UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

විගාමික දේශපාලනය

දශක තුනකට ආසන්න කාලයක් පුරා අප සමාජය ගොදුරු වී තිබූ යුද ආතතිය පසුගිය 19 වන දා තුරන් වූ බව ඇත්ත ය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මරණයත් සමඟ ම යුද ආතතිය තුරන් වූව ද දෙමළ බෙදුම්වාදී ප්‍රවණතාව අවසන් වූයේ යැයි කිව නො හැකි ය. එ බැවින් දෙමළ බෙදුම්වාදී ප්‍රවණතාව හා දෙමළ විගාමික දේශපාලනය පිළිබඳ ව අප සමාජය දැනුවත් ව සිටීම අවශ්‍ය කැරේ. විගාමිකයා යනු වෙනත් රටක පදිංචි වීම සඳහා තම උපන් රට හැර යන්නකු බව ද අවධාරණය කළ යුතු ව තිබේ. මෙහි දී දෙමළ මතවාදය අවබෝධ කැර ගැනීම පිණිස දීගල්ලේ මහින්ද හිමියන් විසින් සංස්කරණය කළ ‘බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය’ නමැති කෘතිය උපුටා දක්වමු.

ඇමරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයයේ මහාචාර්යවරයකු වන අල්වාපිල්ලේ වේලුපිල්ලෙයි මහතා ඉදිරිපත් කැර ඇති අදහස් අවධානයට ගත යුතු ය.

“ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයේ පුදුමාකාර ඇත්ත වන්නේ එය බෞද්ධයන් දමිළයන්ට එරෙහි වූවක් ලෙස විස්තර කළ හැකි වීමයි. මෙය පිළිගත නො හැකි ඇතැම් විදේශීය ශාස්ත්‍රවේදීහු එය බෞද්ධයන් හා හින්දු අතර ගැටුමක් සේ දකිති. එහෙත්, ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්‍ෂූන් හා ගිහියන්, දමිළයන් වෙත ප්‍රහාර එල්ල කැරෙන්නේ හින්දූන් තෝරා බේරා ගෙන නො වේ. බෞද්ධ භික්‍ෂූන් ජාතික ව්‍යාපාරවල මුල් තැන ගන්නා පරිදි හින්දු පූජකවරුන් දමිළ ජාතික ව්‍යාපාරයන්හි යෙදෙන්නේ නැත.පාලි වංශකථාවල ද කියැවෙන්නේ දමිළ ආක්‍රමණිකයන් බෞද්ධ රාජධානි ආක්‍රමණය කිරීම ගැනය. එ සේ ම දුෂ්ට වුව ද බෞද්ධ රජවරුන් විසින් ධාර්මිෂ්ට දමිළ රජවරුන් වූව ද පරාජය කිරීම වීර ක්‍රියාවක් ලෙස වංශ කථාවල වර්ණනා කැරේ. යහපත් පාලනයට වඩා ස්වයං පාලනය හොඳ වූවා විය හැකි යි. එහෙත් බෞද්ධයන්ට පිළිගන්නට බැරි කරුණ නම් දමිළයන්ට ද එම මූලධර්මය ම අනුගමනය කිරීමට ඉටා ගත හැකිය යන්නයි.”

මහාචාර්ය අල්වාපිල්ලේ වේලුපිල්ලෙයි මහතා මෙසේ ද කියයි.

