UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අන්තරාභවය ගැන ද බෞද්ධ සමාජයට මහත් ගැටලුවකි. අන්තරාභවය ලබන්නේ මරණින් මතුවයි. එහෙත් බුදු දහමට අනුව මඟ ඵල ලබා නිවන් ලබන්නේ මරණයට පෙරයි. ජීවත්ව සිටියදීයි. ඉතින් එසේ බුදු මඟ- මඟ ඵල නිවන් ලබන අයට අන්තරාභවයක් ගැන කුමට ද? මඟ ඵල නිවන් නොලැබුවහොත් ඔහු මරණින් මතු යළි භවයේ හට ගනී. එසේනම් අද අප මේ ගැන තර්ක කරමින් සිට ඉපදුණු විට භවය වෙනස්කළ හැකි ද? අප කළ යුතු අන්තරාභවය ගැන තර්ක කිරීම නොව කුසල් දහම් සිදුකර මතු භවය මෙහිදීම සකස් කර ගැනීමයි. නිවන්මඟ පාදා ගැනීමයි.

බු දුරදුන්ට කර්ම විපාක ඵලදේද? දෙවියන් වැඳීම වරදක්ද? බුදුරදුන් මස් මාංශ වැළඳුවාද, වෛත්‍ය වලින් බුදු පිළිම වලින් බුදු රැස් විහිදෙනාවද? බුදු දහම සුඛ පරම වාදයක්ද, බුදුරදුන් කල්පයක් වැඩ නොසිටියේ ඇයි? අභිධර්ම බුදුන් වදාළේ ද? පින, කුසල, දෙකක්ද? ගිහියන් පිරිත් දේශනා කිරීම වරදක්ද? බෞද්ධ ආර්ථික චින්තනය, බෞද්ධ දේශපාලන චින්තනය, මතක තටු, තැබීමෙන් මියගිය ඥාතියාට පලක්වේද? මියගිය අයට අප දෙන පින් ගන්නවාද? අන්තරා භවයක් තිබේද?

ඉහත සඳහන් කළේ වර්තමාන බෞද්ධ සමාජයට ඇති විචිකිච්ඡාවන්ය. එහෙත් මේ විචිකිච්ඡාවන් ඇති බෞද්ධයෝ සෝවාන් ඵලය ලබා ගැනීමක් ගැනද කතා කරති. ‘සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස’ ප්‍රහීණ කිරීමෙන් සෝවාන්ඵලය ලැබෙන බවද ඔවුහු දනිති.

එහෙත් ඔවුහු සක්කාය දිට්ඨිය ප්‍රහීණ කිරීම නොව කරනුයේ තව තවත් දෘෂ්ටි ගත වීමයි. බුදු රදුන්ට කර්ම විපාක ඵල දේද? නොදේද? යන විචිකිච්ඡාවට පත් වී ඇති අය ඒවා ‘බුදුසරණ’ පත්‍රයටද ලියා එවති. සමහරු බුදුරදුන්ට කර්ම විපාක ඵල දුන්නායි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් හඬ නගා කියති. මෙසේ කියන්නේ කාටද? අප සසර දුකින් නිදහස් වන අමා නිවන් මඟ දේශනා කළ අසම තථාගත බුදුපියාණන් වහන්සේටය. මහා ශාන්ති නායකයාණන් වහන්සේට ය, ශ්‍රේෂ්ඨතම ආචාර්යවරයාණන් වහන්සේට ය.

