UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහම අනුව, මිනිසා ඉදිරියෙහි ඇති මූලිකම හා විශාලතම ප්‍රශ්නය වන්නේ, දුක් සහිත වූ සංසාරික පැවැත්මයි. බුදුවරයකු ලොව පහළ වන්නේ, අන් කිසිවක් සඳහා නොව, ජාති ජරා මරණාදී සසර දුක් ඇති වන අයුරු හා එය නැති කරන අයුරු පෙන්වා දීමට ය. පටිච්ච සමුප්පාදයෙහි කෙටි සූතුය උපයෝගි කරගෙන ඇත්තේ ද දුක පිළිබඳ යථාර්ථිය පෙන්වා දීමට ය.

බුදු දහමෙහි ප්‍රතිෂ්ඨාව හෙවත් පදනම, පටිච්ච සමුප්පාදය යි. “පටිච්ච යන්නෙන් ප්‍රත්‍ය කැරගෙන හෙවත් හේතු කරගෙන යන්න ද, සමුප්පාද “ යන්නෙන් හට ගැනීම, පහළවීම යන අදහස ද ඉගැන්වේ. බුදු දහමෙහි ඇතුළත් හේතුඵල විමර්ශනය ලෙස ද මෙය හැඳින්විය හැකිය. සියලු අබෞද්ධ ඉගැන්වීම් විමසා පසෙකින් තබන බෞද්ධ සිද්ධාන්තය , පටිච්චසමුප්පාදය යි. නිත්‍ය ආත්මයක් ඇත යන ‘ශාස්වත දෘෂ්ටිය ‘ට මෙන්ම නිත්‍ය ආත්මයක් නැත යන ‘උච්ඡෙද ‘ දෘෂ්ටියට ද අනුගත සියලු අන්‍ය ආගමික දෘෂ්ටිය ද පටිච්චසමුප්පාදය අනුව බැහැර වෙයි. අනික් අතට සියලු බෞද්ධ ඉගැන්වීම් සනාථ කරන සිද්ධාන්තය ද පටිච්ච සමුප්පාදය යි. කර්මය හා විපාකය, පුනර්භවය නිවන ආදි බෞද්ධ ඉගැන්වීම් ධර්මානුකූ®ල ලෙස විග්‍රහ කළ යුතු වන්නේ පටිච්චසමුප්පාද පදනම මත පිහිටාගෙන ය. පටිච්ච සමුප්පාද ඉගැන්වීම කොතරම් දැයි සූත්‍ර මගින්ම සනාථ කළ හැකි ය.

“යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සති “

මෙම නිරුක්තිය අනුව පටිච්ච සමුප්පාදය හා බුදුදහම අතර වෙනසක් නැත. ඉන් එකක් අවබෝධ කිරීමෙන් අනික ද අවබෝධ වේ යන එහි තේරුමයි. උපතිස්ස පිරිවැජියාට අස්සජි හිමියන් හමු වු තැන බුදුරදුන් කිනම් වාදී’දැයි අසන ලදී. එයට ඔහු ලද පිළිතුර, මෙසේ ය. “යෙ ධම්මා හේතුප්පභවා තෙසං හේතු තථාගතො ආහ “

“හේතු ප්‍රත්‍යයන්ගේ සබැඳියාවෙන් හට ගන්නා වූ යම් ධර්මයක් වේ ද , හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් ඒවා නිරුද්ධ වෙති. තථාගත දේශනය එය යි. මෙහිදී උපතිස්සට අවශ්‍ය වූයේ බුදුරදුන් ශාස්වත වාදී ද උච්ඡේදවාදී ද කියා දැන ගැනීමටය. අස්සජි හිමියෝ එම සංවාද දෙකෙන් එකක් හෝ බැහැර නොකොට නොපිළිගෙන, පටිච්චසමුප්පාද න්‍යය ඔහුට හඳුන්වා දුන්හ. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අවසන කොණ්ඩඤ්ඤ හිමිට දහම් ඇස පහළ වූයේ යැයි සඳහන් වෙයි. (ධම්ම චක්ඛුං උදපාදි) ඒ හිමියන්ට වැටහුණු මේ ධර්මය අන් කිසිවක් නොව, පටිච්චසමුප්පාදයමයි.

