UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය හරිහැටි තේරුම් නොගත් පිරිස් නොකළයුතු යැයි සම්මත කළ පස් පව් වල ගැළී සිට ජීවිත අඳුරු කර ගනිති. තව තවත් පාප කර්ම වල යෙදෙති. එදා සැවැත්නුවර සිටි මැණික්කරුගේ චරිතය කිසිවක් සොයා නොබලා කටයුතු කරන පිරිසට කදිම පාඩමකි. බාල පරපුර බාල අවදියේ දීම ගුණධර්ම වලින් ඈත් කරවන අවිචාරවත් වැඩසටහන් වලින් ඔවුන් බේරා ගැනීමට හැම විටම වැඩිහිටියන් ක්‍රියා කළ යුතුය.

 

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

ගබ්භමේකේ උප්පජ්ජන්ති
නිරයං පාප කම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්ති
පරිනිබ්බන්ති අනාසවා

සුපින්වතුනි ,

කුසල් කරන්නෝ අකුසලයෙන් මිදී තමන්ටත් අනුන්ටත් මුළු ලෝකයාටත් සෙතක් ඇතිකරන යහපත් කටයුතුවල නිරත වෙමින් යහපතක්ම උදාකර ගනී. පරලොව ජීවිතය සරුකර ගනී. අකුසල කර්මයන්හි නිරත සමහර උදවිය දෙලොවම පිරිහීමට පත්වෙති. මෙලොව රාජ දඬුවමක් විඳ ලෝකයාගේ ඇනුම් බැනුම් වලට ලක්වෙමින් වේදනාවෙන් කල්ගෙවා අවසානයේ අපාගත වේ. මේ එවැනි පුද්ගලයෙකු පිළිබඳව දේශනා කළ ගාථාවකි.

එහි අර්ථය සමහර සත්වයෝ මව්කුස උපදිත් (කළ) පව්කම් ඇත්තෝ නරකයෙහි උපදිති. සුන්දර ගති ඇත්තෝ සුගතියට යන්නාහ. (කාමාදි) ආශ්‍රව නැති රහත්හු පිරිනිවන් පාන්නාහ. මැරීයන සත්වයන් අතුරින් සමහර සත්ව කෙනෙක් යළි මව්කුස උපදින්නේය. පව්කල තැනැත්තේ නිරයෙහි උපදී. නරක තිරිසක් පේ‍්‍රත අසුර යන සිව් අපායෙහි උපදියි.

ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි සැවැත්නුවර මැණික්කරුවෙක් වාසය කළේය. භික්‍ෂූන් වහන්සේ නමක් ඔහුට කුලුපගව සිටියහ. දොලොස් වසරක් ඔහුගෙන් දන් ලබා ගත්හ. එම අඹුසැමි යුවල මහත් ස්නේහයෙන් එම භික්‍ෂූන් වහන්සේට මව්පිය තනතුරෙහි සිට උවටැන් කළහ. දිනක් මැණික්කරු තෙමේ තෙරුන් ඉදිරියෙහි මස් කපමින් සිටියේය. එවේලෙහි කොසොල් රජතුමා හණ ගා පිරිසුදුකොට විද එවැන්නැයි වටිනා මැණික් ගලක් ඔහු වෙත එවීය. මැණික්කරු ලේ සහිත අතින්ම එය පිළිගෙන එතන තිබූ පෙට්ටියක් මත තබා අත සෝදා ගැනීමට ගෙට ඇතුල් විය. එකෙනෙහිම ඒ ගෙදරම සුරතලයට ඇති කළ පක්ෂියකු ලේ ගඳ දැනීමෙන් මස් කැබැල්ලකැයි සිතා පියඹා අවුත් තෙරුන් බලා සිටියදීම මැණික ගිලගත්තේය.

මැණික්කරු මැණික නොමැති නිසා බිරිඳ ගෙන්නා දරුවන්ගෙන් ඒ ගැන විමසීය. ඔවුන් කිසිවකු මැණික නොගත් බව අසා තෙරුන් කෙරෙහි සැක කළේය. ඔහු තෙරුන්ගෙන්ද විමසීය. ඔබ මෙතන තිබූ මැණික ගත්තේහිද? උපාසකයෙනි! මම නොගතිමි. දැන් මෙතෙනට ආ කෙනෙක් නැත. ඔබම එය ගන්නට ඇත. මැණික වහාම දෙන්නැයි කෝපයෙන් කීය. තෙරුන් වහන්සේ නිහඬ විය.