එහෙත් එසේ කියන අය බුදුන් වහන්සේට පාප කර්ම විපාක දුන්නා මිස පුණ්‍ය කර්ම විපාක දුන්නා යැයි නොකියති. බුදුන්වහන්සේට පාප කර්ම විපාක ඵල දුන්නා හෝ නුදුන්නා හෝ උන් වහන්සේ අපට කළයුතු දෑ, ගුරුවරයකු වශයෙන් ගුරු මුෂ්ඨි නොතබා කළා නොවේද? වතුර් ආර්ය සත්‍ය පෙන්වා දී ආර්ය අෂ්ඨාංගික මාර්ගය වදාළ නොවේද? අප කළ යුතු වන්නේ උන්වහන්සේ අපට දේශනා කොට වදාළ උතුම් ආර්ය මාර්ගයේ ගමන් කිරීමයි. එසේ නැතිව, මේ සා මහා විපුල ඵලදායක ආර්ය මාර්ගය දේශනා කොට වදාළ බුදුන් වහන්සේට පාප කර්ම විපාක දුන්නාද නුදුන්නාද යන්න ගැන තර්ක කිරීම, බුදුන් වහන්සේ අපගෙන් අපේක්ෂා කළ ප්‍රතිපාදවද? යන්න අප විමැසිය යුතුය. මෙසේ අඳුරේ අත පත ගාන අයට තවත් ගැටලුවක් වී ඇත්තේ සංසාරයේ ඉපදෙමින් දුක් විඳීමේ ගැටලුව නොවේ. උන්වහන්සේ මස් මාංශ වැළඳුවාද නැද්ද යන්නයි, උන්වහන්සේ මස් මාංශ වැළඳුවත් නැතත් අද වනවිට ජීවමන බුදුන්වහන්සේ අපට දැක ගන්නට නැත. උන්වහන්සේ මස් වැළඳුවාද නැද්ද යන්න සොයා බැලීම නොව අප කළයුත්තේ උන්වහන්සේ දේශනා කොට වදාළ අවිහිංසා ප්‍රතිපදාව දියුණු කිරීමයි.

සමහර අය ප්‍රශ්නයක් කරගෙන ඇත්තේ බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කළ චෛත්‍යස්ථාන වලින් බුදුරැස් විහිදෙනවාද නැද්ද යන්නයි. ‘වක්කලී හිමියන්ට බුදු පියාණන් වහන්සේ කීවේ ජීවමාන බුදුරුව දෙස බලා සිටියත් බුදුරදුන් දැකිය නොහැකි බවත්, බුදුරදුන් දැකීමට නම් දහම් දැකිය යුතු බවත්ය. එසේනම් බුදුන් වහන්සේගේ වචනයට අනුව දහම් මඟ යන්නට එමගින් මඟ ඵල ලබන්නට, නිවන් ලබන්නට උත්සාහ කිරීම මිස, වීර්ය වැඩීම මිස, උන්වහ්නසේගේ ධාතුවලින් නික්මෙන රැස් දැක ගැනීමෙන් අප උන්වහන්සේගේ වචනයට අනුව ක්‍රියාකළා වන්නේදැයි අප කල්පනා කළ යුතු නොවේද?

බුදුන් වහ්නසේ සුඛපරම වාදියෙක්ද යන්න තවත් කෙනෙකුගේ පැනයකි. උන්වහන්සේ හේතුඵල වාදියෙක් බව දුක සැප දෙකේ අන්තයට නොයන මධ්‍යම ප්‍රතිපදාවට මුල්තැන දෙන පටිච්ඡසමුප්පන්නවාදී උතුමෙකු බව බෞද්ධයන් නොදැනීම පුදුමයකි. බුදුන් වහන්සේ කල්පයක් වැඩ නොසිටීම පිළිබඳ හේතු විමසීම තවත් අදහසකි. සමහරු ඒ ගැන කතා කරමින් ආනන්ද හිමියන්ටද දොස් නගති. ‘කල්පය’ යන්න නිර්වචනය කරගන්නට බැරි අප බුදුන් වහන්සේ කල්පයක් ආයුෂ නොවැළදීම ගැන කතා කරන්නේ කුමන පදනමක පිහිටාද?

