UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තථාගතයන් වහන්සේගේ අනුශාසනාවට අනුව සීල, සමාධි, ප්‍රඥා ත්‍රිශික්ෂාව තුළ තම ජීවිතය හසුරුවන පුද්ගලයාට සියලු සසර දුකින් මිදීමේ අවස්ථාව ලද හැකි ය. මේ නිසා ප්‍රාතිහාර්ය තුන අතරින් මේ අනුශාසනා ප්‍රාතිහාර්යය ඉතා උතුම් වන බවත්, වැදගත් වන බවත්, තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. අපි ද ඒ අනුශාසනයට අනුව කටයුතු කිරීමට උනන්දු වෙමු.

ප්‍රාතිහාර්ය යන වචනය ඇසුණු පමණින් අපගේ සිතට නැගෙන්නේ, අහසින් ගමන් කිරීම, ජලය මතුපිට ඇවිදීම, නොපෙනී සිටීම , තමා මෙන් කිහිප දෙනෙකු මවා පෙන්වීම ආදිය යි. ඒවා ද ප්‍රාතිහාර්යයට අයත් ය. නමුත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ප්‍රාතිහාර්යවලින් එක් කොටසක් පමණකි. අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ප්‍රාතිහාර්ය පිළිබඳ දැන ගැනීමට නම් දීඝ නිකායට අයත් “ කේවඩ්ඪ “ සූත්‍රය කියවා බැලිය යුතු ය.

භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික නම් අඹ වනයෙහි වැඩ සිටින කාලයේ “කේවඩ්ඪ “ නම් ගෘහපතියෙකු පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා ඉල්ලීමක් කළා. “භාග්‍යවතුන් වහන්ස මේ නාලන්දා නුවර ඉතාම සමෘද්ධිමත්. බොහෝ මිනිසුන් වාසය කරනවා. බොහෝ දෙනෙක් ඔබ වහන්සේ කෙරෙහි පැහැදීමෙන් සිටිනවා. ඒ නිසා ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට ජනයා ඉදිරියේ ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න කියලා අවසර දෙන්න. එතකොට තව තවත් මිනිසුන් ඔබ වහන්සේට පහදීවි “ කියලා. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් කේවඩ්ඪ , මම මගේ ශ්‍රාවකයන්ට ජනයා ඉදිරියේ ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න කියලා. අනුශාසනා කරන්නෙ නෑ. කේවඩ්ඪ ගෘහපතියා තුන් වතාවක්ම මේ ඉල්ලීම කළත් බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට වදාළා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රාතිහාර්ය පිළිබඳ මේ අසිරිමත් දේශනාව, කේවඩ්ඪ ගෘහපතියා ගේ ඒ ඉල්ලීම මුල්කොට ගෙන දේශනා කොට වදාළා.

පින්වත් කේවඩ්ඪ මා විසින් අවබෝධ කොට වදාළ ප්‍රාතිහාර්ය තුනක් තියෙනවා. එනම් ඍද්ධි ප්‍රාතිහාර්ය , ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය යන තුනයි. භාග්‍යවතුන් වහන්සේ මෙම ප්‍රාතිහාර්ය තුන පිළිබඳත්, ඒවායේ ඇති දුර්වලතා පිළිබඳවත් කේවඩ්ඪ ගෘහපතියාට විස්තර කොට වදාළා.

කේවඩ්ඪ , ඍද්ධි ප්‍රාතිහාර්ය යනු කුමක්ද?

එක් අයකු බොහෝ දෙනකුමෙන් පෙනී සිටීම , නැවත එක් අයකුමෙන් පෙනී සිටීම. පොළොව මතුපිට මෙන් ජලය මතුපිට ඇවිදීමේ හැකියාව. ජලයේ මෙන් පොළවෙහි කිමිදීමට හැකියාව . පර්වත ප්‍රාකාර හරහා නො ගැටී ගමන් කිරීමේ හැකියාව .අහසෙහි ගමන් කිරීමේ , සිටීමේ හැකියාව ආදී ;නායෙකුත් ඍද්ධි මෙයට අයත් වෙයි.