මැණික රජතුමා සතු වස්තුවකි. වටිනාකමින්ද ඉතා අගනේය. ඒ නිසා මැණික් කරුට ඉවසුම් නැතිවිය. සොරා මෙතෙක් කල් අපෙන්ම උවටැන් ලැබූ මේ තෙර යැයි සලකා වදකොට මැණික ගැනීමට සිතුවේය. මැණික්කරුගේ සැකය වැඩිවිය. කෝපය දරුණු විය. අනේ එසේ නොකරන්නැයි බිරිඳ වැලපී කියද්දිත් ලණුවක් ගෙන තෙරුන්ගේ හිසවෙලා දඬුවක බැඳ හිස මිරිකීය. කන් නාසා වලින් ලේ වැගිරුණේය. පක්‍ෂියා වහා අවුත් ඒ ලේ බීමට පටන් ගත්තේය. බලවත් කෝපයෙන් ඉතා නොසන්සුන්ව සිටි මැණික් කරු වේගයෙන් පා පහරක් පක්ෂියාට ගැසීය. එම පක්ෂියා එතනම මැරී වැටුණේය.

තෙරහු එම පක්ෂියා මළබව දැක බලගතු වේදනා සහිතවම ලේ තැවරී තිබූ මැණික මේ ගිරවා ගිල දැම්මේ යැයි කීහ. මැණික්කරු පක්ෂියාගේ බඩපලා මැණික රැගෙන පත්වුයේ මහත් ශෝකයකටය. ඔහු, හඬමින් වැලපෙමින් වෙව්ල වෙව්ලා වහ වහා බැමි ලිහා දමා, නොයෙක් ලෙසින් තෙරුන්ට පිලියම් කළේය. දෙපාමුල වැඳවැටී වැලපී හිමිතුමණි, දොළොස් මසක් උවටැන් කළ මම ඔබ වහන්සේගේ ගුණ මදකුදු නොදන්නෙමි. මා නොදැන කළ වරද ඉතා බලවත්ය. සමාවුව මැනවියි කියා සමාව අයැද සිටියත් තෙරුන්වහන්සේ එයින් හටගත් වේදනාවෙන් නොබෝ කලකින් පිරිනිවන් පෑ සේක.

දිනක් භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙතින් ඒ හැම දෙනා උපන්තැන් විමසූහ. පක්ෂියා මැණික් කරුගේ බිරිඳ කුස පිලිසිඳ ගත් බවද, තෙරුන්ට වරද පැමිණ වූ මැණික්කරු නිරයේ උපන් බවද බිරිඳ ඒ තෙරුන්ට දොළොස් අවුරුද්දක් කළ උවටැනේ අනුහසින් දෙව්ලෝ උපන් බවද තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ බවද පවසා ඒ නිමිතිකොට ඇතැම් කෙනෙක් මිය ගොස් මව්කුස උපදිති. පව් කළ අය නිරයේ උපදිති. පින්කළ අය දෙව්ලොව උපදිති. රහත් හු පිරිනිවතෙයි වදාළ සේක.

මෙම ගාථා ධර්මයෙන් ආදර්ශවත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය කරුණු රැසක් ඇතිබව පැහැදිලි වේ. සමහර පිරිස් ආගම ධර්මය නොසලකා හරිමින් දහමට නැඹුරු නොවී කල්ගත කරති. ගුණධර්ම හා සාරධර්ම වලින් ඈත්ව දහමට පිටුපා ක්‍රියා කරති. බාල පරපුර බාල අවදියේ දීම ගුණධර්ම වලින් ඈත් කරවන අවිචාරවත් වැඩසටහන් වලින් ඔවුන් බේරා ගැනීමට හැම විටම වැඩිහිටියන් ක්‍රියා කළ යුතුය. හොඳ , නරක තේරුම් කරගෙන යහපත් ක්‍රියා කෙරෙහි යොමු වී පාපකර්මයන්ගෙන් ඈත්ව ජීවිත සකස්කර ගැනීමෙන් අප බලාපොරොත්තු වන සුගතිය මෙලොව මෙන් පරලොව වශයෙන් සකස් කර ගැනීමට මහෝපකාරී වනවා ඇත. නිතරම තම දරුවන්ට අවවාද කරන දෙමව්පියන්ගේ බස් නොපිලිගන්නා ඇතැම් දරුවෝ සමහර අවස්ථාවලදී දෙමව්පියන්ට නිතර හිංසා පමුණුවති. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය හරිහැටි තේරුම් නොගත් පිරිස් නොකළයුතු යැයි සම්මත කළ පස් පව් වල ගැළී සිට ජීවිත අඳුරු කර ගනිති. තව තවත් පාප කර්ම වල යෙදෙති. එදා සැවැත්නුවර සිටි මැණික්කරුගේ චරිතය කිසිවක් සොයා නොබලා කටයුතු කරන පිරිසට කදිම පාඩමකි. බුදු දහමේ අන්තර්ගත කරුණු හරිහැටි අවබෝධ කරගෙන ධර්මයට අනුව ජීවිත හැඩගස්වා ගැනීමෙන් එලොව මෙලොව සුගතිය ලඟාකර ගැනීමට ඒකායන මාර්ගය සැලසෙන බව සියලු පින්වතුන් තේරුම් කරගෙන ධාර්මික ජීවිතයක් ගත කිරිමට අධිෂ්ඨාන කරගන්නා මෙන් මතක් කරමු. සියලු සත්වයෝ නිදුක්වෙත්වා, නීරෝගිවෙත්වා, සුවපත් වෙත්වා .

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]