UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ සංස්කෘතියට අනුව යුතුකම හා වගකීම විසින් හරි දේ තෝරාගනු ලැබේ. විවාහ වන දෙපක්‍ෂයම දැඩි තීරණවල එල්බ සිටීම නුවණට හුරු නොවේ. එහිලා තීරණ ගැනීමේ දී පරිණත බුද්ධිය වැදගත් ය. එමඟින් සුහද නිගමනයට එළඹීම මැනවි. විවාහය අවබෝධය පදනම් කොට ගත් ගිවිසුමක් විය යුතු ය. එසේ නොවන කල්හි, අන්‍යෝන්‍ය සාප කිරීම් හා දුර්විපාක වලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. එකල්හි ,එය නිරන්තරයෙන් පිළිකා ආසාදනයක් සේ දූ දරුවන් අතරත් ව්‍යාප්ත වනු ඇත.

සිය දරුවන්ගේ සුබසෙත පිළිබඳ වගබලා ගැනීම මවුපියන්ගේ යුතුකමයි. සත්තකින් ම, සිය දරුවන් විෂයයෙහි යුතුකම් ඉටු කරන සෙනෙහෙබර මවුපියෝ, දරුවන් පිළිබඳ වගකීම් ඉටු කිරීමට සොම්නසින් උර දෙති. දරුවන් නිසි මඟ මෙහෙයවන්නට නම්, පළමුවෙන් මවුපියෝ ආදර්ශ සම්පන්නයෝ විය යුත්තෝ ය, තමන් පරමාදර්ශී ජීවිත ගත කළ යුත්තො ය. දුරාචාර සම්පන්න මවුපියන්ගෙන් සදාචාර සම්පන්න දරුවෝ බලාපොරොත්තු විය නොහැක්කෝ ය. කර්මානුරූපව දරුවන් පූර්ව ජන්මයෙන් උරුම කර ගන්නා බලපෑම් හැර, ඔවුහු අනිවාර්යයෙන් ම සිය මවුපියන්ගෙන් ද, සත්ගුණ සම්පන්න සහ දුර්ගුණ සම්පන්න දේ උරුම කර ගනිත්. දරුවන් විෂයයෙහි වගකීමට බැඳී සිටින මවුපියෝ සිය දූ දරුවනට නුසුදුසු බලපෑම් වලට ඇබ්බැහි නොවන්නට නිසි හැම පූර්වෝපායයක් ම යෙදිය යුත්තෝ ය. සිඟාලෝවාද සූත්‍රයට අනුව මවුපියන් විසින් සිය දූ දරුවන් විෂයයෙහි සුබසෙත සලසනු ලබන යුතුකම් පහක් දැක්වෙයි.

ඉන් පළමුවැන්න නම් දරුවන් දුසිරිතින් වළක්වාලීමයි. දරුවාගේ මුල් ම පාසල වන්නේ ඔහුගේ ගෙදරයි. මුල්ම ගුරුවරු වන්නාහු මවුපියෝ ය. දරුවෝ පුරුදු පරිදි හොඳ හා නරක පිළිබඳ පළමු පාඩම සිය මවුපියන්ගෙන් උගනිති. අරපරෙස්සම් රහිත මවුපියෝ කෙළින්ම හෝ වක්‍රව බොරුව, කපටිකම, වංකකම, කේලාම්කීම, පිළිගැනීම, නිර්ලජ්ජිතාව සහ පව හා අශිෂ්ට චර්යා වලට බිය නැතිකම පිළිබඳ දැනුම සිය දරුවනට ළමාවියේ දී ම පවරා දෙති.

දරුවන් පිළිබඳ මවුපියන්ගේ දෙවන යුතුකම වන්නේ, ඔවුන් යහපත කිරීමට දිරි ගැන්වීම යි. මවුපියෝ වනාහි දරුවන්ගේ ගෙදර ගුරුවරු ය. ගුරුවරු වනාහී පාසලේ දී දරුවන්ගේ මවුපියෝ ය. ගුරුවරුන්, මවුපියෝත් තමන් විසින් මෙහෙයවන ලද දරුවන්ගේ අනාගත සුබසෙත පිළිබඳ වගකිය යුත්තෝ ය. වැඩිහිටියෝ යම් සේ වෙත් ද, දරුවෝත් එසේ වන්නෝ ය. දරුවෝ ඔවුන්ගේ සුරංජනීය වියේදී වැඩිහිටියන්ගේ පාසෙවණේ වැඩෙත්, වැඩිහිටියන් විසින් පවරා දෙන ලද දේ දරුවෝ ග්‍රහණය කර ගනිති. දරුවෝ වැඩිහිටියන් සිතන, කියන හා කරන ක්‍රියාවල බලපෑමට ගොදුරු වන්නෝ ය. එබැවින් මවුපියන්ගේත්, ගුරුවරුන්ගේත් යුතුකම හා වගකීම වන්නේ, ගෙදරදීත්, පාසලේදීත් දරුවාට අත්‍යන්තයෙන් හිතකර පරිසරයක් උදා කිරීමයි. අල්පේච්ඡතාව, කීකරුකම, සහයෝගීතාව, සමඟිය, ධෛර්යය, ආත්ම පරිත්‍යාගය, අවංකත්වය, නිර්භීතත්වය, පරාර්ථචර්යාව, ආත්ම විශ්වාසය, කරුණාව, සකසුරුවම, සන්තුෂ්ටික, සච්චාරිත්‍ර, ආගමික ශ්‍රද්ධාව සහ වෙනත් ඒ හා සමාන සත්ගුණධර්ම අනුක්‍රමයෙන් දරුවන්ගේ සිත් වලට කාවැද්දිය යුතු ය. එවන් සත් ගුන දහම් බිජුවට ළමා සිත් තුළ රෝපිත කල්හි එහි පල විසින් දරුවෝ විලිකුන් පල බර රුක් මෙන් වැඩෙන්නෝ ය.

