UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රද්ධාව පිළිබඳ බුදුදහමේ විග්‍රහය

බෞද්ධ විමුක්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් බුදුදහමේ ඉගැන්වෙන පරිද්දට විමුක්තිය උදාකරගත හැකි ය. එහෙත් ආර්ය මාර්ගයේ කිසිදු තැනක ශ්‍රද්ධාව ඇගයීමට ලක් වී නොමැත. එයින් ගම්‍යවන්නේ නිර්වාණාවබෝධය සඳහා ශ්‍රද්ධාව අවශ්‍ය නොවන බව දැයි විමසා බැලිය යුතු ය.

සද්ධා පදය ප්‍රසාදය, පැහැදීම, කරුණු තේරුම් ගෙන ඇතිකරගන්නා අවබෝධය ලෙස අර්ථ දැක්විය හැකි ය. බෞද්ධ ශබ්දකෝෂ නිර්මාතෘ සිරි ලියනගේ මහත්මා සද්ධාව පිළිබඳව අර්ථ දක්වන්නේ “ශ්‍රද්ධාව, භක්තිය, පැහැදීම, සිතෙහි ඇති කරගන්නා දැඩි පැහැදීම ධර්මය කෙරෙහි බුදුන් කෙරෙහි ඇතිකරගන්නා දැඩි භක්තිය ආදී වශයෙනි.

R.C. CHILDERS  විසින් සම්පාදිත පාලි ඉංගී‍්‍රසි ශබ්දකෝෂයේ ශ්‍රද්ධාපදය විවරණය කරන්නේ මෙසේ ය. ජ්චඪබඩ (ෆෙඉත්) සම්පූර්ණ දැඩි විශ්වාසය, හිතෛෂී බව, ආගමික විශ්වාසය (මීට අමතරව පාලි සූත්‍රපාඨ යොදාගනිමින් මෙම ශ්‍රද්ධා පදය විස්තර කර ඇත.)

මහාචාර්ය කේ.එන්. ජයතිලකයන් ත්‍රිපිටකය තුළ ශ්‍රද්ධාව යෙදීඇති තැන් රාශියක් මෙසේ පෙළගස්වයි.

සද්ධා සීල සූත චාග පඤ්ඤා”
“සද්ධා විරිය සති සමාධි පඤ්ඤා”
“සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන”
“සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා”
“සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”

මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භවන බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රඥාවෙන් අවසන් වන බවයි.

පුද්ගල විමුක්තිය සඳහා ප්‍රධාන වශයෙන් බලපවත්වන සාධකයකි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් බුදු සමය දකින්නේ ඒ නිසා ය. සං.නි.ධ්ධ්ධ් “සම්බුද්ධ සූත්‍රයේ” බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශාස්තෘ ප්‍රසාදයට පැමිණීමේ අවශ්‍යතාව දක්වමින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ‘බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය’ උපදවති. නො හැඳින ඇති මාර්ගය හඳුන්වා දෙති. මාර්ග දනිති. මාර්ගය දකිති. අනෙකකු විසින් ප්‍රකාශ නොකළ මාර්ගය කියාදෙති. මාර්ගයෙහි නිපුණවෙති. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්ගය අනුව යන්නෝ වෙති. පසුව පැමිණියාහු වෙති.

මේ ශ්‍රද්ධාව නම් ප්‍රත්‍යක්‍ෂ ඥානයක් බවට පත්කරගත හැකි කරුණක් පිළිබඳව මූලිකව ඇති කරගන්නා පිළිගැනීම බව සැලකිය යුතු ය.

මජ්ඣිම නිකාය කීටාගිරි සූත්‍රයේ දී පුද්ගලයා තුළ ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇතිවීමට ශ්‍රද්ධාව මූලිකවන ආකාරය පැහැදිලිව දේශනාකොට ඇත. පළමුව බාහිර වශයෙන් පුද්ගලයා නිවැරැදි මාර්ගයට පැමිණීමට ශ්‍රද්ධාව මුල්වන ආකාරයත්, අනතුරුව ආධ්‍යාත්මික අතින් පුද්ගලයා වර්ධනය වෙමින් ප්‍රඥාවෙන් විමුක්තිය කරා ළඟා වන ආකාරයත් මින් මනාව ප්‍රකට වෙයි.

පුද්ගලයා තුළ අධ්‍යාත්මික වශයෙන් කිසියම් හෝ පරිවර්තනයක් ඇතිවීමට පෙර ඒ සඳහා හේතුකාරණා වන ධර්මයක් ඇසීමට පුද්ගලයා මෙහෙය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නොමැත්තේ නම් පුද්ගල ආධ්‍යාත්මගත පරිවර්තනයකට අවශ්‍ය දහම් දෙසන කෙනකු වෙත නො එළඹෙයි. මෙසේ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව ඇතිවීම විමුක්ති මාර්ගයේ ගමන් කිරීමට බලපාන මූලිකම කාරණාවයි.

උපනිස සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවට හේතුව දුක බව දේසනා කරති. ‘කාච භික්‍ඛවෙ සද්ධාය උපනිසා දුක්‍ඛංතිස්ස වචනීයං” මිනිසා තමා ලබන අද්දැකීම් විග්‍රහකර බැලීමෙන් පසු එහි ඇති ගැටලු විසඳා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග වලට පෙළඹෙයි. බෞද්ධ විග්‍රහය අනුව මිනිසාගේ වර්තමාන අද්දැකීම වූ කලී අසහනයයි. අතෘප්තියයි. අසන්තෘෂ්ටියයි.

