UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගණින්නාන්සේලා විසූ රටක සිට ලියන වග නම්...

මහනුවර යුගයේ අඳුරු සමයේ තෙරුන් වහන්සේලා සිටියේ ටික දෙනකු බවත් ඔවුන්ගේ් ථෙර පදවිය රජු විසින් පිරිනමන ලද බවත් නොක්ස් සටහන් කර තිබේ. මහනුවර අඳුරු යුගයේ මේ තෙරුන් වහන්සේලා සිටියේ ටික දෙනෙකි. කාලයාගේ ඇවෑමෙන් තෙරුන්වහන්සේලා ද නැති වී ගියේ ය. සමහර දෙනෙක් සාමණේර වූහ. එසේම දසසිල් රකිමින් ගුරු පැහැ වස්ත්‍ර පොරවා ගත් අය ද බිහිවන්නට පටන්ගත්හ. මෙම තෙරුන්වහන්සේලා උපසම්පදාව රැක ගැනීමට අසමත්ව සාමණේර බවට පත් වී ඉඩකඩම් හා විහාර දේවාල රැක ගැනීමට කටයුතු කළහ. තෙරුන්නාන්සේලාගෙන් අන්‍ය වූ කොටස ගණින්හැහෙලා හෙවත් ගණින්නාන්සේලා නමින් ප්‍රචලිත වූ අතර, ‘ගණයි’ යනුවෙන් ද, ‘ගණෙල්ලෝ’ යනුවෙන් ද ප්‍රසිද්ධියට පත්ව සිටියහ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ආරම්භ කරන ලද ලාංකීය බෞද්ධ භික්ෂු පරපුර ශත වර්ෂ ගණනාවක් තිස්සේ අඛණ්ඩව අවිච්ඡින්නව මෙරට ජනතාවගේ මෙලොව දියුණුව මෙන්ම පරලොව දියුණුව සඳහාත් ඉටු කරන ලද්දේ අතිවිශිෂ්ට වූ කාර්යභාරයකි. උන්වහන්සේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා වූහ. සිංහල රජ දරුවන්ට මෙන්ම මහජනතාවටද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ සදාචාරවත් වූ ද විනය ගරුක වූ ද සුචරිතවත් වූ ද සමාජ රටාවක් නිර්මාණය කිරීමෙහිලා පුරෝගාමි වූ මෙහෙවරක් ඉටු කළහ. සිංහල ජන සමාජය ගෙඩනැංවුණේ ද කෙත වැව සහ දාගැබ ඇසුරු කරගනිමිනි.

බෞද්ධ භික්ෂූන් වහන්සේගේ සෙවණේ අදීන වූත්, අභිමාන වූත් ප්‍රෞඪ වූත් ජාතියක් බවට පත්වූ සිංහලයා මුළු මහත් ලෝකයම මවිත කරවන ආකාරයේ නිර්මාණශීලී ජාතියක් බවට පත්වූහ. මහා සයුර පරදන වාරි කර්මාන්ත ඉදිවූයේ අහස සිඹින විසල් කොත් කැරැලි ගොඩනැංවුණේ ද සිංහල දේශය පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වූයේද එබැවිනි.

සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ ජනතාවගේ මෙලොව ජීවිතය දැහැමින් පිරිපුන් සුඛිත මුදිත එකක් බවට පත් කර ගැනීමට මෙන්ම පරලොව ජීවිතය යහපත් එකක් බවට පත් කරගැනීමටද අවශ්‍ය ගුරුහරුකම් මෙන්ම මාර්ගෝපදේශකත්වය ද ලබා දුන්හ.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවති මේ තත්ත්වය විදේශිකයන්ගේ ආක්‍රමණ සමගින් වෙනස් වී ගියේය. පෘතුගීසි, ලන්දේසි ආදි විදේශික මිථ්‍යාදෘෂ්ටිකයන් ක්‍රිස්තියානි ධර්මය මෙරට ප්‍රචලිත කිරීමට ගත් විවිධාකාර ක්‍රමවේදයන් තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පරිහානිය ඇරැඹිණි. නිරන්තරයෙන් ඇති වූ දේශපාලන අවුල් වියවුල් ද මේ තත්ත්වය වඩා වර්ධනය කරන්නට හේතු කාරක වූයේය.