“යංකිඤ්චි සමුදය ධම්මං සබ්බතං නිරොධ ධම්මන්ති “

බුද්ධත්වයට පත්වූ අවස්ථාවෙහිදී කෙළෙස් බරිත වු මේ ප්‍රජාවට දහම් දෙසීමෙන් පලක් වේ දැයි සැකයක් බුදුරදුන් තුළ උපන් බව, මජ්ඣිම නිකායෙහි අරියපරියේසන සූත්‍රයෙහි සඳහන් වෙයි.

ආලය රාමාය ඛො පන අයං පජාය , ආලය රතාය ආලය සමුද්දිතාය ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං ඉධප්පච්චයතා පටිච්චසමුප්පාදො “

මේ අනුව පටිච්ච සමුප්පාද ධර්මය ඉතා ගැඹුරු බව ද සාමාන්‍ය ජනයාට විෂය නොවන බව ද පැවසෙයි. එසේම බුදුරදුන් වටහා ගත් සුවිශේෂ සාත්‍යය , එයම බවද කියැවෙයි.

පටිච්ච සමුප්පාදය ඉතා සරල යැයි වරක් ආනන්ද හිමියන් පැවසූ විට බුදුරදුන් , ‘ආනන්ද, එසේ නොකියන්න . මෙය ගැඹුරු දහමකි ‘

“ මාහෙවං ආනන්ද මාහෙවං ආනන්ද ගම්භීරොචායං ආනන්ද පටිච්ච සමුප්පාදො “ ) මේ දහම පසක් නොකිරීමෙන් අවුල්ව ගිය නූල් බෝලයක් මෙන්, පැටළුණු කුරුළු කූඩුවක් මෙන් පැටලී සත්වයෝ සසර ඇවිදිති. මම ද සසර එසේ ඇවිද්දෙමි යි කීහ.

මෙම දාර්ශනික ප්‍රස්තුතය අනුව හේතු ප්‍රත්‍ය ඇති කල්හි ඇති වන ධර්ම අදාළ හේතු ප්‍රත්‍ය නැති කල්හි නැති වෙයි. මේ මුළු රූප හා නාම ධර්ම එකතුව තමන් විසින් ඇති කර ගත්තක් නොවේ. එනිසා ශාස්වත නොවේ. අනුන් විසින් කරන ලද්දක් ද නොවේ. එනිසා උච්ඡේද ද නොවේ. හේතු ප්‍රත්‍ය මතම සිදු වන්නකි.

න ඉදං අත්තකතං බිම්බං
න ඉදං පරකතං අඝං
හේතුං පටිච්ච සම්භූ®තං
හේතු භංගා නිරුජ්ඣති “

මේ ප්‍රකාශය අනුව ද පටිච්චසමුප්පාද ධර්මය සනාතන සත්‍යයක් බව පෙනෙයි. බුදුවරුන් ලොව උපන්න ද නූපන්න ද, මේ දහම ලොව පවතියි. (උප්පදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං) දේශය, කාලය, ජාතිය කුමක් වුවද මෙම සත්‍ය න්‍යාය සියල්ලටම පොදු වෙයි. එය සර්වකාලීනය, සර්ව දේශීය ය සර්ව ව්‍යාප්ත ය.

මජ්ඣිම නිකායෙහි අග්ගි වච්චගොත්ත සූත්‍රයේ ශාස්වත - උච්ඡේද ආදී අන්තවලින්ම උපන් ‘අව්‍යාකෘත’ සමකාලීන දාර්ශනික ප්‍රශ්න පසෙකින් තබා පටිච්චසමුප්පාදය දේශිත බව සඳහන් වෙයි. මේ අනුව සියලු දෘෂ්ටි බැහැර කිරීමට උපකාරී වූ ඉගැන්වීම පටිච්චසමුප්පාදය යි.

