UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර පොසොන් උත්සවය

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා මත ජුනි 04 දින සිට ජුනි 10 දින දක්වා කාල සීමාව අනුරාධපුර පොසොන් සතිය නමින් ප්‍රකාශයට පත්කර ඇතැයි පොසොන් උත්සව කමිටුව වෙනුවෙන් අනුරාධපුර මහ දිසාපති එච්.එම්.කේ. හේරත් මහතා සඳහන් කරයි.

ජුනි මස 03 වන දින පස්වරු 3.00 ට තිසාවැව ජලයෙන් පිරිත් පැන් කළ රැගත් පැන් පෙරහර ඉසුරුමුණිය රජ මහා විහාරස්ථානය අබියසින් ආරම්භ වී මහ මෙවුනා උයනේ සති පිරිත් මණ්ඩපය දක්වා ගමන් කැරිණි. අනතුරුව එදින රාත්‍රි 9.00 ට පිරිත් පේ කිරීමෙන් මහා පිරිත් දේශනය ආරම්භ කර ජුනි 10 දින දොරකඩ අස්න දේශනාව පවත්වා ජුනි 11 දින දවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමෙන් සතිපිරිත් පින්කම අවසන්වේ.

අනුරාධපුර අටමස්ථානය ප්‍රධාන , මිහින්තලය , තන්තිරිමලය , අවුකන, විජිතපුර යන පෞරාණික පූජනීය ස්ථාන වැද පුදා ගැනීමට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් සඳහා අවශ්‍ය ආරක්‍ෂාව ඇතුළු සියලු පහසුකම් නොඅඩුව ලබාදීමට පොසොන් උත්සව කමිටුව පියවර ගෙන ඇත.

පුන් පොහෝ දින සීල සමාදානයේ යෙදෙන උවසු උවැසියන් විසිපන් දහසක් (25000 ) වෙනුවෙන් දවල් දානය පිරිනැමීම අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකරන අතර ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් පස්වරු ගිලන්පස ලබාදීම සිදුකෙරේ.

සුපුරුදු පරිදි ලේක්හවුස්, ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අනුග්‍රහයෙන් මිහින්තලා ආලෝක පූජාව පවත්වන අතර රුවන්මැලි මහ සෑ මළුව ලක්දනව් ආයතනය මගින්ද ඉසුරුමුණි රජ මහා විහාරස්ථානය පරාක්‍රම ඉලෙක්ට්‍රිකල් ආයතනය මගින්ද පෙත් මග ලංකා විදුලිබල මණ්ඩලය මගින්ද ආලෝකවත් කැරේ.

අටමස්ථානාධිපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි ධර්මානුශාසනා ධර්ම සාකච්ඡා ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස මහ මළුවේදී පැවැත්වෙන අතර ලංකා සීල භාවනා සංගමය මගින් සංවිධානය කරන මහා සීල භාවනා වැඩසටහන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස දී පැවැත්වේ.

ජාතික තරුණ සේවා සභාවේ හා මහජන බැංකුව මගින් ජංගම භක්ති ගීත හා ස්ථානගත භක්ති ගී සංදර්ශන පැවැත්වෙන අතර ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ආවරණය ජාතික රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව ,රජරට සේවය ස්වාධීන රූපවාහිනී සේවය, නෙත් එෆ් එම්. ආයතනය ස්වර්ණවාහිනි හා සිරස මාධ්‍ය ජාලය මගින් සිදුකෙරේ.

මෙදින රත්නමාලි මහ සෑ මළුවේ සිට සර්වරාත්‍රික හේවිසි පූජාවක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂක ඩී.එම්. ඩබ්ලි කුමාරදාස මහතා ගේ සංවිධානයෙන් සිදු කෙරේ.

පැමිණෙන බැතිමතුන්ට දියනෑම සඳහා නුවරවැව, තිසාවැව ජලාශ තහනම් කර ඇති අතර ඒ සඳහා බසවක්කුලම (අභයවැව) මහකනදරාවැව, වෙන්කර ඇතැයි පොසොන් උත්සව කමිටුව සඳහන් කරයි

මෙවරද දිය නෑමට අවශ්‍ය තොටුපලවල් සකස්කර එකී ස්ථානවල ජීවිත ආරක්‍ෂාව සේවාවන් ක්‍රියාත්මක වේ. අනුරාධපුර මහ නගර සභාව මගින් පූජනීය ස්ථානවලට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් සඳහා තාවකාලික වැසිකිළි ඉඳිකර අවශ්‍ය ජල පහසුකම්ද සපයා දෙනු ඇත.

විශේෂ බස් සේවා සහ දුම්රිය සේවාවන් ජුනි 06,07,08 යන තෙදින තුළ ක්‍රියාත්මක කරන අතර පැරණි නගරයේ රෝහල හදිසි ප්‍රතිකාර සඳහා පැය 24 පුරාම සක්‍රියත්වයේ පවත්වාගෙන යනු ඇත. එසේම ප්‍රථමාධාර හා ගිලන්රථ සේවා කඳවුරු අඛණ්ඩ පවත්වාගෙන යන බව පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයා පවසයි.

මෙවර පොසොන් උත්සව දිනයන් හි අනුරාධපුර නගරයේ සුරාසැල් හා මස් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් පූජා නගරයට පිවිසීමේදී සංගීත භාණ්ඩ , පොලිතින් ගෙන ඒමෙන් වලකින ලෙසත් විශේෂයෙන් ගස්යට ගිනිදැල්වීම් නොකරන ලෙසට අටමස්ථානාධිපති නාහිමියන්ගේ උපදෙස් මත පොසොන් උත්සව කමිටුව ඉල්ලා සිටී.

මෙම උත්සව සාර්ථකව පවත්වාගෙන යෑමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රධාන අමාත්‍යංශය අනුරාධපුර මහ නගර සභාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විදුලිබල මණ්ඩලය , ජල සම්පත් මණ්ඩලය , ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය සභා , ශාන්ත ජෝන් ගිලන්රථ සේවා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලය ප්‍රධාන ලේකම් කාර්යාලය අටමස්ථාන කමිටුව , වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සමෘද්ධි අධිකාරිය, ශ්‍රී ලංකා ටෙලිකොම්, රජරට සේවය, ගුවන් විදුලි සංස්ථාව ආයුර්වේද දෙපාර්තමේන්තුව සංස්කෘතික දෙපාර්තමේන්තුව ගමනාගමන මණ්ඩලය , මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය , ශ්‍රී ලංකා රතුකුරුස සමාජය, නාගරික වෙළඳ සංගමය, සියලු මාධ්‍ය ආයතන , ලංකා බැංකුව, මහජන බැංකුව, විද්‍යුත් මාධ්‍ය ආයතන ඇතුළු සැමගේ සහාය මෙවර අනුරාධපුර පොසොන් උළෙල සාර්ථකව පවත්වාගෙන යෑමට දායක වන බව පොසොන් උත්සව කමිටුව පවසයි.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]