මෙම පිරිහීම් යුගයේදී භික්ෂූන්වහන්සේ වෙතින් ධර්ම විනය පිරිහී ගියේය. භික්ෂූන් වහන්සේලාට දේශපාලන කටයුතුවලට සහභාගි වන්නට සිදුවිය. භික්ෂූන් වහ්නසේලා විනාශ කරමින් බණ පොත් ගිනි තබමින් පළමුවැනි රාජසිංහ රජු ශිව ආගම වැළඳගෙන කළ බෞද්ධ සංහාරය නිසා මේ තත්ත්වය තව තවත් උග්‍ර වූයේය.

මහනුවර යුගයේ පැවති ආර්ථික ක්‍රමය ද බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ් පිරිහීම සඳහා හේතු කාරකයක් වූයේ ය. අනුරාධපුර යුගයේ පටන් අපේ සිංහල රජවරු විහාරාරාමවල නඩත්තුව සඳහා නින්දගම් වැව් කුඹුරු ආදිය පූජා කළහ. ඒවායේ වැඩකටයුතු සඳහා එකල යම් යම් පුද්ගලයෝ පත් කර තිබිණි. එහෙත් මහනුවර යුගයේ පැවැති වැඩවසම් ක්‍රමය නිසා විහාරාරාම සතු කෙත්වතුවල ආදායම නිසි පරිදි ඒවාට නොලැබී ගියේය. එබැවින් විහාරාරාමය සතු ඉඩකඩකම් වල කටයුතුවලට මැදිහත් වන්නට භික්ෂූන් වහන්සේලාට සිදුවිය. එනිසා විහාර සන්තක දේපළ රැක ගැනීම උසස් කොට සලකන්නට උන්වහන්සේට සිදුවිය. මහන්සියෙන් වෙහෙරගම් රැකීමට සැකසුණු භික්ෂූ පරපුරක් මේ නිසා බිහිවන්නට විය. මේ තත්ත්වය තුළ වෙහෙරගම් රැකී ගිය ද භික්ෂුව වේගයෙන් පිරිහී ගියේය.

ඥාති ශිෂ්‍ය ක්‍රමය ඇතිවීම ද මෙම පිරිහීමට තවත් හේතුවක් විය. එම පිරිහීම් යුගයේදී එක් කුලයකට පමණක් මහණකම සීමා කළ ඇතැම් භික්ෂූන් වහන්සේ විහාර සන්තක දේපලවල භාරකාරත්වය ලබාදීම සඳහා මහණකමට තම ඥාතීන්ම සෙවූහ.

මෙම පිරිහීම් යුගයේදී නියම ශාසනික ප්‍රතිපත්ති නොදත් භික්ෂූ පිරිසක් ඇති විය. එකල මෙරට භික්ෂූ පිරිස දෙකොටසක් වූ බව රොබට් නොක්ස් සඳහන් කර තිබේ. එයින් එක්කොටසක් වූයේ ‘තෙරුන්නාන්සේලා’ ය. අනෙක් කොටස ‘ගණයි’ හෙවත් ගණින්නැහැලා’ වූහ.

