UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පොසොන් පෝදා පිංකම්

සෙත් පතා පිරිත් දෙසුමක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් , ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සියලු රණවිරුවන්ට ආශිර්වාද කිරීමේ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් පොසොන් පෝදා රාත්‍රි 8 ට මාබොදල ඉහලගම බුදුමග ශ්‍රී වීරරත්න විවේක සේනාසනාධිපති කරාපිටියේ සුමිත්ත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එම සේනාසනයේ අභිනව ශ්‍රී සර්වඥ ධාතු මන්දිරයේදී සිදුකෙරේ.


මාගම්මන

මාගම්මන පුරාණ විහාරස්ථ ශ්‍රී සෝමාලංකාර දහම් පාසල මඟින් පොසොන් පොහොය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වන බැති ගී සරණිය 10 වන වරටත් පොසොන් පෝදින රාත්‍රී 7.00 ට මාගම්මන පුරාණ විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ.


මිහින්තලේ පොසොන් දන්සැලක්

තලවත්තේගෙදර කළුගමුවේ මහින්ද තරුණ බෞද්ධ සමිතිය මඟින් මිහින්තලේ මැද මළුවේ පවත්වනු ලබන පොසොන් දන්සැල මේ වර්ෂයේ ද 39 වන වරටත් පැවැත්වේ.

පෙර පෝ දින රාත්‍රී ඉඟුරු කොත්තමල්ලි පැනින්ද, අළුයම තේ කෝපි වලින්ද පොසොන් පුර පසළොස්වක් දින දිවා කාලයේ සව් කැඳ වලින්ද, එදින රාත්‍රි ඉඟුරු කොත්තමල්ලි පැනින්ද අළුයම තේ කෝපි වලින්ද සංග්‍රහ කෙරේ. 08 වනදා මිහින්තලේ රජමහ විහාරස්ථානයේදී 40 නමකට අධික මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝ ගත දක්ෂිණාවක් පිරි නැමේ.


හෝමාගම පොසොන් පෙරහර 13 දා

හෝමාගම පුරාණ විහාරස්ථ ශ්‍රී මහින්ද්‍රෝත්සව සමිතිය 48 වන වරටත් පවත්වනු ලබන හෝමාගම පොසොන් පෙරහර ජුනි මස 13 වන දින සෙනසුරාදා රාත්‍රි වීථි සංචාරය කෙරේ.

සිනාධි සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක හෝමාගම පුරාණ විහාරාධිපති මාදෝවිට පඤ්ඤාකිත්ති නා හිමියන් ගේ අනුශාසකත්වයෙන් පෙරහර සංවිධානය කර ඇත.


ශ්‍රී පුර පොසොන් උදානය

ශ්‍රීපුර පොසොන් උදානය 2009 දින දහයක් පුරා පදවි ශ්‍රීපුර රාජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට ශ්‍රීපුර පොසොන් උදාන උත්සව කමිටුව කටයුතු යොදා ඇත.


“මෙත් සිසිලයි - සිල් සුවඳයි”

“ මෙත් සිසිලයි සිල් සුවඳයි” ශීල සමාදාන වැඩසටහන කහවත්තේ නීලගම හේන්යායේ බෝ සමිඳුන් අබියස දී පෝදා දිනය පුරා පැවැත්වේ. බොරාල ශ්‍රී පේමරතනාරාමාධිපති ගවරගිරියේ මහින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සමෘද්ධි සමිතිය සංවිධානය කරන එම වැඩ සටහන මෙහෙයවනු ලබන්නේ මහවැව මුදිත හිමියන් විසිනි.


ඇහැලියගොඩ දම් සරණී

ඇහැලියගොඩ ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නයේ උපදෙස් හා ආශිර්වාදය මත රාජ්‍ය ආයතන ස්වේච්ඡා සංවිධාන හා ඇහැලියගොඩ වෙළඳ සංගමය එක්ව පොසොන් පොහොය නිමිත්තෙන් දම් සරණී 2009 නමින් ජූනි 07, 08, 09 යන දිනවල ඇහැලියගොඩ නගරයේ පොසොන් කලාපයක් නිර්මාණය කැරේ.

ඇහැලියගොඩ නගරය කේන්ද්‍රකර ගනිමින් සංවිධානය කරන එම දහම් කලාපය තුළ සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය, මිහිඳු පෙරහර, බෞද්ධ නාට්‍ය දර්ශන, බොදු ගී සඳැල්ල (පැරණි බෞද්ධ ගීත) පහන් කූඩු තරග (පාසල් හා විවෘත) භක්ති ගීත තරගය හා ප්‍රදර්ශනය (දහම් පාසල් අතර) දම් සරණී දහම් ප්‍රචාරක සේවය, (දහම් පාසල් අතර කථික තරග) දම්සරණී ගුවන් විදුලි ප්‍රචාරක සේවය (5, 6, 7, 8, 9 යන දිනවල ඇහැලියගොඩ නගරය පුරා දහම් ප්‍රචාරය කිරීම) කාලීන ධර්ම දේශනා බොදු ගී චාරිකා ජංගම භක්ති ගීත වැඩසටහන (ප්‍රදේශයේ අවට පන්සල් ආවරණය කෙරේ.) දන්සැල් ආදියෙන් සමන්විතයි. නගරය පුරාම විදුලි ආලෝක සැරසිලි කරන අතර 9 දින ත්‍යාග හා සහතික පත් ප්‍රදානය සිදු කැරේ.


