UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘දේශයේ අභිවෘද්ධියට භේදයෙන් තොරව සමගි වෙමු’

සාම විනිසුරු බන්දුල සේනානායක

යම් දේශයක උපන් කෙනෙකුට ඒ දේශය මවුබිම වන්නේය. ඔහු නිරතුරුව එහි වාසය කරන්න් නම් එය ඔහුගේ් දේශය වන්නේය. එසේ එහි ඉපැදි වාසය කරන ජනතාවට ඒම දේශය පිළිබඳව ඇතිවන ඇල්ම, ආදරය, අභිමානය හේතුකොට ගෙන ඔහුග් හදවත තුළ දේශාභිමානය පහළ වේ. ජාතිකාභිමානයට වඩා දේශාභිමානය සාමකාමී සහජීවනයකට මඟ පාදන උදාර හැඟුමක් වන්නේය.

ජාතිය යනු නොපෙනෙනා දෙයකි. දේශය යනු පෙනෙන පවතින, දෙයකි. එසේනම් නොපෙනෙන, සම්මුතියකට අනුව මවාගත්, ජාතියට වඩා පෙනෙන පවතින දේශය පිළිබඳව දේශාභිමානයෙන් එක්සත් වන්නේ නම් ඒ දෙස වසන දනන් අරගලයෙන් තොර සාමකාමී ලොවක දැහැමින් දිවි ගෙවන වාසනාවන්ත මිනිසුන් වන බව නුවණින් විමසා බලන කා හට වුවද වැටහෙන්නකි.

එමනිසා පටු ජාති වාදයෙන් බැහැරව හැම දෙනාම එක්සත්ව එක්සිත්ව දේශාභිමානයෙන් එක්ව තම දේශයට පිටතින් එන, පොදු සතුරනට මුහුණ දෙමින්, තම රට, මවුබිම, ආරක්ෂා කර ගැනීම ඒ දේශයේ උපන් හැම දෙනාගේම යුතුකම හා වගකීම වේ. පටු කුලමල ජාති භේදවලින් හදවත් ලෙඩකර ගෙන මානසික ලෙඩුන් වී එක් වර්ගයක් තවත් වර්ගයක් පරයා ඉහළ යාමේ පටු අදහසින් කටයුතු කරන්නේ නම් ඉන් සිදුවන්නේ ,ඒ අරගලය නිසා මිනිස් වර්ගයා විපත්තිය කරා ළං වීමයි.

උපන් බිම වෙනුවෙන් දිවි පිදීම එම රටට කරනු ලබන මහ හරසරය බව තවමත් සමහර මිනිසුන් අතර පවතින මතයකි. උපන් බිමටත් වැදු මවටත් සමාන හරසර හිමිවිය යුතුය යන්න උතුම් මිනිසාගේ හැඟීම වේ.

‘ කපිල වස්තුවෙන් එන සුළඟත් මට සැපයි’ මගේ බුදුපියාණන් වහන්සේ වදාළේ තම උපන් බිම කපිල වස්තුවට උන්වහන්සේ තුළ වූ දේශාභිමානී හැඟීම නිසාය. එහෙත් උන්වහන්සේ ජාතිය බැහැරකළ උතුමෙකි. උන්වහන්සේ වාසෙට්ඨි සූත්‍රයේදී ජාති ලකුණු ඇත්තේ සතුන් හා ගස්වැල් ආදිය තුළ බවත්, මිනිසා ළඟ ජාති ලකුණු කිසිවක් නොමැති බවත් පළ කළහ. ජාතිය බැහැරකළ උන්වහන්සේ පවා දේශය පිළිබඳ අභිමානය වරදක් නොවන බවට සැලකු බව පැහැදිලිය.

එදා ඉන්දියානු නිදහස් සටනේ දී මහත්මා ගාන්ධි ශ්‍රී නේරු වැනි නායකයන් පවා දේශය වූ භාරත මාතාවගේ විමුක්තිය උදෙසා සිර ගත වූහ. මෙහිදී සිදුවූයේ පටු ජාතිවාදී හැඟීමෙන් තොරව ඉන්දියානු දේශය අධිරාජ්‍යවාදීන් ගෙන් මුදා ගැනීම පිණිස දේශාභිමානයෙන් නැගී සිටීමයි. ඉන්දියාව යනු බහුජාතීන් පිරිසක ගේ මාතෘ භූමියයි.