මහනුවර යුගයේ අඳුරු සමයේ තෙරුන් වහන්සේලා සිටියේ ටික දෙනකු බවත් ඔවුන්ගේ ථෙර පදවිය රජු විසින් පිරිනමන ලද බවත් නොක්ස් සටහන් කර තිබේ. මහනුවර අඳුරු යුගයේ මේ තෙරුන් වහන්සේලා සිටියේ ටික දෙනෙකි. කාලයාගේ ඇවෑමෙන් තෙරුන්වහන්සේලා ද නැති වී ගියේ ය. සමහර දෙනෙක් සාමණේර වූහ. එසේම දසසිල් රකිමින් ගුරු පැහැ වස්ත්‍ර පොරවා ගත් අය ද බිහිවන්නට පටන්ගත්හ. මෙම තෙරුන්වහන්සේලා උපසම්පදාව රැක ගැනීමට අසමත්ව සාමණේර බවට පත් වී ඉඩකඩම් හා විහාර දේවාල රැක ගැනීමට කටයුතු කළහ. තෙරුන්නාන්සේලාගෙන් අන්‍ය වූ කොටස ගණින්හැහෙලා හෙවත් ගණින්නාන්සේලා නමින් ප්‍රචලිත වූ අතර, ‘ගණයි’ යනුවෙන් ද, ගණෙල්ලෝ යනුවෙන් ද ප්‍රසිද්ධයට පත්ව සිටියහ. රුහුණු රටෙහි ඔවුන් ප්‍රකටව සිටියේ ගණවොළින් වශයෙනි. පිරිහීම් යුගයේ උපසම්පදාව නොලද පැවිද්දන් සියලු දෙනාම ගණින්නැහේලා යනුවෙන් හඳුන්වනු ලැබිණි. මහනුවර යුගයේ විසූ පිරිහුණු දුස්සීල භික්ෂුව හැඳින්වීමට ගණයා, ගණින්නැහැ යන නම් භාවිතා කෙරිණි.

සිවුරක් පොරවාගෙන ඊට උඩින් බඳ පටියක් පැළඳගෙන සිටීම මෙම ගණින්නැහේලාගේ් සාමාන්‍ය සිරිත විය. තවත් සමහරු යටින් කහ වතක් හැඳ ඊට උඩින් රෙද්දක් පැළඳ සිටියහ. මෙම ගණින්නාන්සේලා බොහෝ දෙනෙක් ගත කළේ කාමභෝගී ජීවිතයකි. විහාරය අසලම නිවෙසක් තනා එහි වෙසෙමින් ඔවුහු අඹුදරුවන් පෝෂණය කළහ. ඔවුන් විසූ ගෙවල් ගණේ ගෙදර, විහාරේ ගෙදර, ගණේ වලව්ව, විහාරේ වලව්ව යන නම් වලින් ද ඔවුන්ගේ දරුවන් ගණ ගැටයන් ලෙසින් ද හැඳීන්වූ බව මහාචාර්ය කොටගම වාචිස්වර හිමියන් විසින් රචිත ‘සංඝරාජ සමය’ කෘතියේ දක්වා ඇත.

ගණින්නාන්සේලාගේ් නම් ද පිරිහුණු යුගයට උචිත පරිදි යොදාගෙන තිබූ අතර ශාසනික නම් අතහැර තිබුණි. උපන් ගමේ නම් මුලට යොදා ගනිමින් තබුතල ගණින්, වෙලඟේ, ගණින්, ගණේ බණ්ඩාර, සුමංගල ඒකනායක ගණින්, බුද්ධරක්ඛිත නවරත්න ගණින් වහන්සේ, වේහැල්ලේ ගණචොළින් ආදී වශයෙන් පාවිච්චි කෙරිණි. මේ සමහර ගණින්නාන්සේලා දසසිල් රකිමින් ප්‍රසිද්ධියේම ගිහියන් මෙන් අඹුදරුවන් පෝෂණය කළහ. දානයක් සඳහා නිවසකට ගිය අවස්ථාවල තම අඹුදරුවන් සඳහා නිවසට දන් කදක් යැවීමට ද මෙම ගණින්නාන්සේලා කටයුතු කළහ. පන්සල් ඉඩම් පාලනය කරමින් තම අඹුදරුවන් හා ඥාතීන් සමග ඒවායේ ආදායම භුක්ති විඳි ගණින්නාන්සේලා විහාරාරාම අන්සතු වීම වැළැක්වීමට තම දරුවකු හෝ සොහොයුරකු පැවිදි කළහ.