ධර්ම දේශනාවක්

පන්නිපිටිය , මොරකැටිය සුහද මාවතේ පදිංචි ජයදේව ඇතුලත් මුදලි සහ සහෝදර පිරිස “පුණර්භවය “ මාතෘකා කරගෙන වාර්ෂිකව සංවිධානය කරන ධර්ම දේශනාව ජුනි මස 21 වෙනි ඉරුදින පස්වරු 5 ට නාවල තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පැවැත්වේ. මෙහි දේශකයාණන් වහන්සේ මහරගම සිරිවජිරඤාණ ධර්මායතනවාසී වැලිමඩ පසන්නමානස හිමියන්ය.


නවගමුව සිරි සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලයේ බැති ගී සරණිය

පොසොන් පුරපසළොස්වක පොහොය දිනය නිමිති කරගෙන නවගමුව බප/ජය/සිරි සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් විසින් දෙවන වරටත් ඉදිරිපත් කරනු ලබන ‘දහම් අමා බැති ගී සරණිය’ මෙම 05 වන දින පස්වරු 6.00 ට විද්‍යාල භූමියේ දී පැවැත්වෙයි. එදින ශිෂ්‍ය ශිෂ්‍යාවන් 110 දෙනෙක් ද මවුපියන් හා ආචාර්ය මණ්ඩලයේ පිරිසක් ද ගී ගයති.


පූජාපිටියේ පොසොන් පෙරහර

පූජාපිටිය පලීපාන උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ 84 වන වාර්ෂික පොසොන් මහා පෙරහර පොසොන් පෝය දින අත්‍යාලංකාරයෙන් පැවැත්වීමට විහාරස්ථ දායක සභාව විධි විධාන යොදා ඇත. එම පොසොන් මහා පෙරහර විහාරාධිපති හාරිස්පත්තුව අධිකරණ සංඝ නායක මිනිවන්ගමුවේ රතනසාර නාහිමියන් විසින් අඩසිය වසරකට ආසන්න කාලයක් පුරා සංවිධානය වෙමින් පවතී.

මෙදින පෙරහර සවස 2.00 ට විහාර මලුවෙන් පිටත් ව පුජාපිටිය වීදි සංචාරය කර සවස 6.00 ට විහාර මලුවෙන් ගෙවදී. පූජාපිටිය ප්‍රදේශයේ රජයේ සහ පුද්ගලික ආයතන පාසල් ප්‍රාදේශ කාර්යාල ප්‍රාදේශීය සභාව සහය ඇතිව විහාරස්ථ කාර්ය සාධක සමිතිය මගින් සංවිධානය කරන පෙරහැර 1924 දී ආරම්භ කර ඇත.


මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ පොසොන් පෙරහර

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ වාර්ෂික පොසොන් මහ පෙරහර සවස 2.00 ට සමිති මූලස්ථානයෙන් පිටත් වේ. මිහිඳු ප්‍රතිමාව වැඩමවාගත් පෙරහර මහනුවර වීදි සංචාරය කර සවස 6.30 ට පමණ ගෙවදී.

පෙරහර ඩී.එස්. සේනානායක වීදිය රැජින හෝටලය දළදා වීදිය, යටිනුවර වීදිය, හරස්වීදිය, කොටුගොඩැල්ල වීදිය, දේවවීදිය , ඩී.එස්.සේනානායක වීදිය දිගේ ගමන් කර සමිති මූලස්ථානයෙන් ගෙවදීමට නියමිතය. පුෂ්පදාන දහම් පාසල් ශිෂ්‍යාවන් භක්ති ගීත වැඩසටහනක්ද පෙරහර සමග ඉදිරිපත් කෙරේ.

මේ අතර අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරයේ දහම් පාසල දායක සභාව මගින් මිහිඳු පෙරහැරක් මෙවරද සංවිධානය කර ඇත. විහාරාධිපති බටුගොඩ සංකිච්චායන හිමි අනුශාසකත්වයෙන් මිහිදු පෙරහර පැවැත්වේ.


වාර්ෂික පොසොන් දන්සැල

කොළඹ 5 හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරාධිපති ශාස්ත්‍රපති කිහිඹියේ විජිත හිමියන්ගේ හා හිතවත් පිරිසකගේ දායකත්වයෙන් 12 වැනි වරටත් මිහින්තලේ කටුසෑය මාර්ගය අසල දී සිසිල්පැන් සහ කොත්තමල්ලි දන්සල ජුනි මස 7 - 8 දෙදින දවස මුලුල්ලේ දීම සිදු කැරේ.


එක්සත් අමද්‍යපාන සංග්‍රහ සමිතියේ දන්සැල

පොසොන් පොහොය නිමිතිකර බාඳුරාගොඩ, එක්සත් අමද්‍යපාන සංග්‍රහ සමිතිය 1948 සිට වාර්ෂිකව සිදුකරනු ලබන බත් දන්සල 55 වැනි වරට ජුනි 6 , 7 හා 8 දිනවල අනුරාධපුර, රුවන්වැලි සෑය අසල ස්වර්ණමාලි මාවතේ දී සිදු කැරේ.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]