කල්පය මහා දීර්ඝ කාලයක් නම් අපට ජීවමාන බුදුරඳුන් දෙනෙතින් දැක ගැනීම හැකිවනු ඇත. එහෙත් ‘යෝධම්මං පස්සති සෝ මං පස්සති’ යනුවෙනු වක්කලී හිමියන්ට වදාළ ලෙස බුදුන් දකින්නේ ධර්මය දැකීමෙන් නම් අපට බුදුරදුන් අද දක්වා ජීවමානව නොසිටීම ප්‍රශ්නයක් නොවේ. අඩු පාඩුවක් නොවේ. අඩු නැතිව බුද්ධ ධර්මය දැනට පවතී. එසේනම් අපකළ යුතු උන්වහන්සේ විශාල කාලයක් ජීවත් නොවීම ගැන කල්පනාකර පසුතැවිලි නොවී ධර්මය දැක බුදුන් දැකීමට උත්සාහ කිරීමයි. බෞද්ධයන්ගේ් තවත් විචිකිච්ඡාවක් වී ඇත්තේ අභිධර්මය බුදුන් වදාළේ ද නැද්ද යන්නයි. මෙහිදී සිදුකර ගන්නේ බුද්ධාදී අටතැන ගැන සැකය පහළ කර ගැනීම නොවන්නෝද?

ධර්මය නිවන් මගට ප්‍රත්‍යක්ෂ වේ නම්, ඉන් මඟ ඵල ලබා ගැනීමට බාධාවක් නොවේ නම් ඒ අභිධර්ම මාර්ගය අනුගමනය කළ උදවිය පසුකාලීනව මඟඵල ලබා රහත් භාවය ලැබූ බව සත්‍යනම්, අභිධර්මය බුදුන් වදාළේ ද නැද්ද යන්න විමසන්නේ ඇයි? අපට දහමට වැඩියෙන් තර්කය වැදගත් වන නිසාද?

පින, කුසල දෙක ගැන වාදවිවාද කිරීමද ගැටලුවකි. අපට වැදගත් වන්නේ වචන දෙක නොව මේ යහපත් ක්‍රියා දෙකයි. පින හෝ කුසල සිදු කිරීමෙන් ශීල, සමාධි, පඤ්ඤා මාර්ගයට අවතීර්ණව අරි අටඟ මගින් නිවන් මඟට යොමුවන බව ඒකාන්තය. අප ජීවිත කාලය තුළම මේ ගැන නිගමනයකට නොඑළඹ වාද විවාද කරමින් සිටියහොත් අප කුසලට හෝ පිනට යොමු වන්නේ කවදාද?

තවත් සමහරු බෞද්ධ ආර්ථික චින්තනය, දේශපාලන චින්තනය ගැන කතා කරති. දේශපාලනය ගැන ආර්ථිකය ගැන දේශනා කරන්නට නම් කිසිදා බුදුවරයෙකුට අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පෙරුම්දම් පිරීමක් අවශ්‍ය වන්නේ නැත. මේවා භෞතික චින්තනයන්ය. බුදුන් වදාළේ ලෝකෝත්තර ප්‍රතිපදාවකි. භෞතික සියලු දේ අනිත්‍යය, දුක්ඛ, අනාත්ම බව දේශනා කළ බුදුහිමියන් ඒවා මගින් ජීවිතය සාර්ථක කර ගැනීමට ධර්මය දේශනා කරතියි කෙසේ පිළි ගන්නද?

බුදුන් වහන්සේ බෞද්ධ ප්‍රතිපදාවට එක්වූ අයට නොව, අන්‍ය ලබ්ධිකයන්ගේ ලෞකික භෞතික සුබ සාධනය සඳහා ඔවුන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්, ඔවුන් සඳහා දේශපාලන ආර්ථික දර්ශනයන් දේශනා කර ඇත. ඒවා බුදු දහමේ මූලික පරමාර්ථ නොවන බව හැම දෙනාම වටහා ගත යුතුය.