ඇතැම් ගණින්නාන්සේලා රජුගේ දූතයන් වශයෙන් ද කටයුතු කර තිබේ. රාජසිංහ රජු මහනුවර සිට ලන්දේසින් වෙත යැවු දූත කණඩායමේ ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇත්තේ පෝයමළු විහාරයේ ගණේ බණ්ඩාර ගණින්නාන්සේය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ යුගයේදී පුත්තලම දිසාපති පදවිය මෙන්ම උඩුනුවර සිව් දේවාලයේ බස්නායක නිලමේ තනතුර ද දරා ඇත්තේ පෝයමළු විහාරයේ කොබ්බෑකඩුව ගණින්නාන්සේය. සමහර ගණින්නාන්සේලා රජුගේ ආදායම් පාලකවරු වශයෙන් කටයුතු කළහ. සමහරු ඉඩකඩකම් වැවීමෙහි නිතරව සිටියහ. සමහර ගණින්නාන්සේලා පැවිදිවීමෙන් පසුව ද තම කුලයට අයත් රාජකාරී කරගෙන ගොස් තිබේ. ඒ අනුව සමහර ගණින්නාන්සේලා රෙදි සේදීමේද සමහර ගණින්නාන්සේලා කත් ඇදීමේ ද තවත් සමහර ගණින්නාන්සේලා බෙර ගැසීමේ හා නැටුම් දැක්වීමේ ද යෙදුණු බව කොටගම වාචිස්සර හිමියෝ සඳහන් කරති.

ආත්මය මෙලොවින් එලොවට සංක්‍රමණය වන බවට පුනරුප්පත්තිය පිළිබඳ හින්දු විශ්වාසය මෙම ගණින්නාන්සේලා ද ගුරු කොට ගත්හ. හින්දු දර්ශනයෙහි එන පුනරුප්පත්තිය ආත්ම සංක්‍රමණයකි. බෞද්ධ දර්ශනයෙහි පුනරුප්පත්තිය ගැන උගන්වා ඇතත් ආත්මයක් ගැන උගන්වා නැත. මෙම ගණින්නාන්සේලා මතක බණකට ගිය පසු මළගිය අයගේ ආත්මය හෙවත් ප්‍රාණකාරයෝ ගැලවීම සඳහා වෙස්සන්තර ජාතකය හෝ වෙනත් ජාතක කතාවක් කියා පින්දීම පිණිස භාවිත කළේ හින්දු ප්‍රතිපත්ති ක්‍රමයයි. ධර්ම දේශනා කිරීමෙන් පසුව මළ ගෙදරම නතර වන ගණින්නාන්සේලා එදින රාත්‍රියේ නිදා ගැනීම සිදු කරන්නේ් මළගිය තැනැත්තාට අයත් ඇෙඳහිය. මහජනයා රවටා යමක් උපයා ගැනීමේ කපටි උපක්‍රමයක් ලෙස ද ඇතැම් ගණින්නාන්සේලා මේ ක්‍රමය අනුගමනය කර තිබේ.