දරුවන් විෂයයෙහි මවුපියන්ගේ තෙවන යුතුකම වන්නේ ඔවුනට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. සප්‍රාමාණික අධ්‍යාපනය වනාහි මවුපියන් විසින් තම දරුවනට ප්‍රදානය කළ යුතු විශිෂ්ටතම දායාදයයි. සැබවින්ම ඊට වඩා වටිනා වෙනත් ධනයක් නැත. එය මවුපියන් විසින් තම දරුවනට ප්‍රදානය කළ හැකි උත්තම වූ ආශිර්වාදයයි. දරුවන්ගේ අධ්‍යාපනය සැලසුම් කළ යුතු වන්නේ යොවුන් වියෙ සිට ම ආගමික වාතාවරණයට මුල් තැන දෙමිණි. එය දරුවන්ුගේ ජීවිතයට මහත්ඵල, මහානිශංස ලබා දෙන්නක් වෙයි..සිවු වැනි යුතුකම වන්නේ ඔවුන්ගේ නිසි වියේ දී සුදුසු පුද්ගලයන් සමඟ අවාහ විවාහ කාරියෙහි යෙදවීම යි.

ආවාහ විවාහය වනාහි පුද්ගලයන්ගේ ජීවිතය සමඟ බැඳී උදාර කටයුත්තකි. එය කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරා ව්‍යාප්තව බලපාන්නකි. මේ සම්මුතිය පහසුවෙන් දිය කර හැරිය හැක්කක් නොවේ. එබැවින් විවාහය ගැන හැම කෝණයකින් ම සලකා බැලිය යුතුව තිබේ. ඒ පිළිබ්ද අංගෝපාංග, එය සිදුවීමට කලින් හැම පක්‍ෂයකටම සතුටුදායක පරිදි සහතික වන්නට හැකි විය යුතු ය.

බෞද්ධ සංස්කෘතියට අනුව යුතුකම හා වගකීම විසින් හරි දේ තෝරාගනු ලැබේ. විවාහ වන දෙපක්‍ෂයම දැඩි තීරණවල එල්බ සිටීම නුවණට හුරු නොවේ. එහිලා තීරණ ගැනීමේ දී පරිණත බුද්ධිය වැදගත් ය. එමඟින් සුහද නිගමනයට එළඹීම මැනවි. විවාහය අවබෝධය පදනම් කොට ගත් ගිවිසුමක් විය යුතු ය. එසේ නොවන කල්හි, අන්‍යෝන්‍ය සාප කිරීම් හා දුර්විපාක වලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. එකල්හි ,එය නිරන්තරයෙන් පිළිකා ආසාදනයක් සේ දූදරුවන් අතරත් ව්‍යාප්ත වනු ඇත. අවසන් යුතුකම වන්නේ, නිසි කල්හි දරුවනට ධන සම්පත් පිළිබඳ සිය උරුමය දායාද කර දීමයි. සිය රැකවලෙහි සිටිනතාක් කල් මවුපියන් විසින් සිය දරුවෝ ආදරය කරනු ලබන්නා හුද, රැක බලා ගනු ලබන්නාහු ද පමණක් නොවෙති. එසේම අනාගතයේ තමන්ගේ සුව පහසුව සහ සන්තුෂ්ටිය සලසනු පිණිස සූදානම් කරනු ලබන්නාහු ද වෙති. මවුපියෝ සිය දූ දරුවන් ගැන සලකා දුක් දොම්නස් මැද ධනසම්පත් රැස් කරති. ඉක්බිති ඒ සියල්ල ඬර්ලෝභීව පරිත්‍යාගයක් සේ සිය දරුවනට පවරා දෙති. බුදුදහම කරුණා ශාසනය ලෙස හඳුන්වනු ලැබේ. එය එපරිදිම සිය දරුවනට ඉදිරිපත් කරන්නට කිසිදා මවුපියන් අමතක නොකළ යුතු ය.

