UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කුලගොත් නො තකා, උස් මිටි කම් නො බලා , දෙස, රැස නො විමසා, මිතුරන් සතුරන් එකසේ අදහා දහම් අමා පැන් පෙවූ මහා කාරුණිකයන් වහන්ස, ඔබ වහන්සේගේ සිසිල් වූ කරුණා නදිය රිදීමය සඳරැස් දහරට එක්වී සමාජ පළිඟුව මත ගලා ගිය අයුරු මම දනිමි.

මහාචාර්ය කළල්ඇල්ලේ ශේඛර හිමියන් විසින් මේ ලිපිය අප වෙත එවන ලද්දේ ගිය වසරේ වෙසක් පුර පසළොස්වක බුදුසරණ පත්‍රයේ පළ කිරීම පිණිසය. එහෙත් මේ ලිපිය අපවෙත ලැබෙන මොහොත වන විට වෙසක් පත්‍රයේ කටයුතු අවසන් කැර තිබිණි. අලුතින් ලිපියක් ලිවීමට නොහැකි තරමට ගිලන්ව සිටි නිසා අප වෙත එවූ මේ ලිපිය 1960 දී ලියා පළ කළ එකක් බව ද ශේඛර හිමියෝ පැවසූහ. මේ ලිපිය අප වෙත එවා ටික දිනකට පසු, එනම් 2008.06.09 වන දින අපවත් වූ උන්වහන්සේට උපහාර පිණිස මෙය මෙසේ පළ කැරේ.

සමතිස් පෙරුම්දම් පුරා, දස බිම්බරක් මරසෙන් පරදවා, තුන් ලොව ම සදහම් සුවඳින් නහවා ගයා සිරසේ බෝ මැඩ විදුරසුන් අරා හිඳ බුදු බව ලැබූ අමා මෑණියන් වහන්ස, ඔබ වහන්සේගේ මෙත් කුළුණු සිසිල් දිය දහරින් මුළු සක්වළම නැහැවී ගිය බව මම දනිමි.

පටිච්චසමුප්පාදයත් පඤ්චස්කන්ධයත් අනාත්මවාදයේ උප සිද්ධාන්තයන් බව මැනැවින් වදාළ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ ඒ පටිසොතගාමී ධර්මය පරීණත නුවණින් හා විකසිත හැඟුමින් හා අනූන වූ වියත් විශාරදයන්ටම විෂය වූවක් බව මම දනිමි.

විරාගය, නිරෝධය , සියලු සංස්කාරයන්ගේ මිදීම නම් වූ අනුත්තර විමුක්තිය ලැබීම සඳහා, ලෞකික ලෙසින් ගැනෙන අර්ථ සම්පත්තියත් ප්‍රථමාදී ධ්‍යාන හා රහත් බව තෙක් ඇති මර්ග ඵල සන්තතිය නම් වූ සවුත්තරා විමුක්තිය උපයෝගී වන බව වදාළ දීපදෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේගේ ඒ උත්තරීතර ධර්ම මාර්ගය සදොස් යැයි වැරැදි යැයි කීමට තරම් නුවණ මේරූ කිසිවකු මේ මිහිපිට නැති බව මම දනිමි. දෙසැට මිසදිටු නමැති මෝහාන්ධකාරයෙන් වැසීගිය දඹදිව ප්‍රඥාවේ ආලෝකයෙන් විද්‍යාවේ ආභාසයෙන් ඒකාලෝක කළ සකලඥෙය මණ්ඩලය තත්ත්වාකාරයෙන් දැන වදාළ සර්වඥයන් වහන්ස, ඔබ වහන්සේ දේශනාකර වදාළ අර්ථ ජාලය ධර්ම ජාලය , දෘෂ්ටි ජාලය හා නිරුත්තර සංග්‍රාම විජය නම් වූ මිහිකත සෙල වූ බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවේ දෝංකාරය අදත් භාරත ගුවනේ ගිගුම් දෙමින් පවතින බව මම දනිමි.

හේතුඵල ධර්මාවබෝධය සඳහා යෝනිසෝමනසිකාරය උපයෝගී වන බව වදාළ මුනීන්ද්‍රයන් වහන්ස , ඔබ වහන්සේගේ ඒ නෛර්යාණික ධර්මය ජීවිතයට කාවැද්දීමෙහි ලා අද පෙර’ පර දෙදිගම නො එක් අයුරින් , මහත් ආයාසයක් ගන්නා බව මම දනිමි.

ස්වතන්ත්‍ර ඉච්ඡාව නම් වූ ඊශ්වර , වරදණ්ඩ හා ආත්ම යන වාදයන් මුල්කොට ඇති මායාවේ බොරුවක් විනා ස්වෛරීත්වයක් නැතැයි වදාළ තෛ‍්‍රලොක්‍යනාථයන් වහන්ස, ඔබ වහන්සේගේ ස්වාක්ඛාත වූ, අකාලික වූ, එහිපස්සික වූ ධර්මය “ දහම් දිවයින “ නො හඳුනන බව දනිමි. ශුභ වාදය හෝ අශුභ වාදය හෝ ස්වකීය දේශනයේ ප්‍රතිපදාවේ මුඛ්‍ය මාර්ගය ලෙස ගත් මිසදිටුවන් කෙඳා් කිමියන් බවට පත් කෙරෙමින් යථාර්ථ වාදය ම සත්‍ය ගවේෂී බව ඒත්තු ගැන්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්ස, ඔබ වහන්සේගේ දර්ශනයෙන් උරුවෙල් නදී ගයා කාශ්‍යපයන් වැනියවුන් ලොව්තුරු මිහිරියාවේ මිහිරෙන් නැණැස පෑදී පරණ හණ මිටි බිම තබා සිවුසස් දැන නිවන් පසක් කැරැගත් අයුරු මම දනිමි.