මතක බණකට ගිය විට මිය ගිය තැනැත්තාගේ කාමරයේ ඔහුට අයත් සයනයේ නිදන්නට යන ගණින්නාන්සේ මිය ගිය තැනැත්තා පින්කමට සතුටු නම් රාත්‍රියේ පැමිණ තමන් සමග කතා බස් කරන බව ඥාතීන්ට දන්වයි. ඉන්පසු කාමරයට වැදී දොර වසා නිදා ගන්නා බවක් අඟවයි. ඒ අතර ඥාතීහු ගණින්නාන්සේගේ උපදෙස් අනුව පන්දමක මැනවින් තෙල් ගල්වා එහි මුල මැද අග යන ස්ථාන තුනේ ගල් කැට තුනක් තබා, තඹ තැටියක් මත තබා දල්වති. පන්දම දැල්වීමෙන් ගල් කැට තුන තඹ තැටිය මතට වැටේ. ඒ හඬ අසන ගණින්නාන්සේ මළගිය තැනැත්තා පැමිණි බව හඟවා හඬ වෙනස් කොට කතා කරයි. එසේ කතා කරමින් ගණින්නාන්සේට පූජා කළ යුතු බඩු බාහිරාදිය පිළිබඳව ඥාතීන්ට උපදෙස් දෙයි. ඒ උපදෙස් අනුව ඥාතීහු මළගිය තැනැත්තා පැවසූ බඩු භාණ්ඩ ගණින්නාන්සේට පූජා කරති. මේ පූජා වස්තු අතර ගව මහීෂාදි සතුන් පමණක් නොව කෙත්වතු ගස්කොලන් ආදිය ද වූ බව කොටගම වාචිස්වර හිමියෝ දක්වති.

මෙහිදී මළගිය තැනැත්තා වෙනුවෙන් පිළියෙල කළ විශේෂ පේ‍්‍රත ගොටුවක් තබන්නේ ද ගණින්නාන්සේය. ගොටුව තැබීමෙන් පසු මතක දානය සාර්ථක බව අදහන ඥාතීහු මහ පෙරහරින් ගණින්නාන්සේ පන්සලට කැටුව යති.

මෙ සමයෙහි විසූ ඇතැම් ගණින්නාන්සේලා යකැදුරන් මෙන් මතුරමින් දපමින් යකුන් එළවූහ. මෙම දුසිල් මහණුන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරමින් ගර්භිත විද්‍යාවන්හි යෙදී වාසය කළහ. සමහර ගණින්නාන්සේලා බලි තොවිල් ආදී ශාන්තිකර්මයන් හි යෙදෙමින් රාත්‍රී පහන් වනතුරු ගිහි නිවෙස්වල රෝගීන්ට ආවැඩීමෙහි යෙදී සිටියහ. සමහරු වෙදහෙදකම්වල නිරත වූහ.

බුදුදහමෙහි නොහැසිරුණු ඔවුහු කුල දූෂණ කර්මයන් කළහ. බණ දහම් නූගත් මෙම ගණින්නාන්සේලා බලි තොවිල් කිරීමෙන්, නැකත් කිරීමෙන් වෙදහෙදකම් කිරීම් ආදියෙන් මහජනයාගේ සිත් ගෙන ඉන් ලබාගත් ධනයෙන් අඹුදරුවන් පෝෂණය කළහ. ඔවුහු දෙවියන් ඇදහීම ද බහුල ලෙස සිදුකළ බව සඳහන් වේ.

මෙවන් ගණින්නාන්සේලා පිරිසක් විසූ රටක අද දවසේ වෙසෙන ජනතාව භාග්‍යවන්ත බව මට සිතේ. තෙවළා බණ දහම් උගත් ධර්මධර විනයධර සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අද අපට සිටිති. ගෞතම බුද්ධ ශාසනයේදීම මාර්ගඵල අවබෝධ කර ගැනීමේ මාර්ගය අපට පෙන්වා දෙන උත්තම වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්නටද අද දවසේ අපට අවස්ථාව ලැබී තිබේ. එය අප ලද සැබෑ භාග්‍යයක් නොවන්නේ ද? මෙය කියැ වූ ඔබට ගෞතම බුද්ධ ශාසනයේදීම වහ වහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවායි මෙත් සිතින් පතමි!

බක්පුර පසළොස්වක


බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 08 වන දා බදාදා අපර භාග 09.14 ට ලබයි. 9 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 08.30 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 9 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 17 වන දා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]