එදා ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ නායකයන් වූ එෆ්. ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, ඊ. ඩබ්ලිව්. පෙරේරා, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම්, ඩී.බී. ජයතිලක, ජේමිස් ද අල්විස්, ජේමිස් පීරිස්, ටී.බී. ඡායා, පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස, එස්. මහින්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, වලානේ සිද්ධාර්ථ හිමි, හික්කඩුවේ සුමංගල හිමි, රත්මලානේ ධර්මාරාම හිමි, යගිරල පඤ්ඤා නන්දහිමි, වැනි මෙහි සිටි දේශාභිමානයෙන් ළය කිකිකැවුන විරුවෝ හා යතිවරු දේශය නිදහස් කර ගැනීමේ සටනට සමඟිව මුහුණ දුන්හ. මෙහි සිටි දෙමළ, මුස්ලිම්, සිංහල බර්ගර්, මැලේ, වැනි ජාතීන් දේශයේ විමුක්තිය උදෙසා දිවි පරදුවට තබා ක්‍රියා කිරීමෙන්, ඔවුන් අතර දේශාභිමානය මිස පටු ජාතිවාදය ජාතිභේදය නොවූ බව පෙන්වාදිය හැකිය. මෙහිදී පෙනුන විශේෂත්වය වූයේ සිංහල දෙමළ, මුස්ලිම් නායකයන් එකම සොයුරු දමකින් පෙනී සිටීමයි.

මෙයට හොඳම උදාහරණය නම් 1948 දී පිහිටුවාගත් ජාතික සංගමයේ සභාපති තනතුරට පොන්නම්බලම් අරුණාචලම් මහණ පත්වීම සිංහල නායකයකුගේ යෝජනාවකින් සිදුවීමයි. එදා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව දේශානි මානයෙන් තම මවුබිම මුදා ගැනීමට කටයුතු කළ අයුරු සිහිපත්වන විට අද ඇතිවී ඇති මේ අරගලය ගැන අප කනගාටු විය යුතුය.

එදා මේ දෙස උපන් මහ රණවිරුවන් වූ දුටුගැමුණු, විජයබා, වලගම්බා , පැරකුම්බා වැනි මහ තෙදැති රජුන් සිංහල ජාතියට අයත් වුවද ඔවුන් සටන් වැදුනේ පරදෙමින් පැමිණි පර සතුරන් සමග මිස සාමාකාමී දෙමළ ජනතාවට එරෙහිව නොවේ. එදා ඒ නරවිරුවන් පටු ජාතිවාදී හැඟීම අනුව සටන් වැදුනා නම් ඔවුන් දෙමළ ජනතාව සමූහ ඝාතනය කරන්නේ ය. එසේ වූයේ නම් අද ශ්‍රී ලංකාව තුළ දෙමළ නමින් මිනිස් වර්ගයක් සිටිය හැකිද? මේ පිළිබඳව අද දෙමළ ජනතාව නුවණින් විමැසිය යුතුය. අද ඇතිවී ඇති තත්ත්වය අනුවද එදා ඇතිවූ තත්ත්වය අනුවද අපේ නායකයන් ජාතිවාදීව දෙමළ ජාතිය දෙස නොබැලූ බවත් දේශභිමානයෙන් කටයුතු කළ බවත්, කරන බවත්, ඔවුන්ට මැනවින් වටහා ගත හැකිය.

මෙසේ ඔවුන් දේශභිමානයෙන් යුතුව අතීතය දෙස විමසිලිමත්ව බලා වර්තමානය හා සසඳන්නේ නම් එය සිංහල දෙමළ දෙවර්ගයේම උන්නතිය උදාවීමට හේතුවනු ඇත.

එදා මහනුවර යුගයේදී සිංහලයේ රජකමට සුදුසු සිංහල කුමරෙකු නොවූ තැන ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහයන්ගෙන් පසුව සිංහලේ රජකමට පත්වූයේ නායක්කර් වංශිකයෙකි. එහෙත් ඔහු එදා ඔහුගේ නායක්කර්නාමය අතහැර අපගේ සිංහල නමගෙන ශ්‍රී විජය රාජසිංහ නමින් රාජ්‍ය කළේය. මෙහිදී පෙන්නුම් කළේ ජාතිවාදයෙන් ජාතිභේදයෙන් තොරව දේශය පිළිබඳව උදාර හැඟීමෙන් ඔහු සිංහල නම ගන්නට තරම් නිහතමානී වූ බවයි.

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මිනීමරු ත්‍රස්තවාදයෙන් දෙමළ ජනතාව මුදාගත් මේ මොහොතේ දෙමළ ජනතාවත්, සිංහල ජනතාවත්, පටු ජාතිවාදය පිටුදැක උදාර දේශභිමානයෙන් ක්‍රියාකොට උපන් බිමේ සාමය ආරක්ෂා කරන්නට ඇපකැප වීම දේශයේ අභිවෘද්ධියට හේතුවනු ඇත.

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය මැයි 30 වනදා සෙනසුරාදා අපරභාග 9.43 ට ලබයි. 31 වනදා ඉරිදා අපරභාග 8.19 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 31 වනදා ඉරිදාය.

පොසොන් පසළොස්වක පෝය ජුනි 7 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]