නිර්මාණ වාදය බැහැර කරමින් හේතු ඵල න්‍යාය විනා අන් කිසිදු ධර්මයක් සත්වයාගේ සංසාරයේ පැවැත්මට ඉවහල් නොවන බව වදාළ වීතරාගීන් වහන්ස, ගුරු මුෂ්ටිය නමැති ඇට්ටර බමුණු දහම පිටු දකිමින්, ස්වයම්භූ ඥානයෙන් දැන වදාළ හැම ධර්මයක් ම උගැන්වීමට වෑයම් කළ බව මම දනිමි. කුලගොත් නො තකා, උස් මිටි කම් නො බලා , දෙස, රැස නො විමසා, මිතුරන් සතුරන් එකසේ අදහා දහම් අමා පැන් පෙවූ මහා කාරුණිකයන් වහන්ස, ඔබ වහන්සේගේ සිසිල් වූ කරුණා නදිය රිදීමය සඳරැස් දහරට එක්වී සමාජ පළිඟුව මත ගලා ගිය අයුරු මම දනිමි.

නන් අයුරින් කයට වද දිදී, මොක්ෂය විමුක්තිය සොයමින් මං මුළාවී ගිය සත්ව සංහතියට ශාන්තියේ නිවීමේ සැනසිලි සුවය ලබාදුන් ශාන්ති නායකයාණන් වහන්ස ඔබ වහන්සේගේ පා පහසින් පිරිසිදු වූ කැලණිය, සමනළ , මියුඟුණු වෙහෙර වැනි පින් කෙත් තිබෙන තුරු සෙංකඩගල දළදා හිමි වැඩ සිටින තුරු මගේ ලක් මෑණියනට කවර අයුරෙකින් හෝ කවරකුට හෝ කිසිදු අවහිරයක් අතවරයක් නො කළ හැකි බව මම දනිමි. මනෝසංචේතනාහාරය නම් වූ නැවත නැවත හටගැන්ම පිළිබඳ ආශාව දුරුකරන තුරු මිනිස් සිත නිදහස් සෙවණ වෙත ළඟා නොවන බව වදාළ ශාස්තෘන් වහන්ස,, ඔබ වහන්සේගේ උත්තරීතර ධර්මය පහළ වූ භාරත භූ®මියෙන් එය නැතිවී ගිය හැටිත්, ඒ ශෝකී ඉරණම ම “දහම් දිවයිනට “ ද ලබා ගෙන එන බවත් මම දනිමි.

පස්කම් සැපයට නැමුණු කාම තණ්හාවත්, පුනරුත්පත්තිය පිළිබඳ භව තණ්හාව නම් වූ ශාස්වත දෘෂ්ටියත්, පරලොවක් නැතැයි කී උච්ඡේද වාදයත් දුක්ඛ සමුදය සත්‍යයට හේතු වන අයුරු වදාළ භාග්‍යවතුන් වහන්ස, එදා බරණැස ඉසිපතන මිගදායේදී කළ ඒ අභීත සිංහ නාදයෙන් වෙව්ලා ගිය බමුණු හදවත් තාමත් සැලෙන බව මම දනිමි.

ඇසිල්ලක් පාසා අලුත් වන සිත් හා නාම ධර්ම ඇති සත්වයා , සත්‍යය යථාර්ථය වටහා ගන්නා තුරු දහසකුත් එකක් කරදර මැද්දේ සංසාර සාගරයේ එහා මෙහා යන එන බව වදාළ ශාක්‍යසිංහයන් වහන්ස, ඔබ වහන්සේගේ හේතු ඵල ධර්මය, සමානාත්මතාව හා සහනශීලිත්වය නිසා වියරු වැටුණු බමුණු මාල්ලන් ඔබ වහන්සේට හදි කළ බව මම දනිමි.

එහෙත් , තථා ආගත වූ තථාගත වූ, තථා දර්ශී වූ, තථා වාදී වූ, තථාකාරී වූ තථාගතයන් වහන්ස, ගුණවගාවෙන් අන්තයට ම පිරිහී ගිය, සත්‍යය, යුක්ති ධර්මය හා අවංක බව කියමින් එයට ම පිටුපාන , ආගම දේශය, භාෂාව, ජාතිය , සංස්කෘතිය හා සදාචාරය රකිනවායයි මොර දෙමින් ඒවා කාබාසිනියා කරන , ත්‍යාගශීලි බව, සමාජ සංශෝධනය , පරෝපකාරය හා අන්‍යොන්‍ය සුහදතාවය ගැන දෙසමින් එයම කා දමන, අගතිය, අසාධාරණය, හා අසංවරය අමනොඥ යැයි පවසමින් එහිම එල්බගෙන සිටින මෛත්‍රියේ හා නිහතමානිත්වයේ අනුසස් පෙන්වමින් ඊර්ෂ්‍යාවෙන් ගුණමකු බවයෙන් හා අහංකාරයෙන් පුපුරන , දියුණු යයි කියන මේ ජලකර පරමාණු යුගයේ මිනිසා නමැති පුදුම සතා මෙතරම් ආත්මවංචනිකයකු වූයේ කවර හේතුවක් නිසාදැයි මම නො දනිමි.

 

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]