෙන් වෙන්වීම පංචශීලයේ සිවුවැනි ශික්ෂාපදයයි. සත්‍යය ලොව ඇති උතුම්ම රසය බව බුදු දහමේ දැක්වේ. එම ශික්ෂාව ආරක්ෂා කරමින් බොරුවෙන්, මුසාවාදයෙන් වෙන්ව, සෘජුව ක්‍රියාකරන්නා තමන්ගේත්, පවුලේත්, සමස්ත සමාජයේත් යහපත වර්ධනය කරයි. මුසාවාද කීමට පුරුදු වූ කෙනකුට කළ නොහැකි පාපයක් හෝ අපරාධයක් නැත. මත්වතුර මත්කුඩු යනාදියෙන් වැළකීම අවසාන ශීල ශික්ෂාවයි. මත්වතුර මත් කුඩු ආදියට ඇබ්බැහි වූ පුද්ගලයා සිහි නුවණ විකල් කර ගෙන මහා ව්‍යසනයකට මුහුණපානු ඇත. ඔහු සමාජයීය වශයෙන් පිරිහෙයි. ශාරීරික වශයෙන් දුබලන විවිධ ලෙඩදුක් වලට ගොදුරු වෙයි. මානසික වශයෙන් පිරිහී චින්තන ශක්තියෙන් ඉතා දුබලව අවාසනාවන්ත තත්ත්වයක් උදාකර ගනියි. එබඳු අවාසනාවන්ත තත්ත්වයකට පත් වූ පුද්ගලයාගෙන් පවුලේ සාමාජිකයින්ටත් සමස්ත සමාජයටත් බොහෝ කරදර හිරිහැර සිදුවනු ඇත.

මෙම සෑම ශික්ෂාවකින්ම චරිත්‍ර (කළ යුතු හා චාරිත්‍ර (නොකළ යුතු) යන උභය සීලය ප්‍රකාශිත ය. සීලයේ නොයෙක් ප්‍රභේද ඇතත්, ඒ සියල්ල ගොනුකොට ගත් කල්හි එම සෑම සීලයක්ම චාරිත්‍ර සීලයෙහිත්, වාරිත්‍ර සීලයෙහිත් අන්තර්ගත වෙයි. යම් සීලයක් චාරිත්‍රයක් නොවේ නම් චාරිත්‍රයකි. සෑම ශික්ෂාවක්ම අංග සම්පූර්ණ වීමට මේ දෙ අංශයම පරිපූර්ණ විය යුතුය. චාරිත්‍ර සීලය රකින්නා මවුපිය, ගුරුවරු සහෝදරාදීන් අඹුදරුවන්, ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්, හිත මිතුරන්, මෙහෙකරුවන් ස්වාමීන්, ගිලනුන්, දූගී මගී යාචකාදීන් ස්වකීය ශාස්තෘවරුන් යනාදී සමස්ත මානව සමාජය කෙරෙහිව ඉටු කළ යුතුª යුතුකම් නොපිරිහෙළා ඉටු කළ යුතු ය. බුදු දහමේ සමාජය වශයෙන් සලකන්නේ මානව වර්ගයා පමණක්ම නොවේ. තමා අවට පරිසරය තුළ වාසය කරන සියලු සත්ත්ව වර්ගයද ඊට ඇතුළත් වන අන්දම කරණීය මෙත්ත සූත්‍ර දේශනාවෙන් පහදා දෙනු ලැබ ඇත. ඒ අනුව පංචශීලය සුරකින බෞද්ධයා මානව වර්ගයා කෙරෙහි මෙන්ම සමස්ත සත්ත්ව වර්ගයා කෙරෙහි ද එක සේ කරුණාව, දයාව, මෛත්‍රීය, ආදරය වඩන්නකු වෙයි.

පංච සීලය සුරකින්නා හොඳ බෞද්ධයෙකි. ඔහු කිසිවිටෙක පංචශීලය නොඩකයි. අනුන් ලවාද එම වැරැදි නොකරවයි. පස්පව් කිරීමට අනුබල නොදෙන අතරම පංචශීලයේ සුරැකීමේ අනුසස් පෙන්වා දෙයි. ඔහුගෙන් ඔහුටත් සමාජයටත් කිසිම අවැඩක් සිදු නොවෙයි. බියක් ගෙන නොදෙයි. එවැනි සමාජයක ජීවිත සුරක්ෂිත ය. එක් එක් මිනිසා සතු සමාජ අයිතීන් බලහත්කාරයෙන් හෝ වංචාවෙන් පැහැර ගැනීමක් සිදු නොවේ. අඹු සැමියන් වශයෙන් ගෘහස්ථ ජීවිතවල පැවැත්මට කිසි බාධාවක් එල්ල නොවන අතර, සාමකාමී ආදර්ශවත් පවුල් එයින් නිර්මාණය වෙයි. බොරුකීම, බොරු සාක්කි දීම වැනි අනර්ථකාරී දෙයින් අන්‍යයන් විපතට හෙළීමක් සිදු නොකෙරේ. මත්වතුර, මත්ද්‍රව්‍ය ආදිය පානය කොට මත්ව අන්‍යයන් සමග අවුල් වියවුල්, කල කෝලාහල ඇති කර නොගනියි. මෙයින් ගම්‍ය වන්නේ පංචශීලය සුරකින පුද්ගලයා සමාජයට අයිතිවාසිකම් පහක් රැක දෙන බවයි. එදා හෙළ රජ දස රන් රිදී මුතු මැණික් ආදියෙන් සැරසුණු රූමත් කාන්තාවකට රටේ එක් කොනක සිට අනෙක් කොනට හුදකලාව නිරුපද්‍රිතව ගමන් කළ හැකි වූයේ, මෙරට පංච ශීලය සුරකින සමාජයක් පැවැති බැවිනි.

පංච ශීලය සුරකින පුද්ගලයාගේ චරිතය පිරිසිදු ය. ඔහුගේ පැවැත්ම සැමගේ පැසසුමට ලක්වෙයි. ඔහු පිළිබඳ දොසක් කිව නොහැකි ය.

සිල් රකින්නාට බියෙන් සැකෙන් තොරව සබයක් ඉදිරියට යා හැකි ය. කිසිවෙක් ඔහු කොන් නොකරයි. බොහෝ දෙනා පරලොව යන අවස්ථාවේදී හොඳ සිහි කල්පනාවෙන් තොරව දුක් විඳිනු දක්නට හැකි ය. බුද්ධ කාලයේ ඌරන් මරමින් ජීවත් වූ චුන්දසූකර නම් දඩයම්කරු මරණ වංචකයේදී ඌරකු මෙන් ඝෝෂා කරමින්, දුක් විඳි ආකාරය බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙයි. පංචශීලය රකින්නාට එබඳු පීඩාකාරී මරණයකට මුහුණ පෑමට සිදුනොවනු ඇත. මෙසේ පංච ශීලය පිරීම හා සුරැකීම. ශිෂ්ඨ සම්පන්න සෑම මනුෂ්‍යයකුගේම පරම යුතුකමකි. එවිට සමස්ත මානව සමාජයම සමෘද්ධිමත් වනු ඇත.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි 29 වන දා සඳුදා පූර්ව භාග 05.25 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්වභාග 4.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 29 වන දා සඳුදා ය.

මී ළඟ පෝය ජූලි 6 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]