පටිච්චසමුප්පාදය වටහා ගැනීමට ඇති ප්‍රායෝගික සරල ක්‍රම වේදයක් තිබේ. මෙය බොහෝ විද්වත්හු පටිච්චසමුප්පාද කෙටි සුත්‍රය යැයි හඳුන්වති. මෙම කෙටි සූත්‍රය එක්තරා න්‍යායක ස්වරූපයෙන් බොහෝ සූත්‍රවල දක්වා තිබේ.

ඉමස්මිං සති - ඉදං හොති
ඉමස්මිං අසති - ඉදං න හොති

සියලු ධර්මයන්ගේ සාපේක්ෂක පැවැත්ම, මෙයින් ප්‍රකාශිත ය.

ඉමස්ස උප්පාදාය - ඉදං උප්පජ්ජති
ඉමස්ස නිරෝධාය - ඉදං නිරුජ්ක්‍ෂති

සියලු ධර්මයන්ගේ උත්පාද - නිරෝධ සම්බන්ධය මෙයින් ප්‍රකාශිත ය.

මෙම කෙටි සූත්‍රය, දාර්ශනික සිද්ධාන්තයක් ලෙසද, ගණිතමය සූත්‍රයක් ලෙස ද, තර්ක ශාස්ත්‍රීය න්‍යායයක් ලෙස භාවිත කළ හැකි ය. ඊට හේතුව වන්නේ සියලු භෞතික ධර්ම තුළ ද මෙම සාපේක්ෂක සම්බන්ධය හා උත්පාද - නිරෝධ ලක්ෂණය දක්නට ලැබෙන බැවිනි. එහෙත් බුදුන් වහන්සේ මෙම කෙටි සූත්‍රය ප්‍රධාන වශයෙන් භාවිත කොට ඇත්තේ ඉහත කී අරමුණු සඳහා නොවෙයි. බුදු දහම අනුව, මිනිසා ඉදිරියෙහි ඇති මූලිකම හා විශාලතම ප්‍රශ්නය වන්නේ, දුක් සහිත වූ සංසාරික පැවැත්මයි. බුදුවරයකු ලොව පහළ වන්නේ, අන් කිසිවක් සඳහා නොව, ජාති ජරා මරණාදී සසර දුක් ඇති වන අයුරු හා එය නැති කරන අයුරු පෙන්වා දීමට ය. පටිච්ච සමුප්පාදයෙහි කෙටි සූතුය උපයෝගි කරගෙන ඇත්තේ ද දුක පිළිබඳ යථාර්ථිය පෙන්වා දීමට ය. ඒ අනුව ඉමස්මිං සති ඉදං හෝති’ මෙය ඇතිකළ මෙය ඇත යන න්‍යාය අනුව, ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ ‘අවිද්‍යාව ඇති කළ සංස්කාර ඇත’ යනාදී වශයෙන් සසර දුක ඇතිවන අයුරු, පටිච්චි සමුප්පාදයෙන් උගන්වනු ලැබේ.

මිනිසා ඉදිරියෙහි ඇති ආහාර, නිවාස, රැකී රක්ෂා ඇඳුම් පැළඳුම්, ඉඩකඩම් ආදී භෞතික අවශ්‍යතා මුල් කර ගත් ප්‍රශ්න ගැන ප්‍රමාණවත් මඟ පෙන්වීමක් බුදු දහමෙහි ද ඇත. එහෙත් ඒ සියලු ප්‍රශ්න ඉක්මවා පවත්නා මූලික ප්‍රශ්නයක් මිනිසා ඉදිරිපිට තිබේ. එනම් සසර දුක යි. බුදු දහමෙහි ප්‍රධාන ඉගැන්වීම වන පටිච්චසමුප්පාදය, සසර දුකෙහි සම්භවය හා නිරෝධය ප්‍රකාශ කිරීම අරමුණු කොට ඇත.

මැදින් අමාවක පෝය
 මාර්තු 25 වන දා බදාදා අපරභාග 10.02 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා බ්‍රහස්පතින්දා ය. මීළඟ පෝය අප්‍රේල් 2 වන දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]