මෙම තත්ත්වය දුක ලෙස හඳුන්වාදිය හැකි ය. දුක ඉවත් කර ගැනීමට සිතන මිනිසා එයට මඟ කියන්නෙකු ගැන සොයා බලයි. තමාට ගැළපෙන මඟ කියන්නා තම ගුරුවරයා ලෙස පිළිගනී. මෙම පිළිගැනීමට පදනම් වන්නේ ශ්‍රද්ධාව හෙවත් විශ්වාසයයි. මෙයින් ද පැහැදිලි වන්නේ බෞද්ධ විමුක්ති මාර්ගය ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාව කරා ළඟා වන බවයි.

ශ්‍රද්ධාව ආකාර දෙකක ප්‍රතිඵල ඇති ස්වභාවයක් බව මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේ දී දේශනා කොට ඇත.

ශ්‍රද්ධාව, රුචිය, අනුස්සමය, ආකාර පරවි තක්ඛය, දිට්ඨි නිජ්ජානක්ඛන්ති යන මේ පස දෙයාකාරයක ප්‍රතිඵල ස්වභාව ඇතැයි කියවේ. ඒ අනුව ශ්‍රද්ධාවද වැරැදි හෝ නිවැරැදි වීමේ ප්‍රවණතාවයෙන් යුක්ත බව නිගමනය කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තිබීම පරිහානියට නොව දියුණුවට හේතුවන කාරණාවක් බව ම.නි. අලගද්දූපම සූත්‍රයේ සඳහන් වෙයි. “යෙසං මයි සද්ධාමත්තං පෙම මත්තං සබ්බෙතෙ සග්ගපරායනා” පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබීම මෙන්ම දහම කෙරෙහි විශ්වාසය තැබීමද ශ්‍රද්ධාවේ ලක්‍ෂණ දෙකකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ ගත් මඟ ගමන් කරන්නා සද්ධානුසාරී ලෙස සූත්‍රවල සඳහන්ව ඇත. ඔහුගේ ශ්‍රද්ධාව බෙහෙවින්ම සරලය. “තථාගතෙ චස්ස සද්ධා චත්තං හොති පෙම්මත්තං” සද්ධා වීර්ය සති, සමාධි, පඤ්ඤ යන ඉන්ද්‍රියන් වැඩීමට ආරම්භ වීම ‘සද්ධානුස්සාරී පුද්ගලයාගේ ලක්‍ෂණයයි. දෙවෙනි ධම්මානුසාරී පුද්ගලයා ධර්මය පිළිබඳව වැටහීමක් ලබාගෙන ධර්මය පෙන්වන මගෙහි ගමන් කිරීමට උත්සාහ කරයි. මොහු තුළ ප්‍රඥා ඉන්ද්‍රිය මාත්‍ර වශයෙන් මුහුකුරා ගොස් තිබේ. “තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්ත සෝ නිජඣානං ඛමන්ති” මොවුන් දෙදෙනාම පෘතග්ජනයෝ නොවෙති. මොවුන්ගේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් ලෙස වර්ධනය වන්නට පටන්ගෙන නියත වශයෙන්ම නිවනට පැමිණෙන්නෝ වෙති.

බුදුසමයෙහි උගන්වන ශ්‍රද්ධාව අමූලිකා හා ආකාරවතී යනුවෙන් දෙයාකාර වෙයි. අමූලිකා ශ්‍රද්ධා යනු හුදු විශ්වාසයයි. ඇදහීමයි. භක්තියයි. එහි විචාරීමක් හෝ අවබෝධයක් හෝ කරුණු කාරණා සලකා බැලීමක් නැත. අමූලිකා සද්ධාව “භගවත් ගීතාවේ” එන “භක්තිය” යන්නට සමාන වෙයි. අමූලිකා ශ්‍රද්ධාව බුදුදහම ප්‍රතික්‍ෂේප කරනු ලබයි. ඒ එහි යථාර්ථාවබෝධයක් නොමැති නිසා ය. මෙයින් වැඩෙන්නේ කුසල පක්‍ෂය නොව අකුසල පක්‍ෂයයි.

ඥානය ලබාගැනීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස බුදුදහම සලකන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. එය අවබෝධයකින් යුතු විශ්වසනීය තත්ත්වයෙන් ද යුතු විචාරාත්මක ගුණයකි. බුදුදහම නිර්දේශ කරනු ලබන්නේ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවයි.

බුදුරදුන් කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනාකරන අන්දමට “සද්ධාබීජං” රෝපණයට සුදුසු පොළවේ රෝපණය කළවිට යටට මුල් බැස අංකුරයක් නැගී මුල්වලින් පඨවී රසය, ආපෝ රසය, උරාගෙන ඉහළට වැඩි ඵලදරන්නේ යම්සේද ශ්‍රද්ධාව නැමැති බීජය ද යම් සිතක රෝපණය කළ විට ශීල නැමැති මුල්බැස සමථ, විදර්ශනා නැමැති රස ආර්යමාර්ගය නැමැති නළයෙන් ගෙන ශීල, දිට්ඨා, චිත්ත, කතොවිකරණ, මග්ගා මග්ග, ඥානදස්සන, පටිපදාඥානදස්සන, විසුද්ධි වලින් මහත් බවට පැමිණ අර්හත් නැමැති මහඟු ඵලය නිපදවයි.” යනුවෙන් දක්වන අන්දමට පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තුළින් උතුම් විමුක්තිය ලබාගත හැකි බවයි.

මේ ආකාරයට ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නා දෙලොව සැපවිඳ අවසානයේ නිවන් අවබෝධ කර ගනී.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]