කේවඩ්ඪ තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන් යුක්ත එක්තරා පුද්ගලයකුට භික්ෂුවක් මේ සෘර්ධි ප්‍රාතිහාර්ය පාන ආකාරය දකින්නට ලැබෙනවා. ඒ පුද්ගලයා තුනුරුවන් කෙරෙහි නො පැහැදුණු වෙනත් පුද්ගලයකුට මේ ඍද්ධි පිළිබඳ ප්‍රකාශ කරනවා. එතකොට ඒ තුනුරුවන් කෙරෙහි පැහැදීමක් නැති පුද්ගලයා මෙහෙම කියන්න පුළුවන්. “ගාන්ධාරි “ කියලා එක්තරා විජ්ජාවක් තියෙනවා. එහෙම නම් ඔය භික්‍ෂුව ඍද්ධි ප්‍රාතිහාර්ය පානවා ඇත්තේ ඒ ගාන්ධාරි කියන විජ්ජාව ඉගෙනගෙන වෙන්න ඇති කියලා. ඒ නිසා කේවඩ්ඪ මම ඍද්ධි ප්‍රාතිහාර්ය ඉතා ලාමක වූ, පිළිකුල් දෙයක් විදියටයි සලකන්නේ.

ආදේශනා ප්‍රාතිහාර්ය කුමක්ද?

භික්ෂුවකට අන් අයගේ සිත දැන ගැනීමේ හැකියාව තියෙනවා. උන් වහන්සේ තමන් වෙත පැමිණි පුද්ගලයන්ගේද අන් අයගේද සිතේ ස්වභාවය දකියි. සතුටින් සිටින බව, දුකින් සිටින බව, මේ මේ ආකාරයේ අදහස් සිත තුළ ඇති බව දැකීමේ හැකියාවෙන් යුක්ත වනවා. මේ බව දැන ගත් තෙරුවන් කෙරෙහි පැහැදුණු එක්තරා පුද්ගලයෙක් මේ භික්ෂුවගේ හැකියාව පිළිබඳ තෙරුවන් කෙරෙහි පැහැදීමක් නැති වෙනත් පුද්ගලයකුට කියනවා. එතකොට ඒ තෙරුවන් කෙරෙහි පැහැදීමක් නැති පුද්ගලයා මෙහෙම කියන්න පුළුවන්. “මණිකා “ කියල එක්තරා විජ්ජාවක් තියෙනවා. ඒ විජ්ජාව ඉගෙන ගත් කෙනකුටත් ඔය විදියට අන් අයගේ සිත ගැන කියන්න පුළුවන්. ඒ නිසා ඔය භික්ෂුවත් අන් අයගේ සිත ගැන කියන්නේ ඔය “මණිකා “ කියන විජ්ජාව ඉගෙන ගෙන වන්න ඇති කියලා. ඒ නිසා කේවඩ්ඪ මම ආදේශනා ප්‍රාතිහාර්ය ඉතා ලාමක පිළිකුල් දෙයක් විදියටයි සලකන්නේ. අනුශාසනා ප්‍රාතිහාර්ය කුමක් ද? මේ ශාසනයේ භික්ෂුවක් මේ විදියට අන් අයට අනුශාසනා කරනවා. එනම්, මේ විදියට කල්පනා කරන්න. මේ විදියට කල්පනා කරන්න එපා. මේ විදියට නුවණින් විමසන්න. මේ විදියට නුවණින් සිතන්න එපා. මේ දේවල් කරන්න. මේ දේවල් කරන්න එපා බැහැර කරන්න. මේ ආකාරයට කළ යුතු නොකළ යුතු දේවල්, සිතිය යුතු නොසිතිය යුතු දේවල් පැහැදිලි කර දීම, අනුශාසනා ප්‍රාතිහාර්යයි. තවත් පුද්ගලයකුට අනුශාසනා කිරීමට ඉතා සුදුසු ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනය පිළිගත් එයට අනුව කටයුතු කළ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ සැනසීම උදාකර ගත්හ. එය ඒ අනුශාසනාවේ ඇති ප්‍රාතිහාර්යය යි. සුනීත, සෝපාක වැනි කුඩා දරුවන් ද, අංගුලිමාල වැනි දරුණු මිනිසුන්ද, පටාචාරා , කිසාගෝතමී වැනි අහිංසක මවුවරුන්ද සැනසීම ලැබුවේ ඒ අනුශාසනා ප්‍රාතිහාර්යයේ මහිමයෙනි.තථාගතයන් වහන්සේ ඉදිරියට පැමිණි පුද්ගලයාට සීලයෙන් අනුශාසනා කළ සේක. සමාධියෙන් අනුශාසනා කළ සේක. ප්‍රඥාවෙන් අනුශාසනා, කළ සේක. ඒ පුද්ගලයා ද අනුපිළිවෙළින් සීල , සමාධි, ප්‍රඥා දියුණු කොට ලෝකෝත්තර තත්ත්වයට තම සිත දියුණු කරගන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්යයේ පිහිටෙනි.

භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්යයට අනුව අනුපිළිවෙළින් කෙනෙක් නිවන් අවබෝධය කරා නික්මවන ආකාරය ද මෙම කේවඩ්ඪ සූත්‍රයෙන් පැහැදිලි වෙයි. පළමුවෙන් ඒ පුද්ගලයා තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සඳහා ගනිමින් ශ්‍රද්ධාවට පැමිණෙයි. ඊළඟට ඔහු සතුන් මැරීම, සොරකම් කිරීම, වැරැදි කාම සේවනය ආදි කාය දුශ්චරිත දුරු කරමින් කය සංවර කරයි.අනතුරුව බොරුකීම ආදී චතුර්විධ වාග් දුශ්චරිත දුරු කරමින් වචී සුචරිතය පුරුදු කරයි. ඊළඟට ඔහු ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයකුට සුදුසු නොවන මිථ්‍යා ආජීවයෙන් වැළකී යහපත් වූ දිවි පැවැත්මක් ඇතිව විසීමට උත්සාහ කරයි. මෙලෙස කය, වචනය, සංවර කොට, සම්මා ආජීවයෙන් ද යුක්ත වූ ඔහු, දැන් ඇස, කණ, නාසය, දිව , කය , මනස යන ඉන්ද්‍රිය සංවර කරමින් අකුසල ධර්ම බැහැර කිරීම පුරුදු කරයි.

ඉන්ද්‍රිය සංවර කර ගත් පසු ඔහුගේ සිහිය බලවත් වෙයි. ඒ නිසා ඔහු සෑම කටයුත්තක් ම සිහියෙන් යුතුව කරන්නට පෙළඹෙයි. සිහියට දියුණු වීමත් සමගම සිත එක්තැන් කිරීම පහසුවෙයි. එවිට ඔහු විවේක ස්ථාන ඇසුරු කරමින්, පංච නීවරණ ප්‍රහාණය කරමින් සිත එක්තැන් කරයි. දැන් ඔහු සමාධි ශික්ෂණය තුළ සිත එක්තැන් කරමින් ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන සමාධි පුරුදු කරයි. හතරවන ධ්‍යාන සමාධිය දක්වා සිත දියුණු කර ගත් පසු ඤාණ දර්ශනය පිළිබඳ සිත යොමු කරයි.

දැන් ඔහු ප්‍රඥා ශික්ෂණය තුළ , මනෝමය ඉර්ධි ඤාණය , ඉර්ධි විධ ඤාණය , දිබ්බ චක්ඛු , දිබ්බ සෝත ඤාණ , පරචිත්ත විජානන ඤාණය , පෙර විසූ ජීවිත දකින පුබ්බේනිවාසානුස්සති ඤාණය , සත්වයන්ගේ චුතිය හා උපත දැන ගන්නා චුතූපපාත ඤාණය ආදී ඤාණ දියුණු කර ගනියි. අවසානයේ දී සියලු ආසුව ක්‍ෂය කොට (ආසවක්ඛය ඤාණය ලබා ගනිමින් ) සියලු දුක් අවසන් කරයි.

මේ ආකාරයට තථාගතයන් වහන්සේගේ අනුශාසනාවට අනුව සීල, සමාධි, ප්‍රඥා ත්‍රිශික්ෂාව තුළ තම ජීවිතය හසුරුවන පුද්ගලයාට සියලු සසර දුකින් මිදීමේ අවස්ථාව ලද හැකිය. මේ නිසා ප්‍රාතිහාර්ය තුන අතරින් මේ අනුශාසනා ප්‍රාතිහාර්යය ම ඉතා උතුම් වන බවත්, වැදගත් වන බවත්, තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. අපි ද ඒ අනුශාසනයට අනුව කටයුතු කිරීමට උනන්දු වෙමු.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි 29 වන දා සඳුදා පූර්ව භාග 05.25 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්වභාග 4.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 29 වන දා සඳුදා ය.

මී ළඟ පෝය ජූලි 6 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]