මතක තටු තැබීමෙන් ඥාතියාට ඵලක් වේද? අප දෙන පින් මියගිය ඥාතීන් අනුමෝදන් වෙනවාද? යනු බෞද්ධ සමාජ ගැටලුවකි. සක්කාය දිට්ඨිය ප්‍රහීණ කරන බෞද්ධයා තවදුරටත් මගේ මගේ යැයි මියගිය ඥාතියා පසුපස හඹා යාමෙන් සිදුවන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහීණ කිරීමක් නොව තව තවත් දෘෂ්ටි ගතවීමකි.

අත්ත දීපා විහරථ
අත්ත සරණා අනඤ්ඤ සරණා
අත්තාහි අත්තනො නාථෝ
කොහිනාථො පරොසියා

යනුවෙන් වදාරන බුදුදහමට අනුව ජීවමානවද මේ නිවන් මඟ උදෙසා කළ යුත්ත තමන්ම කළ යුතු බව පවසද්දී මළාට පසු නොපෙනී ගිය ඔහුගේ ආත්මය සුවපත් කරන්නට බුදු දහමින් අවස්ථා උදා නොවන බව කල්පනා කළ යුතුය.

අන්තරාභවය ගැනද බෞද්ධ සමාජයට මහත් ගැටලුවකි. අන්තරාභවය ලබන්නේ මරණින් මතුවයි. එහෙත් බුදුදහමට අනුව මඟ ඵල ලබා නිවන් ලබන්නේ මරණයට පෙරයි.

ජීවත්ව සිටියදීයි. ඉතින් එසේ බුදුමඟ මඟඵල නිවන් ලබන අයට අන්තරාභවයක් ගැන කුමටද? මඟඵල නිවන් නොලැබුවහොත් ඔහු මරණින් මතු යළි භවයේ හට ගනී. එසේනම් අද අප මේ ගැන තර්ක කර ඉපදුන විට භවය වෙනස්කළ හැකිද? අප කළ යුතු අන්තරාභවය ගැන තර්ත කිරීම නොව කුසල් දහම් සිදුකර මතු භවය මෙහිදීම සකස් කර ගැනීමයි. නිවන්මඟ පාදා ගැනීමයි.

මෙවැනි දහසකුත් එකක් දෘෂ්ටිවලට එළඹෙමින් අද බෞද්ධ සමාජය ශීල සමාධි, පඤ්ඤා වශයෙන් පවතින අරි අටග මගෙහි ප්‍රායෝගිකව ගමන් නොකර කිසිම ආකාරයකින් නිවන් මඟට උපයෝගී නොවන කරුණු කාරණා ගැන වාද විවාද තර්ක විතර්ක කිරීම අසම සම තථාගත බුදුපියාණන් වහන්සේටත්, බුදුදහමටත් කරනු ලබන අවමානයකි.

මෙසේ අඳුරේ අතපතගාමින් නොසිට සම්බුද්ධත්වයට 2600 වසරක් පිරෙන 2011 වර්ෂයේ සිටවත් ඇතාගේ තොරතුරු කියන ජාති අන්ධයන් මෙන් අනවශ්‍ය විවිධ නිගමනයන්ට එළඹෙන්නට තර්ත විතර්ත නොකර ‘නමෝ ජෝති පරායන’ ලෙසින් සැබෑ ලෙසම ශීල, සමාධි, පඤ්ඤා මාර්ගයේ ගමන් කර සසර දුකින් නිදහස් වන්නට වීර්ය වැඩිය යුතු බව අවධාරණය කරමි.

එසේ නොවන තාක් බෞද්ධ ජනතාවට සිදුවන්නේ මෛත්‍රීය බුදු හිමියන්, බුදුවතුරුත් කාම, භව, දිට්ඨි, අවිජ්ජා, ඕඝ වලට හසුවෙමින් බුදුමඟ නිවන් මඟට අදාළ නොවන දේ බුදු මඟ යැයි කියමින් ඒවා ගැන තර්ක විතර්ක කරමින් සිටින්නටයි.

බක්පුර පසළොස්වක


බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 08 වන දා බදාදා අපර භාග 09.14 ට ලබයි. 9 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 08.30 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 9 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 17 වන දා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]