“රටේ ආගම් අතර උත්තරීතර ස්ථානය බුදුසමයට ලබා දී එය වර්ධනය කිරීමේ වගකීම රජයට පැවරීමෙන් ජනගහනයෙන් 2/3 ක් වන බෞද්ධයන් රටේ උසස් කුලයේ පාලක පැලැන්තිය බවට පත් කිරීම නිසා එයින් අසතුටට පත් වැසියන් සෑහෙන පිරිසක් එම තත්ත්වය අහෝසි කිරීමට තැත් දරනු ඇත. එහෙයින් එය වැළැක් වීමට ද උපක්‍රම යෙදිය යුතු වේ. මේ අන්දමේ භේදකාරී වගන්තියක් නිසා බහු භාෂක හා බහු ආගමික සමාජයක සදාකාලික ගැටුම් පවතිනු ඇත. බෞද්ධයන්ට තම සංවිධාන පිහිටුවා ගෙන ශාසනය ආරක්‍ෂා කොට වර්ධනය කැර ගන්නට හැකි ය. එහෙත් රටේ 1/3 ක පමණ ජනතාව අනෙක් 2/3 ක ජනතාව ගේ සන්තුෂ්ටිය සඳහා කැප කිරීම කරන්නැයි බල කිරීම අසාධාරණ ය. දිවයිනේ සියලු පුරවැසියන්ට හා ජනවර්ගයන්ට එක හා සමාන ව සැලකීමට භික්‍ෂූන් රජයට ඉඩ දිය යුතු ය.”

“නිදහස ලැබීම යනු නීතිය ඉදිරියේ සමාන වීමත් රටේ එක හා සමාන අවස්ථා ලැබීමත් ය. රාජ්‍යය පහළ වන්නේ ජනතාව ගේ නිවහල් කැමැත්ත මත වන බැවින් දමිළයෝ ජනතාව ගේ පරමාධිපත්‍යය ගැන විශ්වාස කැරෙති. වත්මන් රාජ්‍යය එක්තරා ජනකොටසක් සඳහා පමණක් වෙන් ව කටයුතු කැරෙන්නේ නම් අනෙක් ජන කොටසට තමන් සඳහා වෙන ම රාජ්‍යයක් පිහිටුවා ගෙන රට බෙදා ගැන්මට අයිතියක් තිබේ. රටේ එක්සත් භාවයත් භෞමික අඛණ්ඩතාවත් ආරක්‍ෂා කැර ගත හැක්කේ දමිළයන්ට සමාන අයිතිවාසිකම් ලැබෙන පරිදි රාජ්‍ය ව්‍යවස්ථාව සකස් කොට ඒ අනුව රජයේ කටයුතු සිදු වෙතොත් පමණි. දමිළයන් ගේ ඇසින් බලන විට බෞද්ධයන් කියන ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව කුහක අදහසක් වේ.”

“දමිළයන් ගේ සිතට වධ දෙන කරුණක් නම් මේ වනතෙක් එක වැදගත් බෞද්ධ නායකයකු විසින් වත් දමිළ අපේක්‍ෂාවන් සාධාරණයැයි කියා ප්‍රකාශයක් කැර නො තිබීම ය. වත්මන් නිදහස් ශ්‍රී ලංකාව යනු මධ්‍යකාලීන යුගයේ පැවැති සිංහල රාජධානිය යළි පිහිටුවාලීම යැයි ද එය එ සේ ම අදත් පාලනය විය යුතු යැයි ද ඇතැම් බෞද්ධයන් කල්පනා කරන බව පෙනේ.”

මේවා මහාචාර්ය අල්වාපිල්ලේ වේලුපිල්ලෙයි මහතා ගේ පෞද්ගලික අදහස්

පමණක් ම නො ව දෙමළ සමාජ විඥානය ලෙස තේරුම් ගැනීම වඩා යහපත් ය. මෙහි දී අවධාරණය කළ යුතු අනෙක් කරුණ නම්, බුදු දහම කේන්ද්‍රීය ප්‍රශ්නය වශයෙන් දැකීමට ඔවුන් පෙළඹී ඇති බව ය. මේ බෞද්ධ විරෝධී ආකල්පය වෙනස් කිරීම පහසු නැත. එහෙත් අප එය කළ යුතු ම කාර්යයකි. ශ්‍රී ලංකාවට එරෙහි ව ක්‍රියාත්මක වන මේ විගාමික බලවේගය පරාජය කිරීමට හැකි වන්නේ එ විට පමණි.

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය මැයි 30 වනදා සෙනසුරාදා අපරභාග 9.43 ට ලබයි. 31 වනදා ඉරිදා අපරභාග 8.19 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 31 වනදා ඉරිදාය.

පොසොන් පසළොස්වක පෝය ජුනි 7 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]