දරුවන් හදාවඩා ගැනීමේ දී මවුපියෝ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද, සිත පිළිබඳ චතුර්විධ පරමෝදාර මහිමය හෙවත් සතර බඹ විහරණ පුරුදු පුහුණු කළ යුත්තෝ ය. එනම් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්‍ඛා යි. මැනවින් පුහුණු කරන ලද මේ සතර විහරණය දරුවන් හදන වඩන දුෂ්කර වකවානුව පුරා ඉවසා දරා සිටීමට මවුපියනට රුකුලක් වනු ඇත. ඇතැම් විට මවුපියන් මුහුණපාන බරපතල අභියෝගක් නම්, යථා යෝග්‍ය පරිදි දරුවා හදාවඩා ගැනීම යි. මිනිසා සතුන්ගෙන් වෙනස් වන තවත් අවස්ථාවක් නම් මෙයයි. සිය දරුවන් හදාවඩා ගැනීමේ දී සත්තු ඉමහත් කැපවීමකට නිරත වෙති. ඒ අතර මිනිස් මවුපියනට සිය දරුවන්ගේ මානසික පෝෂණයෙහිලා ඉමහත් වගකීමක් ඇත. මිනිසා මුහුණපාන බරපතල අභියෝගය වන්නේ සිත දමනය කර ගැනීම බව බුදුන් වහන්සේ වදාරා ඇත. එබැවින් දරුවාගේ මානසික සංවර්ධනයේලා වගකිය යුත්තෝ මවුපියෝ ය. පුද්ගලයකු වැඩදායක පුරවැසියකු වීම හෝ නොවීම මූලික වශයෙන් රඳා පවතින්නේ යම්තාක් ඔහුගේ මනස සංවර්ධනය වී ඇති පමණට ය.

ළදරුවෙක් දණිපණි ගාන්නකුව, තම අවශ්‍යතා කියා පෑමට නොහැකිව සිටියදී, සිය බලාපොරොත්තු ඉටු කර ගන්නට තරයේ කෝප වීමටත්, හැඬීමටත් නැඹූරු වෙයි. මෙවන් විටකදී මෛත්‍රීය ප්‍රගුණ කරන මවකට හෝ පියකුට දරුවා කෙරෙහි දිගින් දිගට මෛත්‍රීය පතුරුවන්නට පුළුවන. දරුවා මුකුරා ගොස් යොවුන්වියට පත් කල්හි මවුපියෝ ඔහු කෙරෙහි කරුණාබර විය යුත්තෝ ය. දරුවන්ගේ යොවුන් විය බෙහෙවින් බැරෑරුම් වකවානුවකි. යොවුන් විය විප්ලවකාරී ය. ඔවුන්ගේ කෝපය මහාපරිමාණීය වෙයි. ඔවුන්ගේ කලකිරීම මවුපියන් වෙත යොමු කරනු ලැබේ. මෙය වැඩෙන දරුවන්ගේ ස්වාභාවික ලක්‍ෂණයකි. ඒ මිස දරුවෝ හිතාමතා මවුපියනට රිදවන්නට අදහස් නොකරති. දරුවා ඇතැම් විට වැඩිහිටි තත්ත්වයට පත් වන්නට පෙර විභාග වලින් හා වෙනත් ක්‍රියාකාරකම් වලින් ජයග්‍රහණය ලබන්න පුළුවන. මේ මොහොත මවුපියන් විසින් දරුවන් කෙරෙහි මුදිතා ගුණය ප්‍රගුණ කළ යුතු අවදියකි. දරුවකු වැඩිහිටි වියට එළඹ වෘත්තියක නිරත වෙමින් පවුල් දිවියක් ගත කරන කල්හි මවුපියෝ ඔවුන් කෙරෙහි සමානාත්මතාව හෙවත් උපේක්‍ෂා ගුණය වැඩිය යුත්තෝ ය. දෙමවුපියන් විසින් අනිසි පරිදි දරුවන්ගේ කටයුතු හාරා අවුසමින් ඇඟිලි ගසන්නට යෑම නොකළ යුතු ය. මවුපියෝ දරුවන් කෙරෙහි උපේක්‍ෂා ගුණය වඩත් නම්, ඔවුනට සිය මහලු විය නිවී සැනසිල්ලේ සන්සුන්ව ගත කරන්නට හැකි වනු ඇත.

එමඟින් ඔවුනට සිය බාල පරපුරේ ගරු සැලකිලි හා පුදසත්කාර ලැබෙනු නියතය. මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා ගුණයෙන් පිරුණු නිවහනක් වේද, එය පසන් නිවසකි, සන්තුෂ්ටි ආකරයකි.

(මේ පරිවර්තනය 2009.03.10 වනදා බුදුසරණ පුවත්පතේ පළ කරන ලද ඩී.පී. අතුකෝරළ වෙදැදුරාණන්ගේ Duties of Parents – A Buddhist Perspective මැයින් වූ ලිපියෙනි)

බක්පුර පසළොස්වක


බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 08 වන දා බදාදා අපර භාග 09.14 ට ලබයි. 9 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 08.30 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 9 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 17 වන දා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]